ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද රජයට දැනුම් දී ඇති බවකි.
කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබේ .
ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .
මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ .










