• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ මැයි රැලියේදී ඇතිවෙන්න ගිය සජබ-එජාප එකමුතුව අන්තිම මොහොතේදී එජාප භූතයන් දෙන්නා කැඩුවේ මෙහෙමයි! බැරිම තැන රුවන් ෆෝන් එකත් ඕෆ් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

May 3, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

භූතයෝ වැඩ අල්ලයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනකු කටයුතු කරමින් සිටින බව අප මෙම තීරයේ ලිව්වේ වරක් දෙවරක් නොවේ. පක්ෂ දෙක අතර යම් සමගියක් ගොඩනැගීම සඳහා උදාවූ සෑම අවස්ථාවකදීම සජබය පැත්තෙන් සහ එජාපයේ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් අවංක උත්සාහයක් දැරුවද මේ භූතයන් දෙදෙනා තිරය පිටුපස සිටිමින් විවිධ නූල් සූත්තර යොදමින් එම එකමුතුව කඩාබිඳ දැමීමට කටයුතු කළ ආකාරය සාධක සාක්ෂි සහිතව අපි එහිදී අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.Sri Lanka Latest News

මෙවර මැයි රැලිය මුල් කොටගෙන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මාස ගණනාවක් තිස්සේ තමන්ගේ සිතේ තිබූ සැලැස්මක් ක්‍රියාවට නගමින් පක්ෂ දෙක අතර දේශපාලන එකමුතුව සහතික කිරීම සඳහා සජබයේ මැයි රැලියට එජාපයටද ආරාධනා කිරීමට පියවර ගත්තේය. නමුත් සජිත් මෙවැනි ආරාධනාවක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බවත්, එසේ මැයි දිනයේදී පක්ෂ දෙකම එකම වේදිකාවකට ගොඩවුවහොත් තමන්ගේ පැවැත්මට සහ තමන්ගේ අරමුණුවලට බාධා වන බවත් වටහාගත් මෙම සූත්තර භූතයන් දෙදෙනා සුපුරුදු පරිදි නැවතත් මෙම එකමුතුව කඩාබිඳ දැමීම සඳහා විවිධ නූල් සූත්තර යෙදීමට පියවර ගත්හ. ඒ අනුව මුල් අවස්ථාවේදීම රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් ලංකාදීප වෙබ් අඩවිය යොදා ගනිමින් නමක් ගමක් නැති පුවතක් පළකරමින් ඔවුන් කියා සිටියේ මැයි දිනය වෙසක් පොහෝ දිනට යෙදී ඇති බැවින් එදින දේශපාලන කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසට නායක ස්වාමින්වහන්සේලා දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවකි. කිසිදු නායක හිමිනමකගේ හෝ සාමණේර හිමිනමකගේ හෝ නමක් ගමක් නොමැතිව පළවූ මෙම පුවතට මුල් අවස්ථාවේදීම එල්ල වූ දැඩි විරෝධය හේතුකොට ගෙන පැය කීපයක් යෑමෙන් පසු එම පුවත ගලවා දැමීමට කිසියම් කණ්ඩායමක් කටයුතු කොට තිබිණි.

සජිත් මේ පක්ෂ දෙක එකතු කිරීමේ කටයුත්ත සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහාම තමන් අතට ගත්තේ පියවරෙන් පියවර මෙම පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමේ දිගුකාලීන සැලැස්මක් ඔළුවේ තබාගෙනය. ඒ අනුව පළමු අදියරේදී සජිත් එජාපයේ දෙවැනි පෙළ ජ්‍යෙෂ්ඨයන් වූ රුවන් විජයවර්ධන, නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ටාජ් සමුද්‍රා හෝටලයේදී හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව සජිත් සාගල රත්නායකවද එහිදීම හමුවී ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාවෙන් පසු සජිත් සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එජාපයේ මහලේකම්වරිය වූ තලතා අතුකෝරාල මහත්මියවද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්හ. මේ සාකච්ඡා තුනම සජිත් අවසන් කොට තිබුණේ පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වූ සජබ – එජාප සාමාජිකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

මේ ආකාරයට සජිත් සජබය හා එජාපය එකතු කිරීමට සැලසුම්සහගත ගමනක සිටියදී මෙම එකමුතුව කඩාකප්පල් කිරීමට ඇතැම් අවස්ථාවලදී එජාප නායක රනිලුත්, අප පෙර සිටම සඳහන් කළ එජාපයේ සිටින සූත්තර භූතයන් දෙදෙනාත් විවිධ උපායන් යෙදූහ. ඒ සඳහා ඔවුන්ට බලපෑ පොදු හේතු මෙන්ම පෞද්ගලික හේතුද නොතිබුණා නොවේ. රනිල් සෑම අවස්ථාවකදීම බැලුවේ තමන්ට එරෙහිව අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මක වන බැවින් එම නඩුව අවසන් වීමට පෙර පක්ෂ දෙක එකතු වූ බව පෙන්වා යම් දේශපාලන හයියක් තමන් සතුව ඇති බව රටට මේ හරහා පෙන්වීමටය. භූතයන් දෙදෙනා මේ පක්ෂ දෙකේ එකමුතුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සුපුරුදු පරිදි සජබ – එජාප පාක්ෂිකයෙක් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කරනවා වෙනුවට පිටින් හයර් කරපු අපේක්ෂකයකු ඇතුළට ගෙනැවිත් පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේ සැලැස්ම ඇතිවය. නමුත් සජිත් සිටියේ ඒ කිසිවකට යට නොවෙමින් යම් සැලැස්මක් සිතේ තබාගෙන මෙම පක්ෂ දෙක ක්‍රමානුකූලව එකතු කිරීමේ මෙහෙයුම ක්‍රියාවට නංවමින්ය. සජිත්ගේ ඔළුවේ වැඩ කළේ මෙම පක්ෂ දෙක එකතු කිරීමට හොඳම දිනය මැයි දිනය ලෙසටය. ඒ අනුව පසුගිය සඳුදා දිනයේදී පළමු වතාවට සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින් සජබ මැයි රැලියට සහභාගි වන ලෙස එජාපයටත්, එජාප පාක්ෂිකයන්ටත් විශේෂ ආරාධනාවක් සිදුකළේය. ඊට පැය කීපයකට පසු සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියට ලිපියක් යොමුකරමින් ඒ සඳහා අවශ්‍ය නිල ආරාධනාවද සිදුකළේය. සජිත් එසේ කළේ යම් යම් ස්ථානවල තලතා අතුකෝරාල මහත්මිය ‘සජිත් මේ පක්ෂ දෙක එකතු කරන්නේ නෑ.. එයාට එහෙම ඕනෑකමක් නෑ.., මේ කරන්නේ අපිව රවට්ටන එක…’ යනුවෙන් තැන් තැන්වල ප්‍රකාශ කර තිබූ බවට තොරතුරු ලැබී තිබූ පසුබිමකය. තලතා අතුකෝරාල පමණක් නොව සජබයේ සිටින ඇතැමුන් පවා මේ පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් සජිත් ගෙන යන වැඩපිළිවෙළ තැන් තැන්වල ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට තිබිණි. නමුත් සජිත්ගේ ඔළුවේ තිබුණේ ලක්ෂ ගණනක් ජනතාව එකතු වන මැයි දිනය ඒ සඳහා තෝරාගෙන ඊට දැවැන්ත වටිනාකමක් ලබාදීමටය.

තලතා ආයෙත් පටන් ගත්තා

කෙසේ වෙතත් සජබයෙන් ලැබුණු මෙම නිල ආරාධනාවත් සමග පක්ෂ දෙක මැයි දිනයේදී එකතු වුවහොත් තමන්ගේ සියලු සැලසුම් අසාර්ථක වන බව වටහා ගත් එජාපයේ සිටින මේ භූතයන් දෙදෙනා මෙවර කළේ තලතාව ඒ සඳහා ඉත්තෙක් ලෙස යොදාගනිමින් මෙම එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපය ඇතුළේ මෙහෙයුමක් දියත් කිරීමටය. ඒ අනුව ඔවුන් පළමුව රනිල් හමුවට ගොස් කියා සිටියේ පොහෝ දිනයේ එජාපය දේශපාලන කටයුතුවල නිරත නොවන බැවින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියාය. එමෙන්ම තලතාටද එම යෝජනාවම මෙම භූතයන් දෙදෙනා ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. මෙහිදී තලතා අතුකෝරාල සම්බන්ධයෙන්ද යමක් වාර්තා කළ යුතුව තිබේ. ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන විට තලතා අතුකෝරාල සිටියේ සජබයේය. නමුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන සමයේ අනුරව ජයග්‍රහණය කිරීම සඳහා යම් රහස් ගනුදෙනුවක් අනුර සහ රනිල් අතර ගොඩනැගී තිබිණි. ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම සඳහා පළමු අවස්ථාවේදීම සජිත්ට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ යුතු නිසා සජිත්ගේ පිලෙන් ප්‍රබලයකු කඩාගැනීමේ අවශ්‍යතාව අනුරට තිබිණි. අනුරගේ සිතේ තිබූ එම සැලැස්ම රනිල් ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තලතා අතුකෝරාලව සජබයෙන් කඩා තමන් සමීපයට ගැනීමෙනි. එහිදී තලතා ජනාධිපතිවරණය කට මුල තබා දීර්ඝ ලිපියක් ලියමින් සජිත්ට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කොට යළිත් රනිල් සමීපයට යෑමට කටයුතු කළාය. ඉන් අනතුරුව දේශපාලන වේදිකාවේදීද සජිත්ව දැඩිව විවේචනය කිරීමට තලතා අතුකෝරාල පියවර ගත්තාය. එය අනුරගේ ජයග්‍රහණය සඳහා බලපෑ විශාල සාධකයක් විය. ඒ අනුව මෙවර ගොඩනැගෙමින් පැවැති සජබ – එජාප එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා එජාපයේ සිටින භූතයන් දෙදෙනා යොදාගත්තේ මේ කියන තලතාවය.

ඒ අනුව සජිත් කළ නිල ආරාධනාවෙන් පසු පක්ෂ දෙක මැයි දිනයේදී නිල වශයෙන් එකතු වනු ඇතැයි සිතා සිටි සජබ – එජාප පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු සහ ඔවුන් තුළ තිබූ පිබිදීම සුනුවිසුණු කරමින් මේ භූතයන් දෙදෙනා එජාපය ඇතුළේ අඩුම තරමේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ කළමනාකරණ කමිටුව ඇතුළේ හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර හෝ කිසිදු සාකච්ඡාවක් සිදු නොකර එජාපය සජබ මැයි රැලියට සහභාගි නොවන බව තලතා හරහා ප්‍රකාශයට පත්කරවීමට පියවර ගත්හ. ඒ අනුව තලතාද මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත්ටද අපහාසයක් වන පරිදි ප්‍රකාශ කොට සිටියේ මැයි දිනය වෙසක් පොහෝ දිනට යෙදී ඇති බැවින් එජාපය පොහෝ දිනවල දේශපාලනය නොකරන බව කියා සජබ මැයි රැලියට එජාපය සහභාගි නොවන බව ප්‍රකාශයට පත්කිරීමය. එහිදී මහා සොයාගැනීමක් කළා සේ තලතා කියා සිටියේ සජිත්ගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා පවා අගමැති ධුරය දරද්දී එජාපය පොහෝ දිනවල දේශපාලන වැඩසටහන්වලට සම්බන්ධ නොවන බවට ප්‍රකාශ කොට ඇති බවකි. එමෙන්ම එහිදී මැයි දින ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් සජබයට යවන ලිපියද මාධ්‍ය හමුවේ කියවීමට තලතා කටයුතු කළාය.

නමුත් තලතා කළ මෙම ප්‍රකාශය එජාපයටම පාරාවළල්ලක් වනු ඇතැයි එජාප භූතයන් දෙදෙනා හෝ තලතා හෝ ඒ මොහොතේ නොසිතන්නට ඇත. ඊට හේතු වූයේ තලතා සජබය ඉලක්ක කොට ගැසූ මෙම දේශපාලන බෝම්බය මොහොතක් යෑමට මත්තෙන් එය සිරිකොත ඇතුළේදීම පුපුරා ගිය ආකාරයක් දැකගන්නට ලැබුණු නිසාය. අතීතයේදී ලක්ෂ 50ක පමණ ඡන්ද පදනමක් එජාපය සතුව තිබුණද, වසර 32ක රනිල්ගේ එජාප නායකත්වය යටතේ ලැබූ දැවැන්ත දේශපාලන පරාජයන් හේතුකොට ගෙන අද වනවිට එජාප ඡන්ද පදනම ඇත්තේ ලක්ෂ 2ක් වැනි මට්ටමකට පහළ බැසය. ඒ අනුව තලතා කළ මෙම ප්‍රකාශයත් සමග දිගට හරහට සිරිකොතට ලැබුණු ඇමතුම්වලින් තලතාගේ එම ප්‍රකාශයත්, එජාපය සජබ මැයි රැලියට සහභාගි නොවීමට ගත් තීරණයත් දැඩිව විවේචනය කළ ආකාරයක් දැකගත හැකි විය. එපමණක් නොව, එජාපය පොහොය දිනවල දේශපාලනය නොකරන බවට තලතා ප්‍රකාශ කළද 2018 ජනවාරි 30 වැනිදාට යෙදී තිබූ දුරුතු පොහෝ දිනයේදී රනිල්ගේ නායකත්වයෙන් එජාපය ගම්පහ පවත්වා තිබූ දැවැන්ත දේශපාලන රැලියක ඡායාරූපද එහිදී එළියට ආ ආකාරයක් දැකගත හැකි විය.

නිව්ස් ප්ලාන්ටර්

මේ ආකාරයට එජාපය සජබ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම එජාප පාක්ෂිකයන්ගේ පමණක් නොව, එජාපය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු ලියන මාධ්‍යවේදීන්ගේ පවා කෝපයට හේතු වී තිබිණ. ඒ අනුව ඔවුන් ප්‍රසිද්ධියේම සමාජ මාධ්‍යයේ තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි කැත වැඩක් යැයි කියාය. එමෙන්ම ඉතා දරුණු ආකාරයට එජාප පාක්ෂිකයන් වට්ස්ඇප් මාර්ගයෙන් එජාප භූතයන් දෙදෙනා දියත් කළ මෙම මෙහෙයුම විවේචනය කිරීමට කටයුතු කළ ආකාරයක්ද එහිදී දැකගන්නට ලැබිණි. එය පසුගිය සතිය ඇතුළේ කොතරම් දුරදිග ගියාද කියනවා නම් පාක්ෂිකයන් අතර මේ භූතයන් දෙදෙනාට එරෙහිව කැරැල්ලක් ඇතිවෙන තත්ත්වය දක්වා එය ඔඩුදුවා තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
ඒ අනුව එජාපයේ සිටින දෙවැනි පෙළ නායකයන් තලතාගේ මේ ප්‍රකාශය පිළිබඳ කිසිවක් නොදැන සිටි නිසා වහාම සජිත්ට එම තොරතුර ලබාදෙමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්හ. ඇතැමුන් තුන්වැනි පාර්ශ්වයක් හරහා සජිත්ට මේ පිළිබඳ පණිවුඩ එවීමට කටයුතු කොට තිබිණි. එහිදී ඔවුන් සියල්ලන්ම සජිත්ට දැනුම්දී සිටියේ තලතා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් කිසිවක් පක්ෂය ඇතුළේ සාකච්ඡා නොවූ බවත්, තලතා එවැනි ප්‍රකාශයක් සිදුකරන බව තමන් හෝ නොදැන සිටි බවත්ය. එමෙන්ම පක්ෂය එවැනි තීන්දුවක් ගත් බව ප්‍රකාශ කළද තමන් සජබ මැයි රැලියට සහභාගි වන බව මෙහිදී කියා සිටි එම එජාප ජ්‍යෙෂ්ඨයෝ සජබ මැයි රැලියට සහභාගි වන ලෙසට තමන්ටද පාක්ෂිකයන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වන බවද සජිත්ට දැනුම් දී සිටියහ. මෙහිදී සජිත්ද ඒ එජාප ජ්‍යෙෂ්ඨයන්ට කියා සිටියේ එකම එක කතාවක් පමණි.

‘මම මේ හැම දෙයක්ම කළේ හිත හොඳින් අවංකව. මේ පක්ෂ දෙක එකතු කරන්න ඕනේ කියන ස්ථාවරයේ අවංකව මමත් ඉන්නවා. මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් මේ ආණ්ඩුව රනිල් හිරේ දාපු වෙලාවේ ඒ ප්‍රශ්න ඔක්කොම පැත්තකට දාලා මම රනිල් වෙනුවෙන් පෙනී සිටියේ ඒ නිසයි. හැබැයි ඒ මොහොතේ රනිල්ගේ ‘නිවුස් ප්ලාන්ට් කල්ලිය‘ කළේ මාව හිරේ දානවා කියලා රනිල්ගේ පවුලේ පත්තරවල බොරු නිවුස් ගහපු එකයි. මම මේ වැඩපිළිවෙළේදී කිසිම බොරුවක් කළේ නෑ. මම ඒකට ටිකක් කල් ගත්තේ පක්ෂ දෙක එකතු කරන්න හොඳම දිනය මැයි දිනය කියලා මගේ ඔළුවේ තිබුණු නිසයි. ඔය කීප දෙනෙක් එකතු වෙලා මේ පක්ෂ දෙක එකතු වෙන වැඩේ නවත්තන්න හැදුවට මම ඒක කිසිම විදියකින් නවත්තන්න ඉඩ තියන්නේ නෑ. අපි එකතු වෙලා අපේ ගමන යමු…’ යනුවෙන් සජිත් එහිදී තමන්ට කතා කළ එජාපයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ට කියා සිටි කාරණය විය.

ඒ අනුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් හෝ නොදැන, එජාපයේ කිසිදු වගකිව යුතු තැනක සාකච්ඡා නොකොට තලතා එවැනි ප්‍රකාශයක් සිදුකළේ කෙසේද? එවැන්නක් කරන ලෙසට තලතාට උපදෙස් ලැබුණේ කොහෙන්ද? අඩුම තරමින් එවැනි තීන්දුවක් ගත් බවට රනිල් හෝ පක්ෂයේ කිසිදු තැනක ප්‍රකාශ කොට තිබුණේද නැත. පක්ෂයේ කිසිදු ජ්‍යෙෂ්ඨයකුට දුරකතන මාර්ගයෙන් හෝ දැනුම් දී තිබුණේ නැත. ඒ අනුව අපට ඇති ඉතා විශ්වාසකටයුතු ආරංචිවලින් කියැවෙන්නේ රනිල්ගේ පණිවුඩ පක්ෂය ඇතුළට සහ මාධ්‍ය වෙත ගෙනයන රනිල්ගේ මාධ්‍ය ඒකකයේ සිටින ‘නිව්ස් ප්ලාන්ටර්’ හරහා මෙම පණිවුඩය තලතාට ලැබී ඇති බවකි. ‘රනිල් මෙහෙම කිව්වා…, රනිල් මෙහෙම කියන්න කිව්වා…’ යනුවෙන් කියමින් එජාපයේ නායකයන් වෙත පණිවුඩ රැගෙන යන්නේ රනිල්ගේ මාධ්‍ය ඒකකයේ සිටින මේ ‘නිව්ස් ප්ලාන්ටර්’ විසිනි. ඒ අනුව තලතාට මෙම පණිවුඩය ලබාදී ඇත්තේද මේ කියන මාධ්‍ය ඒකකයේ සිටින නිව්ස් ප්ලාන්ටර්ය. නමුත් රනිල් එවැනි ප්‍රකාශයක් පක්ෂයේ කිසිදු තැනක සිදුකර නොතිබූ පසුබිමක එජාප සභාපති හෝ එජාපයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන් හෝ මෙවැන්නක් නොදැන තලතා හරහා මෙම ප්‍රකාශය නිකුත් වීමද පුදුමසහගතය.

රුවන් හරීන් සටනට

කෙසේ වෙතත් මේ ආකාරයට තලතා නිවේදනයක් නිකුත්කොට සජබ මැයි රැලියට සහභාගි නොවන බව ප්‍රකාශ කළද එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨයන් නම් එය පිළිගැනීමට සූදානම් වූයේ නැත. විශේෂයෙන්ම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනත්, එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දුත්, තලතා ඇතුළු කණ්ඩායම විසින් නිකුත් කළ එම නිවේදනය එක් වරම පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත. ඒ අනුව බදාදා රාත්‍රියේ රුවන් සහ හරීන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී රුවනුත් හරීනුත් දෙදෙනාම රනිල්ට දැඩිව පෙන්වා දුන්නේ සජබ මැයි රැළියට ආරාධනා කොට තිබියදීත් ඊට එක්වීම ප්‍රතික්ෂේප කරමින් පක්ෂය විසින් ප්‍රකාශයට පත්කළ මෙම තීන්දුව හේතුකොට ගෙන පාක්ෂිකයන් දැඩි කැලඹීමකටත්, කෝපයටත් පත්ව සිටින බවකි.

‘සර් මේක සම්පූර්ණයෙන්ම වැරැදි තීන්දුවක්. මේ වෙලාවේ අපේ පාක්ෂිකයෝ ඔක්කොම ඉන්නේ සජබයත් එක්ක එකතු වෙලා එකම ගමනක් යනවා දකින්න. සජබයෙන් මැයි රැලියට එන්න කියලා නිල ආරාධනාවක් කළාම අපිට කතා කරපු පාක්ෂිකයන්ගේ තිබුණු උද්‍යෝගය අපට දැනුණා. හැබැයි දැන් පක්ෂය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේකට යන්නේ නෑ කියලා. එහෙම තීන්දුවක් ගත්තා කියලා අපි දන්නෙත් නෑ. දැන් අපේ පාක්ෂිකයන්ට යකා නැගලා ඉන්නේ. මෙහෙම ගියොත් අපිට පාරටවත් බහින්න වෙන්නේ නෑ….’ යනුවෙන් කියමින් රුවන් සහ හරීන් කරුණු දක්වද්දී රනිල් කියා සිටියේ සජබය ආරාධනා කොට ඇත්තේ එජාපයට නොව එජාප පාක්ෂිකයන්ට යැයි කියාය. ඒ අනුව ලිපියේ ආරාධනා කළ ආකාරය පිළිබඳ ගැටලුවක් පවතින බව කියා රනිල් ප්‍රශ්නයෙන් ලිස්සා යෑමට උත්සාහ කළද, රුවන් සහ හරීන් ඊට ඉඩ තැබුවේ නැත.

‘එහෙම එකක් නෑ සර්, ඒ ආරාධනාව කරලා තියෙන්නේ මුළු එජාපයටම. අනෙක අපි ගිය සැරේ සිරිකොතේ අපේ පක්ෂ සම්මේලනය තියද්දි සජබෙටත් ආරාධනා කළා. පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් සිරිකොතට ඇවිත් අපේ පක්ෂ සම්මේලනයට සහභාගි වුණා. ඉතින් ඇයි අපි මැයි දිනය වගේ පක්ෂ දෙකටම එකතු වෙන්න පුළුවන් විශේෂ අවස්ථාවක් මගහැර ගන්නේ….’ යනුවෙන් රුවන් සහ හරීන් කියද්දී රනිල් කියා සිටියේ ‘පක්ෂ සම්මේලනය එකක්, මැයි රැලිය තව එකක්’ යැයි කියාය.

කෙසේ වෙතත් මේ ආකාරයට රුවන් සහ හරීන් සජබ මැයි රැලියට සහභාගි විය යුතු බවට රනිල් සමග සාකච්ඡා කරද්දී ඔවුන් දෙදෙනාටම එක්තරා කාරණයක් වැටහී ගොස් තිබිණි. ඒ, කවුරුන් හෝ පිටස්තර පුද්ගලයන් කිහිප දෙනකු රනිල්ගේ ඔළුවට විසබීජ දමා සජබ මැයි රැලියට සහභාගි නොවිය යුතු බව කාවද්දා ඇති බවකි. ඒ අනුව ඒ පිළිබඳ තොරතුරු විමසා බලද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ එළියේ සිටින මහාචාර්යවරයකු සමග එක්ව එජාපයේ සිටින භූතයන් දෙදෙනා සහ එජාප මාධ්‍ය ඒකකයේ සිටින ‘නිව්ස් ප්ලාන්ටර්’ හරහා මෙම මෙහෙයුම දියත් කර ඇති බවකි.

කෙසේ වෙතත් රුවන් සහ හරීන් දිගින් දිගටම සජබ මැයි රැලියට එජාපය සහභාගි වියයුතු බවට අදහස් දැක්වීමෙන් අනතුරුව අවසානයේදී රනිල්ටද ඊට එකඟ නොවී සිටිය නොහැකි විය. ඒ අනුව රනිල් සජබ මැයි රැලියට සහභාගි වීමේ අවසරය එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ලබාදීම විශේෂ සිදුවීමක් විය.

කෙසේවෙතත් රනිල් විසින් සජබ මැයි රැලියට එක්වීම සදහා රුවන්ට අනුමැතිය ලබා දුන් බව මොහොතක් යාමට මත්තෙන් එජාපයේ කුමන්ත්‍රණකාරී භූතයන් දෙදෙනාට ආරංචි විය. ඒ අනුව මෙම භූතයන් දෙදෙනා රනිල්ට දැඩි බලපෑමක් එල්ල කරමින් කියා තිබුණේ රුවන්ට කිසිසේත්ම සජබ මැයි රැලියට සහභාගී වීමට අවසර ලබා නොදිය යුතු බවකි. එමෙන්ම රුවන්ටද විවිධ පාර්ශ්වයන් හරහා රුවන්ටද මේ සම්බන්ධයෙන් දැඩි පීඩනයක් එල්ල කිරීමට මේ භූතයන් දෙදෙනා කටයුතු කළහ. මෙම පීඩනය කෙතරම් ප්‍රබල වූවාද කියනවා නම් අවසානයේදී රුවන් කළේ සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට තැබීමය. අඩුම තරමේ සජබ ජ්‍යෙෂ්ඨයන්ට පවා මේ හේතුවෙන් රුවන්ව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබුණේ නැත.

කෙසේවෙතත් අවසානයේදී රුවන් වෙනත් දුරකතනයක් හරහා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කතා කොට පක්ෂයේ ඇතැමුන්ගෙන් සජබ මැයි රැළියට සහභාගී නොවන ලෙසට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් මද්දුමබණ්ඩාරව දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී තමන්ට බලපෑම් කළ පිරිසේ නම් පවා රුවන් මද්දුමබණ්ඩාරට අනාවරණ කිරීම විශේෂ සිදුවීමක් විය. එල්ල වූ මේ බලපෑම් හේතුකොටගෙන අවසානයේදී රුවන්ද ඊට සහභාගී වෙමින් වැළකී සිටියේය.

සජිත්-ඉරාන් හමුව හෝටලයක

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ දිගින් දිගටම මුහුණ දුන් දේශපාලන පසුබෑම මුල්කොට ගෙන මැයි 01 වැනි දින පවත්වන රැලිවලට පෙරාතුව පක්ෂය කෙළින් කටින් සිටුවා ගැනීම සඳහා ජනප්‍රිය තීන්දු තීරණ කීපයක් ගැනීමට මාලිමා ආණ්ඩුව සූදානමින් සිටින බවකි. විශේෂයෙන්ම බාල ගල්අඟුරු හේතුකොට ගෙන ජනාධිපතිවරයාගේ අතිසමීපතමයකු වූ කුමාර ජයකොඩි හට ඇමැති ධුරයෙන් ඉවත් වන්නට සිදුවීම, ඩොලර් 286ක් වැනි ඉතා ඉහළ මිලකට ඩීසල් බැරලයක් මිලදී ගැනීම, ඇමැති ලාල්කාන්තගේ තට්ටු තුනේ සුපිරි නිවස, ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා භාණ්ඩාරයෙන් නමක් ගමක් නොදන්නා ගිණුමකට බැරකර තිබීම වැනි සිදුවීම් හේතුකොට ගෙන ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ පසුබෑම්වලින් යම් තරමකට හෝ ගැලවීම සඳහා ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයෙන් ශම්මි සිල්වා මහතා ඉවත් කොට එය සජබ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම වර්තමානයේදීද සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයකු මෙන්ම කළමනාකරණ කමිටුවේ සාමාජිකයකුද වන ඉරාන් වික්‍රමරත්න මහතා යටතට පත්කිරීමටය. ඒ අනුව පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය අප අවසන් කළේ ජනාධිපතිවරයා සහ ශම්මි අතර ඉතා විශාල හිතවත්කමක් පවතින නිසා මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව කියමිනි.

මේ ආකාරයට ශම්මි ඉවත් කොට ඉරාන්ව පත්කිරීමට යෝජනා වීමත් සමග ඉරාන් සජබ නායක සජිත්ටද පණිවුඩයක් එවමින් තමන්ට මේ සම්බන්ධයෙන් සජිත් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් හමුවීමට තමන් බලාපොරොත්තු වන බවත් දැනුම් දී සිටියේය. ඒ වනවිටත් ඉරාන් ජනධිපතිවරයා හමුවී යම් එකඟතාවක් ඇතිකොටගෙන ඇති බවට වූ තොරතුරු විවිධ පාර්ශ්වවලින් සජිත්ටද වාර්තා වී තිබිණි. ඒ අනුව සජිත් කළේ එම හමුව විපක්ෂ නායක කාර්යාලයෙහි නොව කොළඹ පිහිටි තරු පහේ හෝටලයක පැවැත්වීමට හැකි බව ඉරාන්ට දැනුම් දීමය. එම දැනුම්දීමට අනුව සජිත් හා ඉරාන් අතර පැවැති සාකච්ඡාවේදී තමන්ට ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ඉරාන් සජිත්ට දැනුම්දී සිටියේය.

‘අපි එදා ඉඳන් ක්‍රිකට් ආයතනය සුද්ද කරන්න ඕනේ කියලා ලොකු දේශපාලන සටනක් අරන් ගියා. ඒ සටන ඔබතුමා තමයි පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත විදියට අරන් ගියේ. දැන් මට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා ජනාධිපතිතුමාගෙන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ධුරය බාරගන්න කියලා. ජනාධිපතිතුමාටත් ඕනේ මේක දේශපාලනයෙන් තොර තැනක් කරන්න. ඒ හින්දා මට මේ තනතුර බාරගන්න ඔබතුමාගේ අනුමැතිය අවශ්‍යයි.’ යනුවෙන් ඉරාන් සජිත්ට කියද්දී සජිත් කියා සිටියේ තමා සිටි එම ස්ථාවරයේ තවමත් කිසිදු වෙනස්කමක් සිදුව නොමැති බවකි.

‘ක්‍රිකට් ආයතනය දේශපාලනයෙන් තොර, දූෂණයෙන් තොර තැනක් බවට පත්කරන්න ඕනේ කියලා අපි එදා ඉඳන් සටන් කළා. ඒ කතාව හරි. හැබැයි මෙතැනදි අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි කිසිදු දේශපාලනඥයෙක් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙන්න බෑ කියලා. මොකද මේ ක්‍රිකට් එක විනාශ වුණේ දේශපාලන අතපෙවීම් හින්දා. ඒ හින්දා තමයි අපි එදා ඉඳන් කිව්වේ මේ පරිපාලනය දේශපාලනඥයන්ට නෙවෙයි ක්‍රිකට් ගැන දන්න, ක්‍රිකට් ගහලා තියෙන, ක්‍රිකට් වෘත්තිකයන්ටම දෙන්න ඕනේ කියලා…’ යනුවෙන් එහිදී සජිත් සිය ස්ථාවරය ඉරාන්ට දැනුම්දී සිටියේය.

යනවා නම් යන්න

නමුත් ඒ වනවිටත් ඉරාන් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා වෙත එකඟතාව පළකොට තිබීම නිසා සජිත්ට දැනුම්දී සිටියේ ඒ වෙනුවෙන් තමන් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ සජබ කළමනාකරණ කමිටුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවය. නමුත් තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ නිලතලවලින් ඉවත් වූ දිනෙක යළිත් සජබය සමග දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තමන් සූදානම් බවත් එහිදී ඉරාන් සජිත්ට කියා සිටියේය.

ඉරාන්ගේ එම ප්‍රකාශයට නම් සජිත් ඒ මොහොතේ කෙළින් උත්තරයක් දුන්නේ නැත. ඒ වෙනුවට සජිත් කියා සිටියේ දේශපාලන පසුබිමක් පිටුපස තබාගෙන ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ වීම තමන්ට කිසිසේත්ම පිළිගත නොහැකි යැයි කියාය.

මේ ආකාරයට සජිත් සහ ඉරාන් අතර පැවැති සාකච්ඡාවෙන් පසු මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත්, සජබ සභාපති කබීර් හෂීම් මහතාත්, සජිත්ගේ හිතවතකු වූ ලකී ෆොන්සේකා මහතාත් ඊට පසු දින ඉරාන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. ඒ, කොළඹ පිහිටි කබීර්ගේ නිවෙසේදීය. එහිදීද ඉරාන් ජනාධිපතිවරයාගේ ආරාධනාව භාරගත් හේතු මද්දුමබණ්ඩාරටත්, කබීර්ටත් දැනුම්දී සිටීමට පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී ඉරාන් තමන් පක්ෂයේ කමිටුවලින් ඉල්ලා අස්වුවද තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව මද්දුමබණ්ඩාරටත්, කබීර්ටත් දැනුම්දී සිටියේය. නමුත් ඉරාන්ගේ එම යෝජනාවට කබීර් සහ මද්දුමබණ්ඩාර එකඟ වූයේ නැත.

‘ඉරාන් ඔයා ඔය ගන්නේ ජනාධිපතිතුමාගේ පත්වීමක්. එතකොට ඔයාට තවදුරටත් සජබය එක්ක කටයුතු කරන්න බෑ. කොටින්ම කියනවා නම් සජබ සාමාජිකත්වය තියාගෙන ජනාධිපතිවරයාගේ තනතුරක් භාරගන්න ඔයාට බෑ. මොකද ඔයා ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිහිල්ලා ගන්න තීන්දු තීරණ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒවා හොඳ වෙන්නත් පුළුවන්. නරක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කිසිම දේක වගකීම සජබයට ගන්න බෑ. ඒ හින්දා ඔයා ජනාධිපතිතුමා දෙන තනතුරක් භාරගන්නවා නම් සජබයෙන් අයින් වෙලා ඒ තනතුර භාරගන්න. ඔයා ඒ රාජකාරිය ඉවර කරලා ආපහු සජබයට එනවා නම් එදාට අපි ඒ ගැන තවදුරටත් කතා කරමු….’ යනුවෙන් එහිදී කබීරුත්, මද්දුමබණ්ඩාරත් ඉරාන්ට දැනුම් දුන් බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ෂම්මි අනුර හමුවේ

ඉරාන් සහ සජබ ජ්‍යෙෂ්ඨයන් අතර මේ ආකාරයෙන් සාකච්ඡා පැවැතෙද්දී පසුගිය සතියේ අප වාර්තා කළ පරිදිම ජනාධිපතිවරයා සහ ශම්මි සිල්වා අතරද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැත්විණි. මෙම හමුවට ශම්මි ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික වූ සුජීව ගොඩලියද්ද ද සහභාගි කරගැනීමට කටයුතු කොට තිබිණි. ශම්මි සහ ජනාධිපතිවරයා අතර අතීතයේ සිටම අතිශය සමීප හිතවත්කමක් පවතින බව බොහෝ දෙනකුට රහසක් නොවේ. රනිල් ජනාධිපතිවරයාව සිටියදී රනිල් යටතේ ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ රොෂාන් රණසිංහ එදා ශම්මිව ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විශාල සටනක් දියත් කළේය. පාර්ලිමේන්තුවේ ශම්මිට එරෙහිව යෝජනාවක්ද ඉදිරිපත් කළේය. එහිදී ශම්මිට එරෙහිව පාර්ලිමේන්තු විවාදයේදී අනුර වචනයක් හෝ කතා කළේ නැත. අඩුම තරමෙන් මාලිමාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් දෙදෙනා වූ හරිනි සහ විජිත හෝ ශම්මිට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට එදින පාර්ලිමේන්තුවේ සිටියේද නැත. එමෙන්ම 2024 ජනාධිපතිවරණයෙන් පසු අනුර ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුවද පසුගිය වසර එකහමාරක කාලය තුළ ශම්මිට එරෙහිව අතවත් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැත.

කෙසේ වෙතත් සිකුරාදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශම්මිට කෙළින්ම දැනුම්දී සිටියේ තමන්ට ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නිසා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන්නැයි කියාය. ඒ අනුව සඳුදා දිනයේදී සියලු දෙනාම ක්‍රිකට් තනතුරුවලින් ඉවත් විය යුතු බවද ජනාධිපතිවරයා ශම්මිට දැනුම්දී සිටියේය. ඊට පිළිතුරු වශයෙන් ශම්මි කියා සිටියේ සඳුදා දිනයේ එය කළ නොහැකි බවත්, තමන් ඉල්ලා අස්වීමට සූදානම් නමුත් ඊට පෙර ක්‍රිකට් ආයතනයේ තනතුරු දරන අනෙකුත් සාමාජිකයන් සමග සහ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත්ය. නමුත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මුලින් ශම්මිට ඉවත් වන ලෙසත්, ඉන් අනතුරුව තමන් විසින් අනෙක් සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය. නමුත් නැවතත් ශම්මි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ කිසිදු ගැටුමක් ඇතිකරගත යුතු නැති බවත්, බදාද දිනය වනවිට තමන් ඇතුළු සියලු දෙනාම ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් සහ විධායක කමිටුව සමග සාකච්ඡා කිරීම සඳහා තමන්ට බදාදා දිනය දක්වා පමණක් කාලය ලබාදෙන ලෙසත්ය.

ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් පසු ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ද දෙදෙනා අතර දීර්ඝව තවදුරටත් තොරතුරු හුවමාරු විය. එහිදී ශම්මි කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබෙන විදෙස් තරගාවලි අඩුවීම හේතුකොට ගෙන ක්‍රිකට් ආයතනය මේ වනවිට මූල්‍යමය වශයෙන් යම් පසුබෑමකට මුහුණ දී සිටින බවය. මේ වසර මැදදී ඉන්දියාව සමග ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද තවමත් ඉන්දියාව ඊට අවශ්‍ය අනුමැතිය ලබාදී නොමැති බවද ශම්මි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා ශම්මිට දැනුම් දී සිටියේ තමන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කොට තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නම් යැයි කියාය. ජනාධිපතිවරයා ලබාදුන් එම පිළිතුර හරහා ජනාධිපතිවරයා ශම්මිිට නොකියා කියා සිටියේ කවුරුත් සිතා සිටිනවාට වඩා ලොකු හයියක් තමන්ට ඉන්දියාවෙන් ඇති බවය. බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ කාරණාවක් වන්නේ ශම්මි සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා වන ඉන්දීය ජාතික ජේ. ෂා අතර ඉතා සමීප සබඳතාවක් පවතින බවකි. නමුත් ජනාධිපතිවරයා මේ ලබාදුන් පිළිතුර හරහා ඉන්දියාවේ ජේ ෂාට වඩා ප්‍රබල පුද්ගලයන් තමන් දන්නා හඳුනන බවක් ශම්මිට නොකියා කියා සිටි ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවේදී පිහිටුවන ක්‍රිකට් කමිටුව සම්බන්ධයෙන්ද දෙදෙනා අතර අදහස් හුවමාරු වී තිබිණි. එහිදී ශම්මි ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේ අතුරු පාලක මණ්ඩලයක් පත්කරන්නේ නම් ඊට දැනට ක්‍රිකට් පරිපාලනයේ සිටින සාමාජිකයන් හතර පස් දෙනකුද පත්කිරීමට පියවර ගන්නැයි කියාය. එහිදී ශම්මි පුද්ගලයන් හතර පස් දෙනකුගේ නම් පවා ජනාධිපතිවරයාට ලබාදී ඇති බවක් ආරංචිය. නමුත් ජනාධිපතිවරයා ඊට කිසිදු එකඟතාවක් දක්වා නොමැති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අවසානයේදී ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදීමට තමන් ඇතුළු සියලු දෙනා තනතුරුවලින් ඉවත් වීමට සූදානම් බවට වූ සහතිකය ශම්මි විසින් ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගෙන තිබිණි.

ඉන්නේ මාස 3යි

මේ ආකාරයට ශම්මි ජනාධිපතිවරයා වෙත සහාය දක්වමින් තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළද ශම්මි ඇතුළු එම නිලධාරීන් කණ්ඩායම නිකන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව තනතුරුවලින් ඉවත් වීමට කටයුතු කළේ නැත. අද අප ඒ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකරන්නේ තවත් මාස 3කින් ඒ සම්බන්ධ විශේෂ තොරතුරක් ජනතාවට දැනගැනීමට අවස්ථාවක් එනු ඇති බවට අපට ඇති තොරතුරුවලට අනුවය. ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් යෝජනාව පැමිණි වහා ශම්මි සිදුකළේ ලංකාවේ ප්‍රකටම සහ කීර්තිමත් ජනාධිපති නීතිඥවරයකුගෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමය. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිය හිතවතා වන ජේ ෂා සමගද අවස්ථා කීපයකදීම ශම්මි දුරකතනයෙන් සම්බන්ධ වී මේ මේ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කළේය. ඒ අනුව ශම්මි ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීම යොමුකළේ ජනාධිපති නීතිඥවරයාගෙන් ලැබුණු නීති උපදෙස්වලට අනුව සහ ජේ ෂාගෙන් ලැබුණු උපදෙස්වලට අනුවය.

ඒ අනුව ශම්මි ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අතුරු පාලක මණ්ඩලයේ සභාපති ධුරය භාරගත් ඉරාන් කොපමණ කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇද්ද? මුලින් ඉරාන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තමන්ට වසරක කාලයක් අවශ්‍ය බව ඉරාන්ගේ පැත්තෙන් යෝජනා වී තිබූ බවක් ආරංචිය. ඒ අනුව ඉරාන්ට ලබාදෙන කාලය තීරණය කරන්නේ කවුද? ජනාධිපතිවරයාද? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද?

අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ඉරාන්ට ලබාදෙන කාලය තීන්දු කරන්නේ වෙන කවුරුවත් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යැයි කියාය. මෙහිදී ජනාධිපතිවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමත් සමග ඔවුන් දැනුම් දී ඇත්තේ එසේ නම් මාස 3ක කාලයක් සඳහා පමණක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට අවසර ලබාදිය හැකි බවත්, මාස 3ක් ඇතුළත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉරාන් වසරක කාලයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපදෙස්වලට අනුව ජනාධිපතිවරයාගෙන් ඊට ලැබී ඇත්තේ මාස 3ක කාලයක් පමණක් යැයි කියාය. එම මාස තුනේ ප්‍රගතිය බලා තවත් මාස 3ක් ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇති බව ආරංචිය. ඒ අනුව ස්ථිරවම ජනාධිපතිවරයා විසින් ඉරාන්ට ලබාදී ඇත්තේ මාස 3ක කාලසීමාවක් පමණි.

එසේ නම් එම මාස තුනෙන් පසු නිලවරණයක් නොපැවැත්වුවහොත් ලංකාවේ ක්‍රිකට්වලට කුමක් සිදුවේද? නැවත වාතවක් ලංකාවේ ක්‍රිකට් 2023දී සිදුවූවාක් මෙන් තහනම් වනු ඇතිද? ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු නැතත්, ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් දෙදෙනකු ඉදිරි දින කීපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය. ක්‍රිකට් අතුරු කමිටුවට පත්කරන සියලු පත්කිරීම් දෙස බලා එහි කාලසීමාව එම නියෝජිතයන් විසින් තීරණය කරනු ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව මාස තුනක් ඇතුළත ක්‍රිකට් ආයතනය සුද්ද කොට එය ගොඩදැමීමට ඉරාන්ට හැකිවනු ඇද්ද යන කාරණාව මත ඉරාන්ගේ ඉදිරි කාලය තීන්දු වනු ඇත.
කෙසේ වෙතත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය භාරගැනීම සමග ඉරාන් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වයන් සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වන බවට වූ ලිපිය මද්දුමබණ්ඩාර වෙත එවීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදීද ඉරාන්, මද්දුමබණ්ඩාරට දැනුම්දී තිබුණේ තමන් තවදුරටත් සජබ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවකි.
මෙම ලිපිය ලැබීමත් සමග සජබය වහා ඉරාන්ගේ ලිපිය සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව ඉරාන්ගේ ලිපියට ප්‍රතිචාර දැක්වූ සජබ මහලේකම් මද්දුමබණ්ඩාර ඔහුට දැනුම්දී තිබුණේ ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ධුරය භාරගන්නේ නම් සජබ සාමාජිකත්වයෙන්ද ඉවත් වීමට කටයුතු කරන ලෙසය. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් ඉරාන්ගේ ප්‍රතිචාරය සජබය වෙත ලැබී නැත.

අනෙක් පැත්තෙන් අතුරු කමිටුව ඉරාන්ට භාරදෙන අතරවාරයේ අනුර ඊට එල්ල විය හැකි යම් යම් චෝදනාවලින් මිදීම සඳහා කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි වැනි නමගිය ක්‍රීඩකයන්ද අතුරු පාලක මණ්ඩලයට පත්කිරීමට කටයුතු කොට තිබිණි. නමුත් ඉරාන් සභාපති ධුරය භාරගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයට ගිය අවස්ථාවේදී මේ කිසිවකුත් එම ස්ථානයට පැමිණ සිටියේ නැත. එමෙන්ම ඔවුන් එම තනතුරු භාරගත් බවක්ද බ්‍රහස්පතින්දා (30) මෙම ලිපිය සකස්කරන තුරුත් අනාවරණ කර තිබුණේ නැත.

ආණ්ඩුව බෑ කියයි

පසුගිය සතියේ දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන මාතෘකාව වූයේ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න රටට අනාවරණ කිරීමත් සමග විපක්ෂයද එය අතට ගෙන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් රට ඇතුළේ ගොඩනැගීමට කටයුතු කළේය. පසුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කිරීමේදී තවත් අනාවරණයක් කරමින් ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කොට සිටියේ මෙරට තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඇමෙරිකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවූ බව කියන ඩොලර් ලක්ෂ 6ක මුදලක්ද මේ ආකාරයටම අතුරුදන් වී ඇති බවකි. ඒ අනුව එයද පසුගිය සතියේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් ගෙන ගිය විරෝධතා රැල්ලට එක්වූ තවත් මාතෘකාවක් බවට පත්ව තිබිණි.

කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තුවට පැවැත්වීමට නියමිතව ඇති බැවින් එහිදීද මෙම මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන්වීමේ මාතෘකාව එළියට ඇදීමට විපක්ෂය තීරණය කොට තිබිණි. පසුගිය වතාවේ බාල ගල්අඟුරු සිද්ධියේදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් දින පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම හරහා සජබය සම්පූර්ණයෙන්ම එම විශ්වාසභංග විවාදය අතට ගැනීමට කටයුතු කොට තිබිණි. ඒ අකාරයටම මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන් වීමේ සිද්ධියද විපක්ෂයේ අතට ගත යුතු බවද සියල්ලන්ගේම අදහස වී තිබිණි. ඒ අනුව පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සජිත් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී සජිත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දිනක විවාදයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බවකි. ඒ අනුව ගයන්ත විපක්ෂයේ අනකුත් පක්ෂ නායකයන් සමගද සාකච්ඡා කොට පක්ෂ නායක රැස්වීමට සහභාගි වූයේ වෙනදාට වඩා හොඳ සූදානමකින් යුතුවය. ඒ අනුව විපක්ෂයේ පක්ෂ නායකයන් භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් එක් දින විවාදයක් ඉල්ලද්දී සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩුව එය ලබාදිය නොහැකි බව කියා සිටියේය. එහිදී ඔවුන්ගේ තර්කය වී තිබුණේ එම පාර්ලිමේන්තු සතියේදී වියට්නාම් ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට සූදානමින් සිටින බැවින් විවාදයක් සඳහා අවස්ථාවක් ලබාදිය නොහැකි යැයි කියාය. ඒ අනුව එම පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් ගයන්ත පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට පෙර සජිත් ඔහුට දැනුම් දී තිබුණේ අදාළ රැස්වීම අවසන් වූ වහා එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන ලෙසය. ඒ අනුව පක්ෂ නායක රැස්වීම අවසන් වීමත් සමග සජිත්ට ඇමතුමක් දුන් ගයන්ත විපක්ෂය ඉල්ලූ විවාදය ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළ බව සජිත්ට දැනුම් දී සිටියේය. එම දැනුම්දීමත් සමග සජිත් වහාම ගයන්තට කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව රටට දැනුම් දෙන ලෙසය.

‘සාමාන්‍යයෙන් අපි පක්ෂ නායක රැස්වීමේ වෙන දේවල් මාධ්‍ය හමු කැඳවලා රටට කියන්නේ නෑ. හැබැයි මෙතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රටම කතාකරන සිද්ධියක් ගැන විවාදයක් දෙන්න ආණ්ඩුව බැහැ කියලා කියනවා. ඒ හින්දා අපි වහාම මේ ගැන රට දැනුවත් කරන්න කටයුතු කරන්න ඕනේ…’ යනුවෙන් සජිත් කළ දැනුම්දීමට අනුව එදිනම රාත්‍රියේ මාධ්‍ය කැඳවූ ගයන්ත ආණ්ඩුව මෙම සිදුවීම සඟවාලීමට දරන වෑයම පිළිබඳ රට හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

මේ ආකාරයට එක් දින විවාදය ලබා නොදීමත් සමග මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් අතුරුදන් වීමේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවසන්ද? විවාදය ලබානොදීමෙන් මාතෘකාව අවසන් වූ බව මාලිමා ආණ්ඩුව සිතනවාවත්ද?

මාලිමා ආණ්ඩුව බලයට පත්කළ බහුතරයක් පවා සමාජ මාධ්‍යයෙහි තැබූ සටහන්වලින් කියැවුණේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සම්බන්ධයෙන් රටේ බහුතරයක් ජනතාව මාලිමා ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය මෙවැනි සිදුවීම් හරහා තවදුරටත් පළුදු වෙමින් යන බවය. එමෙන්ම ඇතැමුන් සඳහන් කොට තිබුණේ දේශපාලනයේ පැරැණි සාම්ප්‍රදායික කියමනක් වූ ‘මොළේ තියෙනකොට බලේ නෑ – බලේ තියෙනකොට මොළේ නෑ’ යන කාරණාව ආණුඩව මේ වනවිට ප්‍රකට කරමින් සිටින බවය. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විපක්ෂයට එක් දින විවාදයක් ලබාදුන්නේ නම් එම සිදුවීම සම්බන්ධයෙන් විවාද කොට සිද්ධිය එතැනින් අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. නමුත් මෙසේ විවාදය මගහැර යෑමට ආණ්ඩුව උත්සාහ දැරීමත් සමග ආණ්ඩුවට සඟවන්නට යමක් ඇති බව රටට වැටහී යෑම වැළැක්විය නොහැකිය.

එමෙන්ම ආණ්ඩුවේ මෙම තීන්දුවත් සමග විපක්ෂය මේ වනවිට ඉතා සූක්ෂ්ම අයුරින් අනෙකුත් විපක්ෂයේ පක්ෂ සමග අදහස් හුවමාරු කරගනිමින් පසුගිය සතියේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත විය. එහිදී බොහෝ දෙනා පෙන්වා දුන්නේ ආණ්ඩුව සම්ප්‍රදායට පිටුපාමින් මේ ආකාරයට කටයුතු කරන්නේ නම් විපක්ෂයද සම්ප්‍රදායෙන් පිට පනිමින් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්විය යුතු යැයි කියාය. ඒ අනුව විපක්ෂය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට සූදානම් වන්නේ කුමක්ද? එහිදී යෝජනා රැසක් විවිධ පක්ෂවලින් ඉදිරිපත්ව තිබූ අතර ඉන් යෝජනා කීපයකටම දැනටමත් සියලු පක්ෂවල එකඟතාව ලැබී ඇති බවක් ආරංචිය. එමෙන්ම මෙම සිදුවීම හරහා පසුගිය කාලයේදී නොහොඳ නෝක්කාඩුවෙන් පසුවූ විපක්ෂයේ ඇතැම් පක්ෂ නායකයන් එම පැරැණි තරහමරහා අමතක කොට ළඟම හිතවතුන් බවට පත්ව ඇති ආකාරයක්ද දැකගත හැකිය. එමෙන්ම මුහුණට මුහුණ නොබැලූ ඇතැම් පක්ෂ නායකයන් දුරකතනයෙන් කතාබහ කරන තැනට එම මාතෘකාව පත්ව ඇති බවක්ද ආරංචිය. මේ සියලු සිදුවීම් ගෙන බලන විට ලබන 05 වැනිදා බොහෝ දුරට පාර්ලිමේන්තුවේදී හොඳ සෙල්ලමක් බලාගත හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

ජවිපෙන් බළකායක්

පසුගිය සතියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කරද්දී ගොම සහ බිත්තර ප්‍රහාරයකට ලක්වූ අයුරු දැකගන්නට ලැබිණි. එහිදී ඔවුන් පසුව තලංගම පොලිසියේ පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ජවිපෙට සම්බන්ධ මැර කණ්ඩායම් එම ප්‍රහාරය පසුපස සිටියා යැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ එම සිදුවීම රට ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්වෙද්දී ඇතැමුන් ප්‍රශ්න කොට තිබුණේ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය සමයේ ඇතැම් ස්ථානවල කළ ප්‍රකාශයන් ක්‍රියාවට නැංවීම සිදුව ඇති බවක් මෙම සිදුවීම හරහා දැකගන්නට ඇතැයි කියාය. එහිදී ඔවුන් පළමුවෙන්ම පෙන්වා දී තිබුණේ විහාරමහා දේවි උද්‍යානයේ පැවැති විරු සමරුවකදී වරක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටි කතාවකි. ඒ, ආණ්ඩුවට එරෙහිව දාහක් පාරට බසින්නේ නම් ආණ්ඩුව රැකගැනීම සඳහා ලක්ෂයක පිරිසක් පාරට බැසීමට සූදානම් බවට ටිල්වින් කළ ප්‍රකාශයය. ටිල්වින් එසේ කියා සිටියේ ඊට දින කීපයකට ඉහතදී සජබය විසින් ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීම මුල්කොට ගෙනය.

ඊට අමතරව මීට දින කීපයකට ඉහතදී ආණ්ඩුවේ බදුල්ල මන්ත්‍රීවරයා වන දිනිදු සමන් හෙන්නායකද මේ හා සමාන ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔහු පෙන්වා දී තිබුණේ සෑම ගමකින්ම ස්වේච්ඡා තරුණ බළකායක් පිහිටුවීමට මාලිමාව සැලසුම් කර ඇති බවය. ඒ අනුව ගමේ සිටින තරුණයන් 30 දෙනකු එම බළකායට බඳවා ගැනීමට පියවර ගන්නා බවත්, එහි පළමු නියමු ව්‍යාපෘතිය බදුල්ලෙන් ආරම්භ කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පැලවත්තේදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කණ්ඩායමට ගොම ප්‍රහාරයක් එල්ල වීම හරහා මාලිමාවේ ප්‍රධානීන් පෙන්වා දී තිබූ පරිදි ආණ්ඩුවට එරෙහි විරෝධතා මර්දනය කිරීම සඳහා විවිධ කල්ලි කණ්ඩායම් නිර්මාණය කොට ඇද්ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ. එය සත්‍යයක් නම් එය ඉතා භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. රටම දන්නා පරිදි ගෝඨාභයට එරෙහිව මතුවූ අරගලයේදී රටම ගිනිගත්තේද මෙවැනි සිදුවීම් මුල්කොට ගෙනය. අරගලය ඉතා සමකාමී අයුරින් පැවැත්වුණද එය ප්‍රචණ්ඩකාරී එකක් බවට පත්වූයේ අරලියගහ මන්දිරයෙන් එළියට ආ මැර පිරිසක් අරගලයේ සිටි පිරිසට එල්ල කළ ප්‍රහාරයත් සමගය. අවසානයේදී එය කෙළවර වූයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ගිනිබත් කරමින්ය. එමෙන්ම ආණ්ඩුවේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වූ අමරකීර්ති අතුකෝරාල මහතා මහමගදී පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුවය.

පැලවත්තේදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ගොම ප්‍රහාරය පසුපසද එවැනි අරමුණක් ඇති නම් එහි අවසානය ඉතා භයානක එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ ආණ්ඩුව මුලින් මැයි රැලි 3ක පමණක් පැවැත්වීමට තීරණය කොට පසුව දිස්ත්‍රික්ක 21ම ආවරණය වන පරිදි මැයි රැලි පැවැත්වීමට තීරණය කළේ මේ ආකාරයට ගොඩනගන බළකායන් දිස්ත්‍රික් මට්ටමින් සවිමත් කිරීමටදැයි කියාය.

බැසිල් එනවා

ආණ්ඩුව මේ ආකාරයට සිය දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරද්දී පසුගිය සතියේ විපක්ෂය පැත්තෙන් තවත් අරුම පුදුම ආකාරයේ සිදුවීමක් වාර්තා විය. ඒ, මේ වනවිට වසර ගණනක් තිස්සේ විදේශගතව සිටින පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මුල්කොට ගෙනය. පොහොට්ටුවේ ඉකුත් ජනාධිපතිවරණ සහ මහමැතිවරණ පරාජයත් සමග බොහෝ දෙනා සිතා සිටියේ බැසිල් දේශපාලන වශයෙන් සදහටම නිහඬව සිටිනු ඇතැයි කියාය. පරාජයට පෙර ඇමෙරිකාවට යෑම හරහා බැසිල් විසින්ම එය තහවුරු කළ ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් පසුගිය සතියේ සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් හේතුකොට ගෙන බැසිල් යම් දේශපාලන කුරුමානමක් ඇල්ලීමට සූදානමින් සිටින බවට සැකයක් බොහෝ දෙනකුට මතුවී තිබිණ. ඒ, පොහොට්ටුව පැත්තෙන් සමාජ මාධ්‍යයට නිකුත් කරනු ලැබූ විශේෂ වීඩියෝවක් හේතුකොට ගෙනය.

දීර්ඝ වීඩියෝවක් වූ මෙහි දක්නට ලැබුණේ සම්පූර්ණයෙන්ම බැසිල් සම්බන්ධයෙන් වූ තොරතුරුය. බැසිල් දේශපාලනය ආරම්භ කළ ආකාරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ ආකාරය, මැතිනිය සමග දේශපාලනය කළ ආකාරය, අනුර බණ්ඩාරනායක සමග ඉතා සමීප සගයකු ලෙස සිටි ආකාරය, 2005දී එජාප අපේක්ෂකයා පරාජයට පත්කොට මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ ආකාරය, යුද සමයේදී බැසිල් එය ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිය ලබාදුන් ආකාරය, මග නැගුම, දිවි නැගුම ආදී වැඩසටහන් හරහා රට සංවර්ධනය කළ ආකාරය මෙම වීඩියෝවෙන් ඉතා වෘත්තීය මට්ටමින් පෙන්වා දී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බැසිල්ගේ උපදෙස් අනුව එම වීඩියෝව කිසියම් ආයතනයක් මගින් සකස් කළ එකක් බව එය දුටු සියල්ලන්ටම වටහාගත හැකි විය.

මෙම වීඩියෝව මුලින්ම සමාජ මාධ්‍යයේ පළවුවද ඊට විශාල වශයෙන් ප්‍රචාරයක් නොලැබීම නිසා පසුගිය සතියේදී බැසිල් කළේ එය පෞද්ගලිකවම ලංකාවේ සිටින තමන්ගේ හිතවතුන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකිරීමය. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයටද එම වීඩියෝව ලැබී තිබිණි. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ පෙරහැරේ කරඬුව වැඩමවීමට පෙර කසකාරයන් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කරනවා යැයි කියාය. බැසිල්ද එවැනි පන්නයේ දේශපාලකයෙකි. එනම් ඔහු ද පළමුවෙන්ම කරන්නේ යම් කිසි කාර්යයක් සිදුකිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව නිල ඇල්ලීමය. ඒ අනුව බැසිල් මේ සූදානම් වන්නේ යළිත් දේශපාලන නිලයක් ඇල්ලීමටදැයි කියන්න තවම කල් වැඩිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ලෝකෙ බහිනවා..! ලංකාවෙ නගිනවා..! ඒවට කියන්නෙ තෙල් කියලා! I Sri Lanka Latest News

Next Post

මේ රටේ ආයෙත් වෙන ආණ්ඩු නෑලු! මාලිමාව විතරයිලු ආණ්ඩු කරන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.