ලංකාවේ දේශපාලනයේ 05 නොම්මරයෙන් ඉවර වෙන අවුරුද්ද සාමාන්‍ය අවුරුද්දක් නොවේ. අසාමාන්‍ය අවුරුද්දක්.Sri Lanka Latest News
1948 නිදහසට පසු 1955 තමයි ලංකාවේ ආපු 05 නොම්මරයෙන් ඉවර වෙන පළමු අවුරුද්ද. 1955 තමයි සර් ජෝන් කොතලාවල අගමැතිගේ අන්තිම අවුරුද්ද. සර් ජෝන් අගමැති වුණේ 1953 හර්තාලයෙන්. 1955 වෙනකොට සර් ජෝන්ට එරෙහිව රටේ මහා සිංහල බෞද්ධ බලයක් හැදුණා. සර් ජෝන් නායකත්වය දුන් යූ.ඇන්.පී.යේ හිටපු නායක සහ අගමැති ඩඩ්ලි සේනානායකත් මේ සිංහල බෞද්ධ බලයට සපෝර්ට් කළා. සර් ජෝන්ගේ අමාරුම අවුරුද්ද තමයි 1955 අවුරුද්ද. ශ්‍රීලනිප නායක, විපක්ෂ නායක බණ්ඩාරනායක, වාමාංශික නායකයන් වූ ඇන්.ඇම්., කොල්වින් සහ දොස්තර වික්‍රමසිංහ, ඩඩ්ලිගේ යූ.ඇන්.පී.ය තුන් කොනකින් ඔහුට පහර දුන්නා. අන්තිමට සර් ජෝන් 1956 මහ ඡන්දයට ගියේ හොම්බෙන්. ඒ මහ ඡන්දයෙන් ඔහුට රට දමලා යන්න වුණා.
ඊළඟට එන්නේ 1965. 1964 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය විශ්වාසභංගයක් ගෙනැවිත් මැතිනිය සහ ඇන්.ඇම්.ලගේ හවුල් ආණ්ඩුව වැට්ටුවා. 1965 මහ ඡන්දය ආවේ ඒකේ ප්‍රතිඵලයක් විදියට. මහ ඡන්දයෙන් ඩඩ්ලිගේ යූ.ඇන්.පී.ය දින්නා. හැබැයි අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ධුරයෙන් යන්න බැහැ කීවා. ඇය කිව්වේ ඩඩ්ලිට බහුතරය නැහැ කියලා. එතකොට තිබුණේ අග්‍රාණ්ඩුකාර ධුරය. මැතිනිය අග්‍රාණ්ඩුකාර ධුරයට පත්කරලා තිබුණේ ඇගේ මාමා වූ විලියම් ගොපල්ලව. මැතිනිය යන්න බැහැ කිව්වාම යූ.ඇන්.පී.ය අරලියගහ මන්දිරයට මහ සෙනඟක් ගෙනාවා. මැතිනියත් ශ්‍රීලනිපයට සහ වමට සෙනඟ ගේන්න කිව්වා. කේන්ති ගිය විලියම් ගොපල්ලව තම ඥාති දියණිය වූ මැතිනියට වහාම අයින් වෙන්න කිව්වා. එහෙම කලකෝලාහල මැද්දේ තමයි ඩඩ්ලි 1965 අගමැති වුණේ.
ඊළඟට එන්නේ 1975. 1975 තමයි එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය වසර දෙකකට බලෙන් පාලන කාලය දික් කරගත්තේ. මේකට විරුද්ධව විපක්ෂ නායක ජේ.ආර්. ඔහු නියෝජනය කළ දකුණු කොළඹ ආසනයෙන් අයින් වෙනවා. අයින් වෙලා අතුරු මැතිවරණයක් තියන්න කියලා මැතිනියට අභියෝග කරනවා. මැතිනිය අභියෝගය බාරගන්නවා. හැමෝම හිතනවා ජේආර්. පරදියි, ජේ.ආර්.ගේ දේශපාලනයත් එතැනින්ම ඉවර වෙයි කියලා. හැබැයි ජේ.ආර්. දන්නවා ආණ්ඩුව දෙදරනවා, 1975 අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයන් වූ ඇන්.ඇම්. සහ කොල්වින්ව ආණ්ඩුවේ ඇමැතිකම්වලින් ඉවත් කරනවා. එතැනින් ආණ්ඩුවේ වැටීම පටන් ගන්නවා. ඇයගේ ආණ්ඩුව වැටෙන්න පටන්ගත්තේ 1975දීයි.
1985 තමයි ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ යටිබිම්ගතව සන්නද්ධ ව්‍යාපාරයකට අවශ්‍ය අඩුම කුඩුම එකතු කරන්නේ. කොළඹ උතුරේ දෙමළ සන්නද්ධ කල්ලි බෝම්බ පුපුරුවන කොට ජවිපෙ කැලේ ආයුධ පුහුණුව ලබන්නේ 1985 වගේ කාලයේ. 1986 කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක දයා පතිරණව මරන්නේ 1985 ආයුධ සන්නද්ධ දේශපාලනයට සංවිධානය වුණාට පස්සේ. 1985 ජේ.ආර්.ගේත්, යූ.ඇන්.පී.යේත් ඔළුව කචල් කරපු අවුරුද්දක්.
1995 වසර 17කට පසු යූ.ඇන්.පී. ආණ්ඩුව පන්නලා ආණ්ඩු බලය අරන් චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා වැඩ පටන්ගත්ත අවුරුද්ද. ඇයගේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද පටන්ගත්තේ 1995දීයි. ලේසි වුණේ නැහැ. හැම තැන වැඩවර්ජන. ආණ්ඩුව ඇතුළේ අර්බුද. ඇයට ඇය දුන්න කිසිම පොරොන්දුවක් ඉටුකරගන්න බැරි වුණා.
2005 චන්ද්‍රිකාගේ දේශපාලනය අවසන් කළ වසර. 2005 වෙනකොට ඇයගේ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ ජවිපෙ එක්ක ආණ්ඩුවක් හදලා තිබුණේ. 2005 දී ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුණා. චන්ද්‍රිකා අන්ත අසරණ වුණා. ඇය සැලසුම් කළේ 2006ට ජනාධිපතිවරණය කල් දමාගන්න. ඒත් ඇයට ඒක කරගන්න බැරි වුණා. එවක විපක්ෂ නායක රනිල් මහ සෙනඟක් එක්ක දකුණේ සිට කොළඹට පෙළපාළියකින් ආවා. ආණ්ඩුව ඇතුළේ ඇයගේම සමීප ඇමැතිවරු ඇයට එරෙහිව අගමැති මහින්දට සෙට් වෙලා චන්ද්‍රිකාට දැන් පැන්ෂන් යන්න කිව්වා. 2005 පවත්වපු ජනාධිපතිවරණයෙන් මහින්ද දින්නා. රටට අලුත් නායකයෙක් පත්වුණා. 2005 දී තමයි විදේශ ඇමැති කදිරගාමර් ඝාතනය වී රටම බය බිරාන්ත වුණේ. මහින්ද ජනාධිපති වීම කවුරුවත් හිතපු නැති දෙයක්. ඔහුව ජනාධිපති කළේ ජවිපෙ. 2005 නම් රට පෙරළපු අවුරුද්දක්.
2015 ඊටත් වඩා අපූරු අවුරුද්දක්. ශක්‍රයාටවත් වට්ටවන්න බැහැ කිව්ව මහින්ද රාජපක්ෂව ඔහුගේ පක්ෂ ලේකම් මෛත්‍රීපාල පරාජය කළේ 2015දීයි. යුද්ධය දිනපු වීරයා මෛත්‍රී වගේ දේශපාලනඥයෙක් පරාජය කරයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. 2014 දෙසැම්බරයේ පටන්ගත් මහින්දගේ ආණ්ඩුවේ සෝදාපාළුව 2015 ජනවාරිවල මහා විනාශයක් වුණා. 2015 මහ ඡන්දයෙන් හීනෙන්වත් හිතන්න බැරි විදියට රනිල් මහින්දව පරාජය කරලා දින්නා. 2014 වෙනකොට රනිල්ව ගෙදර යවන්න යූ.ඇන්.පී.ය කැරැලි ගහ ගහ හිටියේ. 2015 රනිල් මහජන ඡන්දයෙන් අගමැති වුණා. රාජපක්ෂ පවුල හිරේට ගියේත් 2015. 2015 මේ රටේ දේශපාලනය කණපිට ගහපු අවුරුද්දක්.
නිදහසට පෙර 1935ත් ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කළ වසරක්. ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන්නේ 1935දී. ලංකාවේ පිහිටුවපු පළමු වාමාංශික පක්ෂය තමයි ලංකා සමසමාජ පක්ෂය. ල.ස.ස.ප.ය හැදුවේ ලෙස්ලි ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ඩි සිල්වා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන හැමෝම එකතු වෙලා. ඒ කියන්නේ 1935 ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඓතිහාසික වසර. හරියටම ඊට වසර 90කට පස්සේ ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් බිහිවෙලා තියෙනවා. එහෙම බලනකොට 1935ත් 2025ත් අතර ලොකු සහසම්බන්ධයක් තියෙනවා. 1935 පටන්ගත් වම අද දියවෙලා ගිහින්. 2024 හදපු වමේ ආණ්ඩුව යන්නේ වමටද, දකුණටද කියන එක 2025 තීරණය වෙයි.
1935 වගේම 1945ත් අමතක කරන්න බැරි වසරක්. 1945 තමයි හිටපු අධ්‍යාපන ඇමැති සී.ඩබ්.ඩබ්. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ. අනුර කුමාරට අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න 05න් අවසන් වෙන 2025ත් හොඳ වසරක් වේවි.
1935 වාමාංශික ව්‍යාපාරයේ ආරම්භය. 1945 නිදහස් අධ්‍යාපනයේ ආරම්භය. 1955 බමුණු කුලය බිඳවැටීම. (සර් ජෝන් සහ යූ.ඇන්.පී.යේ වැටීම) 1965 ජනප්‍රිය ආණ්ඩුවක වැටීම. 1975 බණ්ඩාරනායකවරුන්ගේ වැටීම. 2005 රාජපක්ෂවරුන්ගේ නැගීම. 2015 රාජපක්ෂවරුන්ගේ වැටීම.
එතකොට 2025…?










