දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟය යළිත් උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එම තත්ත්වය කොළඹ ජාතික රෝහල, පිළිකා රෝහල ඇතුළු සමස්ත රෝහල් පද්ධතියටම බලපා ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, රෝහල්වල සියලුම ඖෂධ වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් ඒ හේතුවෙන් රෝහල්වල එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට අපහසුතා මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, යම් යම් ඖෂධ වර්ගවල හිඟයක් දක්නට ලැබුණ ද රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉන් බලපෑමක් නොමැති බවයි.
හිඟ ඖෂධ වර්ග මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 15 ක හිඟයක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, බොහොමයක් ඖෂධ වර්ග පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන බවයි.
අනෙකුත් හිඟ ඖෂධ වර්ග දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.










