වෙස්වළාගත් ආශිර්වාදය
ලෝකයේ ස්වභාවික විපත් ඇතිවීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් දේශපාලනයේ නිතර කියවෙන කතාවක් වන්නේ මෙවැනි ස්වභාවික ආපදා මගින් බිංදුවට වැටුණු හෝ විනාශ වුණු රටකට යළි ගොඩනැගීමට එම ආපදාවම වෙස්වළාගත් ආශීර්වාදයක් විය හැකි බවය. ඊට හේතුවී ඇත්තේ මුළු රටම වෙළාගත් ස්වභාවික ව්‍යසනයක් හෝ ආපදාවක් පැමිණි කල රටේ සියලු ජනතාව, දේශපාලන නායකයන්, පක්ෂ, පාට, ආගම්, කුල භේද නොතකා ආපදාවෙන් ගොඩ ඒමට එකාවන්ව වැඩ කිරීමය. එමෙන්ම එවැනි විපතක් භේද නොතකා සියලු දෙනාටම එක සේ බලපානු ලබයි. එවැනි අවස්ථාවකදී එයම ප්‍රයෝජනයට ගෙන, විරුද්ධ පක්ෂයේ සහායද ගෙන සියලු පාර්ශ්වයන් ඒකරාශී කොටගෙන විනාශයෙන් ගොඩ ඒම පවතින ආණ්ඩුව විසින් සිදුකරනු ලබයි. ආපදාව ඇතුළේ ඇති නොපෙනෙන, වෙස් වළාගත් ආශීර්වාදය වන්නේ එයය.Sri Lanka Latest News
අප රටද මීට පෙර ස්වභාවික විපත් ගණනාවක් අත්විඳ තිබිණි. නමුත් ඒ ඒ කාලවල බලයේ සිටි රාජ්‍ය නායකයන් එම ස්වභාවික ආපදාව තම තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය සඳහා යම් යම් ආකාරයෙන් උපයෝගී කරගත්තා මිස සියලු පාර්ශ්වයන් ඒකරාශී කොටගෙන ජාතියක් වශයෙන් එම ආපදාවෙන් රට ගොඩගැනීමට කටයුතු කර තිබුණේ නැත. එවැනි විපතකදී හතර වටෙන් ගලාගෙන එන දෙස් විදෙස් ආධාර නිසි ලෙස කළමනාකරණය කොට එය රට ගොඩනැගීමේ උත්තුංග කර්තව්‍යය වෙනුවෙන් යොදවනවාට වඩා තම තමන්ගේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කරගැනීමට එම ආධාර උපයෝගී කොටගත් බවක් පසුගිය කාලය පුරා දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මෙවර සුළි කුණාටුව ඇතිවීමෙන් පසු රටම සිතා සිටියේ බලයේ සිටින මාලිමා ආණ්ඩුව ක්‍රමයේ වෙනසක්, පද්ධතියේ වෙනසක්, සිස්ටම් චේන්ජ් එකක් ගැන විපක්ෂයේ සිටියදී නිතරම කතා කළ නිසා මෙවර ආපදාව රට ගොඩනැගීම සඳහා යොදාගනු ඇතැයි කියාය. රට පාලනය කිරීමේදී සහ ව්‍යසන කළමනාකරණයේදී අඩු පළපුරුද්ද හේතුවෙන් සියලු පාර්ශ්වයන් ඒකරාශී කොටගෙන මෙම විපතෙන් රට ගොඩගැනීමට කටයුතු කරනු ඇතැයි කියාය. ආරම්භයේදී රටටම එවැන්නක් දැකගත හැකි වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිසිදු රාජ්‍ය නායකයකු නොකළ පරිද්දෙන් ඒ සඳහා සාධනීය ආරම්භක පියවර ගැනීමත් සමගය. ජනාධිපතිවරයා ව්‍යසනය සිදුවීමත් සමග වහාම පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගනිමින් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් සියල්ලම පාහේ සහභාගි වී සිටියහ.
විශේෂයෙන්ම මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් යමක් සඳහන් කළ යුතුය. ඔහු හිටපු නිවාස අමාත්‍යවරයා වශයෙන් රට ඇතුළේ දැවැන්ත නිවාස ව්‍යාපෘති සිදුකළ අයෙකි. රටම ආවරණය වන පරිදි සුබසාධන වැඩසටහන් දියත් කළ අයෙකි. වසර ගණනාවක් විපක්ෂ නායක ධුරයේ කටයුතු කරමින් දැක පුරුද්ද, පළපුරුද්ද හා කළ පුරුද්ද ඇති අයෙකි. මේ නිසාමදෝ ජනාධිපතිවරයා විසින් කැඳවූ ආරම්භක සාකච්ඡාවේදී සජිත් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මෙම ව්‍යසනයෙන් රට ගොඩනැංවීම සඳහා වහාම පළාත් මට්ටමෙන්, දිස්ත්‍රික්ක මට්ටමෙන් බලයලත් කමිටු පත්කරන ලෙසටය. ජනතාවට සහන ලබාදීමේදී සහ සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිරීති සහ අණ පනත් බාධාවක් වන්නේ නම්, වහාම හදිසි නීතිය පනවා එම කටයුතු වේගවත් කරන ලෙස සජිත් මුල් වරට ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ එදිනය. එමෙන්ම 2005 සම්මත කරන ලද ආපදා කළමනාකරණ පනත උපයෝගී කොටගනිමින් වහාම ආපදා කළමනාකරණ ජාතික සභාව කැඳවන ලෙසටද එහිදී සජිත් ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය. ඒ අනුව සියල්ලන්ම සිතා සිටියේ එකී උපදෙස් ක්‍රියාවට නංවමින් ජනාධිපතිවරයා අපදාව කළමනාකරණය කිරීම සඳහා වහා වහා ක්‍රියාත්මක වනු ඇති බවකි. නමුත් කනගාටුවට කරුණ වූයේ රටම වෙලාගත් මෙවැනි ව්‍යසනයකදී ගත හැකි මුල්ම ක්‍රියාමාර්ගයන් කිහිපය එය වුවත්, එම තත්ත්වය දැනුම් දීමෙන් පසුවත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් එය ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ආණ්ඩුවේ බලධාරීන් සජිත් ඉදිරිපත් කළ යෝජනා කිසිවකට ඇහුන්කන් දුන් ආකාරයක්ද දැකගන්නට ලැබුණේ නැත.
කෙසේවෙතත් එදිනම රාත්‍රියේ ජාතික ආපදා කළමනාකරණ කමිටුව රැස් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. සජිත් ඇතුළු පක්ෂ විපක්ෂ නියෝජිතයෝ ඊටද සහභාගි වී යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පක්ෂ නායකයන් ජනාධිපති කාර්යාලයට කැඳවීමටද පියවර ගත්තේය. සජිත් ඊටද සහභාගි වී යෝජනා රැසක් ඉදිරිපත් කළේය. නමුත් ඒ කිසිදු යෝජනාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ක්‍රියාත්මක කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. සඳුදා දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සජිත් ප්‍රසිද්ධියේම මේ කරුණු පාර්ලිමේන්තුව හමුවේ අනාවරණ කළේ මේ ප්‍රමාදය මුල්කරගෙනය. එහිදී සජිත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ වහාම හදිසි නීතිය පනවා ආපදා කළමනාකරණ කමිටුව රැස්කොට වහ වහා ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා ලෙසය.
අදිසි හස්තය කව්ද?
කෙසේ වෙතත් බොහෝ පාර්ශ්වයන් ජනාධිපතිවරයාට හදිසි නීතිය පනවා ජනතාව මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දුන්නද කිසියම් බලවේගයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයා වැළැක්වීමට පියවර ගන්නේද යන සැකය මෙහිදී බොහෝ පාර්ශ්වයන්ට මතුව තිබිණි. විශේෂයෙන් පක්ෂ නායක රැස්වීමේදී සජිත් මෙන්ම රවුෆ් හකීම්, රවී කරුණානායක වැන්නවුන්ද ජනාධිපතිවරයා සමීපයටම ගොස් දැනුම් දී තිබුණේ වහාම හදිසි නීතිය පනවා සහන දීමේ කටයුතු වේගවත් කරන ලෙසටය. ඊටද හේතුවී තිබුණේ කිසියම් බලවේගයක් හදිසි නීතිය පැනවීමෙන් ජනාධිපතිවරයා වළක්වන බවට ඔවුන්ටද සැකයක් මතුව තිබීම නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමට දින කීපයක් ප්‍රමාද වූයේ ඇයි? ජනාධිපතිවරයා වැළැක්වූයේ කව්රුන්ද?
ඇතැමුන් නම් සැක කරන්නේ යම් යම් ව්‍යාපාරික කණ්ඩායම් මේ ප්‍රමාදය පසුපස සිටියා යැයි කියාය. හදිසි නීතිය පැනවුවහොත් සංචාරකයන් පැමිණීමේ අඩුවක් විය හැකි බවට ජනාධිපතිවරයාට පෙන්වා දී ඉන් වැළකී සිටීමට උපදෙස් දී ඇතැයි කියාය. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවසානයේදී හදිසි නීතිය පැනවීමට තීරණය කළේ විපක්ෂයේ නියෝජිතයන්ගෙන් මෙම උපදෙස් ලැබී දවස් 3ක් පමණ ඉක්ම යෑමෙන් අනතුරුවය.
එතැන් සිට ජනාධිපතිවරයාගේ විපක්ෂයේ සියල්ලන්ම එකතු කරගෙන මෙම ආපදාවෙන් ගොඩ ආයුතු බවට වූ ස්ථාවරයේ යම්කිසි වෙනසක් සිදුවූවාද යන්න පිළිබඳ සැක සහිත සිදුවීම් කිහිපයක්ම සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් පසු පරණ පුරුදු ක්‍රමයටම තමන්ගේ ආණ්ඩුව, තමන්ගේ පක්ෂය, තමන්ගේ මැති ඇමැතිවරුන් පමණක් පෙරටු කොටගෙන තමන් විසින් මෙම ආපදාව කළමනාකරණය කොට ඉදිරියට යායුතු බවට වූ තැනට මාලිමා ආණ්ඩුවත් වැටුණාද යන සැකය මතුවන සිදුවීම් ගණනාවක් තිරය පිටුපස සිදුවන්නට විය. ඊට ප්‍රධානම හේතුව වූයේ 2005 ව්‍යසන කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව කැඳවිය යුතු වුවද, එය පසෙක තබා ජනාධිපතිවරයා විසින් හදිසියේම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ නමින් විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගැනීමය. ඒ හරහා කුණාටුවෙන් විපතට පත් රට යළි ගොඩනැගීමේ අරමුදලක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබූ අතර, එම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමටත්, එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් පත්කිරීමටත් පියවර ගෙන තිබිණි. ඒ අනුව එහි සභාපති ලෙස ජනාධිපතිවරයා පත්කොට තිබුණේ අනිල් ජයන්ත අමාත්‍යවරයාය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඊ.එම්.ආර්.ඩී. අපෝන්සු මහතා එහි කැඳවුම්කරු ලෙස පත්කොට තිබිණි.
එමෙන්ම එහි දැකගන්නට තිබූ අනෙකුත් විශේෂම සිදුවීම වූයේ රටේ නමගිය ව්‍යාපාරිකයන් රැසක්ම ඊට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබීමය. ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමෙරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීශ්වර ගුණරත්න, හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් උපසභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීන් අෂ්රෆ් ඕමාර් සහ එල්.ඕ.එල්.සී. සමාගමේ විධායක සභාපති ඉෂාර නානායක්කාර එහි සාමාජිකයෝ වූහ. අර්බුදය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය මෙම කළමනාකරණ කමිටුවට හිමිවන බවත්, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන්කිරීම සහ අනුමත ප්‍රතිසාධන සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් අතර වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබිණ. එමෙන්ම මේ සඳහා අරමුදල් ලබාදිය හැකි බැංකු ගිණුම් කිහිපයක්ද ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කොට තිබිණ.
සජිත් කරපු දේ
මේ ආකාරයට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටේ නමගිය ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත කමිටුවක් වෙනමම පත්කිරීමත් සමග සියලු දේශපාලන පක්ෂ මෙම ව්‍යසනයේදී එක්ව කටයුතු කළ යුතු බවට වූ සම්මතය බිඳවැටුණු ආකාරයක් දක්නට හැකි විය. ආණ්ඩුව සහ විපක්ෂය බෙදුණු ආකාරයක් දැකගත හැකි විය. ජාතික ආපදාව හමුවේ ආණ්ඩුව වෙනම ගමනක් යෑමට සූදානම් වන ආකාරයක් විපක්ෂයට හැඟිණි. එසේ වුවද, විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් මෙතෙක් ඉතිහාසයේ සිටි කිසිදු විපක්ෂ නායකවරයකු නොකළ ආකාරයට, නොහැසිරුණු ආකාරයට ඉතා ප්‍රගතිශීලී විපක්ෂ නායකවරයකු වශයෙන් ආණ්ඩුව විපක්ෂය අතහරිද්දීත්, නියම රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළ ආකාරය දැකගන්නට ලැබිණි. එහිදී සජිත් වෙනත් කිසිදු විපක්ෂ නායකවරයකු නොකළ පරිද්දෙන් ගංවතුර තත්ත්වය පවතිද්දීම එම ප්‍රදේශවලට ගොස් අවතැන් කඳවුරුවල සිටින ජනතාවගේ දුක සැප සහ ඔවුන්ගේ අවශ්‍යතා සොයාබැලීමට පියවර ගත්තේය. ඒ අතරවාරයේ නියම රාජ්‍යතාන්ත්‍රිකයකු සේ විදෙස් තානාපතිවරුන් විපක්ෂ නායක කාර්යාලයට කැඳවමින්, ඔවුන් හමුවී සිදුවූ ව්‍යසනයෙන් ගොඩ ඒම සඳහා ආධාර කරන ලෙසට ඉල්ලා සිටීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් ජපන් තානාපතිවරයාත්, කොරියානු තානාපතිවරියත්, ජර්මානු තානාපතිවරයාත්, යුරෝපා සංගමයේ තානාපතිවරියත්, ඉතාලි තානාපතිවරයාත්, ඉන්දීය මහකොමසාරිස්වරයාත් හමුවී වහාම රටට උදව් කරන ලෙසට ඉල්ලා සිටීමට පියවර ගත්තේය.
මීට අමතරව හානියට ලක්වූ කොලොන්නාව ප්‍රදේශයේ සංචාරය කරමින් කොලොන්නාව සජබ නියෝජිතයා වූ මරික්කාර් සමග එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වූ එකම ඉල්ලීම වූයේ ගංවතුර හේතුවෙන් තවමත් ආරක්ෂිත ස්ථාන කරා ඒමට නොහැකිව විශාල පිරිසක් නිවෙස්වල කොටුවී සිටින බවත්, හැකි ඉක්මනින් ඔවුන්ට ආධාර උපකාර කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ඒ සඳහා විශාල ගැටලුවක් වී තිබුණේ බෝට්ටු නොමැති වීමය. ඒ වනවිටත් බෝට්ටු හිඟ වීම ආණ්ඩුවටද විශාල ප්‍රශ්නයක් වී ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ ගංවතුර තත්ත්වය මතුවී දින දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බෝට්ටු අවශ්‍ය බව කියමින් සිය ෆේස්බුක් පිටුවේම විශේෂ සටහනක් තැබීමට කටයුතු කොට තිබීම නිසාය.
කෙසේ වෙතත් ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට අනුව සජිත් මරික්කාර්ට දැනුම්දී සිටියේ වහාම බෝට්ටු රැගෙන ඒමට කටයුතු කරන ලෙසටය. ඒ අනුව මරික්කාර්ද කුලී පදනම යටතේ බෝට්ටු කීපයක් රැගෙන ඒමට පියවර ගත්තේය. එහිදී මරික්කාර්ද පුදුමයට පත්කරමින් සජිත් කියා සිටියේ තමන්ටද බෝට්ටුවේ නැගී ජනතාවට සහන සැලසීමට යෑමට අවශ්‍ය යැයි කියාය. මරික්කාර්ද සජිත්ගේ මෙම යෝජනාවෙන් පුදුමයට පත්වූයේ එය ඉතා අනතුරුදායක කටයුත්තක් බව වැටහී යෑම නිසාය. නමුත් සජිත් එම අවදානම ගෙන බෝට්ටුවේ නැගී ගංවතුරෙන් සිරවී සිටින ජනතාව හමුවීමට ගොස් ඔවුන්ට ආධාර උපකාර කිරීම විශේෂ සිදුවීමක් විය.
පාර්ලිමේන්තුවත් බෙදෙයි
මේ අතර ජාතික ආපදාවකදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර අන්‍යොන්‍ය එකඟතාවක්, අන්‍යොන්‍ය සුහදතාවක් පැවැත්විය යුතු වුවද, එය නිල වශයෙන් බිඳීගිය අවස්ථාව පාර්ලිමේන්තුව ආරම්භ වූ සඳුදා දිනයේදී දැකගන්නට ලැබිණි. ඒ, පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. මෙහිදී විපක්ෂය ජනතාවට බලපා ඇති ආපදාව සම්බන්ධයෙන් කතාකිරීම සඳහා දිනක විවාදයක් ඉල්ලා සිටියද, ආණ්ඩුව පැත්තෙන් ඊට විශාල විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන් බිමල් රත්නායක මහතා පැහැදිලිවම කියා සිටියේ අයවැය විවාදය මුල්කරගෙන දිනක විවාදයක් ඊට ලබාදිය නොහැකි යැයි කියාය. අවශ්‍ය නම් උදේ කාලය පමණක් ඊට ලබාදිය හැකි බව බිමල්ගේ ස්ථාවරය විය.
සාමාන්‍යයෙන් ආණ්ඩුව පත්වූදා සිටම බිමල් සහ විපක්ෂය අතර එතරම් සමීප සම්බන්ධතාවක් පැවැති බවක් දැකගන්නට ලැබුණේ නැත. ආණ්ඩුව ඇතුළේ විපක්ෂය සමග කෙළින්ම ගැටුණු එකම අමාත්‍යවරයා වූයේ බිමල්ය. මේ නිසා බිමල් හා විපක්ෂ නියෝජිතයන් අතර පසුගිය කාලයේ වැඩි සුහදත්වයක් ගොඩනැගී තිබුණේ නැත. ජාතික ආපදාවකදී හෝ දෙපාර්ශ්වය අතර එම සුහදතාව ගොඩනැගිය යුතුව තිබුණද විපක්ෂය ඉල්ලා සිටි දිනෙක විවාදය දෙනවා වෙනුවට දහවල් 12.30 වනතුරු පමණක් ඊට වේලාව ලබාදිය හැකි බවටත්, එක් කථිකයකුට විනාඩි 3ක කාලයක් ලබාදිය හැකි බවටත් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වීමත් සමග විපක්ෂය ඊට දැඩි විරෝධයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. ආණ්ඩුව හිතාමතාම මෙම කාලය සීමා කරනුයේ ආණ්ඩුවේ අඩුපාඩුකම් එළියට පැමිණීමට ඇති ඉඩකඩ ආවරණය කරගැනීමට බවට විපක්ෂයට වැටහී යෑමත් සමග විපක්ෂය ඊට දැඩි විරෝධයක් පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.
ඒ අනුව විපක්ෂය සජිත්ගේ ප්‍රධානත්වයෙන් වෙනම විශේෂ රැස්වීමක් සඳුදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදීද බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ආණ්ඩුව තම නොහැකියාව සහ පළපුරුද්ද නැතිකම වසාගැනීම සඳහා මේ ආකාරයට විපක්ෂයට ආපදාව පිළිබඳ කතාකිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවය. ඒ අනුව එහිදී තීන්දු වූයේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කිරීමට කාලය ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවට විරෝධය පා පාර්ලිමේන්තු සභාගැබෙන් පිටව යෑමටය. එය ප්‍රකාශයට පත් කිරීම බාර වූයේ විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන කබීර් හෂීම්ටය. සාකච්ඡාවේදී කතාබහ කරගත් ආකාරයටම ආණ්ඩුව දිනෙක විවාදයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යෑමට එදින කටයුතු කළේය. ඒ හරහා පළමු වතාවට ආණ්ඩුව සහ විපක්ෂය මෙම ව්‍යසනයේදී බෙදී සිටින බවට වූ පණිවුඩය රටටත්, ලෝකයටත් ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී විපක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ ආණ්ඩුව සමග එක්ව ජනතාවට අවශ්‍ය සහන සැලසීමට විපක්ෂය තීරණය කර තිබුණත්, එම ගමන පැලවත්තෙන් හයිජැක් කිරීමට කටයුතු කොට ඇති බවකි. ඊට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවද විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබිණි.
ප්‍රහාරය දැඩිවෙයි
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඊළඟට ආරම්භ වූ අඟහරුවාදා දිනයේද ආණ්ඩුව සහ විපක්ෂය අතර වූ මෙම බෙදීම තවදුරටත් වර්ධනය වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ, ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබූ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුවට විපක්ෂය පැත්තෙන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වීම හරහාය. මේ සඳහා ආරම්භය ගත්තේ වෙන කවුරුවත් නොව සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්ය. මුජිබර් ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ ආපදා කළමනාකරණය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් විශාල ප්‍රමාණයක් රටේ සිටියදී ඒ කිසිවකුත් අදාළ කමිටුවට ඇතුළත් නොකර ජනාධිපතිවරයා තමන්ට හිතවත් පුද්ගලයන් සහ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පමණක් මෙම කමිටුවට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. එහිදී ප්‍රබල චෝදනාවක් එල්ල කරමින් මුජිබර් තවදුරටත් කියා සිටියේ ලංකාවට වාහන ගෙන්වීමේදී එහි එන්ජින් ධාරිතාව වෙනස් කොට අයුතු ලාභ උපයා ඇති බවට චෝදනා ලත් ව්‍යාපාරිකයකුද මෙම කමිටුවේ සිටින බවත්, මේ සම්බන්ධයෙන් දැනට අභියාචනාධිකරණය හමුවේ නඩු කටයුත්තක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය. මීට අමතරව ආණ්ඩුව කාන්තාවන් එක මිටට යැයි කියමින් බලයට පත්වුවත් කිසිදු කාන්තාවක් මෙම කමිටුවට නම් නොකිරීම පුදුමයට කාරණයක් බවද මුජිබර් පෙන්වා දුන්නේය.
මේ ආකාරයට මුජිබර් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කරද්දී ඊළඟට අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී හර්ෂ කියා සිටියේ ව්‍යවස්ථාවට අනුකුලව මෙවැනි අරමුදලක් පිහිටුවීමේ කිසිදු නෛතික පදනමක් නැතැයි කියාය. රටේ මූල්‍ය කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසා මෙවැනි අරමුදලක් පිහිටුවන්නේ නම් එය පාර්ලිමේන්තුව තුළින් සිදුකළ යුතු බව පෙන්වා දුන් හර්ෂ, එසේ නොවන්නේ නම් එය නීත්‍යනුකූල එකක් නොවන බවද පෙන්වා දුන්නේය. එමෙන්ම එම අරමුදලේ කටයුතු විගණනය විය යුතු බවද පෙන්වා දෙමින් හර්ෂ ඊට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.
මුජිබර්ගේත්, හර්ෂගේත් මෙම ප්‍රහාරයන් අනතුරුව ඊළඟට අදහස් දැක්වීම ආරම්භ කළේ විපක්ෂ නායක සජිත්ය. එහිදී ජනතාව මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව කාලවේලාව වෙන් නොකිරීම පිළිබඳ බරපතළ විවේචනයක් කළ සජිත් ආණ්ඩුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය. එහිදී සජිත් අවධාරණය කළ ප්‍රධානම කරුණ වූයේ වහාම අයවැය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය. ආණ්ඩුව මේ වනවිට ඉදිරිපත් කර ඇති අයවැය හදිසියේ උද්ගත වූ මෙම ජාතික ව්‍යසනයට කිසිසේත්ම ගැලපෙන්නක් නොවන නිසා වහාම අයවැය වෙනස් කොට මෙම ජාතික ආපදාවෙන් ගොඩ ඒමට හැකිවන පරිදි කල්වේලා ගෙන හෝ යළි අලුත් අයවැයක් ඉදිරිපත් කරන ලෙස සජිත් එහිදී ආණ්ඩුවට දැනුම් දී සිටියේය. ඒ වනවිට අපටද ලැබී තිබුණු තොරතුරුවලින් කියැවුණේ ආපදාවට මුහුණ දී සිටින ජනතාව සඳහා මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නිලධාරීන් අතර මතුව තිබූ බවකි. හදිසි නීතිය පනවා තිබුණද මුදල් වියදම් කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලුවලට නිලධාරීන් මුහුණ දී සිටින බවක්ද ඒ වනවිට වාර්තාව වී තිබිණි. ඒ අනුව සජිත් සිය කතාවේදී පෙන්වා දුන්නේ වහාම පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට මෙම ගැටලුකාරී තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන ලෙසය.
එමෙන්ම වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ජනතාවට පීඩාකාරී ලෙස බලපාන වගන්ති වෙනස් කිරීමට කටයුතු කරන ලෙසත්, වහාම ලංකාවට ආධාර ලබාගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන ලෙසත් සජිත් එහිදී ආණ්ඩුවට දැනුම්දී සිටියේය. ආණ්ඩුවට එම කටයුතු කිරීමට අපහසු නම් එය විපක්ෂයට භාරදෙන ලෙසත්, ඒ සඳහා මැදිහත් වීමට තමන් ඇතුළු විපක්ෂය සූදානම් බවත් සජිත් එහිදී ආණ්ඩුවට පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් අඟහරුවාදා දිනයේදී මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් පසු ජනාධිපතිවරයාටත් එහි ඇති බැරෑරුම්කම වැටහී ගොස් තිබූ බවක් අපට ඇති ආරංචිවලින් පැවසේ. ඒ අනුව ජනාධිපතිවරයාද තීරණය කොට තිබුණේ වත්මන් අයවැයත් සමග තවදුරටත් ඉදිරියට යා නොහැකි බැවින් සිදුවූ ආපදාවෙන් ගොඩ ඒමට හැකිවන ආකාරයේ අයවැයක් යළි ඉදිරිපත් කිරීම සුදුසු බවටය. ඒ අනුව වහාම ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා මේ මහා ව්‍යසනය හමුවේ ජනතාවට සහන ලබාදිය හැකි ආකාරයේ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ජනතාවට වහාම ලබාදිය හැකි සහන පිළිබඳවද සාකච්ඡා කෙරිණි. එහිදී නිලධාරීන් සියලු දෙනාම පාහේ පෙන්වා දුන්නේ පසුගිය කාලයේදී ලැබුණු විශාල බදු ආදායම හේතුකොට ගෙන මේ වනවිට භාණ්ඩාගාරය සතුව මුදල් ඇති බවත්, සපුරාලිය යුතු ඉලක්ක පවා පසුකොට බිලියන 400ක පමණ ආදායමක් ලැබී ඇති බවත්ය.
කෙසේවෙතත් මුලින් ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ මෙම මුදල අරපරිස්සමෙන් යුතුව ඉදිරි වසර 2ක කාලය තුළ භාවිත කොට ඊළඟ මැතිවරණයට වසරක් පමණ තබා ජනතාවට දැනෙන පරිදි රටේ සංවර්ධනයට අතදිග හැර වියදම් කිරීමටය. නමුත් හදිසියේ කඩාවැටුණු මහා ව්‍යසනය හේතුකොට ගෙන ආණ්ඩුව ගහන්නට සූදානමින් සිටි තුරුම්පුව එක්වරම කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ එසේනම් අදාළ මුදලින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට ජනතාවට තාවකාලිකව සහන ලබාදීමට කටයුතු කළ යුතු යැයි කියාය. එසේ නිදහස් කළ යුතු මුදල බිලියන 500ක් බවද කියවිණ.
අයිඑම්එෆ් කැමැති වෙයිද?
නමුත් මේ ආකාරයට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 500ක මුදලක් වෙන්කිරීමට තීරණය කිරීමත් සමග ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට කවර ලෙසකින් ප්‍රතිචාර දක්වාවිදැයි කියාය. මේ වනවිටත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදිය යුතු 6 වැනි ණය වාරිකය සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණ ඇති අතර, එහි අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත්තේ ලබන 15 වැනිදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදීය. ඒ අනුව ආණ්ඩුව වහාම මෙම බිලියන 500ක මුදල නිදහස් කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව ගෙන ආ මෙම යෝජනාව මූල්‍ය අරමුදල විසින් මුල් වටයේදීම ප්‍රතික්ෂේප කිරීමය. අපට ඇති තොරතුරුවලට අනුව එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ ආකාරයට අසීරුවෙන් එක්රැස් කරගත් බදු මුදල් ගංවතුර ආපදාව සඳහා එක්වරම යෙදවුවහොත් ඒ හරහා ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ලවිය හැකි බවත්, ආර්ථික අර්බුදය අවදානම්සහගත තත්ත්වයකට පෙරළීමේ ඉඩක් මතුවිය හැකි බවත්ය. එම නිසා සිදුව ඇති හානි සම්බන්ධයෙන් නිශ්චිත තක්සේරුවක් සිදුකොට අවසානයේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා තෙක් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම ජනවාරි මාසය තෙක් කල්දමන ලෙසටද මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් ලංකාව මුහුණදී සිටින හදිසි ආපදාවෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය අරමුදලද විශේෂ අරමුදලක් ලංකාව වෙනුවෙන් සම්පාදනය කිරීමට සූදානම් බව පෙන්වා දුන් මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට ආධාර කරන ජාත්‍යන්තර රටවල් කැඳවා ආධාරක සමුළුවක් පැවැත්වීමට මූලිකත්වය ගතහැකි බවද ආණ්ඩුවට දැනුම් දී සිටියේය. එමෙන්ම විනාශ වී ගිය පාලම්, මාර්ග, නිවාස ආදිය යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාදීමට මූල්‍ය අරමුදල කටයුතු කරන බවද එහිදී ඔවුන් ආණ්ඩුවට දැනුම් දී තිබිණි.
ඒ අනුව දැන් ආණ්ඩුව මුහුණ දී සිටින්නේ මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නට හෝ ඉදිරිපත් නොකර සිටින්නට හෝ නොහැකි තත්ත්වයකට පත්වය. යම් හෙයකින් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ උපදෙස් නොතකා ජනතාවට බිලියන 500ක මුදලක් වෙන් කිරීමට ගියහොත් මූල්‍ය අරමුදලේ දෝෂාරෝපණයට ලක්වීම නොවැළැක්විය හැක්කකි. ඒ හරහා දෙපාර්ශ්වය අතර නියත මතගැටුමක් මතුවීමේ අවදානමක් නැතුවා නොවේ. එසේ වුවහොත් ලබන 15 වැනිදා වොෂිංටනයේ පැවැත්වෙන මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ලංකාවට ලබාදීමට නියමිත 6වැනි ණය වාරිකය නිදහස් නොකොට කල්දැමීමේ හැකියාවක්ද මූල්‍ය අරමුදල සතුව තිබේ. එමෙන්ම මෙම බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත නොකළහොත් සිදුව ඇති මහා ව්‍යසනය හමුවේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක් නොකොට භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කරගෙන සිටින බවට වූ විශාල ජනතා අපවාදයට මුහුණ දීමටද ආණ්ඩුවට සිදුවනු ඇත. කෙසේවෙතත් කුමන ප්‍රතිපලයක් මතුවුවද ජනාධිපතිවරයා මෙම මුදල නිදහස් කරගැනීම සම්බන්ධයෙන් දැඩි තීරණයක සිටින බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණයවාරිකයට අමතරව තවත් ඩොලර් මිලියන 200ක ණය මුදලක්ද මේ වනවිට ආණ්ඩුව ඉල්ලා තිබේ. ඒ සම්බන්ධයෙන්ද නිලධාරී මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති අතර එහි තීන්දුව ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ ලැබීමට නියමිත බවද දැනගන්නට ඇත.
අමෙරිකාවට කතාකරයි
මේ අතර, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක්ද පසුගිය සතියේ පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආපදා තත්ත්වය තමන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කර ඇති ඇමෙරිකානු විශේෂ නියෝජිතයා, ආදරණීයයන් අහිමි වූ පවුල්වලට සිය බලවත් ශෝකය පළ කළ අතර, මෙම අසීරු අවස්ථාවේදී ඇමෙරිකාව, ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවද අවධාරණය කර තිබිණි.
මේ සර්ජියෝ ගෝර් යනු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අතිශය සමීපව කටයුතු කරන්නෙකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඇමෙරිකාවට ගිය අවස්ථාවේදී මේ කියන ගෝර් සමග මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එහිදීද ගෝර් සඳහන් කොට තිබුණේ අවශ්‍ය ඕනෑම මොහොතක තමන් අමතන ලෙසත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ඍජුව තමන්ට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත්ය.
ඒ අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලංකාව මේ වනවිට මුහුණපා සිටින ස්වාභාවික ආපදාව පිළිබඳ සියලු තොරතුරු ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනුම්දන ලෙස ගෝර්ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම පිළිගනිමින් ගෝර් පෙරළා කියා තිබුණේ ලංකාවට අවශ්‍ය හදිසි ආධාර සම්බන්ධයෙන් වහාම පොරොත්තු ලේඛනයක් සකස් කොට දෙන ලෙසය. ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට ස්වභාවික ආපදාව හේතුවෙන් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් විශාල වශයෙන් හානිවී ඇති බවත්, ඒ සියල්ල ප්‍රතිසංස්කරණය කොට ජනජීවිත යථාවත් කිරීමට හදිසි ආධාර අවශ්‍යව ඇති බවත්ය. ඒ අනුව ගෝර් ජනාධිපතිවරයාට පෙරළා දැනුම් දී තිබුණේ තමන් ඒ සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවකි. එමෙන්ම ලංකාවට අවශ්‍ය ඉක්මන් සහන සහ තාක්ෂණික සහාය ලබාදීමට ඇමෙරිකාව කටයුතු කරන බවද හෙතෙම ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව අදාළ සාකච්ඡාව අවසන් වනවාත් සමගම ඇමෙරිකාව තීන්දු කොට තිබුණේ සී-130 දරන දැවැන්ත ගුවන් යානා දෙකකින් ලංකාවට හදිසි ආධාර ලබාදීමටය. ලංකාවට ආසන්නයේ පිහිටි අමෙරිකානු කඳවුර වූ දියාගෝ ග්‍රාෂියා දිවයිනේ සිට මෙම ආධාර රැගත් ගුවන් යානා ලංකාවට එවීමටද ඇමෙරිකාව පියවර ගෙන තිබිණි.
මේ ආකාරයටම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරය දරද්දීද ඇමෙරිකාව අතිශය රහසිගත ආකාරයට සී-130 වර්ගයේ දැවැන්ත යානාවක් ලංකාවට එවා තිබිණි. එදා ඇමෙරිකාව මෙම ගමන කොපමණ රහසිගත ආකාරයට සිදුකිරීමට පියවර ගත්තාද කියනවා නම් එදා ආණ්ඩුව මෙම ගුවන් යානයේ පැමිණි කණ්ඩායම කොළඹට කැඳවාගැනීම සඳහා අධිවේගී මාර්ගය පවා වසාදැමීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම පැමිණියේ කවුරුන්ද යන්න පිළිබඳ හෝ කිසිදු අනාවරණයක් කිසිදු මාධ්‍යයකින් සිදු නොකිරිණි. නමුත් ඒ අවස්ථාවේදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඇමෙරිකානු ඔත්තු සේවය වන සී.අයි.ඒ.හි ප්‍රධානියා එදා මෙසේ රහසිගත ආකාරයට ලංකාවට පැමිණ ආණ්ඩුවේ බලධාරීන් සමග සාක්ච්ඡා කිරීමට කටයුතු කොට තිබූ බවකි. නමුත් අද ඇමෙරිකාව සී-130 වර්ගයේ යානා දෙකක්ම ලංකාවට එවා ඇත්තේ ගංවතුරෙන් හානි වූවන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහාය. නමුත් යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 15 වැනිදා ලංකාවට ලබාදෙන ණය සහන සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගතහොත් ඇමෙරිකාවෙන් ලබාදෙන මේ ආධාර පිළිබඳ ඇමෙරිකානු රජයද යම් තීන්දුවක් ගැනීමේ අවදානමක්ද මතුව ඇතිවා නොවේ.
ගංවතුරේ මංගල්ලේ
සාමාන්‍යයෙන් රටක ජාතික ආපදාවක් සිදුව පවතිද්දී ඒ මතින් කවුරුවත් දේශපාලනය කරන්න යන්නේ නැත. එමෙන්ම සතුටු සාද උත්සව පවත්වා ප්‍රීති වන්නට යන්නේද නැත. හැමෝම එකාවන්ව විපතට පත්වූවන් වෙනුවෙන් දුක්වීම අපේ සංස්කෘතියේ කොටසකි. ආධාර උපකාර කරගැනීම උපසංස්කෘතියකි. නමුත් එසේ නොවන අවස්ථා නැත්තේද නොවේ. පසුගියදා මුළු රටම පත්වූ ජාතික ව්‍යසනය හමුවේද එවැනිම සිදුවීමක් සිදුවනු දැකගන්නට ලැබිණි. ඒ, හිටපු අමාත්‍යවරයකු මෙන්ම මෙවර පාර්ලිමේන්තුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන ජීවන් තොණ්ඩමන් මහතාගේ මංගල උත්සවයේ දෙවැනි ගමන උත්සවාකාරයෙන් යුතුව කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමය.
මෙහි පළමු උත්සවය මීට දෙසතියකට ඉහතදී පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි නුවරය. එම අවස්ථාවට සහභාගී වීමටද ලංකාවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් චෙන්නායි බලා පිටත්ව ගොස් තිබිණි. චෙන්නායිහි පැවැති මංගල උත්සවයෙන් පසු සති අන්තයේ පැවැති දෙවැනි ගමනේ උත්සවයට එක්වීම සඳහා තොණ්ඩමන් යුවල ලංකාවට පැමිණ තිබිණි. කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධාන කර තිබූ මෙම සාදයට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන්ටත්, හිටපු ජනාධිපතිවරුන්ටත්, විපක්ෂ නායක සජිත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ජීවන් ආරාධනා පත් යොමුකොට තිබිණි.
කෙසේ වෙතත් උත්සවයට දින දෙකක් තබා ඇතිවූ සුළි කුණාටුව හේතුකොට ගෙන තොණ්ඩමන් නියෝජනය කරන වතුකරය සම්පූර්ණයෙන්ම පාහේ හානියට පත්ව තිබිණි. මරණ බොහෝ ප්‍රමාණයක් සිදුව තිබුණු අතර, දැවැන්ත දේපළ විනාශයක්ද එහිදී සිදුව තිබිණි. ඒ අනුව බොහෝ දෙනා ජීවන්ගේ දෙවැනි ගමනේ උත්සවය කල්දමනු ඇති බව සිතා සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සැලසුම් කළ පරිදිම හිල්ටන් හෝටලයේ උත්සවය ගැනීමට ජීවන් කටයුතු කොට තිබිණි. ඊට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහත්, ගෝඨාභය රාජපක්ෂත් එක්ව සිටි අතර, මෛත්‍රී වික්‍රමසිංහ, දිලිත් ජයවීර, කරු ජයසූරිය වැන්නවුන්ද එම උත්සවයේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඊට එක්ව නොසිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මේ තත්ත්වය වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය තොණ්ඩමන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් වතුකරයේ බරපතළ විනාශයක් සිදුව තිබියදී සිය මඟුල පැවැත්වීමට කටයුතු කර ඇති බව කියමින් පහර පිට පහර දෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ නිසාමදෝ තොණ්ඩමන් සිය දෙවැනි ගමනේ ඡායාරූප කිසිදු තැනක ප්‍රසිද්ධියේ පළකොට තිබූ ආකාරයක් දැකගත නොහැකි විය. අවම වශයෙන් තොණ්ඩමන්ගේ ෆේස්බුක් පිටුවේ හෝ ඒ සම්බන්ධ ඡායාරූපයක් දැකගත නොහැකි විය. කෙසේ වෙතත් අප සතුව එහි ඡායාරූපයක් පවතින නමුත් රටේ මතුව ඇති වාතාවරණය හමුවේ අප එය මෙවර පළකිරීමට කටයුතු කරන්නේ නැත. නමුත් මෙහිදී දේශපාලකයන් අමතක නොකළ යුතු කාරණාවක් තිබේ. ඒ, අරගලය කිරීම සඳහා 2022දී ජනතාව පාරට බැස්සේ මෙවැනි දේශපාලන සංස්කෘතීන් පිටුදැකීමට බවය.
රනිල් බිමටම වැටෙයි
රටේ ජාතික ව්‍යසනයක් සිදුව පවතිද්දී මංගල උත්සව ගත්තා හා සමානව තවත් විවිධ දේශපාලන න්‍යායපත්‍ර රට ඇතුළේ ක්‍රියාත්මක වන ආකාරයක්ද දැකගන්නට තිබේ. විශේෂයෙන්ම රටේ විපතක් වූ අවස්ථාවකදී ඒ හරහා බලය ගැනීමට මාන බලමින් සිටින විවිධ කල්ලි කණ්ඩායම් ඉන් ප්‍රධානය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමාන්‍යයෙන් සැලකෙන්නේද කිසියම් විපතක් හෝ අර්බුදයක් හරහා සෑම විටම බලය අත්පත් කරගත්තකු ලෙසය. උදාහරණයක් ලෙස රනිල් 2001 ආණ්ඩුව පිහිටුවන්නේ කොටි නායක ප්‍රභාකරන්ගේ ගුවන් බළකාය කටුනායකට බෝම්බ ගැසීමෙන් අනතුරුව පැනනැගුණු ආර්ථික අර්බුදයට පින් සිදුවන්නටය. පසුව 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන්නේ රට තුළ මතුවූ ආර්ථික අර්බුදය මුල්කරගෙනය. ඉන් අනතුරුව 2022දී ජනාධිපති ධුරයට පත්වන්නේ අරගලයෙන් අනතුරුව රට බංකොලොත් වීමෙන් මතුවූ ආර්ථික අර්බුදය හරහාය. ඒ අනුව රනිල් කොයි මොහොතේත් බලා සිටින්නේ යළි අරගලයක් රටේ මතුවන තෙක්ය. ඒ හරහා කොහෙන් හෝ රිංගා රටේ ඉහළ පුටුවකට පත්වීමටය. එසේ කොට රටේ ගැලවුම්කාරයා තමන් බව පෙන්වීම රනිල්ගේ සිරිතය. රනිල්ගේ මේ ෂෝට්කට් දේශාපලන ඉතිහාසය පිළිබඳ අප අවස්ථා ගණනාවකදීම මේ තීරය ඔස්සේ තොරතුරු වාර්තා කිරීමටද පියවර ගෙන ඇත්තෙමු.
කෙසේ වෙතත් මෙවර ආපදාව සිදුවූ සැණින්ද රනිල්ගේ පාර්ශ්වයෙන් ඔහුගේ පවුලට අයත් පුවත්පත් හරහා පුවතක් පළකරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රනිල් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව පළ කළේය. ඊට විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට ආරාධනා කොට ඇති බවද කියවිණි. ඒ හරහා රනිල්ගේ සැලසුම වී තිබුණේ විපක්ෂයේ සියලු දෙනා කැඳවා තමන් ‘පොර’ බව පෙන්වමින් ඡායාරූප පළකොට ලොකු මීඩියා ෂෝ එකක් දමන්නටය. ඊට විපක්ෂ නායක සජිත් එක්කර ගැනීමේ වගකීම රනිල් භාරදී තිබුණේ ඔහුගේ පවුලේ ඥාතියා වන රුවන් විජේවර්ධනටය. රුවන් පහුගිය කාලයේදී පවුලේ ව්‍යාපාරික කටයුතු බලාකියා ගැනීම සඳහා තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වන බව කියා තිබුණත්, නැවතත් මේ වනවිට ඔහු රනිල් සමග එක්ව දේශපාලනය කරන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව රුවන් පහුගිය දින කීපයේ අවස්ථා කීපයකදීම සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඊට ආරාධනා කිරීමට උත්සාහ ගත්තත් සජිත් ඒ කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වා සිටීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව අවසානයේදී රනිල් බලාපොරොත්තු වූ ආකාරයට පාර්ලිමේන්තුවේ සිටින කිසිදු නියෝජිතයකු හෝ පක්ෂ නායකයකු රනිල් හමුවීමට පැමිණයේ නැත. උතුර නැගෙනහිර නියෝජනය කරන කිසිදු පක්ෂ නායකයකු හෝ දෙමළ, මුස්ලිම් මන්ත්‍රීවරයකු ඊට සහභාගි වී සිටියේ නැත. අවම වශයෙන් පොහොට්ටුවේ කිසිදු නියෝජිතයකු හෝ ඊට සහභාගි වී නොසිටීම විශේෂ සිදුවීමකි.
කෙසේ වෙතත් රැස්වීම ආරම්භයේදී රනිල්ට ආසන්නයේ අසුන් දෙකක් වෙන්කර තිබූ අතර, පැමිණ සිටියවුන් ඒ කාටදැයි විමසද්දී රනිල් කියා සිටියේ එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යැයි කියාය. නමුත් මෛත්‍රිපාලද ඊට සහභාගි වීමට කටයුතු කොට තිබුණේ නැත. ඒ අනුව රැස්වීමට එක්ව සිටියේ ජී.එල්. පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවිර වැනි කණ්ඩායමකි.
අඩුම තරමින් පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවැති රැස්වීමට සහභාගි වූ පොහොට්ටුව හෝ රනිල් කැඳවූ මෙම සාකච්ඡාවට එක් නොවූයේ ඇයි? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම රැස්වීමෙන් පසු නාමල්ගේ නායකත්වයෙන් ගොඩනගන සන්ධානයට එජාපය එක්කර නොගන්නා බවට පොහොට්ටුව පැත්තෙන් පණිවුඩයක් එජාපයට ලැබී ඇති බවකි. පොහොට්ටුව මේ වනවිට වමට බර දේශපාලන ගමනක් යෑමට සැලසුම් කර ඇති බවත්, එම දේශපාලන සංස්කෘතියට එජාපය නොගැළපෙන බවත් එම පණිවුඩයෙන් දැනුම්දී ඇති බවක්ද ආරංචිය.










