කුරුඳුවත්ත තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ල අසල දී ඊයේ (17) ඝාතනය කළ සරසවි සිසුවිය ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කර ඇත්තේ සැලසුම්සහගතව බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම ඝාතනයට හේතුව ඇය තමන් අත්හැර දමා වෙනත් පුද්ගලයෙක් හා සම්බන්ධතාවක් ගොඩනගාගනු ඇතැයි යන අනියත බිය ඝාතකයා තුළ ඇතිවීම නිසා බවත් විමර්ශනවල දී හෙළි වී ඇත.
තරුණිය ඝාතනය කළ පසු සැකකරු මුලින්ම ගොස් ඇත්තේ සරසවියටය.

ඝාතනයට ලක්වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචිව සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීීඨයේ තුන්වැනි වසරේ සිසුවියකි. ඇය නුගේගොඩ උසස් බාලිකා විද්‍යාලයකින් සරසවි ප්‍රවේශය ඉහළින්ම සමත්වූ තරුණියෙකි. අධ්‍යාපනයට අදාළ ඇයගේම යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය අයෙකි. පවුලේ වැඩිමහල් දියණිය ඇයය. පියා සහ මව යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් තිබිණි.
ඝාතකයා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේම සිසුවෙක් වූ වැල්ලම්පිටිය කොටුවිල උස්වත්ත පාර, 245/ඒ 3 ලිපිනයේ පදිංචි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නමැත්තෙකි.
අත්අංගුවට පත් ඝාතකයා වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ප්‍රදේශවල 9-,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් සිය ආර්ථිකය කළමනාකරණය කරගෙන අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
ඔහු ඇයව මරාදැමීමට හේතුව ලෙස පොලිස් විමර්ශකයන්ට පවසා ඇත්තේ ඇය තමන්ව අත්හැර වෙනත් සම්බන්ධයකට යෑමට කළ උත්සාහයක් නිසා බවය.
මට එයාව ඕන. එයා නැතිව බැහැ. මම එයාට අවංකව හදවතින්ම ආදරය කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා. එයා මම කියපු දේ ඇහුවෙ නෑ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. යනුවෙන් පොලිස් ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත.
සිසුවිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගාගනු ඇතැයි දැඩි සැකයෙන් යුතුව ඔහු ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බවද වෙනත් පිරිමියෙක් සමග කතා කිරීමට ඉඩක් ලබාදී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
විමර්ශකයන් පවසන්නේ සිසුවිය ඝාතනය කිරීමට සැකකරු යොදාගත් පිහිය ඊට දින කීපයකට පෙර මිලදීගෙන ඇති බවත්, මෙම ඝාතනය කල් ඇතිව සැලසුම් කළ එකක් බවත්ය.
ඔහු එම පිහිය සිය බෑගයේ දමාගෙන ඊයේ දහවල් 12.30ට පමණ ඇය සමග තුරඟ තරග පිටිය අසලට පැමිණ ඇත.
එහිදී සිසුවිය සමග කතාබස් කරමින්, ඇය හැසිරිය යුතු ආකාරය සම්බන්ධව පවසද්දී තවදුරටත් මේ ආකාරයෙන් ඔහු සමග ඇසුරු කළ නොහැකි බව තරුණිය පවසා තිබේ.
ඒ සමගම කෝපයට පත්වූ තරුණයා, මෙම ඝාතනය සිදුකළ බවයි විමර්ශකයන් හමුවේ පවසා ඇත්තේ.

සිය පෙම්වතිය ඝාතනය කළ තරුණයා අතේ තැවරුණ ලේ බෑගයේ පිසදමමින් පිහිය බෑගය තුළට දමාගෙන සරසවිය දෙසට දිවගොස් තිබේ. ඔහු එසේ දිවයන ආකාරය ආරක්ෂක කැමරා කීපයක සටහන්ව ඇත.
සරසවියට ගිය ඔහු අනතුරුව වැල්ලම්පිටියේ පිහිටි සිය නිවසට පැමිණ ජංගම දුරකථනය හා හැඳුනුම්පත නිවසේ තබා පිටව ගොස් තිබේ. එසේ ඔහු පිටවී ගියේ කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට දැයි පොලිස් විමර්ශකයන්ට මුලින් සැකයක් අති වී තිබිණි.
නමුත් ඔහු යළි නිවස වෙත පැමිණ සිටිය දී පොලිස් කණ්ඩායමක් ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තේය.
තරුණිය ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවරුණු පිහිය ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
lankasara










