ඇල්පිටිය, පතිරාජ වත්ත ප්‍රදේශයේදී අද (පෙබ. 26) උදෑසන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඩී. රොෂාන් පුෂ්පකුමාර ඝාතනය කර ඇත්තේ, ඔහු තම බාල පුතු පළමු වසරට භාර දීමට සූදානම් වෙමින් සිටියදී බව පොලිසිය පවසයි.Sri Lanka Latest News
ඔහු කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ 51 හැවිරිදි තිදරු පියෙකි.
ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා ය.
පොලිසිය සඳහන් කළේ, ඝාතකයන් දෙදෙනෙකු අද උදෑසන 7:00ට පමණ යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව ය.
ඝාතනයට ලක් වූ පුෂ්පකුමාර මහතාගේ බිරිඳ ගුරුවරියක වන අතර ඇය උදෑසන ම රාජකාරි සඳහා ඇල්පිටිය, ඇල්ල ප්‍රදේශයේ ඇති විදුහල වෙත පිටව ගොස් සිට ඇත.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ, ඔහුගේ මව සහ බාල පුතණුවන් ය.
බාල පුතු අද පළමු වසරට භාර දීම සඳහා යාමට සූදානම් වෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.
පුෂ්පකුමාර මහතා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් ද කටයුතු කළ අතර උසස් වීමකින් පසු කරන්දෙණිය මහජන සෞඛ්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස සේවයට ගිය බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දයානන්ද සඳමාලි පැවසුවා ය.
ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.










