ශ්‍රී ලංකාවේ දේශපාලන බලය තීරණය කරන ප්රබලතම සාධකය වන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. මේ නිසාම මැතිවරණයක් ආසන්න වනවිට හෝ දේශපාලන පෙරළියක් අවශ්‍ය වනවිට ජනතාවගේ ආගමික භක්තිය සහ සංවේදීතාවන් මෙහෙයවීම සඳහා විවිධ ‘සංදර්ශන’ වේදිකාගත කිරීම මෙරට දේශපාලන තන්ත්රය සතු සුවිශේෂ උපාය මාර්ගයකි. 2019 වසරේදී ‘කැලණි ගඟේ නාගයා’ හරහා සිදුකළ ඒ අතිශය සාර්ථක දේශපාලන අත්හදා බැලීමෙන් වසර කිහිපයකට පසු, අද වන විට රටේ අවධානය ‘ආලෝකා’ නම් සුනඛයෙකු සහ ඒ වටා ගොඩනැගුණු ‘සාම පාගමනක්’ දෙසට හැරී තිබේ. Sri Lanka Latest News
2019 ජනාධිපතිවරණ සමයේදී රටේම අවධානය කැලණි රජමහා විහාරය දෙසට යොමු වූයේ අදහාගත නොහැකි පුවතකිනි. කැලණි ගඟ පතුලෙන් ඇසුණු මහා ශබ්දයක් සමග නාග ලෝකයෙන් නාගයෙකු මතු වූ බවත්, එම නාගයා විසින් ධාතු කරඬුවක් වැඩම කරවූ බවත් පවසමින් කැලණි විහාරයේ නායක හිමියෝ ජනතාව හමුවට පැමිණියහ. එම පුවතට පණ පෙවීමට දෙරණ නාලිකාව සහ දේශපාලන උපායමාර්ගිකයන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළහ. නාගයා පෙන්වමින් සිදුකළ මෙම ‘මාධ්‍ය සංදර්ශනය’ හුදෙක් ආගමික සිදුවීමකට එහා ගිය දේශපාලන මෙහෙයුමක් බව අද වනවිට රහසක් නොවේ. එදා එම නාගයා බැලීමට කැලණියට ඇදී ආ දහස් සංඛ්‍යාත ජනතාවට ‘පොහොට්ටුව’ ලකුණ සහිත ප්‍රචාරණ ද්‍රව්‍ය බෙදාදුන් අතර, ‘රට බේරා ගැනීමට නායකයෙකු එන බවට වූ පණිවුඩයක්’ ලෙස මෙය සමාජගත කළේය. අවසානයේ එම නාග රැල්ල මතින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කරවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් විය.
දැන් එම නාටකයේම දෙවැනි කොටස ‘ආලෝකා’ නැමති සුනඛයා වටා ගොඩනැගෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. භික්ෂුන් වහන්සේලා පිරිසක් පෙරටු කරගනිමින්, ‘ආලෝකා’ නැමති සුනඛයා ද සමගින් ‘ලෝක සාමය පතා’ සිදුකළ මෙම පාගමන ආරම්භයේ සිටම ජාත්‍යන්තර අවධානයට යොමුවූයේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙම කටයුත්තට සම්බන්ධ වීම පවා ‘බෞද්ධ ලයින් එකක්’ ලංකාවේදී ලබාදීම හරහා සාමාන්‍ය ජනතාවගේ සංවේදීතාවන් ස්පර්ශ කිරීමට මෙහිදී ඇතැමුන් කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මෙම පාගමනට රජයෙන් සහ රජයට හිතවත් පෞද්ගලික මාධ්‍යවලින් ලැබුණු අධික මාධ්‍ය ප්‍රචාරණය සහ රාජ්‍ය අනුග්‍රහය පිටුපස කිසියම් සැලසුම්සහගත දේශපාලන අරමුණක් ඇති බව මනාවට පැහැදිලිය.
විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම පාගමනේ අවසාන දිනයට සහභාගි වීම හරහා මෙම සිදුවීම සෘජුවම දේශපාලනමය මුහුණුවරක් ගත්තේය. මීට පෙර මාලිමාවට එරෙහිව එල්ල වූ ‘බෞද්ධ විරෝධී’ යන ලේබලය ගැළවීමටත්, බහුතර බෞද්ධ ජනතාව සමග තමන් සමීප බව පෙන්වීමටත් අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාව භාවිත කළ බව බොහෝ දෙනාගේ චෝදනාව වී තිබේ. 2019 දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නාගයා මතුවූවා සේම, වර්තමාන දේශපාලන රැල්ල තුළ මෙම පාගමනට සම්බන්ධ වීම හරහා තම ප්‍රචාරණ කටයුතු සඳහා නව ආකර්ෂණයක් ලබාගැනීමට මාලිමාව කටයුතු කර ඇත.
අවසානයේදී පෙනෙන්නට තිබෙන්නේ එදා නාගයෙකු ලවා කරගත් කාර්යය අද සුනඛයෙකු පෙරටු කරගත් පාගමනක් හරහා සිදුකිරීමට ඇතැමුන් උත්සාහ කරන බවයි. රටේ පවතින සැබෑ ප්‍රශ්න යටපත් කරමින්, මෙවැනි ජනප්‍රිය රැලි සහ ආගමික සංකේත දේශපාලන වේදිකාවේ රූකඩ බවට පත් කරන තාක් කල් ජනතාව රැවටීමට ලක්වීම වැළැක්විය නොහැක. 2019 දී කැලණි ගඟ අයිනේ නාගයා සෙවූ ජනතාවට අවසානයේ ඉතිරි වූයේ පසුතැවීමක් පමණි. ‘ආලෝකා’ වටා ගෙතෙන මෙම නව දේශපාලන තිර රචනය පිළිබඳවද ජනතාව බුද්ධිමත්ව විමසා බැලිය යුත්තේ එබැවිනි.










