මේ දිනවල විදෙස් පුවත්වලින් වැඩිපුරම කතාබහට ලක්ව තිබෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙනි. ට්‍රම්ප්ගේ බොහෝ තීරණ ඇමෙරිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලටද බලපෑම් කරයි. ශ්‍රී ලංකාවද එම රටවල් ගොන්නට ඇතුළත් වන්නේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා 30%ක බද්දක් අයකර ගැනීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන නිසාය. Sri Lanka Latest News
ඇමෙරිකානු බද්ද ගැන මෙරට පාර්ලිමේන්තුව තුළද අවස්ථා කීපයකදීම විවාද කළ අතර, හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළද ඇමෙරිකානු නව බද්ද ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇමෙරිකානු බද්ද ගැන කතාකරන විට රටවල් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ආර්ථිකමය වශයෙන් ඇතිකරන තත්ත්වයන් සම්බන්ධයෙන්ද අමතක කළ නොහැක.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇතැම් රටවල යුදමය තත්ත්වයන්ටද බලපෑම් කරනු ලබන්නේ බද්ද හරහා වීම තවත් විශේෂත්වයකි.
යුක්රේනයට එල්ල කරනු ලබන ප්‍රහාර නැවැත්වීමට කටයුතු නොකළහොත් රුසියාවට පනවපු බද්ද 100% දක්වා වැඩිකරන බවට ට්‍රම්ප් යම් තරවටුවක්ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත එල්ල කළේය.
ට්‍රම්ප්ගේ බද්ද ගැන මුළු ලෝකයේම අවධානය යොමුවන අවස්ථාවකදී රටවල් සමග අස්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද කතාබස් කිරීම් මේ වනවිට කරළියට පැමිණ තිබේ.
ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කිරීමෙන් ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් වීමට හෝ ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට රටවල් කීපයක්ම මේ දිනවල අවධානය යොමුකරමින් සිටී.
30%ක් ලෙස දැනට ශ්‍රී ලංකාවට පනවා ඇති ට්‍රම්ප්ගේ බද්ද තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස පසුගිය 18 වැනි සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සියලු කරුණු අතරතුර පසුගිය 15 වැනිදා තවත් විශේෂ සිදුවීමක් සිදුවිය.
ඒ, ශ්‍රී ලංකාවේ පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම වගේම කොමියුනිස්ට් නොවන රටක් චීනය සමග ඇතිකරගත් ප්‍රථම වෙළෙඳ ගිවිසුම ඇතිකර ගත්තේ ශ්‍රී ලංකාව බවට කරුණු ඇතුළත් ග්රන්ථයක් එළිදැක්වීම සිදුවුණේ පසුගිය 15 වැනිදාය.
ඒ, ශ්‍රී ලංකා – චීන රබර් – සහල් ගිවිසුම පිළිබඳ 1953 ජනවාරි 23 වැනි දින ව්‍යවස්ථාදායක සභාවේ පැවැත්වුණු විවාදය පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීම පසුගිය 15 වැනිදා සිදුවීමයි.
ශ්‍රී ලංකා – චීන රබර සහල් ගිවිසුම විවාදය ග්‍රන්ථය රචනා කර තිබුණේ ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ සහාය මහාචාර්ය, ආචාර්ය මා සුන්චු විසිනි.
රටේ ආර්ථිකය ගැන කතාකරද්දී ශ්‍රී ලංකා චීන රබර් සහල් වෙළෙඳ ගිවිසුම පැති ගණනාවකින්ම ඉතා වැදගත් වන නිසා මෙම ග්‍රන්ථය සිංහල, ඉංග්‍රීසි සහ චීන යන භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂය වැනි රජයක් කොමියුනිස්ට් රාජ්‍යයක් වන චීනය සමග මෙවැනි ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට අස්සන් තැබීම අංශ ගණනාවකින්ම වැදගත් වේ.
එක්සත් ජාතික පක්ෂය වැනි රජයක් චීනය වැනි කොමියුනිස්ට් රටක් සමග වෙළෙඳ ගිවිසුමකට අස්සන් තැබීම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේද ඇගයුමට ලක්ව තිබිණි.
ශ්‍රී ලංකා-චීන රබර් සහල් ගිවිසුම විවාදය ග්‍රන්ථය ජනගත කිරීම සිදුවුණේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ කතාවට බොහෝ දෙනකුගේ අවධානය යොමුවූයේ රබර්-සහල් ගිවිසුමට පසුබිම් වූ කරුණු ඔහු ඉදිරිපත් කළ නිසාය.
‘ඇමෙරිකාව සහ චීනය එකට එකතුවී තිබූ නිසා චීනයට තිබූ බාධක සියල්ල ඉවත් කර තිබුණා. කෙළින්ම වෙළෙඳාම් කිරීමට හැකි නිසා මේ ගිවිසුම වුවමනා වුණේ නැහැ. ඒ නිසා දෙපැත්තේම අපේ පරමාර්ථය ඉටුවී තිබුණා.
1953දී හාල් සේරුවට තිබුණු සහනාධාර අඩු කළා. ඒ අනුව කැරැල්ලක් ඇතිවුණා. ඒ අනුව ඩඩ්ලි සේනානායක මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න සිදුවුණා. අපිට ඒ වෙලාවේ තිබුණේ විදෙස් විනිමය හිඟයක් වෙනුවට අතිරික්තයක්. අපේ අයවැයෙත් හිඟයක් තිබුණා. ආදායමට වඩා වියදම වැඩියි. අපේ පළමු අයවැය ඉදිරිපත් කිරීමේදී වියදමට වඩා ආදායම වැඩියි. ඔතන ඉඳන් පටන් ගත්ත එක තමයි ආයේ 2022 වසරේදී මෙතැනට වැටුණේ. මෙතැනින් ගොඩ එන්නේ කොහොමද කියලා අප දැන් විමසා බැලිය යුතුයි.
එවක විපක්ෂය සහ ආණ්ඩුව අතර ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මේ ගැන එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ප්‍රශ්න තිබුණා.
ඇමෙරිකාවට විරුද්ධව යන්න එපා කියලා ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා. එය සිදුවුණේ කොරියා යුද්ධයෙන් පසුවයි. උතුරු කොරියාව දකුණු කොරියාවට භාරදීමේදී ඇමෙරිකාව ප්‍රධාන එක්සත් ජාතීන්ගේ හමුදා පැමිණ උතුරු කොරියා හමුදාව පරාජය කොට චීන මායිම ළඟට ගියා. ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් චීන රජය පිළිගනු ලැබුවා. ඒ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තානාපති සම්බන්ධය ඇතිකිරීමට ඇමෙරිකාව විරුද්ධ වුණා.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න අපට ඇමෙරිකාවේ සහාය අවශ්‍ය වුණා. ඒ සාමාජිකත්වය එනතුරු අපි චීනය සහ සෝවියට් දේශය පිළිගන්නේ නැති බවට අප තීරණය කළා. නමුත් ඒ අතරතුරදී මේ රබර්-සහල් ගිවිසුමට එළඹුණා. ඇමෙරිකාව තරහා කරගෙන ඉදිරියට යනවාද කියලා සර් ජෝන් කොතලාවල මැතිතුමා කිව්වා.
හාල් නැත්නම් රබර් විකුණන්න තිබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා ආර්.ජී සේනානායක මැතිතුමා සඳහන් කළා.
මේ අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔය දෙපැත්තෙන්ම ප්‍රශ්න කළා.
විදේශ විනිමය ප්රශ්නය විසඳන්න නම් මේ ගිවිසුම අවශ්‍ය බවත්, ඇමෙරිකාව සමග යන්න නම් මේ ගිවිසුම නැතුව යායුතු බවත් පැවැසුවා. කොහොම නමුත් අවසානයේ මේ රබර්-සහල් ගිවිසුම අස්සන් කරන්න තීරණය කළා.
මේ අනුව කොමියුනිස්ට් රටක් හැර පළමු වරට චීනය සමග ලෝකයේ වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට එදා අසියාවට බලපෑම් කළ හැකි තත්ත්වයක් තිබුණා. 1948 වසරේ නිදහස ලැබුණු පසු ඉන්දියන් සාගර කලාපයට ආධාර ලබාගැනීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹයි. කොළඹ සැලැස්ම ලෙස එය හැඳින්වූවා.
එමෙන්ම ජපානය සමග සාම ගිවිසුමට එන ලෙස සැන් ෆ්රැන්සිස්කෝ නුවරට ගිහිල්ලා කතා කළේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. ආසියාවේ හැම රටක්ම ඒ ගැන කතාකරන්න බය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි එතුමා ගිහින් කතා කළා.
ඊළඟට තමයි චීනය සමග අප ගිවිසුමක් ගැහුවේ. අදත් බලවතුන් දෙදෙනකු වන ජපානය සහ චීනය ඉන්නේ අප කරපු වැඩකටයුතු නිසයි.
සැන් ෆ්රැන්සිස්කෝ නුවරට ගිහින් කතාකරපු නිසා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට යැංකි ඩිකී කිව්වා. චීනය සමග ගිවිසුම් අස්සන් කළ නිසා ආර්.ජී. සේනානායක මැතිතුමාට චයිනා ඩිකී යැයි කිව්වා.
ඊට පසුව 1954 වසරේ කොළඹ සම්මන්ත්‍රණයේදී ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව, මියැන්මාරය එකතු කරගෙන කොළඹ බලවතුන්ගේ සම්මේලනය ඇතිකළා. එතැනින් තමයි 1955 දී වැන්ඩුන් සම්මේලනය ඇතිකළේ. ඒ මූලික කාරණාවලදී ශ්‍රී ලංකාව ගත් පියවර නිසා අපට ඉදිරියට යෑමට හැකිවුණා….’ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
1952 දී ආණ්ඩු බලය මෙහෙයවූයේ දක්ෂිණාංශික බටහිර දේශපාලන දර්ශනය අනුගමනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂ රජයයි. එම රජයේ අග්‍රාමාත්‍ය ධුරය දැරුවේ ඩඩ්ලි සේනානායකයි. ජේ.ආර්. ජයවර්ධන එම රජයේ මුදල් අමාත්‍යවරයා විය. වෙළෙඳ අමාත්‍යවරයා වූයේ ආර්.ජී. සේනානායකයි. එවක විපක්ෂ නායක ධුරය දැරුවේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයි. ඊට අමතරව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පීටර් කේනමන්, සුන්දරලිංගම් කුමාරස්වාමි, ජී.ජී, පොන්නම්බලම්, විල්මට් පෙරේරා වැනි විද්වත්හු රැසක්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළහ.
1952 දී සහල් හිඟයත්, සහල් මිල වැඩිවීමත්, රබර් මිල අඩුවීමත්, රබර් අතිරික්තයක් ඇතිවීමත් තුළ නිර්මාණය වෙමින් පැවැති දැවැන්ත අර්බුදයට වගකිව යුතු රාජ්‍ය නායකයකු ලෙස අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් පාර්ලිමේන්තුවට පැහැදිලි කරන ලද්දේ මෙසේය.
‘නමුත් මට කියන්න අවශ්‍ය දේ මෙයයි. මම නැවතත් ප්‍රකාශ කරනවා මෙම රජය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා කැපවෙලා සිටින බව. අප ඉදිරියේ තිබුණු ප්රශ්නය තමයි ප්රජාතන්ත්රවාදය වඩාත්ම හොඳින් ආරක්ෂා කරන්නට හැකි වන්නේ මෙම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමෙන්ද, පිළිගැනීමෙන්ද යන බව. අපගේ ජනතාවට සාධාරණ මිල ගණන්වලට සහල් ලබාදීමට අපට පුළුවන් වුණේ නැත්නම් මම අහනවා ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඇතිවිය හැකිව තිබුණු ප්‍රතිවිපාක මොනවාද කියලා. චීනය කොමියුනිස්ට් රටක් වුණු නිසාම පමණක් අපි මේ යෝජනාවට පිටුපාලා අපගේ ජනතාව බඩගින්නේ තබනවද? එවැනි තත්ත්වයක් ඇතිවුණා නම් මම දැනගන්න කැමැතියි කොහොමද ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්නේ කියලා. රබර් කර්මාන්තය අනතුරුදායක තත්ත්වයක තිබුණා නම් සහ රබර් වතු වසාදමා වැටුප් අඩුකොට විශාල සංඛ්‍යාවක් රැකියාවලින් නෙරපනු ලැබීමට වුණා නම් මම ඔබෙන් අහනවා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා….’ යනුවෙන් ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රබර්-සහල් වෙළෙඳ ගිවිසුමට අදාළ විවාදය පැවැත්වුණේ 1953 ජනවාරි 23 ව්‍යවස්ථාදායක සභාවේදීය. පස්වරු 3.30ට එදින විවාදය ආරම්භ විය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මෙහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර, ඔහු ඉදිරිපත් කළ කරුණු කිහිපයක් පහත දැක්වේ.
‘කෙසේ වුවද දැන් අපිට සතුටුයි. රජය මේ චාටු බස්වලට හෝ යැංකි අධිරාජ්‍යවාදයේ මුගුරුවලට යටත් නොවීම ගැන අපි සන්තෝෂයි. මක්නිසාද සහල් ලබාගැනීමේ ප්‍රශ්නයට අමතරව එමගින් ඉතා අසීරු දුෂ්කර තත්ත්වයකුත් සමනය කරලා තියෙනවා. ඒ තමයි රටේ මුදල් පිළිබඳ ප්රශ්නය. රටේ මූල්‍ය අර්බුදයක් කිසිසේතම නැති බව ගරු මුදල් අමාත්‍යතුමා කල්පනා කළත්, එහෙම කිසිම දෙයක් නැතෙයි කියලා කිව්වත්, ගරු අග්‍රාමාත්‍යතුමා කල්පනා කරන්නේ සහ දන්නේ වෙනත් දෙයක්.
ශ්‍රීමත් ඔලිවර් මැතිතුමාත් එහෙමයි. නමුත් මම හිතනවා ඇත්තටම භාණ්ඩ හුවමාරු ගිවිසුමක අර්ථය තිබෙන චීනයට වසර පහක කාලයක් ස්ථාවර මිලකට රබර් විකිණීම සඳහා වන ගිවිසුමේ මෙම විධිවිධානය මගින් අපගේ නිෂ්පාදනයන්ට සාධාරණ ප්‍රතිලාභයක් ලැබේවි කියලා. එමගින් රජයට පුළුවන් වෙනවා දුෂ්කර මූල්‍ය තත්ත්වයන් ජයගන්න…’ යනුවෙන් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රකාශ කළේය.
ඡන්දයට එක්වූ එවක විපක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ඉතා හොඳ ගිවිසුමක් බවයි.
ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් එවක සිටි විද්වතුන් රැසක් මෙම විවාදයට එක්වෙමින් රබර්-සහල් ගිවිසුමට සහයෝගය දැක්වීම විශේෂත්වයකි.
මෙම ගිවිසුමට මුළු පාර්ලිමේන්තුවෙන්ම විරුද්ධ වූයේ වවුනියාව මන්ත්‍රී සුන්දරලිංගම් පමණි.
‘චීනය ලෝක වෙළෙඳපළේ තියෙන මිලට වඩා වැඩිපුර ගෙවලා (රබර් රාත්තලකට පැංස 32ක්) රබර් ගන්නවා කියලා පොරොන්දු වෙනවා. ලෝකයේ තිබෙන මිලට වඩා අඩු මිලට අපිට සහල් දෙනවා කියලා කියනවා. අඩු මිලට සහල් දෙන්නත් වැඩි මිලට රබර් ගන්නත් වෙළෙඳපළ ක්‍රමය අනුව ගැටලුවක්. ඊට එහා ගිය දේශපාලනයක් මෙතන තියෙනවා…’ යනුවෙන් සුන්දරලිංගම් ප්‍රකාශ කළේය.
සුන්දරලිංගම් මන්ත්‍රීවරයා හැරෙන්නට ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් සියලු දෙනා එදා රබර්-සහල් ගිවිසුමට සහාය දැක්වූයේ එය ජාතික වගකීමක් සේ සලකාය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










