දේශපාලන පළිගැනීමට ලක්වෙලා ඉන්නේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව බවත් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ඒ පළිගැනීමෙන් මුදවාගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිරිසකට වන්දි ගෙවීමකට අදාල කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය යුහුසුළුවෙමින් පවතින බව වාර්තා වන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මොහොතේ එවැන්නක් කිරීමට කිසිවිටෙකත් ඉඩ ලබා නොදෙන බවද පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(17) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති රැස්වීමක දී ය.
අන්තනෝමතික තීන්දුවක් නිසා පොහොර තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ වගා හානි වී ඇති අතර අදටත් ඔවුන්ට වන්දි ගෙවා නැතැයි කී විපක්ෂ නායකතුමා වසර දෙකකට වැඩි කාලයක් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලැබෙන්නේ නැති බවද කීය.
බංකොලොත් වූ රට නගා සිටුවීමට කටයුතු කරනවා හැර මෙවැනි දේශපාලන පලිගැනීම් සඳහා යැයි කියමින් තෝරා ගත් කිහිප දෙනෙකුට සහන ලබාදීමට තමන් විරුද්ධ බව ද පැවසීය.










