දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාතෘකාව මුල් කරගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවක් දැනගන්නට තිබේ. Sri Lanka Latest News
ඒ, අදාළ මාතෘකාව සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි දිගින් දිගටම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර සිටීම හේතුවෙනි.
මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොරරහසේම පාර්ලිමේන්තුවට රැගෙන ඒමට සූදානමින් සිටින බවත්, එහි දේශීය ණය කපා හැරීමක් සහ EPF – ETF අරමුදල්වලට හානියක් සිදුවන්නේද යන්නත්ය. ප්
මෙහිදී හර්ෂ ද සිල්වා මහතා කියා ඇත්තේ තමන්ද ඒ පිළිබද දැනුවත් නොමැති බවකි.
‘මමත් හරියටම දන්නේ නෑ. ආරංචි විදිහට නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. හැබැයි මටත් ඒ ගැන සහතිකයක් දෙන්න බෑ…’ යනුවෙන් පවසමින් හර්ෂ ද සිල්වා මහතා සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහාය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලබා ගත හැකිවන ආකාරයට අදහස් දැක්වීමක් කොට තිබේ.
නමුත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබ මන්ත්‍රීවරුන්ද එහිදී සදහන් කොට ඇත්තේ ජනතාවට අහිතකර වන කිසිදු කරුණකට සහාය නොදැක්විය යූතු බවකි.
යම් හෙයකින් ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට සහාය දක්වා රටේ ආර්ථිකයට යම් අහිතකර යමක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කව්රුන් විසින්ද යන්න මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කොට ඇත.
එමෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන තීන්දු තීරණ අනුව කටයුතු කිරීමට නම් සමගි ජන බලවේගයක් අවශ්‍ය නැති බවද මන්ත්‍රීවරුන් විසින් සදහන් කරනු ලැබ තිබේ.
ඒ අනුව අවසානයේදී සජබය තීන්දු කොට ඇත්තේ අවසන් මොහොතේදී හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සියල්ල විශ්ලේෂණය කොට එය රටට අහිතකර නම් ඊට විරෝධය පළ කිරීමටය.










