ජීවිතයක් රැකගන්න පුංචිම පුංචි දරුවෙක් හඳුන්කුරූ පෙට්ටියක් අරගෙන පාරට බහින්නේ අම්මාගේ මල්ලිලාගේ කුසගින්න නිවන්න. ඔවුන්ට කන්න දෙන්න. ජීවිතය කොයි තරම් නම් අමිහිරි කටුක වුණත් එහෙම දුක් විඳලා පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම සාමාර්ථයක් හිමිකරගන්න මේ දරුවා සමත් වෙලා තිබුණා. ඔහු අත්තනගල්ල කෝංගස්වත්ත ප්‍රදේශයේ පදිංචි ධනුක හසරංග. එකොළොස් හැවිරිදි හසරංග හාල්පන්දෙණියෙ කනිෂ්ඨ විද්‍යාලයෙ අධ්‍යාපනය ලබන්නේ. දුප්පත්කමට අභියෝගයක් වෙමින් දහසකුත් එකක් ප්‍රශ්න මැද ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ලබාගත්ත ඔහු ගැන සමාජ මාධ්‍යයට මුලින්ම හෙළි කළේ දක්ෂිණ ලංකාර මහතා.
දිනක් දක්ෂිණ මහතා තම බිරිය සමග නිට්ටඹුව ටවුමට යන්නේ නිවෙසට අවශ්‍ය බඩුබාහිරාදිය මිලට ගන්න. ඒ අතරතුර තිලකවර්ධන සාප්පු සංකීර්ණය ආසන්නයේ හඳුන්කූරු අලෙවි කරන මේ පුංචි දරුවාව ඔවුන්ට දැකගන්නට ලැබෙනවා.
‘අනේ මහත්තයා… හඳුන්කූරු පෙට්ටියක් ගන්නකෝ…’ කියමින් මේ දරුවා ඔවුන්ට පෙරැත්ත කරන්නට වුණා. අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් දිනපතාම සවස් කාලයේ ඔහු මේ විදියට හඳුන්කූරු අලෙවි කරන බව දක්ෂිණ මහතාගෙ මතකයට නැඟුණේ ඒ අතරතුරයි. දරුවාගේ අහිංසක ඉල්ලීම ගැන සංවේදී වුණු දක්ෂිණ මහතාත් ඔහුගේ බිරියත් දරුවා සමග කතාබහ කරන්නට කල්පනා කළා. එලෙස ඔහුගේ තොරතුරු දැනගත් මේ තරුණ යුවලට දරුවා ගැන ඇතිවුණේ මහත් අනුකම්පාවක්. වංචනික අරමුණු ඇතිව දරුවන් මහමඟට ගෙනැවිත් දමා ඔවුන් ලවා භාණ්ඩ අලෙවි කරන කූට වෙළෙන්දන් බහුල සමාජයක මෙවැනි අසරණ දරුවන් ගැනත් බොහෝදෙනකු බලන්නේ එකම කෝණයකින්. නමුත් දරුවාගේ සත්‍ය කතාව දැනගැනීමෙන් පසුව දක්ෂිණ මහතා ඔහු ගැන පැහැදීමට පත්ව තිබුණා.
ඒ අනුව දක්ෂිණ මහතා සිය ෆේස්බුක් පිටුව හරහා මේ දරුවා පිළිබඳ සටහනක් තබන්නට අමතක කළේ නැහැ. එයින්ද නොනැවතී අත්තනගල්ල ඌරාපොළ මාර්ගයේ පිහිටි දරුවාගේ නිවෙස සොයා යන්නටත් ඔවුන් තම අවිවේකී ජීවිතයෙන් කාලය වෙන්කර ගත්තා.
ඉතින් මේ දරුවා ගැන සමාජ මාධ්‍යයේ පළවීමත් සමග ‘මව්රට’ අපිත් ඔහු ගැන තොරතුරු සොයන්නට කටයුතු කළා. ඒ අනුව බෝගමුව කළගෙඩිහේන ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී තරංග වේරදූවගේ මහතා අපට දරුවා ගැන තොරතුරු ලබාදීමෙන් දැක්වූ සහායට අප ස්තුතිවන්ත විය යුතුයි.
අපේ රටේ දුක් විඳින ඉගෙනගන්න පුළුවන් දරුවන් කොතෙකුත් සිටිනවාද? අතදෙන්න කවුරුත් නැතිකමින් ඒ අතරින් බොහෝ පිරිසක් අසරණ වෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. පාසල් ගමන නවතා දමා රැකියා සඳහා යොමුවන ඔවුන්ගේ ළමා කාලය සම්පුර්ණයෙන්ම අහිමි වෙලා යනවා.
අවුරුදු 11ක් වයස හසරංගටත් ඒ කටුක අභියෝගයට මුහුණ දෙන්න සිදුවෙලා. දුවපැන ඇවිදලා සෙල්ලම් කරන ළමා වයසෙදි අම්මා සහ මල්ලිලා දෙදෙනෙකුව නඩත්තු කරන්න සිදුවෙලා තිබෙන්නේ හසරංගට. තාත්තා අහිමි ඔහුට මේ දුෂ්කර ජීවිතය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. එය සැබැවින්ම කනගාටුවට කරුණක්. ඒත් වර්තමානයේ බොහෝ මවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනයට ඕනෑ තරම් මුදල් වියදම් කරනවා අපි දැක තිබෙනවා. නමුත් ඒ දරුවන් විභාගය අසමත් වන අවස්ථා බොහෝයි. උදෑසන පටන් රාත්‍රිය වන තුරුම ටියුෂන් පන්තිවලට දරුවන් යවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් කරගන්නට මවුපියන් උත්සාහ කළත් තම දරුවන්ට අවම ලකුණු සීමාවටවත් එන්නට නොහැකි අවස්ථා වැඩියි.
නමුත් අද අපේ කතා නායකයා හසරංග තමන්ගෙ අම්මා සහ සහෝදරයන් දෙදෙනාව ජීවත් කරමින් ශිෂ්‍යත්වය විභාගය ඉහළින්ම සමත් වුණේ සමස්ත දරු පරපුරටම වටිනා පාඩමක් කියා දෙමින්.
හසරංගගේ ජීවිකාව වුණේ හඳුන්කූරු වෙළෙඳාම. අපි ඔහුගෙන් ඒ ගැන විමසුවා.
පුතේ ඔයා මේ හඳුන්කූරු හදන්නේ කොහොමද?
‘මම කොළඹ ගිහින් බඩු ගේනවා. අම්මා රෑට කුප්පි ලාම්පුව පත්තු කරගෙන තමයි හඳුන්කුරු හදන්නේ. මම ඒවා අරගෙන විකුණන්න යනවා. එක පෙට්ටියක් රුපියල් 50ටයි විකුණන්නේ. ඊට අමතරව අම්මා බුලත්විටත් හදනවා. ඉස්සෙල්ලාම හඳුන්කූරට සුවඳ වර්ග දාලා පෙට්ටියට දානවා. ඊට පස්සේ සෙලෝ ටේප් ගහනවා. දවසට පෙට්ටි 8ක් විතර හදනවා. මම හඳුන්කුරු විකුණන්න යන්නේ ඉස්කෝලේ ගිහින් ඇවිත්. ආයෙ ගෙදර එන්නේ රෑ අටට නවයට විතර. නිවාඩු දවස්වලට උදේ 9ට විතර යනවා. හඳුන්කූරු විකුණන්න පටන් අරන් දැන් මාස පහක් විතර වෙනවා. හැබැයි කවදාවත්ම පාසල් ගමන පාඩු කරගත්තෙ නම් නැහැ….’ හසරංග කිව්වෙ හැඟීම්බරව.
ඔහු මේ රැකියාව කරන්නේ තමන්ගේ අම්මාට සහ මල්ලිලාට කන්න දෙන්නයි. මේ දරුවා දකින ඕනෑම කෙනකුගේ ඇස්වලට කදුළු උනනවා. ඔහුගෙ නිවෙස දිරාපු තහඩුවලින් වටකරලා හදපු අනාරක්ෂිත එකක්. දිරාගිය ටකරන් වහලයෙන් වතුර ඇවිත් වැස්ස වෙලාවට ගේ ඇතුළ දෝරෙ යනවා. දිරච්ච තහඩුවලින් හදපු කුකුළු කූඩුවක් වගෙයි මේ පුංචි නිවෙස. ටකරන්වලින් වටකරපු කොටුවක් තමයි වැසිකිළිය විදියට පාවිච්චි කරන්නේ.
පුතා මේ හඳුන්කූරු රස්සාව කරන්නේ කවුරු වෙනුවෙන්ද? අපි ආයෙත් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා…
‘අම්මා වෙනුවෙන්…. මල්ලිලා වෙනුවෙන්…’ ඔහුගෙ පිළිතුර එයයි.
වෙන දරුවෙක් මේ වයසේ කාටූන් බලලා සෙල්ලම් කරනවා. තමන්ගෙ වයසෙ අනෙක් දරුවන් වගේ සෙල්ලම් කරන්න, කාටූන් බලන්න ආස නැද්ද කියලා ඔහුගෙන් ඇහුවාම පොඩ්ඩක් කල්පනා කරලා ඇස්වල කඳුළු පුරෝගෙන කිව්වේ ‘ආසයි…’ කියලා. නමුත් හසරංගගේ ළමා කාලය ඔහුටත් නොදැනීම අහිමි වෙමින් යනවා.
ජීවිතේ වැඩියෙන් තියෙන්නේ සතුටු දේවල්ද? දුක්වූ දේවල්ද? කියලා මම ඔහුගෙන් ඇහුවාම කිව්වේ ‘දුක්වූ දේවල්…’ කියලා.
ඇයි ඒ කියලා ඔහුගෙන් ඇහුවාම, ‘අම්මාට මල්ලිලාට කන්න නැතිවුණාම දුකයි..’ ඔහු කිව්වේ කඳුළු පුරෝගෙන. ඒක අහන ඕනෙම කෙනකුගේ හදවත පිච්චිලා යනවා.
සාමාන්‍යයෙන් දරුවෙක් ඉස්කොලේ ගිහින් එන්නේ දවල් දෙකහමාරට තුනට විතර. ඒත් හසරංග ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත්, තියෙන දෙයක් කාලා හඳුන්කූරු මිටියත් අරගෙන ආයෙත් නිට්ටඹුව ටවුමට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතිව. ටවුමෙ මිනිසුන්ගේ පස්සේ ඇවිදලා ‘හඳුන්කූරු ගන්න… හඳුන්කූරු ගන්න…’ කියලා ඔවුන්ගෙන් ඉල්ලන්න ඔහුගෙ හිත මොන තරම් හයිය හිතක් වෙන්න ඕනෙද? මෙච්චර දුෂ්කර කාලයක වුණත් හසරංගගෙ දුක වේදනාව තේරෙන මිනිස්සු ඔහුගෙන් හඳුන්කූරු පෙට්ටියක් මිලට ගන්නවා. ඒත් බොහෝ දෙනෙක් ඔහුව නොදැක්කා වගේ මඟහැරලා යන අවස්ථාත් ඕනෑ තරම් ඇති. මවුපියන් එක්ක කෙළිදෙලෙන් ගතකරලා සුරතල් වෙන්න ඕනෙ දරුවෙක් රෑ වෙනතුරු ටවුමක හඳුන්කූරු විකුණලා මහන්සියෙන් ගෙදර එන්නේ ආයෙත් පහුවදා උදේම පාසල් යන්න බලාගෙන.
ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගත්තු මේ දරුවා තාමත් යන්නේ හාල්පන්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයට. නමුත් ඔහුගෙ ලකුණු මට්ටම අනුව වඩාත් හොඳ පාසලකට ඇතුළත් වීමේ හැකියාව ඔහුට තිබෙනවා. ඒත් හසරංගගේ ආර්ථිකය ඊට හරස් වෙලා. මේ දරුවා කොයි තරම් අසරණද? අහිමි වුණු තාත්තාගෙ වගකීම කරමත හොවාගෙන ජීවිත තුනක් ජීවත් කරන්න ඔහු කරන්නේ සුළුපටු සටනක් නොවෙයි.
මේ තරම් ශක්තියක් මේ දරුවාට ආවේ කොහොමද කියන දේ මට හිතාගන්නවත් බෑ. ඇත්තටම මේ පුතා යෝධ පුතෙක්. ඒ යෝධ පැටියාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ.
හසරංග පුතාගෙ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
‘උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ආසයි. කවදා හරි හමුදාවට ගිහින් ලොක්කෙක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව….’
අවසාන වශයෙන් අපි ඔහුගෙන් ඇහුවෙ ‘මව්රට’ පාඨකයන්ට කියන තියෙන්නේ මොකක්ද කියලා.
‘අපිට පුළුවන් නම් ගෙයක් හදලා දෙන්න….’ ඔහුගේ එකම ඉල්ලීම වුණේ ඒක. මේ වගේ වීර්යවන්ත දරුවකුට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. ඔවුන් වෙනුවෙන් ඔබට ගෙයක් හදා දෙන්න බැරිවෙන්න පුළුවන්. නමුත් කාටත් අමාරුකම් තියෙන මේ දුෂ්කර කාලෙ හසරංගලාගේ පවුලට එක දශමයකින් හරි ශක්තියක් වෙන්න ඔබට බැරිකමක් නැහැ. හාල් ටිකක්, වියළි ආහාර ද්‍රව්‍ය ටිකක් මේ වගේ පවුලකට පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක මහා පින්කමක්. කාටවත් අතනොපා ජීවත් වෙන්න හදන ඔවුන් ඇත්තටම මහ පොළොවට බරක් නෑ.
මුකේෂ් අම්බානි කියන්නේ ඉන්දියාවේ අන්ත දිළිඳු පවුලක ඉපදිලා දුෂ්කර ජීවිතයක් ගතකරලා අවසානයේ ව්‍යාපාර ලෝකය දිග්විජය කළ දක්ෂයෙක්. කවදා හෝ දවසක අධ්‍යාපනය ඉහළින්ම ලබලා ව්‍යාපාර ලෝකයේ අම්බානි කෙනෙක් වෙන්නට හැකිවේවා කියලා අපි ධනුක හසරංග පුතාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
නිලන්ති රේණුකා










