ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත, ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News
සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගෙන එන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් නව ප්‍රති ත්‍රස්ත පනත නිර්මාණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු අධිකරණයකට ඉදිරිපත් නොකර දින අනූවක කාලයක් රදවා තබා ගැනීමට හැකි වුවත්, මෙම නව ප්‍රති ත්‍රස්ත පනතින් එම කාලය දින තිහක් දක්වා සීමා කර තිබේ.
කිසියම් සැකකරුවෙකු දින තිහකට වඩා වැඩි කාලයක් රදවා ගැනීමට පොලීසියට අවශ්‍ය නම්, ඒ සදහා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයකින් අවසර ලබා ගත යුතුය.
එමෙන්ම, නව ප්‍රතිත්‍රස්ත පනත මගින්, රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය, ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට, එම බලය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට පවරා තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිගේ උපදෙස් මත රැදවුම් නියෝග නිකුත් කරයි.
අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසියට ලබා දෙන කට උත්තරයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණු බලය ප්‍රති ත්‍රස්ත පනතින් අහෝසි වී යයි.
නව ප්‍රති ත්‍රස්ත පනතින් ත්‍රස්තවාදය යනු කුමක්දැය අර්ථ දැක්වීමට නියමිත බවද වාර්තා වේ.
ත්‍රස්තවාදය යන්නට ජාත්‍යන්තර වශයෙන් එකගත්වයකට පැමිණි පොදු නිර්වචනයක් නැති බව පවසා ඇති අධිකරණ අමාත්‍යවරයා, දේශීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ප්‍රති ත්‍රස්ත පනත තුළ ත්‍රස්තවාදය අර්ථ දක්වා තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.










