අතීතය ඉක්ම යන්නේ කඳුළ මෙන්ම සිනහවද ඉතිරිකොටය. මේ වෑයම කාලයේ වැලි කතරින් මිහිදන් වෙමින් පවතින අතීතයකට පණ පෙවීමකටය. ඒ මීට අවුරුදු දහස් ගණනකට පෙර පැවැති අනුරාධපුර යුගයේ කාවන්තිස්ස රාජ්‍ය සමය (ක්‍රි.ව. 3 – 4) යි. මෙම අතීතාවලෝකන සටහනේ ප්‍රධාන වන්නේ උමංගල ඕවාගිරි රාජමහා විහාරයයි. මාතර සිට හක්මනට ගොස් බෙලිඅත්ත පාරේ කිලෝමීටර 4කින් හමුවන ගංගොඩගම හන්දියෙන් කිලෝමීටර 1, 1/2 ගිය තැන මෙම විහාරයට ළඟාවිය හැකිය. (Sri Lanka Latest News)
මෙම විහාරයට මෙම නාමයන් ලැබීම පිළිබඳ විවිධ මතිමතාන්තර ඇත. උමංගල විහාරයේ සිට සැතපුම් හතක් පමණ දුරින් මුල්කිරිගල රාජමහා විහාරය පිහිටයි. මෙම විහාර දෙක සම්බන්ධ කරන පර්වතය ඇතුළතින් සැතපුම් හතක් පමණ දිගින් යුත් උමං මාර්ගයක් ඇතැයි ජනප්රවාදයේ පවති. දිනක් නාගයකු මුල්කිරිගල රාජමහා විහාරයේ සිට මෙම උමං මාර්යෙන් ගමන් කොට ඕවාගිරි විහාරයෙන් මතුවූ බවද සඳහන් වේ. මෙ නිසා උමංගල රාජමහා විහාරය යැයි ප්‍රසිද්ධ වූ බව කියැවේ. එකල රජ කෙනෙක් මෙම මාර්ගයෙන් ගමන් කරන විට පිරිවර ජනයාගෙන් ‘අර පේන ස්ථානය කුමක්දැ’යි විමසූ විට ‘ඕවා ගිරි’ (ගිරි = කඳු) යැයි පිළිතුරු දුන් බවත්, ඉන්පසු රජතුමා මෙම ස්ථානයේ ලෙන් විහාර තුනක් සමග පර්වතය මුදුනේ දාගැබක් ද තනා මහා සංඝයාට පූජා කළ බවත් සඳහන් වේ.
මේ නිසා මෙම විහාරය උමංගල ඕවාගිරි නමින් ජනාදරයට පාත්රවූ බව සඳහන් වේ. නුවර යුගයේ ලියැවුණු නම්පොතේ (ලාංකේය රාජමහා විහාර නාම ලේඛනයකි.) මෙම විහාරය ඕවාගිරි විහාරය නමින් පෙන්වා ඇත. මෙහි ලෙන් විහාර තුනක් දැකගත හැකිය. එසේම මෙහි සැතපෙන, සමාධි සහ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන් නමක් දැකගත හැකිය. එසේම නුවර යුගයට අයත් චිත්රද දැකගත හැක. රහතන් වහන්සේලා, නවග්‍රහ මණ්ඩලය, සිරිපා සටහන් හතරක්, දේව රූපාදියද මෙහි සටහන් කොට ඇත. නුවර යුගයේදී මෙම ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙහි ඇති අනෙක් ලෙන් විහාරය ආරක්ෂිත හා කුඩා එකකි. මෙම ලෙන් විහාරයෙන් මුලින් සඳහන් කළ උමගේ ද්වාරය පිහිටා ඇත. එම ද්වාරයේ නාගයකුගේ රුව චිත්රණය කොට ඇත.
මෙම ලෙන් විහාරයට මඳක් ඉහළින් අලුත්වැඩියා කරන ලද පැරැණි දාගැබක් පිහිටා ඇත. සංඝාවාසයේ සිට ගල් පඩි 450ක් ගිය තැන මෙම සෑය පිහිටා ඇත. මෙය 267 – 276 යන කාලයේ රජ කළ ජෙට්ඨතිස්ස රජු විසින් කරන ලද්දකැයි පිළිගැනේ.
මෙම ගඩොල්වලට සමාන ගඩොල් අභයගිරියෙන්, ලෝවාමහාපායෙන් හමුවී ඇත. මේ නිසා කඹුරුපිටියේ වනරතන හිමිගේ නිගමනය වන්නේ මෙම සෑය ක්‍රි.ව. 2 – 5 ශතවර්ෂවලට අයත් බවයි.
මෙහි සංඝාවාස භූමියේ අත්තිවාරම් කිහිපයක් කඩා එහි ගඩොල් වෙනත් කටයුතුවලට නොගත්තා නම් තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබිණි. කළුගල් සෑය නමින් මෙම සෑය ප්‍රසිද්ධියට පත්ව ඇත. එසේම මෙහි තිබූ ගල්කණු කඩා පඩිපෙළට දමා ඇත. එය මහත් වූ හානියක් බව ද අසතුටින් නමුදු සිහිකළ යුතුය.
එසේම විස්මය උපදවනසුළු ආකාරයේ යෝධ ගල් බැම්මක් පෙර ඇත්තන් විසින් මෙහි නිර්මාණය කොට ඇත. පොකුණු ආදියෙන්ද මෙම විහාරය සාලංකාරය.
පූජ්‍ය බුලත්සිංහල සිරි ඤාණරතන හිමි