දසරාජ ධර්මය රකින, පන්සිල් සුරකින යහපත් සමාජයක් ඇති කිරීම පිළිබඳ රජයට බලකිරීම ඇතුළත් සම්මුති මාලාවක් ඇතිකර ගැනීමේ අරමුණ ඇතිව දිවයින පුරා වැඩවසන භික්ෂුන් වහන්සේලා දසදහස් ගණනක් ලබන 20 වැනි දින කොළඹට වැඩම කරවා මහා සඟ සමුළුවක් පවත්වන බව, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.Sri Lanka Latest News
එදා රජ සමයේ සිටම මෙරට වැඩවිසූ භික්ෂුන් වහන්සේලා රජවරුන්ට පවා රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් ලබාදී ඇති බවද, එවැනි භික්ෂුන් වහන්සේලාට මේ වනවිට ප්‍රසිද්ධියේ අපහාස අවලාද නගන තත්ත්වයට රට පත්ව ඇතැයිද, මෙම තත්ත්වයෙන් රට ගලවා ගැනීම මහා සඟ සමුළුවක් කැඳවීමේ අරමුණ බවද ආනන්ද හිමියෝ පැවසූහ.
අද වනවිට සමාජ මාධ්‍ය ජාල පවත්වාගෙන යන ඇතැම් පිරිස් භාෂණයේ නිදහස වැරදි විදියට භාවිත කරමින් කටයුතු කරන බැවින්, ඒ සඳහා යහපත් නිර්ණායක ඇති කොට, මෙරට භික්ෂුන් වහන්සේලා ඇතුළු ආගමික නායකවරුනට, බුද්ධිමතුන්ට අපහාස කිරීම, අවලාද නැගීම වැනි කටයුතු වැළැක්විය යුතු බවද, රටේ සංස්කෘතිය ආරක්ෂා වන පරිදි එදා සිට රටතුළ පැවති වටිනා සිරිත් විරිත් සුරකිමින්, රට පාලනය කළ යුතු බවට රජයට උපදෙස් ලබාදීමද මෙම මහා සඟ සමුළුව කැඳවීමේ අරමුණ බවද ආනන්ද හිමියෝ කීහ.
යෝජිත මහා සඟ සමුළුව කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී එළඹෙන 20 වැනි දින පස්වරු 2.00ට පැවැත්වීමට තීරණය කර ඇති බවද ආනන්ද හිමියෝ කීහ.
මෙරට බෞද්ධාගමට මුල්තැන දෙමින් සහ එම ආගම පෝෂණය කරමින්, මෙරට පාලනය කිරීමට රටේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව සඳහන්ව ඇතත්, වත්මන් රජය රට පාලනය කිරීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා නොසලකා කටයුතු කරන බව පෙනීයන බවද, මේ තත්ත්වය නිවැරදි කිරීමට සම්මුති මාලාවක් ඇති කොට රාජ්‍ය පාලකයන්ට ලබාදීමට යෝජිත මහා සඟ සමුළුවේදී තීරණය කරනු ලබන බවද ආනන්ද හිමියෝ වැඩි දුරටත් කීහ.
යෝජිත මහා සඟ සමුළුව කැඳවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම නිමිත්තෙන්, කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙම කරුණු අනාවරණ කළහ.
නන්දන ශ්‍රී දොරකුඹුර










