මේ වෙලාවේදී මට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, දැන් මේ ආර්.එම්.වී. එකේ කොමසාරිස් ජනරාල්, පෙබරවාරි 26 වැනිදා එයාගේ කාලය මාස හයකට දීර්ඝ කරලා. මෙයා කුරුණෑගල කෙනෙක්. මෙයාට ඔඩිටර් ජනරාල් විසින් ලක්ෂ 97ක්, අංක රඳවා තබාගැනීම, වාහන සම්බන්ධව. ඔඩිටර් ජනරාල්ගේ ලක්ෂ 97ක මේකක් තියෙන කෙනෙක්. මම හිතන විදියට මේ වෙනකොට එයාට නැවත සේවා කාලය දීර්ඝ කරලා තියෙනවා. මෙයා ආර්.එම්.වී. එකේ ලොක්කෝ. ඉතින් මේ වගේ ඒවා තමයි මේ ආණ්ඩුව කරන්නේ.
ඊළඟ එක, ලංකාවට ත්‍රිපෝෂ ආනයන අපනයන නිලධාරිතුමියගේ, ඉම්පෝර්ට් කොන්ට්‍රෝලර්ගේ අවසරය අරගෙන ලංකාවට ත්‍රිපෝෂ ගෙනල්ලා තියෙනවා ත්‍රිපෝෂ මෙටි්‍රක් ටොන් 2025ක්. දැන් මේ ටික ලංකාවට ඇවිල්ලා අනුමැතිය දීලා, පර්මිට් එක දීලා, මේ ඇමැතිවරු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්ද? දෙන්නෙක්ගේද තුන් දෙනෙක්ගේද දන්නේ නැහැ. හැබැයි මම හිතන විදියට ආහාර ඇමැතිතුමා කියනවා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක ප්‍රශ්නයක් නැහැ කියනවා. නමුත් මේ ටික රිලීස් කරන්නේ නැහැ. මේ මනුස්සයා කෝටි ගානක් දීලා මේ ත්‍රිපෝෂ සඳහා බඩඉරිඟු ලංකාවට ගෙනල්ලා දැන් වරායේ හිරවෙලා. මේවා මොන පදනමක් මත කරනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඒ මනුස්සයාට ඒ කෝටි ගානක් පාඩු වෙලා දැන් වරායේ හිරවෙලා තියෙනවා. මේවා මේ ආණ්ඩුව මොන විදියට කරනවාද, මොනවා බලාපොරොත්තු වෙනවාද, එක්කෝ ඒ මනුස්සයාට බලාපොරොත්තු වෙනවා නම් කියන්න ඕනේ. ඒවා හිරවෙලා තියෙනවා.
ඊළඟට, දැන් මේ ආණ්ඩුවේ වැඩ කරගෙන යනකොට රටේ වැඩකරන්න හැමදේම අවශ්‍යයි. සිමෙන්ති අවශ්‍යයි, වැලි අවශ්‍යයි, ගල් අවශ්‍යයි. දැන් මේ දවස්වල ගල් වළවල් කරන්න බෑ. ඉලෙක්ටි්‍රක් කැප් නැහැ. ඉලෙක්ටි්‍රක් කැප් ගෙන්නලා නැහැ දැන් අවුරුදු දෙකක්. ඉලෙක්ටි්‍රක් කැප් නැතුව ගල් වළවල් කොහොමවත් පවත්වාගෙන යන්න බැහැ. එතකොට ගල් නැති වෙනවා, පාරවල් හදන්න බැරි වෙනවා. ඉතින් මෙහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා.
ඊළඟට තමයි මේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාම. ඉස්සර පෞද්ගලික අංශයේ විශ්‍රාම යැවුවේ පෞද්ගලික සේවකයෝ, දැන් ඒක ඕගොල්ලෝ බජට් එකෙන් කිව්වා පෞද්ගලික අංශයේ අයට රුපියල් 17,000 සිට 27,000 දක්වා වැඩි කළා කියලා. හැබැයි මූලාසන මන්ත්‍රීතුමිය, පෞද්ගලික අංශයේ වැඩකරන කිසිම කෙනකුට මේ බජට් එකෙන් ජනාධිපතිතුමා මෙතැනට ඇවිල්ලා කිව්වාට, තව වෙනතුරු සමහර ආයතනවල ඒ වැටුප වැඩිකරලා දෙන්නේ නැහැ.
ඊළඟ එක, දැන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මුහුණ දෙන්න ඕනේ, පරාජය පිළිගන්න ඕනේ. දැන් අපි ජනාධිපතිවරණය පැරදුණා, පාර්ලිමේන්තු මැතිවරණය පැරදුණා, ඕගොල්ලෝ පරාජය පිළිගන්නේ නැහැ. දැන් සමුපකාර ඡන්ද හතරක් මාතර දිස්ත්‍රික්කයේ. කොටපොළ, බෙරලපනාතර, හක්මන, දික්වැල්ල. දික්වැල්ල නම් ඊයේ පෙරේදානේ. තුනක ඡන්දේ තියලා දැන් මේගොල්ලෝ මහා සභාව තියන්න දෙන්නේ නැහැ. දකුණු පළාතේ සමුපකාර කොමසාරිස් බලය පාවිච්චි කරගෙන ඉන්නවා පරාජය පිළිගන්නේ නැතුව. හැබැයි මේ පැරදුණා නම් පරාජය භාරගෙන ඒ සමුපකාර දිනපු පැත්තට භාරදෙන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
ඊළඟ එක තමයි මේ රටේ කවදාකවත් වෙච්ච නැති සිදුවීමක්, කොයි ආණ්ඩුවක් යටතේවන් කොයි ජනාධිපති කෙනෙක් යටතේවන් වෙච්ච නැති. බාලදක්ෂ කොමසාරිස්. බාලදක්ෂ කොමසාරිස් හිටියේ කවුරු හරි පත්වෙන ස්වාධීන මිනිහෙක්. මේ බාලදක්ෂ කොමසාරිස් එළවලා බාලදක්ෂ කොමසාරිස් වෙනුවටත් ජනාධිපතිතුමා වෙන කෙනෙක් පත්කළා. මේවා ලැජ්ජයි, මෙහෙම වැඩ කරන්න එපා.
දැන් බලන්න සංවර්ධන නිලධාරීන් 16,000ක්. මේක සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ඉද්දි නඩුවක් තිබිලා, නඩුව දෙපැත්ත කතා කරලා විසඳගෙන ආපු ප්‍රශ්නයක්. හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ අද මාරාන්තික උපවාසවලට මිනිස්සු එළියට බැහැලා තියෙන්නේ ඒකට. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩුවට මිනිස්සු දැන් බයයි කියලා, නැහැ. දැන් 16,000ක් එතැනට බහිනවා, ඊට පස්සේ රැකියා විරහිත උපාධිධාරීන් බහිනවා, ඊළඟට තැපැල් එක බහිනවා, ඊළඟට සෞඛ්‍ය එක බහිනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ඒ වගේම දුම්රිය. දැන් දිට්වා ඉවරයි. අපි කියමුකෝ උඩරට දුම්රිය නම් ප්‍රශ්න ඇවිල්ලා දුවන්න බැහැ කියලා, නමුත් අද ලංකාවේ සමහර දුම්රිය මහවට විතරයි යන්නේ, අනුරාධපුරේ යන දුම්රිය මහවට යන්නේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.
ඊළඟ එක සෙවණගල සීනි කර්මාන්තශාලාව, ඊළඟට පැල්වත්ත. මේවා කොයි ආණ්ඩුවෙන් හැදුවත් අද සෙවණගල ගන්න දෙයක් නැහැ. උක් ගොවියෝ ඉවරයි, උක් ගොවියෝ අනාථයි. මම ජනාධිපතිතුමාට හරි කියන්නේ, මේ සෙවණගල සහ පැල්වත්ත කියන සීනි කර්මාන්තශාලා ටික වැහුණොත් ඕගොල්ලොන්ගේ ආණ්ඩුවට හොඳ නැහැ. මේ මිනිස්සු අද දුක් විඳිනවා, කර්මාන්තශාලා පවත්වාගෙන යන්න බැහැ, සීනි ඇඹරෙන්නේ නැහැ. මේවා ලොකු ප්‍රශ්න. බලන්න ඒ පළාතේ මන්ත්‍රීවරු ගෙනල්ලා අහන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සීනි කර්මාන්තය ඉවරයි. ඇමැතිතුමාට දුඹුරු සීනි කඩයක් දැම්මා, ඒකත් මාසෙන් වැහුවා. දුඹුරු සීනි ඇමැති කිව්වා. දැන් දුඹුරු සීනිත් නැහැ, සුදු සීනිත් නැහැ, කළු සීනිත් නැහැ, කඩෙත් නැහැ.
ඊළඟට සිකියුරිටි අයට 17,000ක් ජනාධිපතිතුමා වැඩි කරලා 27,000ක් දෙනවා කිව්වට ඒවා දෙන්නේ නැහැ. ඒවා හොයලා බලන්න. අපි මේවා කිව්වාම අධිකරණ ඇමැති කියනවා චාමරට තේරෙන්නේ නැහැලු. චාමරට තේරෙන්නේ නැහැ කියන එක කමක් නැහැ කියමුකෝ, හැබැයි ඒ මනුස්සයා නීතිඥයෙක්නේ, එයාට තේරෙන්න එපැයි. එයාට මේ කුලී සම්බන්ධව තේරෙන්නේ නැත්තේ එයා කුලී ගෙදරක නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ ප්‍රේමදාස මහත්තයා දීපු ගෙදරක, ගල්කිස්සේ.
මේ වගේ ඔළමොට්ටල ඇමැතිලා තියාගෙන මේ ආණ්ඩුව කොහොමද යන්නේ? මේ ආණ්ඩුව 48න් පස්සේ බුද්ධිමත්, උගත්, මහාචාර්ය, ආචාර්යවරු ඔක්කොම එකතු වෙලා හදපු ආණ්ඩුවක්නේ. ඩොක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා ඔක්කොම එකතු වෙලා හදපු බුද්ධිමත්ම ආණ්ඩුවනේ. මේ ආණ්ඩුව මෙහෙම පිස්සු කෙළියාම අර 48 ඉඳන් තිබ්බ ආණ්ඩුවලට වැඩිය වෙනස් දෙයක්නේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ. ඒක වෙන්නේ නැහැනේ. ඒක නිසා මේවා හරියට හිතලා වැඩ කරන්න. නිකන් විපක්ෂයට බණින්න එපා. කෙළවගත්තාට පස්සේ අපිට දොස් කියන්න එන්න එපා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.








