රට තුළ සිදුවූ කුමනාකාරයේ හෝ රාජ්‍ය මුදල් අවභාවිතයන්, වංචනික ගනුදෙනු ආදී දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ආයතනයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. මේ දිනවල එම කොමිෂන් සභාව ගැන ජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබීම නිසාම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ස්වර්ණවාහිනී නාලිකාවේ රතුඉර වැඩසටහන කටයුතු කර තිබුණා. පහත පළවන්නේ රතුඉර මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට රංග දිසානායක මහතා එහිදී ලබාදුන් පිළිතුරුය. (මෙම ලිපියෙහි එම සම්පූර්ණ වැඩසටහනම අන්තර්ගත නොවන බව කරුණාවෙන් සලකන්න) Sri Lanka Latest News
මාධ්‍යවේදියා
මේ වෙනකොට අල්ලස් කොමිෂන් සභාව ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. අවධානය යොමුවෙලා තියෙනවා. දවස ගානේ පුවත් මැවෙන්න පටන් අරගෙන තියෙනවා. ඔබතුමා මේ වසර ආරම්භයේදී තමයි මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වෙන්නේ. ඊට පස්සේ ඔබතුමා අප්‍රේල් මාසෙදී අලුත් වැඩකටයුත්තක් පටන් ගත්තා අපි දැක්කා. ඇත්තටම කලින් තිබුණු අල්ලස් කොමිසමෙයි දැන් තියෙන අල්ලස් කොමිසමෙයි වෙනස මොකක්ද?
මහාධිකරණ විනිසුරු රංග දිසානායක
දැන් පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් පිහිටුවපු කොමිෂන් සභාවක්. ඔබ කිව්වා අලුත් දෙයක් වුණා කියලා. එහෙම අලුත් දෙයක් වුණේ නැහැ. මේ කොමිෂන් සභාව සැදිලා තිබෙන්නේ කොමසාරිස්වරුන් තිදෙනකුගෙන් සහ ඊට පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයකුගෙන් සහ ඉන් පසුව එහි කාර්ය මණ්ඩලයෙන්. මේ කොමිසමේ සභාපති වශයෙන් සිටින්නේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඉද්දවෙල මැතිතුමා. තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙක් සිටිනවා. ඒ කොමසාරිස්වරුන් පත්කරලා තිබෙන්නේ පෙර වසරේ. නමුත් මා කොමිෂන් සභාවට පත්වෙන්නේ 2025 ජනවාරි 08 වැනිදා. දූෂණ විරෝධී පනතේ 17 වැනි වගන්තිය ඔබ කියෙව්වොත් එහි තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කරන්නේ කොහොමද කියලා. ඒ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් කළ යුතුයි. එසේ සිදුකරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් අයැදුම්පත් කැඳවලා. ඒ අනුව මා ඊට අයැදුම්පතක් යොමුකළා. ඉන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත කොමිෂන් සභාව විමසා ජනාධිපතිවරයා විසින්. එතකොට මේක 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ තිබුණට වඩා වෙනස් තත්ත්වයක්. ඒ අනුව මේ පත්කිරීම ස්වාධීනව සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දූෂණ විරෝධී පනත මගින් ඇතිකරලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට තමන් කැමැති පුද්ගලයකු පත්කිරීමේ හැකියාව නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණයි මේ පත්කිරීම සිදුකරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව තමයි මා ජනවාරි 08 වැනිදා ගරු ජනාධිපතිතුමා විසින් මේ තනතුරට පත්කරනු ලබන්නේ.
කොමිෂන් සභාවේ සිදුවෙච්ච වෙනසක් නැහැ. මා පත්වීමක් ලැබුවා ජනවාරි මාසේ සිට. ඊට පෙර සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමක් සිදුවුණා. ඉන් පසුව තමයි මා පත්කිරීම සිදුකරනු ලැබුවේ. මම හිතන්නේ මින් ඉදිරියට මට විස්තර කරන්න පුළුවන් මේ දූෂණ විරෝධී පනත මොකක්ද සහ ඒ දූෂණ විරෝධී පනතේ බලතල මොනවද, ඒ වගේම අපේ කාර්යභාරය මොකක්ද කියලා. මෙතැනදී ඇත්තටම මම පැහැදිලිවම කියන්න ඕනේ තනිවම අධ්‍යක්ෂ ජනරාල්වරයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොමිෂන් සභාව විදියට තමයි අපි වැඩකරන්නේ. ඒ නිසා ඒ කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කාර්ය මණ්ඩලය සියලු දෙනාම තමයි මේ අද ඔබට පෙනෙන දේ කරන්නේ. එතකොට එහි කාර්යයන් සම්බන්ධයෙන් යම් කැපීපෙනෙන ස්වභාවයක් පෙනෙනවා අද වනවිට. ඇත්තටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා, ප්‍රධාන ගිණුම් නිලධාරියා වන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. පනතේ 18 වැනි වගන්තියේ ඒක පැහැදිලිව තියෙනවා. ඒ අනුව සියලු පරිපාලන කටයුතු සහ ගිණුම් කටයුතු වගේම පරිපාලනය සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ. ඒ අනුව යම් යම් ක්‍රියාමාර්ගයන් මා විසින් ගනු ලැබුවා මේ කොමිෂන් සභාවේ නිසි පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය සඳහා. ඒවා තමයි සමහර වෙලාවට ඔබට පෙන්නුම් කරන්නේ.
යම් රජයේ නිලධාරීන් අතර යම් කුකුසක් බියක් ඇතිවෙන්න පුළුවන් තමන් රාජකාරිය කිරීම හේතුකොට ගෙන තමන්ට හිරේ යන්න වෙනවද කියලා. මොකද අපි දන්නවා සමහර වෙලාවට රජයේ සමහර රෙගුලාසි හෝ චක්‍රලේඛයන්ට පිටින් ගිහිල්ලා සමහර තීරණ ගන්න වෙනවා. මහජන යහපත සඳහා ඇතැම් තීරණ ගන්න වෙනවා. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් අපි එහෙම තීරණ ගත්තම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපිව අල්ලගෙන ගිහින් හිරේ දානවද කියලා. නෑ, මේක ඉතා වැරැදි විදියේ අර්ථ නිරූපණයක්. විශේෂයෙන් වරදක් ඔප්පු කිරීම සඳහා ශාරීරික අංගය සහ මානසික අංගය කියන දෙකම ඕනේ. ඒ කියන්නේ යම් කෙනෙක් යම් දෙයක් සිදුකිරීම පමණක් නොවෙයි. ඔහුට එය සිදුකිරීමේ චේතනාවක් හෝ දැනීමක් තිබිය යුතුය. මේ වරදෙත් එහෙම තියෙනවා. චේතනාන්විතව හෝ දැනීමක් සහිතව කියලා. එතකොට යම් කෙනෙක් සද්භාවයෙන් සමහර වෙලාවට තිබිච්ච රෙගුලාසියකින් පිටට ගිහිල්ලා වැඩ කළත්, ඒක වරදක් වෙන්නේ නැහැ. ඒ නිසා රජයේ නිලධාරීන්ට මට කියන්න තියෙන්නේ හුදෙක් ඔබ කරන සියලු ක්‍රියාවන් දූෂණය කියන වරදට යටත් වෙන්නේ නෑ. හැබැයි කරන ක්‍රියාව ඔබ චේතනාන්විතවම හෝ දැනුවත්ව රජයට පාඩුවක් වෙන බව හෝ වෙනත් කෙනකුට වාසියක් වෙන බව දැනුවත්ව සිදුකළහොත් එය අනිවාර්යයෙන් ‘දූෂණය’ කියන වරදට යටත් වෙනවා. ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ රජයේ නිලධාරීන් බියවිය යුතු නෑ, අවංකවම වැඩකරන, ඇත්තටම සද්භාවයෙන් වැඩකරන රජයේ නිලධාරීන් බයවිය යුතු නැහැ.
හැබැයි බය වෙන්න ඕනේ කට්ටියක් ඉන්නවා. ඒ බයවෙන්න ඕනේ කට්ටිය තමයි තමන්ගේ නිල බලය පාවිච්චි කරලා තමන්ගේ දූෂණ වැඩවලට තමන්ගේ නිල බලය පාවිච්චි කරපු අය. එහෙම අය බය වෙන්න ඕනේ. මොකද එහෙම අය තමයි අපි දැකලා තියෙන්නේ පහුගිය කාලේ විශාල වශයෙන් දූෂණයන් කරලා තියෙන්නේ. ඒවායින් රටට සිද්ධ වෙච්ච අලාභය ඉතා වැඩියි. වෙනත් පුද්ගලයන්ට කරගත්ත ලාභයන් ඉතාම වැඩියි. ඒ ප්‍රමාණයන් සමහර විට අපිට කියන්නත් බැරි තරම් විශාල ප්‍රමාණයන්. ඒ නිසා ඔබ දකිනවා ඇති සමහර කෝප් කමිටුවේදී එළිදරව් වෙන කාරණා. ඒ කාරණා සියල්ලෙම තියෙන්නේ රජයේ නිලධාරීන් විසින් ඔවුන් ක්‍රියාමාර්ගයන් ගැනීමේදී චේතනාන්විතවම, ඒ කියන්නේ දූෂණයක් කිරීමේ චේතනාවෙන්ම වෙනත් කෙනකුට ලාභයක් ලබාදීමේ චේතනාව සහිතවම කරපු දේවල්. ඒ නිසා මම පැහැදිලිව එක දෙයක් කියනවා. අවංකව සහ සද්භාවයෙන් ක්‍රියාකරන රජයේ නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ දූෂණ විරෝධී පනතට බියවිය යුතු නැහැ.
මාධ්‍යවේදියා
ඔබතුමා මේ කොමිෂන් සභාවේ මුල් පුටුවට ආවට පස්සේ අපි දැක්කා මීට මාසෙකට පමණ කලින් ශ්‍රී ලංකා දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළා. මොකක්ද මේ කරන්න යන්නේ? බිය වෙන්න එපා කිව්වේ වැරැදි කරන්නේ නැති අය. එය කෙනෙක් වැරැදි විදියට අවබෝධ කරගන්න පුළුවන් සැලැස්මකුත් දාලා අපිව හිරකරන්න යන්නේ කියලා. ඇත්තටම මොකක්ද මේ වැඩපිළිවෙළ?
මහාධිකරණ විනිසුරු රංග දිසානායක
මේ රටේ නීති හැදෙන්නේ සහ විශේෂයෙන්ම අන්තර්ජාතික දූෂණ විරෝධී සම්මුතිය තිබෙන්නේ විමර්ශන කිරීම සහ දඬුවම් නියම කිරීමට පමණක් නොවෙයි. ඒ කියන්නේ කිසි රටක් පුද්ගලයෝ අල්ලලා උසාවි ගෙනිහිල්ලා දඬුවම් නියම කරලා දූෂණය නවත්තන්න බැහැ. අඩුකරන්න බැහැ. එතකොට අන්තර්ජාතිකව පිළිගත්ත සම්මුතිය තමයි දූෂණය මර්දනය කරන්න ඒ සඳහා වන ආයතන ශක්තිමත් කරනවා වගේම නිවාරණය සහ අධ්‍යාපනය වැඩිකරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න ඕනේ. මේ ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම කියලා කියන්නේ හුදෙක් මිනිස්සුන්ට නඩු දාන්න වැරැදිකාරයෝ කරන්න හදපු එකක් නෙවෙයි. මේ සැලැස්ම ඇතුළේ තියෙන්නේ ජාතික වශයෙන් කොහොමද දූෂණය අවම කරන්නේ කියන එක. එතකොට මෙහි හඳුනාගෙන තියෙනවා ආයතන රාශියක්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නොවෙයි. තවත් ආයතන රාශියක්, රාජ්‍ය ආයතන රාශියක්, ඒවායේ ක්‍රියාකාරීත්වය තුළ දූෂණය අවම කරන්නේ කොහොමද? මොකද අල්ලලා දඬුවම් කරන්න කලින් මිනිස්සු ඒවා නොකර ඉන්නවා නම් දූෂණය අවම වෙනවනේ. එතකොට ඒ සඳහා තියෙන නිවාරණය, ඒ සඳහා තියෙන අධ්‍යාපනය, ඒ වගේම මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද කියන එක. පාසල් මට්ටමෙන් පවා මේ වැරැදි මොනවද, ඇයි ඒවා නොකර ඉන්න ඕනේ කියන එක මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද කියන එක මේ සැලැස්ම ඇතුළේ තියෙනවා.
මොකක්ද නීතිය පිළිබඳ අපේ පිළිගත් කාරණය? ඒ තමයි නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ කියන එක. ඒ කියන්නේ සියලු දෙනා නීතිය ගැන දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සහ පොදුවේ තිබෙන දෙය තමයි මේ නීති මිනිස්සුන්ට කියලා දෙනවද කියන එක. නීති හැදෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔබ දන්නවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ අපි වසර 05කට වරක් මහජනතාව වෙනුවෙන් නීති හදන්න පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කරලා එවනවා. ඔවුන් තමයි නීති හදන්නේ. එතකොට ඔවුන් හදන නීතිවලින් තමයි මහජනතාව පාලනය වෙන්නේ. හැබැයි මහජනතාව ඒ නීති කොච්චර දන්නවද කියන ප්‍රශ්නය මේ වෙනකොට මතුවෙලා තියෙනවා. එකක් තමයි නීති සෑදීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය. සමහර වෙලාවට පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ඒ පිළිබඳ කතිකාවක් ඇතිවෙන්නේ නැහැ. මිනිස්සුන්ට කියන්නේ නැහැ. මේක හොඳද නරකද, මොනවද මේකේ තියෙන්නේ කියලා. හුඟක් වෙලාවට පනත හදලා ඉවර වෙලා තමයි නීතිය කියන්නේ. එතකොට ඒ නීතිය පිළිබඳ දැනීම ඉතා අඩු වෙනවා. ඔබ දැක්කොත් දූෂණ විරෝධී පනතේ විශාල වගන්ති ගණනාවක් ඇතුළත් වෙලා තියෙනවා. මේ ළඟදී සම්මත වුණා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත. ඒ කියන්නේ අපරාධයකින් යම් දේපළක් උත්පාදනය වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ පනත. මේ පනත්වලත් විශාල විදියට ප්‍රතිපාදන ඇතුළත් වෙනවා. මේ නීති ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට කියලා දෙන්න අවශ්‍යයි.
එතකොට රජයේ සේවකයන් මේ නීති පිළිබඳ හරි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. අනියත බියක් ඇතිකර ගන්න අවශ්‍ය නෑ. ඉතාම සරලව කිව්වොත් තමන් යම් දෙයක් කරන්නේ සද්භාවයෙන් නම්, තමන්ට කිසිම වරදක් කිරීමේ චේතනාවක් හෝ දැනීමක් නැත්නම්, තමන් ඒ වරදට වැරැදිකාරයෙක් වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි අපි විමර්ශන කරනකොටත් ඒ ගැන අවධානය යොමුකරනවා. එහෙම නැතුව අපි ඕනෙම කෙනෙක් ගෙනිහින් නඩු දාලා වැරැදිකාරයෙක් කරන්න නම් මේ කොමිෂන් සභාව මේ විදියට තියෙන්න අවශ්‍ය නෑ. අපි අධිකරණයට ගිහිල්ලා ඒ නඩුව ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරන්න සාක්ෂි තියෙන්න ඕනේ. අපි ඔප්පු කරන්න ඕනේ ශාරීරික අංගය සහ මානසික අංගය කියන දෙකම. එහෙම කරන්න අපිට සාක්ෂි ඕනේ. ඒ නිසා අපි කොයි වෙලාවකවත් සද්භාවයෙන් වැඩකරපු රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු අයට නඩු පවරන්න අවශ්‍යතාවක් නෑ, මොකද දූෂණ විරෝධී පනත හදලා තියෙන්නේ එහෙම අයට දඬුවම් කරන්න නෙවෙයි. එහෙම අය ආරක්ෂා කරන්න සහ දූෂිතයන්ට දඬුවම් කරන්නයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කොහොමද බලයක් ලැබෙන්නේ ජාතියටම ක්‍රියාකාරී සැලැස්මක් හදන්න කියලා ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා ඇති. ඒක ලැබෙන්නෙම පනත මගින්. පනතේ තියෙනවා රජයට පවා ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට. ඒ අනුව තමයි අපි මේ ජාතිය වෙනුවෙන් මේ සැලැස්ම හදන්නේ වසර 5ක කාලයක් සඳහා. මේ වසර 5ක කාලය ඇතුළත කරන්නේ හොරු අල්ලනවා කියන එක විතරක් නෙවෙයි. ඒකේ වෙන්නේ නිවාරණය සහ අධ්‍යාපනය තුළින් දැනුවත්භාවය ලබාදීමත්, ඒ දැනුවත්භාවය තුළින් දූෂණය අවම කිරීමත්.
ලෝකේ කිසිම රටක් නැහැ මිනිස්සු අල්ලලා දඬුවම් කරලා දූෂණය නවත්තපු. ඒ නිසා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ, ආකල්පමය වෙනසක් කරන්න ඕනේ. ඇයි අපි මේකෙන් වැළකිය යුත්තේ කියන එක ගැන. ඒ වගේම අනිත් මිනිස්සු දැනුවත් කරන්න ඕනේ එහෙම කෙනෙක් ඒක කරද්දී ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්න. මේ තුළ තමයි රට දූෂණ විරෝධී තැනකට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ඇතුළේ රාජ්‍ය ආයතන ගණනාවක් තියෙනවා තමන් විසින් ගතයුතු පියවර තමන්ගේ එක එක ආයතනයේ දූෂණය අවම කිරීම සඳහා.
මාධ්‍යවේදියා
සමහර වෙලාවට නිදහස් වෙලා යන කෙනා නිදහස් වෙන්නේ ඔහු වරදක් නොකළ නිසාම නෙවෙයි. සාධාරණ සැකයකින් තොරව හරියාකාරව ඒක ඔප්පු කරගන්න බැරිවුණු නිසා. ආයෙත් දවසක ඒගොල්ලන්ට විරුද්ධව මේ ක්‍රියාමාර්ග අරගෙන ඒවා ඔප්පු කරලා නීතිය ඉටුකරන්න, එහෙම නැත්නම් ඒ අවශ්‍ය දඬුවම් ලබාදෙන්න පුළුවන්ද?
මහාධිකරණ විනිසුරු රංග දිසානායක
අපි හැමෝම අවබෝධ කරගත යුතුයි ලංකාවේ අධිකරණ ක්‍රමය කුමක්ද කියන එක. ලංකාවේ අධිකරණ ක්‍රමය තමයි Adversarial system කියන එක. විනිශ්චයකාරවරයෙක් කරන්නේ සාක්ෂි මත අදාළ නඩුව ඒ විත්තිකාරයාට එරෙහිව ඔප්පු කළාද නැද්ද කියලා බලන එක. එතකොට චෝදක පක්ෂය කරන්නේ ඒ නඩුව ඔප්පු කරන්න අවශ්‍ය සාක්ෂි ගෙනල්ලා ඔහුට එරෙහිව චෝදනාව ඔප්පු කිරීම. එතකොට චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙනවා නම් ඔහු වරදකාරයෙක් වෙනවා. එහෙම නැත්නම් ඔහු නිදොස් වෙනවා. යම් අධිකරණයක් ඔහුව නිදොස් කිරීම කළේ සාධාරණ කරුණු මත නොවේ නම්, අපිට පුළුවන් ඊට එරෙහිව අභියාචනා කරන්න. ඒ කියන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පුළුවන්, නීතිපතිවරයා විසින් පවරන නඩුවකදී නීතිපතිවරයාටත් පුළුවන්. හැබැයි එහෙම නැතුව නිදොස් වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් නැවත නඩු පැවරීමේ හැකියාවක් නැහැ. මා කියන්න උත්සාහ ගත්තේ ඒක නෙවෙයි. මා කියන්න උත්සාහ ගත්තේ කෙනෙක් වරදකාරයෙක් වෙනවා කියන එක සාධාරණ සැකයෙන් ඔබ්බට ඒ නඩුව ඔප්පු වීමක්. හැබැයි නිදොස් වීමක් වෙන්න පුළුවන් වෙන්නේ සාක්ෂි නොමැති වීම මත හෝ නඩුව ඔප්පු නොවීම මත. ඒ කියන්නේ යම් සැකයක් අධිකරණයට ඇතිවෙනවා නම් ඔහු නිදොස් කළ යුතුයි. එතකොට ඕනෑ තරම් මා විනිශ්චයකාරවරයෙක් විදියට දන්නවා අපි කොයි තරම් දැනගත්තත් මේ පුද්ගලයා වරදක් කළා කියලා, අපිට පැමිණිල්ලෙන් සාක්ෂි මගින් ඒක ඔප්පු කරලා නැත්නම් ඔහුව වරදකාරයා කරන්න හැකියාවක් නෑ.
ඒ නිසා මා ඔබට කියන්නේ සමහර පුද්ගලයන් කියන්න උත්සාහ ගන්නවා අධිකරණය මගින් නිදොස් කළාට පස්සේ අපි මොනවත් කළේ නෑ කියලා. හැබැයි ඒක නෙවෙයි එතැන වෙලා තියෙන්නේ. ඔහු කළාද නැද්ද කියන එක නෙවෙයි අපේ රටේ අධිකරණ බලන්නේ. අපේ රටේ අධිකරණ බලන්නේ ඔහුට එරෙහිව ඇති නඩුව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළාද කියලා. එතකොට ඔහු නිදොස් වන්නේ ඔහු නොකළ නිසාම නොවෙයි. ඔහු නොකළ නිසා නිදොස් වන අවස්ථාත් ඇති. ඔහුගේ නඩුව පැමිණිල්ල විසින් ඔප්පු කර නොමැති බැවින්. ඒ නිසා තමයි විමර්ශනවල තියෙන වැදගත්කම වෙන්නේ විමර්ශන ඉතා හොඳින් කළේ නැත්නම් හරියට සාක්ෂි එකතු කළේ නැත්නම් සමහර වෙලාවට වැරැදි කරපු මිනිස්සුත් අධිකරණයෙන් නිදොස් වෙන්න පුළුවන්. ඒකෙදී අධිකරණයේ කිසිම වරදක් නැහැ. අධිකරණයේ කාර්යභාරය තමයි පැමිණිල්ල නඩුව ඔප්පු කළාද නැද්ද කියලා තීරණය කරන එක.
සැකසුම – චානක ලියනගේ










