අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.Sri Lanka Latest News
ඒ, සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති අයෙකු 2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියද පෙරේදා අත්ඩංගුවට ගත්තා.
මෙම සිද්ධීයට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා ඊයේ නියම කළේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.
“ස්වාමීනි… මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බළකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහර දී රිමාන්ඩ් භාරයට පත්වී මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහස කළේ යැයි චෝදනා ලබා ආගමන හා විගණන පාලකත් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. දැන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා… ස්වාමීනි.. මේ පුද්ගලයෝ තමන්ගේ ආයතන ඇතුළේ වෙනම අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා. ඒවාගේ ඔවුන් සිංහාසනාරූඩ වෙලා ඔටුනු පැළඳ සිටිනවා. එවැනි තත්ත්වයක් තමා බන්ධනාගාරයේත් තියෙන්නේ.”
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ,
“ස්වාමීනි.. සාමාන්‍යයෙන් වෙසක් සහ නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදානය කරනවා. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාරවලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියාපටිපාටිය. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28කින් වාර්තා කැඳවා තිබෙනවා. අවසානයේදී සමාව දිය යුතු පුද්ගලයින් 388 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබෙනවා.””
“ස්වාමීනි.. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකුට අධිකරණය රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කරගන්නා ලෙස දන්වා එම පුද්ගලයා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. නමුත් මෙම නඩුව ඉකුත්දා අනුරාධපුර මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී තිබෙනවා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කර තිබෙන බව. ස්වාමීනී… ඉකුත් වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. ඒ වගේම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ ලැයිස්තුවේත් මේ තිලකරත්න නමැති පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. එසේ නම් ස්වාමීනී මෙය සිදු වූයේ කොහොමද?”
“ස්වාමීනි… මේ සැකකරු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිත කරමින් තමයි මේ පුද්ගලයාට සමාව ප්‍රදානය කරලා නිදහස් කර තිබෙන්නේ. මේක ඉතා භයානක තත්ත්වයක්.” යනුවෙන් ඔහු සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කර ඇති විමර්ශනවල ප්‍රගතිය ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කළා.
“ස්වාමීනි.. 2024 වසරේ නත්තල් දින මේ ආකාරයෙන් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණ වෙලා තිබෙනවා. ඊට අමතරව මෙම වසරේ නිදහස් දිනත් තවත් වරදකරුවන් 11 දෙනෙකු මේ ආකාරයෙන් නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා.”
“නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයින් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරිවරු තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව අපට පෙනීගොස් තිබෙනවා. අධිකරණවලින් රුපියල් ලක්ෂ විස්ස, විසි පහ දඩ නියම කළ පුද්ගලයින්වත් මේ ආකාරයෙන් නිදහස් කරලා. ස්වාමීනී, මෙවැනි නිදහස් කිරීම් පිළිබඳව අපි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවත් විමර්ශනයක් කරනවා. මේක භයානක තත්ත්වයක්. ජනාධිපති සමාවට මුවාවෙලා මේ සැකකරු භයානක අපරාධකරුවන් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.”
ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ඉල්ලා සිටියේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත ඇපමත මුදා හරින ලෙසයි.
“ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරන රැඳවියන්ගේ නම් එවන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා එසේ පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න.”
“එසේ එවන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. මේක ජනාධිපති කාර්යාලය නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අනුකූලව සිදුවන දෙයක්. ස්වාමීනි… වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනවා නම් ඒකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයා සැකකරුවන් ලෙස නම් කළ යුතුයි. මාගේ සේවාදායකයා නීතියට පටහැනිව කිසිදු රැඳවියෙකු මුදා හැර නැහැ. මාගේ සේවා දායකයා මෙම විමර්ශනවලට පූර්ණ සහය දෙන්න කැමතියි. ඔහු මේ වන විට වැඩ තහනමට ලක් වී සිටිනවා. ඒ නිසා බන්ධනාගාරය තුළට යාමට ඔහුට හැකියාවක් නෑ. ඒ වගේම සාක්ෂිවලට බලපෑම් කිරීමටත් හැකියාවක් නෑ..”
ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ,
“ස්වාමීනි…විත්තියේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ චක්‍රලේඛයේ කිසිදු යොමු අංකයක් නැහැ. යොමු අංකයක් නැතිව චක්‍රලේඛයක් නිකුත් කරන්න පුළුවන් ද? ආයතන ප්‍රධානියෙකුට මෙයාකාරයෙන් කටයුතු කරන්න බැහැ.”
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප නියම කළහොත් විමර්ශනවලට බාධා විය හැකි බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා.
ඒ අනුව සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, හෙට දින සැකකරු ස්ථිර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.
සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, සිය සේවාදායකයාට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ,
“ඒක එයාගේ ගෙදරනේ. විශේෂ ආරක්ෂවක් අවශ්‍ය වෙන්නේ නැහැ.” යනුවෙන්
තම සේවාදායකයාට පාතාල ක්‍රියාකාරිකයින්ගෙන් තර්ජන පවතින හෙයින් ඔහුට විශේෂ ආරක්ෂාව සපයා දීම අවශ්‍ය බවත් මෙහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.
ඒ අනුව බන්ධනාගාරගත කළ සැකකරුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේ.










