මත්ද්‍රව්‍ය ජාවාරම ගෝලීයව සියලු රටවල් මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක් වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ මෙරට මුහුදු සීමාව තුළදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙරටට රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් අත්අඩංගුවට ගනු ලැබිණි.Sri Lanka Latest News
ඇමෙරිකා එක්සත් ජනපදයද මේ වනවිටත් සිය රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට චෝදනා කරමින් ලතින් ඇමෙරිකානු රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් 2024 වසරේදී ප්‍රසිද්ධියට පත්කර ඇති වාර්තාවක දැක්වේ.
මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව එම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
ආසියාවේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රටවලට සමීපව පිහිටා ඇති රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සතුව ඇති විශාල වෙරළ තීරයන් සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.
අතීතයේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ අයුරු
කලකට පෙර ශ්‍රී ලංකාවට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන එනු ලැබුවේ විදෙස් රටවල සිට පැමිණි ගුවන් මගීන් විසිනි. ගුවන් තොටුපොළ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කිරීමත් සමග ජාවාරම්කරුවන් විසින් කන්ටේනර් තුළ සඟවා මත්ද්‍රව්‍යය එවීමට කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධමය තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් එල්ටීටීඊ සංවිධානයද ඉන්දියාවේ සිට හෙරොයින් ප්‍රවාහනය කළේය.
පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් ඇසුරුම් තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට අවස්ථා රැසකදී රේගු බලධාරීන් සමත් විය. පසුව මෙම තත්ත්වය ක්‍රමයෙන් ධීවර බෝට්ටු ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක් දක්වා ව්‍යාප්ත වී ඇත.
එමෙන්ම රාත්‍රී සාදවලදී භාවිත කරන කුෂ්, හෂිස් සහ එල්.එස්.ඩී. වැනි මත්ද්‍රව්‍ය කුරියර් ඔස්සේ විදේශ රටවල සිට මෙරටට එවනු ලැබූ අවස්ථා රැසකදී රේගු නිලධාරීන් විසින් ඒවා සිය භාරයට ගනු ලැබීය.
වර්තමානය වන විට මන්නාරම, කන්කසන්තුරේ, යාපනය, මුලතිව් සහ කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයන් ඔස්සේ වැඩි වශයෙන් රට තුළට රැගෙන එනු ලබන්නේ ඉන්දියාවේ සිට රැගෙන එන කේරළ ගංජා සහ මත්පෙති වැනි තහනම් ද්‍රව්‍ය වන අතර දකුණු මුහුද ආශ්‍රිතව හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවෝ කටයුතු කරති.
Golden Crescent සහ Golden Triangle
භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර ඉන්දීය මුහුදු කලාපය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිස් ශ්‍රී ලංකාව සිය මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත්කර ගෙන ඇති බව 2024 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල වාර්තාවේ දැක්වේ.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීමේ ප්‍රධාන මර්මස්ථාන දෙකක් ලෙස ගෝල්ඩන් ක්‍රෙසන්ට් සහ ගෝල්ඩන් ට්‍රයන්ගල් යන කලාප දෙක හඳුනාගෙන ඇත.
ගෝල්ඩන් ට්‍රයන්ගල් යනුවෙන් හඳුන්වන කලාපයට මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය යන රටවල් අයත් වේ. ගෝල්ඩන් ක්‍රසන්ට් යනුවෙන් හඳුන්වන කලාපයට අයත් වන්නේ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉරානයයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය 2023 වසරේදී නිකුත් කළ වාර්තාවට අනුව, ඇෆ්ගනිස්තානය අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට වැඩි වශයෙන් යොමුව ඇති බව පෙන්වා දී තිබේ.
ඇෆ්ගනිස්තානය හෙරොයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් ඉසිලුවද මෑත කාලයේ සිට අයිස් නමින් හඳුන්වන ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පෙලඹී සිටීම සහ ඉරානය මෙන්ම පාකිස්තානය හරහා ඒවා ලෝකයේ අනෙක් රටවලට බෙදාහැරීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සඳහන් කරන පරිදි මෙම කලාප දෙක ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම බොහෝ කාලයක සිට සිදුකරමින් පවතී.
ගෝල්ඩන් ට්‍රයන්ගල් කලාපයට අයත් රටවල් ආශ්‍රිතව හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරුණ ද මේ වනවිට ගෝල්ඩන් ක්‍රෙසන්ට් කලාපයට අයත් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන රටවල හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම, ප්‍රවාහනය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම වාර්තාව සැකසීමේදී සිය දායකත්වය සැපයූ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවැසුවේය. ඔහු පැවැසුවේ, ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටීම නිසා ගෝල්ඩන් ක්‍රෙසන්ට් ලෙස හඳුන්වන කලාපයට අයත් රටවල් හරහා මෙරටට වැඩි වශයෙන් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැමිණෙන බවය.
‘ඇත්තටම ඕක එන්නේ දෙපැත්තකින්. එකක් ඇවිල්ලා ‘රන් ත්‍රිකෝණය’ කියලා අපි හඳුන්වන්නේ. ඒකට මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය කියන රටවල් අයිති වෙනවා. මේ රටවල් හරහා තමයි අබිං ඇතුළු ඔපියම් ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. මේ රටවල්වලින් ඉන්දියාව සිංගප්පූරුව හරහා මත්ද්‍රව්‍ය ඍජුවම මෙහෙට අරන් එන එක ටිකක් අමාරු වැඩක්.
ඒ වගේම සින්තටික් මත්ද්‍රව්‍ය කියලා අපි හඳුන්වන ක්‍රිස්ටල් මෙත් (අයිස්) සහ හෙරොයින් කියන කෘත්‍රිම වර්ගයේ මත්ද්‍රව්‍ය මේ වෙන කොට ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය කියන රටවල්, ඒ කියන්නේ අපි ‘රන් අඩ සඳ’ එහෙමත් නැත්නම් ගෝල්ඩන් ක්‍රෙසන්ට් කියලා හඳුන්වන තැනින් තමයි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම එන්නේ. ඇෆ්ගනිස්තානය දැන් වෙනකොට ක්‍රිස්ටල් මෙත් වගේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න පෙලඹිලා ඉන්නවා…’ ඔහු පවසයි.
‘බැලොචිස්තානය, ඉරානය පැත්තෙන් මේ මත්ද්‍රව්‍ය අරන් එන්න ලේසියි. මේ මත්ද්‍රව්‍ය අප්‍රිකාවටත් යවනවා. ඒ වගේම මේවා නැවත බෙදාහරින්න කටයුතු කරන්න මාලදිවයින, ශ්‍රී ලංකාවට අරන් එනවා. එතැනින් තමයි ඔස්ටේ්‍රලියාවට මත්ද්‍රව්‍ය අරන් යන්නේ. බැලොචිස්තානය සහ ඉරානය අතර පිහිටලා තියෙන ‘මක්ක්‍රන් වෙරළ තීරය’ හරහායි මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ වෙන්නේ.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් විදිහට භාවිත කරන්නේ. හෙරොයින්, අයිස් වගේ දේවල් ලංකාවට ගෙනල්ලා මෙහෙට අවශ්‍ය ප්‍රමාණය තියාගෙන ඉතුරු ටික ට්‍රාන්සිට් කරනවා. මේ ගේන ඔක්කොම මත්ද්‍රව්‍ය ලංකාවේ භාවිත කරන්න තරම් පිරිසක් නැහැ. රටින් අරන් එන මත්ද්‍රව්‍යවලට තවත් කෙමිකල් වගේ දේවල් එකතු කරලා ඒ බර ප්‍රමාණය වැඩි කරලා ඔස්ටේ්‍රලියාව වගේ වෙනත් රටවල්වලට නැවත බෙදාහැරීම සිදුකරනවා…’ හෙතෙම පවසයි.
මක්ක්‍රන් වෙරළේ සිට ශ්‍රී ලංකාවට
ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මක්ක්‍රන් වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මාලදිවයින ඇතුළු රටවල් දක්වා ප්‍රවාහනය කරනු ලබන්නේ ඉරාන සහ පාකිස්තාන ජාතිකයන් විසිනි.
ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ බහුදින ධීවර යාත්‍රා මෙන්ම විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා උපයෝගී කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට එම මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම සිදුකරනු ලබන බව අප සමග අදහස් දැක් වූ විමර්ශන නිලධාරීහු පවසති.
‘2020 අවුරුද්දට කලින් මේ ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු මාර්ගය වෙනකම් ඇවිල්ලා ඒ අයගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ක්‍රියාත්මක කළා. නමුත් අපේ ආරක්ෂක අංශ මෙහෙයුම් වැඩි කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කිරීමත් එක්ක මේ ජාවාරම්කරුවන් දැන් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ කලාපයෙන් ඈතට වෙන්න තමයි එයාලගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ.
සාමාන්‍යයෙන් ඔවුන් ජාත්‍යන්තර නෞකා යාත්‍රා කරන මාර්ගයට ආසන්නයේ ඉඳලා මේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම් කරන්න පියවර අරන් තියෙනවා. මේ ජාවාරම්කරුවන් දැන් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන දුරකතන උපයෝගී කරගන්නවා ඔවුන්ගේ බෙදාහැරීමේ කටයුතු සිදුකරන්න. ඒ සැටලයිට් ෆෝන්වලින් තමයි එයාලා කමියුනිකේෂන් කරන්නේ කොතැනටද එන්න ඕනෙ කියලා තොරතුරු හුවමාරු කරගන්න.
ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳලා මාළු අල්ලන්න කියලා යන ට්‍රෝලර් බෝට්ටු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි ද කියලා දැනගන්න එක අපේ ආරක්ෂක අංශවලට මොනිටර් කර ගන්න පුළුවන්. මොකද ඒ අයගේ ක්‍රියාකලාපයන් වගේම සමහර කරුණු ගැන ආවේක්ෂණ නිලධාරීන් අවධානයෙන් ඉන්නේ…’ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පැවසුවේය.
රට තුළ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වෙන අයුරු
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සහයෝගයෙන් බව කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පවසයි. ඔහු කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායමේ නායකයා බොහෝ විට විදේශ රටක සිට එසේත් නැත්නම් බන්ධනාගාරගතව සිට සිය ජාවාරම මෙහෙයවන බවයි.
‘මේ ජාවාරමේ ප්‍රධාන නායකයා ඉන්නේ ඩුබායි, ඉන්දියාව හෝ වෙනත් විදේශ රටක එහෙම නැත්නම් බන්ධනාගාරගතව. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙයුම් නායකයෙක් ඉන්නවා. ඒ කෙනා අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්නේ. ගොඩක් වෙලාවට එක්කෝ බන්ධනාගාරය ඇතුළේ එහෙමත් නැත්නම් එළියේ තමයි මේ කෙනා ඉන්නේ. මේ කියන මෙහෙයුම් නායකයාගේ යටින් ඉන්නවා ටැක්ටිකල් ලීඩර් කෙනෙක්. මේ කෙනාගේ වගකීම තමයි මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය නගර හෝ ගම ඇතුළේ කරගෙන යන එක.
ඩුබායි එහෙමත් නැත්නම් වෙනත් රටක ඉන්න මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයා තමයි ඇණවුම ලබාදෙන්නේ ඇෆ්ගනිස්තානයේ හරි පාකිස්තානයේ ඉන්න මත්ද්‍රව්‍ය සැපයුම් කරන කෙනාට. ගොඩක් වෙලාවට මේ ඇණවුම් ලබා දෙන්නේ වට්ස්ඇප්, බොටීම් ඇප්වලින් එහෙමත් නැත්නම් සැටලයිට් ෆෝන් හරහා. ඊට පස්සේ ඇණවුම භාරගන්න කෙනා පාකිස්තානයේ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඇෆ්ගනිස්තානයෙන් මේ මත්ද්‍රව්‍ය ටික ලෑස්ති කරලා ඒ ටික මක්ක්‍රන් වෙරළ තිරයට ගේනවා.
මේ වෙද්දී මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න කෙනෙක් සූදානම් කරගන්න එක ඩුබායි එහෙමත් නැත්නම් විදේශගතව ඉන්න ප්‍රධාන ජාවාරම්කරු සිදුකරනවා. එයාලා මුලින්ම කුඩා බෝට්ටුවලින් මේ මත්ද්‍රව්‍ය ටික අරන් ගිහින් භාර දෙනවා මුහුදේ තියෙන ඉරාන බෝට්ටුවලට.
මේ අරන් එන මත්ද්‍රව්‍ය ලංකාවට දකුණින් ගැඹුරු මුහුදට එන්න කලින් ලංකාවේ ඉන්න ඔපරේෂන් ලීඩර්ට, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයාට දැනුම් දෙනවා මත්ද්‍රව්‍ය අරන් බෝට්ටුව එනවා කියලා.
එතකොට අර ඔපරේෂන් ලීඩර් හැටියට කටයුතු කරන කෙනා ලංකාවෙන් බහුදින ධීවර යාත්‍රාවක් ලෑස්ති කරනවා මුහුදට යවන්න. ගොඩක් වෙලාවට බෝට්ටුව අහුවුණාම බෝට්ටුවේ අයිතිකාරයා කියනවා මෙහෙම ජාවාරමකට බෝට්ටුව යොදා ගන්නවා කියලා එයා දන්නේවත් නැහැ කියලා. සමහර වෙලාවට ස්කිපර් (ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවරයා) බෝට්ටුවේ යන අනිත් මිනිස්සු හැමෝම සම්බන්ධ වෙලත් මේක කරනවා.
මේ විදිහට මත්ද්‍රව්‍ය අරන් එන බෝට්ටුවත් එක්ක සම්බන්ධ වෙන්න ලංකාවෙන් යන බහුදින ධීවර යාත්‍රාවේ ඉන්න අයයි. ඉරාන හරි පාකිස්තාන හරි යාත්‍රාව මත්ද්‍රව්‍ය අරන් එද්දී මුහුදේදී එයාලා මුණගැහෙන තැන තීරණය කරන්නේ සැටලයිට් ෆෝන්වලින් සම්බන්ධ වෙලා. පස්සේ ලංකාවෙන් යන ට්‍රෝලර් බෝට්ටුවට මත්ද්‍රව්‍ය හුවමාරු කරනවා. ඊට පස්සේ ඒ බෝට්ටුව ආපහු ගොඩබිමට එනවා සාමාන්‍යයෙන් මුහුදු රස්සාවේ ගියපු යාත්‍රාවක් විදිහට…’ ඔහු පවසයි.
‘සල්ලි වෙනුවට රත්තරන් යවන්නේ’
මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් විදේශ රටවලට රැගෙන යන්නේ නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රමවලින් සහ ඇතැම් විට රත්තරන්වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවද නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ කියා සිටියේය.
‘මේ මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් ලංකාවෙන් පිට කරන්නේ හවාල් හරි උණ්ඩියල් හරි කියන නීතිවිරෝධී ආකාරයෙන් මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට. ඒ වගේම මේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගේ සංවිධානාත්මක අපරාධවලට, රාත්‍රී සමාජ ශාලාවලට, ගණිකා ජාවාරම්වලට වගේ දේවලට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න මුදල් යොදාගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවල ඉඳලා ආපු කෙනෙක්ව දිරිමත් කරලා ඒ කෙනාව යොදාගන්නවා තුවක්කුකරුවෙක් හැටියට. මේවට මුදල් වියදම් කරන්නේ මේ ලැබෙන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන සල්ලිවලින්.
ඒ වගේම ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේ සිදුකරන කේරළ ගංජා වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී කෙළින්ම ඉන්දියාවට සල්ලි යවන්න විදිහක් නැති නිසා ඔවුන් ඒවායේ වටිනාකම හැටියට ශ්‍රී ලංකාවේ ඉන්දියාවට රත්තරන් යවනවා…’ ඔහු පවසයි.
‘බන්ධනාගාර පද්ධතියේ වෙනසක් කරන්න අවශ්‍යයි’
මෙරට බන්ධනාගාර තුළ සිදුවන ක්‍රියාකාරකම් මැඬලීම සඳහා වගකිවයුතු බලධාරීන් ඉක්මන් පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පෙන්වා දුන්නේය.
‘උදාහරණයක් හැටියට මහර බන්ධනාගාරය ඇතුළේ මොබයිල් ෆෝන් සිග්නල් ජෑම් කරන ජෑමර් සෙට් කරන්න විදිහක් නැහැ. මොකද ඒ බන්ධනාගාරය අවට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ගෙවල් තියෙනවා. මේ නිසා ඒ බන්ධනාගාරය වෙන තැනකට අරන් යන්න වෙනවා. ඒ වගේම බන්ධනාගාර ඇතුළේ ඉන්න අපරාධකරුවන්ගේ අතට ෆෝන් ලැබෙනවා.
මම මේ වාර්තාව හදන කොට ගොඩක් බන්ධනාගාර නිලධාරීන්, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. මට තේරුම් ගිය එක දෙයක් තමයි බන්ධනාගාර පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා කියන එක. ඒකේ ඇතුළේ ඉඳලා තමයි මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් වැඩියෙන්ම සිදුකරන්නේ. ගොඩක් විශාල පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරය ඇතුළේ ඉඳලා එයාලගේ මෙහෙයුම් සිද්ධ කරගෙන යනවා. මේ වගේ දේවල් පාලනය කරන්න වගකිවයුතු අංශ දැන් ඉඳලාම කටයුතු කරන එක වැදගත්…’ ඔහු කියා සිටියේය.
‘බුද්ධි තොරතුරු ඔස්සේ මෙහෙයුම් අඛණ්ඩව සිද්ධ කරනවා’
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවැසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවය.
‘අපි මෙහෙයුමක් දියත් කරන්න කලින් අපිට ලැබෙන බුද්ධි තොරතුරු ගැන ආවේක්ෂණය කරලා ඒ මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු මාර්ගය, අරන් එන්නේ කොහොම ද, කියන එක ගැන වගේම ඇතිවෙන්න පුළුවන් තර්ජනයන් ගැන අපි තක්සේරුවක් කරලයි අපි මෙහෙයුම් සිදුකරන්නේ.
මේ මත්ද්‍රව්‍ය අරන් එන පිරිස් කවුද, ඒවා අරන් එන බෝට්ටු මොනවද කියන එක ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්නේ. මෙතැනදී තියෙන තවත් අභියෝගයක් තමයි ශ්‍රී ලංකාව වටා තියෙන මුහුදු සීමාව විශාල වීම නිසා නාවික හමුදාවට විශාල ප්‍රයත්නයක් දරන්න වෙනවා. නමුත් අපි එයාලගේ උපක්‍රම හඳුනාගෙන ඒ අනුව අපේ මෙහෙයුම් සිදුකරනවා.
මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාලයෙන් කාලයට විවිධ උපක්‍රම අනුගමනය කරනවා. අපි එතැනදී ලංකාව වටාම මුහුදු කලාපය ආවරණය වෙන විදිහට අපේ නාවික හමුදා මෙහෙයුම් සිද්ධ කරනවා. මෙතැනදී නාවික හමුදාවේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිද්ධ කරන්න කොච්චර කාලයක් යනවා ද කියලා කියන්න අමාරුයි. එතැනදී දැඩි පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.
මෙතැනදී අපි සාමූහික වශයෙන් මුහුදු තීරය ආරක්ෂා කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරනවා. එතැනදී අපිට විදෙස් බුද්ධි සේවා වගේම දේශීය බුද්ධි තොරතුරු අනුව මෙහෙයුම් සිදුකරනවා. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු මාර්ගය, ඒ ජාවාරම්කරුවන් මොනවගේ කාලවලදී ද ලංකාවට මේවා අරන් එන්නේ කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම ඔවුන් කරන උපක්‍රම ඔක්කොම අපි දන්නවා….’ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
‘සී.එම්.එෆ්. එක ලොකු වැඩක් කරනවා’
ලෝකයේ වැදගත්ම නැව් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි වර්ග සැතපුම් මිලියන 3.2ක පමණ වන ජාත්‍යන්තර ජල තීරයේ ආරක්ෂාව, ස්ථාවරත්වය වෙනුවෙන් ඇමෙරිකානු මධ්‍යම සේනා විධානය විසින් ඒකාබද්ධ සමුද්‍රීය බළකාය නමින් විශේෂ මෙහෙයුම් ඒකකයක් පවත්වාගෙන යනු ලබයි.
ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බහරේන්, ඔස්ටේ්‍රලියාව, ප්‍රංශය ඇතුළු ලෝකයේ රටවල් 47ක නාවික හමුදා ඒකාබද්ධව මෙම සමුද්‍රීය බළකායට සම්බන්ධව සිටියි. මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකාය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට, මුහුදු මංකොල්ලකරුවන්ගෙන් නෞකා ආරක්ෂා කිරීම ඇතුළු සමුද්‍රීය මෙහෙයුම් සිදුකරනු ලබයි.
මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකාය හරහා ශ්‍රී ලංකාව ඇතුළු නැගෙනහිර දකුණු ආසියාවේ රටවල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීම සඳහා සක්‍රීය සහයෝගය ලබාගත හැකි බව නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පැවැසුවේය.
‘කම්බයින්ඩ් මැරිටයිම් ෆෝස් එකේ මූලස්ථානය තියෙන්නේ බහරේන්වල. අපේ නේවි එකේ නිලධාරියෙකුත් එහෙ ඉන්නවා. මේ අය ත්‍රස්ත ක්‍රියාකාරකම්, මුහුදු මංකොල්ලකෑම් වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන්න විශේෂයෙන් මෙහෙයුම් කරනවා. ලංකාව දැනටමත් මේ ඒකාබද්ධව සමුද්‍රීය බළකායේ සාමාජික රටක් හැටියට අපිට මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව උදව් ගන්න පුළුවන්. ඒකාබද්ධව සමුද්‍රීය බළකාය මත්ද්‍රව්‍ය වැටලීම් කළාම බෝට්ටුව ආපහු ගොඩබිමට අරන් එන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට මුහුදේ දීම ඒ බෝට්ටුව විනාශ කරනවා. සැකකරුවන් භාර දෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේක අපිට හොඳ අවස්ථාවක්…’ ඔහු පැහැදිලි කළේය.
ගතවූ වසර 5 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ
මෙරටදී පසුගිය වසර 5 තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 8,000ක්, කංසා කිලෝග්‍රෑම් 82,000ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5,491ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් ලක්ෂ 9කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාලය බිඳදැමීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පත්වල පවතින හිඟතාවන් පිළිබඳවද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල වාර්තාවේ සඳහන්ව තිබේ.
‘ශ්‍රී ලංකා නිලධාරීන් පැවැසුවේ ක්‍රියාවලිය ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හෝ හඳුනාගැනීමේ පද්ධති ඔවුන් සතුව නොමැති බවයි. ඔවුන් බොහෝ දුරට රඳාපවතින්නේ බුද්ධි තොරතුරු රැස්කිරීම සහ මුහුදේ සැක සහිත ධීවර බෝට්ටු සහ කුඩා නැව් ලුහුබැඳීම මතය’ යනුවෙන් එම වාර්තාවේ සඳහන්ය.
‘ශ්‍රී ලංකාවට තියෙන ප්‍රධාන ගැටලු තමයි මෙහෙයුම්වලට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික ක්‍රමවේදයන්වල තියෙන හිඟතාව. ගුවන් තොටුපොළ සහ වරායන් ආශ්‍රිතව තව එක්ස්රේ මැෂින් එහෙම අඩුපාඩු තියෙනවා. බුද්ධි තොරතුරු හුවමාරු කරගන්න වෙනම නෙට්වර්ක් එකක් හදාගෙන තියෙනවා. නමුත් ආණ්ඩු මාරු වෙද්දී ඒවයේ ඉන්න නිලධාරීන් මාරු වෙනවා. එහෙම නැතිව නිසි විදිහට ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හරහා මේ ජාවාරම් මැඬලන්න පුළුවන්…’ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ අවධාරණය කළේය.
(බීබීසී සිංහල)










