සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකර්ම විප්ලවයක් අවශ්‍ය බව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රිජන් නැවත සොයාගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය,“ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තම රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාශයන්ගෙන් ඒ බව මනාව පිළිඹිබු වන බවත් සඳහන් කර සිටියේය.
එරට වේලාවෙන් ඊයේ (31) පස්වරු 5.00ට පමණ එම සම්මන්ත්‍රණය පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු ක්‍රම භාවිතයෙන් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම අප හමුවේ පවතින අභියෝගයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
දශක ගණනාවක් පුරා නිධන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවිජනතාව අතර බරපතළ ගැටලුවක් වී පවතින අතර රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ද ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නේය.
රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගනු ලැබුවේ එම සන්ධර්භය තුළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පැහැදිලි කළේය.
මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.
රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව අස්වැන්න වැඩි කරගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට හුරු වී ඇති ගොවීන් මෙම විරෝධතා සඳහා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.