ජනතා විමුක්ති පෙරමුණ නිර්පාක්ෂික ජන අරගලයට සහාය දැක්වීමට යැයි කියමින් පාගමින් ඊට එක්වීමට සූදානම් බව ඊයේ ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා ඊ නිව්ස් රචකයකු ලිපියක් පළ කොට තිබිණ. එය කිසිදු සංස්කරණයකින් තොරව උපුටා දැක්වීමට අපි කටයුතු කරමු.
(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.14, පෙ.ව.10.15) රට පුරා පැවැත්වෙන #GoHomeGota2022 විරෝධතා රැල්ලට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වී සිටින බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දා සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එහෙත් කිසිවෙක් එවැනි ඉල්ලීමක් ජවිපෙට ඉදිරිපත් කර තිබුණේ නැත!!!
ගාලු මුවදොර පිටියේ විරෝධතාව ගැන ජවිපෙ කියන කතාව..
විශේෂයෙන් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව නිර්දේශපාලනික විරෝධතාවක් නොවන බව සඳහන් කළ ඔහු එම විරෝධතාවයන් දේශපාලනික බවත් එයට තම පක්ෂයේ නායකත්වය දෙන බවත් හෙළි කළේ ය. නිර්පාක්ෂික අරගල නොමැති බවත් ප්‍රශ්නය දේශපාලනික නම් පිළිතුර ද දේශපාලනික බවත් පැවසූ ඔහු මෙම අරගලයට දේශපාලන නායකත්වය ලබා දෙන්නට තම පක්ෂය සුදානම් බවද පැවසීය. ලබන අප්‍රේල් 18 වන දා කළුතරින් ආරම්භ කරන ලංකාවේ දැවැන්තම පා ගමනකින් ජවිපෙ නායකයන් ඇතුළු ආධාරකරුවෝ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිර්පාක්‍ෂික විරෝධයට එක්වීමට නියමිතය.
විරෝධතා ‘අල’ කරන ජවිපෙ පාගමන..
ජවිපෙ මේ තීරණයට දැනටමත් මේ නිර්පාක්‍ෂික අරගලයේ ක්‍රියාකාරීහු විරෝධය පල කරති. මේ අරගලයට සම්බන්ධ වී සිටින ඇතැම් ජවිපෙ සාමාජිකයෝ පවා පක්ෂයේ මේ තීරණයෙන් සටන “අල” වන බව පෙන්වා දෙති.
රුවන් කෝරාල නම් අරගලයේ නියුතු අයෙක් පවසා තිබුනේ මෙසේය. “පක්ෂයක් ලෙස ජවිපෙට ගාලු මුවදොර කරන්නට කෙමනක් නැත. මන්දයත් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා ය. ‘බස් තියං පයින් යා යුතු නොවේ.’ නමුත්, ජවිපෙ සාමාජිකයින්ට හෝ කාඩර්වරුන්ට ‘පුරවැසියන්’ ලෙස එහි පැමිණීමට කිසි අවහිරයක් තිබිය යුතු නොවේ. එනවා නම් පක්ෂ කොඩිය ගෝඨාගෝගම ගම්මායිමේ තියලා එන්න.”
ජවිපෙ තීරණයෙන් ගාලු මුවදොර අරගලයේ පවතින නිර්පාක්‍ෂික බව අහෝසි වී යයි. ජවිපෙ මෙන් සජිත් ප්‍රේමදාසගේ සජබයත්, චම්පික රණවකගේ 43 වන සේනාංකයත් තව තව පක්ෂත් පෙළපාලිවලින් සිය ආධාරකරුවන් සමඟ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිර්පාක්‍ෂික විරෝධයට එක්වුවහොත් සිදු වන්නේ කුමක් ද?
ජවිපෙට තිබූ #GoHomeGota2022 භීතිකාව…
පසුගිය අප්‍රේල් 3 වන දා #GoHomeGota2022 ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව මාරාන්තික විරෝධයක් පල කළේ ය. ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මේ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව සිය ගණන් පෝස්ට් බෙදා හැරියහ. නිසි දේශපාලන නායකත්වයක් නොමැති මේ විරෝධතාවයට තමන් සම්බන්ධ නොවන බවට ජවිපෙ නිළ නිවේදනයක් නිකුත් කළේ ය.
ජවිපෙ ක්‍රමන්ත්‍රණ න්‍යාය…
#GoHomeGota2022 විරෝධතා ව්‍යාපාරය යනු ජවිපෙ යළි තහනම් කිරීමට කරළියට ගෙන ආ දේශපාලන කෙමනක් බවට ජවිපෙ නායකයෝ අපූරු දේශපාලන න්‍යායක් ඉදිරිපත් කළහ. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා ආකර්ෂණය විනාශ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් වශයෙන් ද එය අර්ථ දැක්වීය. පොදු ජනතාවගේ හද ගැස්ම ගැන අවබෝධයක් තිබෙන ලාල් කාන්ත වැනි නායකයන් පවා මේ තරුණ නිර්පාක්‍ෂික විරෝධය පිළිබඳ බියකරු චිත්‍රයක් මවා පෑවේය. ජවිපෙ ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට ඔවුන්ගේ මේ හැසිරීම පුදුමයක් නොවෙයි. 1980 ජූලි වැඩවර්ජනයෙන් ද ජවිපෙ කර ඇරියේ මෙවැනි “කතන්දර” කියමිනි.
විරෝධතා පේටන්ට් බලපත්‍රය..
ජවිපෙ #GoHomeGota2022 විරෝධතාව ඉදිරියේ හැසිරුණේ ආණ්ඩුවට එරෙහි විරෝධය පෑමේ පේටන්ට් බලපත්‍රය තමන් සතුව තිබේ යන උද්ච්ච ස්වරූපයෙනි. ඔවුන්ගේ තක්සේරුව වූයේ තරුණයන්ගේ මූලිකත්වයෙන් යුතු මේ විරෝධතා ඉතා ඉක්මනින්ම දියවී යනු ඇති බවයි. ජවිපෙට ලංකාවේ metropolitan දේශපාලනය ගැන නිසි කියවීමක් නැත. නාගරික පාරිභෝගිකවාදී සමාජයේ නව ගතිකයන් ගැන ඔවුන්ට ඉවක් නැත. ඒ ඉව තිබුණේ නම් ජවිපෙ #GoHomeGota2022 විරෝධතා ව්‍යාපාරය මඟ හැර යන්නේ නැත.
ජවිපෙ පා ගමන ගාලු මුවදොරට පැමිණිය යුතු නැත..
ජවිපෙ පවසන ලංකා ඉතිහාසයේ දැවැන්ත ම පා ගමන ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිර්පාක්‍ෂික විරෝධතාවයට එක් නොකර කොළඹ නගරයේ වෙනත් ස්ථානයකට යොමු කර ගෝඨාණ්ඩුවට එරෙහිව පීඩනයක් එක් කළ හැකිය. එමෙන්ම ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති හරහා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. එමගින් රාජපක්ෂ රෙජීමය අවසන් කිරීමේ සටනට ජවිපෙ දේශපාලන නායකත්වය දිය හැකිය. ටිල්වින් සිල්වාගේ හෝ ජවිපෙ දේශපාලන #GoHomeGota2022 නායකත්වය විරෝධතා ව්‍යාපාරයට අවශ්‍ය නැත. කිසිවෙක් එය ඉල්ලා ද නැත. ටිල්වින් සිල්වා සහ ජවිපෙ මේ තරුණයන්ගෙන් නව දේශපාලනය ඉගෙන ගත යුතුය.
තරුණයන්ගෙන් ඉගෙන ගන්න..
#GoHomeGota2022 විරෝධතා ව්‍යාපාරයට දේශපාලන නායකත්වය ලබාදීමට අවශ්‍ය නම් ජවිපෙ එය කළ යුත්තේ බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වය හරහාය. ඒ සඳහා මාධ්‍ය සාකච්ඡා පවත්වා ලෝකයට අඬ බෙර ගැසිය යුතු නැත. ටිල්වින්ගේ මාධ්‍ය සාකච්ඡාව හරහා යළිත් ප්‍රදර්ශනය වූයේ ජවිපෙ උද්දච්ච දේශපාලන ප්‍රවේශයයි.
සජිත්ගේ දේශපාලන මල්වර මඟුල ..
අර්බුද හරහා නව නායකයෝ බිහිවෙන බව අපි විශ්වාස කරමු. ඇතැම් නායකයෝ අළු ගසා ඉදිරියට පැමිණෙති. මේ අර්බූදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන වශයෙන් මල්වර විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔහු ඉදිරිපත් කළ යෝජනාව හරහා ඒ බව ප්‍රදර්ශනය විය. සජිත් ප්‍රේමදාස සිය දේශපාලන ඉතිහාසයේ සාධනීය යෝජනාවක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය විය.
නිළ නොවන විපක්ෂයේ ළදරු වලිප්පුව …
අනුර කුමාර දිසානායක මෙන්ම ජවිපෙ මෙරට නිළ නොවන විපක්ෂය වශයෙන් දැවැන්ත කාර්යභාරයක් කළ බව අපි බොහෝ අවස්ථාවහිදී නිර්ලෝභීව සඳහන් කළෙමු. එය විශිෂ්ට කාර්යයක් බව අවිවාදිතය. අද පවතින්නේ ඔවුන් වැපුරූ දෑහි අස්වැන්න නෙලා ගන්නා මෙහොතකි. එය ඉතා සකසුරුවට කළ යුතු කාර්යකි. දේශපාලන ළදරු වලිප්පුව විසින් එම අස්වැන්න විනාශ වීමට ඉඩ නොතැබිය යුතුය.










