ජිප්සීස් සංගීත කණ්ඩායමේ ලීඩර් විදියට හිටපු සුනිල් පෙරේරා තම නිර්මාණ එළිදක්වන්න ගත්තේ 70 දශකයේ අග භාගයේ ඉඳලයි. පළමුව කැසට්පට ලෙසත්, දෙවැනුව සී.ඩී. තැටි ලෙසත් නිකුත් වූ එම නිර්මාණ ඉදිරිපත් කරන සෑම මොහොතකම වාගේ සුනිල් පෙරේරා ‘විශේෂයෙන් සැලකිය යුතුයි. මෙය ප්‍රබුද්ධ රසිකයන් සඳහා නොවේ’ යන ලේබලය යටතේ එය අලෙවි කිරීමට අමතක කළේ නැත. ඒ වාගේම එම වචන කිහිපය රැගත් වැකිය තද රතු පාටින් කැසට් පටයෙහි හෝ සී.ඩී. තැටිය කෙළවරක සුවිශේෂව සටහන් කොට දැක්වීමටද ඔහු අමතක කළේ නැත.
සංගීත ලෝකයේ කිරුළු පලන් නොම්මර එකේ ජනප්‍රිය ගායකයකු වූ සුනිල් එහෙම කෙරුවේ ඇයි?
එයට ප්‍රධානම හේතුව වූයේ ජිප්සීස්ලා නිකුත් කළ නිර්මාණ බොහොමයක් ‘ප්‍රබුද්ධ’ යන ලේබලය ගසාගත් විශාරද මට්ටමේ සම්භාව්‍ය ගායක ගායිකාවන්ට ඒ තරම් දිරෙව්වේ නැති නිසාය. හරියටම කියනවා නම් ඒ තරම් නොව කොහොමටවත් ඔවුන්ට එය දිරෙව්වේ නැත. මුල ඉඳන්ම ජිප්සීස්ලා තම රසිකයන්ට තිළිණ කළ සින්දුවල බොහෝ ඇදකුද සොයමින් සම්භාව්‍ය ගායක ගායිකාවන් සේම සම්භාව්‍ය කියාගන්නා ගී පද රචකයන් සහ සංගීතඥයන්ද ප්‍රසිද්ධ මාධ්‍යවල පවා ඔවුන්ව පතුරු ගැසුවේය. ඔවුන් කියන ගීතවල විනීතකමක් නැතැයි වටමේස සාකච්ඡාද පැවැත්වූහ.
හැබැයි ඔය කිසිවකින් සුනිල් පෙරේරා ඇතුළු සින්දු සගයන්ට වගේ වගක් වූයේ නැත. එයට හේතුව වූයේ ඔවුන්ගේ නිර්මාණවලට තිබූ අසීමිත ඉල්ලුම නිසාය. සරලවම කියනවා නම් සුපිරි පන්තියේ පාටිවලදී පදමට සූර් වන ප්‍රභූ පන්තියේ පිරිස් පවා ජොලියට නටන්නට ඕනෑ වුණාම සින්දු කියන්නට පැමිණි සංගීතකාරයන්ගෙන් හෝ සින්දු ගළපා දෙන්නට පැමිණි ඩී.ජේ.ලාගෙන් ‘වන් මෝ වන් මෝ’ කියා කෑගසා ඉල්ලා සිටියේද ප්‍රබුද්ධ පිරිසට වහකදුරු වූ සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස්ලාගේ සින්දුය. ටි්‍රප් එකක් ගියත්, පැදුරු පාටියක් දැම්මත් ජිප්සීස්ලාගේ සින්දු නැතිනම් එය මෙලෝ රහක් නැතැයි යන අදහස සංගීත රසයට ප්‍රිය කරන කා තුළත් ගැබ්ව තිබිණි.
එතකොට මේ ප්‍රබුද්ධය කියන ලේබලයෙහි ඇති නියම අරුත මොකක්ද?
‘ප්‍රබුද්ධ’ යන ලේබලයෙහි නියම අරුත වූයේ විශාරද පට්ටම ඇති පිරිස ප්‍රබුද්ධය, එහෙම පට්ටමක් නැති අය නිකං ‘පීචං’කාරයෝය යන ලේබලය තුළ ශ්‍රී ලාංකේය සංගීත කලාව ඉතා පහත් ලෙස බෙදී තිබීමය.
එහෙම බෙදීමක් කෙරුවේ කවුද ඉතින්?
එම බෙදීම සහ ලේබල් ගැසීමට ආරම්භය දුන්නේද තම තමන් සම්භාව්‍ය යැයි ඔවුන් විසින්ම කියාගෙන ඒ වටා රවුමක් ඇඳගත්ත ප්‍රබුද්ධ සංගීත ශිල්පීන්මය. එයට ගායක ගායිකාවන් සේම ගී පද රචකයන් සහ ප්‍රවීණ සංගීතඥයන්ද අත්වැල් ඇල්ලූහ.
ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, යන ගීත රචකයෝ ගීත ලියූහ. එකල මෙවැනි බෙදීමක් තිබුණේ නැත. මහගමසේකර, ඩෝල්ටන්, කේ.ඩී.කේ. ධර්මවර්ධන අතිශය රසවත් අර්ථාන්විත ගීත ලියුවද ඒවා ජනප්‍රිය වුවද ඔවුන් කෙදිනකවත් ප්‍රබුද්ධ – පීචං වශයෙන් කිසිවකු බෙදුවේ නැත. සියලු ශිල්පීන් එක සේ සලකා ඔවුහු කටයුතු කළහ. නමුත් මෙම තත්ත්වය ආරම්භ වූයේ 80 දශකයේය. ඊට ආරම්භය ගත්තේ ගීත රචනා කළ ආචාර්ය මහාචාර්යවරුන් පිරිසකි. ඔවුන් ෂෝට්කට්වලින් ජනප්‍රියත්වය ලබාගැනීම සඳහා ප්‍රබුද්ධ – පීචං කියා බෙදීමක් නිර්මාණය කළේය. එලෙස බෙදා ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෂෙල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ප්‍රේමකීර්ති, සරත් දසනායක, ක්ලැරන්ස්, ඇන්ජලීන් වැනි මෙකී නොකී ජනප්‍රිය තලයේ කලාකරුවන් කණ්ඩායමක්ම පීචං ගණයට දැමීමටයි කටයුතු කළේ. තමන්ට හිතවත් කණ්ඩායමක් ප්‍රබුද්ධ ගණයට දමා ඒ අයට පමණක් තම ගීත නිර්මාණ ලබාදුන්නා.
මීට අමතරව එකල යූ.ඇන්.පී. වේදිකාවට ගොඩවූ කලාකරුවන් පීචං ලෙසත්, වමේ වේදිකාවට ගොඩවූ කලාකරුවන් ප්‍රබුද්ධ ලෙසත් වර්ග කෙරුණා. ‘විමුක්ති ගී’ ගැයූ නන්දා මාලනී ප්‍රබුද්ධ ගොඩට දැමිණි. ‘ශ්‍රීනි විභූෂිත ලංකා බැබළේ’ ගීය ගැයූ ලතා දැම්මේ පීචං ගොඩටය..
මීට විරුද්ධව පසු කලෙකදී සුනිල් පෙරේරා වැනි ගායකයන් ‘අංකල් ජොන්සන්’ ගීතයෙන් ‘ආචාර්යවරු, මහාචාර්යවරු ප්‍රබුද්ධයනුත් ඉන්නේ…’ යනුවෙන් ප්‍රසිද්ධියේම ඊට ප්‍රහාර එල්ල කර තිබිණි. නමුත් ජෝතිපාල වැනි අනෙකුත් කලාකරුවන් ඒ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට ගියේ නැත. නමුත් අවසානයේදී පීචං ලේබලය ඇලවූ ජෝතිපාල මියගිය දවසේ බොරැල්ල කනත්ත උතුරුන්න සෙනඟ ආවේ කතන්තේ ගේට්ටුද කඩාගෙනය. ජෝතිගේ අවසන් කටයුතුවලට නිදහස් චතුරස්‍රයවත්, රාජ්‍ය ගෞරවවත් නොලැබුණද ජනතා හදවත්වල සදා නොමියෙන වීරයා වූයේ ජෝතිපාලය.
පසුගිය දින කිහිපයේ රටේ නමගිය කලාකරුවන් කිහිප දෙනකුම අපට අහිමි විය. මොවුහු යුග කිහිපයක්ම කලා ක්ෂේත්‍රය පෝෂණය කළ අය වූහ. සුනිල් පෙරේරා, නුවන් ගුණවර්ධන, හේම ශ්‍රී ද අල්විස්, නිහාල් නෙල්සන් ඉන් ප්‍රධානය. ඔවුන්ටද රාජ්‍ය ගෞරව නොලැබිණි. නිදහස් චතුරස්‍රය නොලැබිණි. නමුත් රටේ ජනතාවගේ ගෞරවය ඔවුන්ට නිරතුරුවම ලැබිණි.
සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස්ලා පමණක් නොව තව බොහොමයක් වූ ගායක ගායිකාවන් ප්‍රබුද්ධ නැතැයි යන ලේබලය යටතේ වෙනස්කම්වලට බඳුන් වූහ. එච්.ආර්. ජෝතිපාල, ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් සමග ඊයේ පෙරේදා අප අතරින් වියෝ වූ නිහාල් නෙල්සන් සහ නුවන් ගුණවර්ධන වැනි ගායකයන්ද එයට ඇතුළත්ව සිටියහ. නම නොකී තව බොහෝ අතිදක්ෂ ගායක ගායිකාවෝ තම නමෙහි මුලට සම්භාව්‍ය පදක්කම සහිත නාම විශේෂණයක් නොවූයෙන් ප්‍රබුද්ධ යන කොටසට අයත්ව නොසිටි නිසා කුඩම්මාගේ සැලකිලි මත සිය ගමන ඔහේ යන්නට ගියෝය. ප්‍රවීණ ගායිකා කලාසූරී ලතා වල්පොලට සිදුව ඇත්තේද එවැන්නක් නොවේ යැයි කිව හැක්කේ කාටද? චිත්‍රපට ගීත සිය ගණනක් සඳහා සිය හඬ තිළිණ කොට යන්නට ගිය ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලකද සිය ගායන ශෛලිය තුළ සම්භාව්‍ය නොවූයෙන් ඔවුන්ටද ප්‍රබුද්ධ යන අභිමානවත් නාමය ලැබුණේ නැත.
මීට අවුරුදු ගණනකට පළමුව මියගිය බෞද්ධ ගීත හරි අපූරුවට ගායනා කළ මුස්ලිම් ජාතික ගායකයකු වූ මොහිදීන් බෙග් මියයන්නට ආසන්න කාලයකදී ජාතික රූපවාහිනී සේවයේ සාකච්ඡාවකට පැමිණ සිටියදී තමාට අවැසි සැලකිල්ල කිසිදු රජයකින් ලැබුණේ නැතැයි කියමින් හඬාවැටුණේද ඔහු ප්‍රබුද්ධ මට්ටමේ නාමයට පිවිසෙන්නට සමත් නොවූ නිසා වන්නට ඇත. තමා සහ තම පවුල වෙනුවෙන් වැටී ඉන්නට ගෙයක් ඉල්ලා කඳුළු සලන තරමට අලංකාර බුදු ගුණ ගැයූ මේ අන්‍ය ජාතික ගායකයා අසරණව සිටියේ ප්‍රබුද්ධ යන කිරුළ ඔහුට අහිමිව තිබූ නිසා වන්නට පුළුවන.
මීට කලකට ඉහත දශක ගණනාවකට පළමුව ජාතික රූපවාහිනියේ ඉතා ජනප්‍රිය විශේෂාංගයක් වූ ‘නන්දන වින්දන’ මාසික ප්‍රසංගයට සහභාගි වීමේ වරප්‍රසාදය ලැබුවේද ගායක ගායිකාවන් කොටසක් විතරය. බොහෝ දෙනකුට එහි මියෙන තුරුවත් සින්දුවක් කියන්නට චාන්ස් එකක් ලැබුණේ නැත. ඒ නොලැබීම අයත්ව හිටපු හැම දෙනකුම පාහේ විශාරද පට්ටම නොලැබූවන්ය. නමුත් ඔවුන් ශ්‍රී ලාංකේය සංගීත කලාවට ඉමහත් සේවයක් කළ කලා ශිල්පීන් විය. බයිලාවලින් සංගීත කලාව තුළ මහත් විප්ලවයක් කළ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයකු වූ නිහාල් නෙල්සන්ට, ඔහු කළ මහඟු නිර්මාණශීලී ගී සේවාව වෙනුවෙන් උපන් බිමෙන් සීනි බෝලයක්වත් නොලැබුණුනේද, කලාසූරී ලතා වල්පොලගේ උපන් දින සාදයට බොහෝ කලා ශිල්පීන් නොආවේද, හේම ශ්‍රී ද අල්විස් වැනි ප්‍රසිද්ධ ගී පද පබැඳූ ප්‍රවීණ කලාකරුවකුගේ මරණ ගෙදරට ධනපාල උඩවත්ත පමණක් පැමිණ සිටියේද ඉහත කී ප්‍රබුද්ධ ලේබලය ඔවුන්ට තිබුණේ නැති නිසාද?
ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාව යනු මහා අරුම පුදුම රටකි. එහෙම කියන්නේ විවිධ ක්ෂේත්‍රයන්හිදී ඒ ඒ පුද්ගලයන්ට බෙදන හැඳි එකිනෙකට වෙනස් නිසාය. සුවිශේෂීවම කියනවා නම් කලාකරුවන් විෂයේදී වෙනස්කම හොඳින්ම පෙනෙන්නේය. පැහැදිලිවම කියනවා නම් ප්‍රබුද්ධ යැයි ලේබල් ගසාගන්නා කලා ශිල්පීන්ගේ මරණ ගෙදරට එක සැලකිල්ලකි. ඒ ලේබලය නැති අයට වෙනම සැලකිල්ලකි. ඊයේ පෙරේදා මියගිය පෙරළිකාර බයිලා රජෙක් වැඩි සද්දයක් නැති තාලෙට යන්නට ගියේ ඒ නිසා වන්නට ඇත. මොහිදීන් බෙග්ට ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකට පැමිණ කඳුළු සලා හඬන්නට සිද්ධ වූයේද එනිසා වන්නට ඇත.
ඔය වාගේ ප්‍රබුද්ධ ලේබලය මුල් කොටනෙ සිදුවූ සිත කම්පා කරවන නිදසුන් ඕනෑ තරම් වේ.
මඳකට නැවතිලා හිතා බලනවා නම් ඇත්තටම මේ ප්‍රබුද්ධය කියන ලේබලය මොකක්ද? ප්‍රබුද්ධය කියා ඒ අයම ඔවුන්ව නම්කර ගන්නවා නම් ඒ ගෲප් එකට වැටෙන්නේ නැති අයට දියයුත්තේ ‘පීචං’ කියන ලේබලයද?
තව බොහෝ නිර්මාණයන් එළිදක්වන්නට පුළුවන්කම තිබියදී කොරෝනාව නිසා අකාලයේ මරු දුටු ජිප්සීස් නායක සුනිල් පෙරේරා මැරෙන තුරුම ඉහත දැක්වෙන ඔය ප්‍රබුද්ධ ලේබලය ගැන බොහෝ විවේචනාත්මකව කතා කළේය. හිනා වෙවී ඒ වාද විවාද ප්‍රසිද්ධ මාධ්‍ය හරහා නොබියව දියත් කෙරුවාට සුනිල්ගේ හිතේ කොනකද ඒ නොසැලකිල්ල ගැන අමනාපයක් තිබුණු බව නිසැකය. හැබැයි ඔහු ප්‍රබුද්ධ පිරිස වෙත හැරී අපි පීචං ලේබලයට වැටුණේ කුමන හේතුවකටදැයි කියා කිසිම තැනක ඇසුවේද නැත. ප්‍රබුද්ධය කියාගන්නා පිරිසට ‘මහත්තයා’ ‘නෝනා’ කියා කතිකාවට පැමිණ ගරු නම්බු දී කතා කරන්නට තරම් ඔහු නිහතමානී විය. ඒ නිහතමානීකම හමුවේ මේ ජනප්‍රිය ගායකයා හැමදාමත් එක කාරණයක් ගැන පුන පුනා කීවේය.
‘සුනිල් පෙරේරා සහ ජිප්සීස් කණ්ඩායම සම්භාව්‍ය නැහැ. ප්‍රබුද්ධ කියන ලේබල් අපට නැහැ. හැබැයි අපේ සින්දු අහන්න අදටත් පුටු පිරෙන්න සෙනඟ ඉන්නවා. අන්න ඒකයි අපට තියෙන වටිනාකම. ඒ වටිනාකම ප්‍රේක්ෂකයෝ අපට දෙනතුරු අපි සින්දු කියනවා. ඒ ආත්ම තෘප්තිය හොඳටම ඇති…’
සින්දු කියලා ෂෝ තියලා ඉවර කරන්න කලින් සුනිල් පෙරේරා අවාසනාවන්ත විදියට යන්න ගියාට එහෙම යන්න කලින් හෙතෙම ප්‍රබුද්ධය කියා ලේබල් ගහගත්ත පිරිසට මැරෙන්නට කලින් හරි කෙළින් එහෙම කිව්වේය.
‘අපි ඇවිල්ලා ප්‍රබුද්ධ පිරිස නෙවෙයි මල්ලි. හැබැයි ස්ටේජ් එකට නැග්ගම ‘වන් මෝ නිහාල් අයියා වන්මෝ…’ කියලා කෑගහන්න පිරිසක් අදටත් අපට ඉන්නවා. ඒ සතුට ඇති ඕනෑ තරම් සින්දු ගළපන්න…’
නිහාල් නෙල්සන්ද එහෙම කතාවක් කිහිප වතාවක්ම කීවේය.
සුනිල් සහ නිහාල් යනු රසිකයන් ඔකඳ කළ අපූරු ගායකයන් දෙදෙනෙකි. ප්‍රබුද්ධය කියාගන්නා පිරිස හමුවට නොඑන සෙනඟ ඔවුන් වටා පිරුණු අවස්ථා එමටය. අනේ ඉතින් එහෙම බලනකොට ප්‍රබුද්ධය කියා ගසාගන්නා ලේබලයෙහි තියෙන සුවිශේෂ බව කුමක්ද?
ප්‍රබුද්ධය කියන ලේබලය හැදවේත් තම තමන් ප්‍රබුද්ධ යැයි කියාගන්නා ඒ පිරිසමය. පීචං කියා අනෙකුන්ව එක පැත්තකට කොටුකර දැමුවේත් ඔවුන්මය. ඒ තියරි එක මහ ඉහළින් තවත් පිරිසක් ඔළුවට ගත්හ. බෙදන හැඳි වෙනස් වූයේ එතැනදීය. ඒ ස්ටයිල් එක නම් හරිම අවලස්සනය. එක් අයකුගේ මරණයට රාජ්‍ය ගෞරව ලැබෙනකොට තව කෙනකුගේ මරණයට එන්න දහදෙනකුවත් නැති තරම්ය. ඔවුන් වෙනුවෙන් මාධ්‍යයක එක පැය කාලක් වෙන් කරන්නටවත් කිසිවකු නැත. තමාට ප්‍රබුද්ධ ලේබලය නැතැයි පීචංය කියා නම්කළ ගායකයා දුක් නොවූ කතාව ඒ ඉහත කී බෙදිල්ල එදෙස බලා සිටින්නන්ට සිත් තැවුලකි.
අනේ ඉතින් ප්‍රබුද්ධය කියා තම තමන් වටේ රවුමක් ඇඳගෙන සිටින අයට මිසක මේ ප්‍රබුද්ධ සහ පීචං කියන ක්‍රමවේදය ගැන කාට නම් කියන්නද? දෙයියෝ දනියි කියන්නත් බැරිය. මොකද දෙවියන් මිනිසුන්ට උපතේදී යම් හැකියාවක් තිළිණ කරන්නේ ප්‍රබුද්ධ සහ පීචං යනුවෙන් කොටස් කර නොවේය.
ඉතින් දෙවියනේ, දෙවියන් නොකළ ඒ කොටස් කිරීම සහ බෙදීම මිනිසුන් විසින් කරන්නේ මන්දැයි නොතේරේ.
‘ප්‍රබුද්ධ’ යැයි කියා සංගීතය තුළ භේද ඇතිකරන ප්‍රබුද්ධයිනි, මේ ඔබේ අවධානය පිණිසයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










