කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දීය ආයෝජකයන් පැමිණි අවස්ථාවේ ඊට එරෙහි වී එය කඩාකප්පල් කළ කණ්ඩායමම අද යුගදනවි බලාගාරය සංවර්ධනය කිරීම සදහා ආයෝජකයකු පැමිණ සිටින අවස්ථාවේදීද විරෝධය පළ කිරීම ආරම්භ කොට ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය.
එම විරෝධය හේතුවෙන් අද කොළඹ වරායේ නැගෙනහිරි ජැටියට සිදුව ඇති දේ සම්බන්ධයෙන් කනගාටුවක් ඇති වන බවද ඒ මහතා සදහන් කර සිටියේය.
අද යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ප්රමාණයක් සංවර්ධන කටයුතු කිරීම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැනි විශාල මුදලකට ෆෝට්රස් සමාගමට ලබා දී ඇති බව කී ඒ මහතා, මෙවැනි නව බලාගාරයක් නිර්මාණය කිරීම සදහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 225ක මුදලක් වැයවන බවත්, ඒ හේතුවෙන් ලංකාවට වාසිසහගත ලෙස ගිවිසුම් සකස් කොට ඇති බවත් ඒ මහතා කීවේය.
මෙම ව්යාපෘතිය හරහා සුපිරිසුදු බලශක්තිය පරිසර හිතකාමී ලෙස නිපදවන බව සහ අඩු මිලට විදුලිය ලබා ගත හැකි බව පෙන්වා දුන් මන්ත්රීවරයා මෙය විකිණීමක් නොව කොටස් පැවරීමක් පමණක් බවත්, මේ ආකාරයෙන් සියල්ලටම විරෝධය පළ කිරීමෙන් වන්නේ රටේ සංවර්ධන කටයුතු ඇන හිටීම පමණක් බවත් පෙන්වා දුන්නේය.
අද එය කොළඹ වරායේ නැගෙනහිර ජැටියට සිදුව ඇති දෙයින් පැහැදිලි වන බවද මන්ත්රීවරයා කියා සිටියේය.
යුගදනවි ගිවිසුමට ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මන්ත්රීවරයා මේ බව සදහන් කළේය.









