‘හිසේ ගිනි ඇවිළෙතේ,
පසේ බුදුවරු නැතේ,
ඇසේ තෙත ඇත සිතේ,
පිසින්නේ කවුරුදෝ’
අපගේ ප්‍රවීණ ගායකයකුගේ සුමධුර ගීයක පදවැල් නිතැතින්ම මතකයට නැඟෙයි. අද අප රටේ යන, යන තැන දක්නට ඇත්තේද මහා ගිනිගොඩවල්ය. එහෙත් මේ ගිනිගොඩවල්වලින් ගින්දර පිටවන ආකාරයක් නම් නොපෙනේ. ‘ගිනි නැති මේ ගිනිගොඩවල්’ නම් කුමක්ද? මේවා අද අපේ රටේ මිනිසුන්ගේ හදවතින් සහ මනසින් නැඟෙන මහා ගිනිගොඩවල්ය. එසේත් නැතිනම් ඉහත ගීතයේ ලෙසට ‘හිසේ ගිනි ඇවිළෙන්නේ’ මේ ආකාරයටය. අද මෙසේ යන, යන තැන මිනිසුන් විඳින දුක්කන්දරාව අතිශය මහා ඛේදවාචකයකි. එහෙත් මේවා සොයා බලන්නට එකදු පාලකයකු හෝ මේ වන විට නොමැත. අද බොහෝ පාලකයන් පඹයන් හෝ මානසික රෝගීන්ගේ හෝ තත්ත්වයට පත්ව ඇති බැව් මනාව පෙනෙයි. රට තුළ ජනතාවට මෙතරම් මහා විනාශයක් සිදුව තිබියදීත් ඔවුන් කතා කරන්නේ වෙනත්ම ‘ආතාභූත’ය. එසේම මෙම ශෝචනීය තත්ත්වයන්ට තමන් වගකිව යුතු නැති බැව්ද මෙම නායකයන් රටට කියා සිටින්නේද හොඳට රෙදිපෙරදි පැලඳගෙනය. එහෙත් ඒ තුළින් ඔවුන්ගේ ‘හෙලුව’ පෙනෙන බවක් ඔවුහු නොදනිති.
ජනතාවගේ සුඛවිහරණය ගැන වගකිව යුත්තේ පාලකයන්ය. එසේ වන්නේ ජනතාවගේ ඡන්දයෙන් මේ පාලකයන් බලයට පැමිණි හෙයිනි. මේ අතර ජනතාවගේ පීඩනය දැන් එන්න, එන්නම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැව්ද පෙනී යයි. අද මේ ජනතාව මරහඬ තළන්නේ, හඬා වැටෙන්නේත්, නිරායාසයෙනි. ආහාර-පාන හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් මිලදී ගැනීමට හෝ දිගු පෝලිම්වල සිටියදී මියයන දුප්පත් මිනිසුන්ගේ තත්ත්වය කෙතරම්ම ශෝචනීයද? අයිස් මාලිගාවල සිටින පාලකයන්ට මේ පාපකර්මය නිතැතින්ම අත්වන බැව් ඔවුහු නොදනිති. මේ රුධිරය තැවරෙන්නේ ඔවුන්ගේ දෑත්වලය. එම පව් ඔවුන් කෙදිනක හෝ ගෙවිය යුතුමය. අද ජනතාවගේ මේ ආර්ථික පීඩනය මේ වන විට දැඩි මානසික ආතතියක් දක්වා වර්ධනය වෙමින්ද තිබෙයි. මේ තත්ත්වය තවත් කොතැනකින් කෙළවර වේ යැයි සිතන්නට බැරිය. එය ඉතා බියකරුය. ජනතාවට වුවත් ඉවසන්නට සීමාවක්ද ඇත.
මෙවැනි අතිශය ඛේදනීය තත්ත්වයක් අප රටේ තිබියදී පසුගියදා අසන්නට ලැබුණේ තවත් අපූරු පුවතකි. එනම් කොළ, කඩදාසි හිඟයක් හේතුවෙන් පාසල් වාර අවසාන විභාග රැසක් පැවැත්වීම නවත්වා දැමූ පුවතකි. ආහාර-පාන හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හෝ ගැන තිබෙන අර්බුදයට අමතරව, අසන්නට ලැබුණු මේ පුවත එක්තරා ආකාරයකට ඉතාම සුවිශේෂී වගතුගකි. එසේ වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙම සිදුවීම ප්‍රබල වූ බාධකයක් බැව් පෙනුණු හෙයිනි. 9, 10, 11 යන ශ්‍රේණිවල වාර අවසාන විභාග මෙසේ නවත්වා දැමීමට රජය තීරණය කළේ යැයි කරුණු ප්‍රකාශ විය. දරුවකුගේ පාසල් වාර අවසාන විභාගයක් යනු ඉතාමත් අත්‍යාවශ්‍ය වූ විභාග විශේෂයකි. එසේ වන්නේ එම දරුවා තම පාසල තුළදී ඉහළ ශ්‍රේණියකට සමත් කරවන්නේ මෙම විභාගයක ප්‍රතිඵල හරහාය. එසේම මෙම 9, 10, 11 යන ශ්‍රේණි යනු, අධ්‍යාපන පොදුසහතික සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති සඳහා උසස් කෙරෙන ශ්‍රේණි තුනක් වෙයි. ඒ හෙයින් වෙනත් පාසල් ශ්‍රේණියකට වඩා මෙය අතිශයින්ම වැදගත් වෙයි. පාසල්වල 2021 අවසාන වාර පරීක්‍ෂණය මෙම මාර්තු 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද, මෙම උග්‍ර කඩදාසි හිඟය හේතුවෙන් එම විභාග මැයි මාසය දක්වා කල් තැබුණු බවටද ප්‍රකාශ විය. මේ අතර මෙම ශ්‍රේණි සඳහා අදාළ විභාග ප්‍රශ්නපත්‍ර ඇතුළත් සංයුක්ත තැටිද විදුහල්පතිවරුන් වෙත යවා ඇතත්, කඩදාසි නොමැති වීම හේතුවෙන් එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කරගැනීමට නොහැකි විය.
මේ අතර එම ශ්‍රේණිවලට අමතරව අනෙකුත් ප්‍රාථමික ශ්‍රේණි සඳහා වන අවසන් වාර විභාගය යම් හැකියාවක් තිබේ නම් පාසල් මට්ටමින් පැවැත්වීමටද කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇත. මෙලෙස ශ්‍රී ලංකාව තුළ මෙම කනගාටුදායක තත්ත්වය උද්ගත වූයේ, විදෙස් රටවලින් මුද්‍රණ කඩදාසි ගෙන්වීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනි. මෙම කඩදාසි තොග ගෙන්වීම සඳහාද විදේශ විනිමය ලෙස ඩොලර් අවශ්‍ය හෙයින් මෙම අර්බුදය පැනනැඟී ඇත. දැනට මෙම තත්ත්වය මාස 07-08ක සිට ඉතා උග්‍ර අතට හැරෙමින් පවතී. මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ දැනට කොළඹ වරායට පැමිණ තිබෙන මුද්‍රණ කඩදාසි කන්ටේනර් (බහාලුම්) රාශියක් නිදහස් කර ගැනීමටද නොහැකිව වරාය තුළ සිරවී ඇත. මෙම තත්ත්වය යටතේ මෙරට තුළ පුවත්පත් මුද්‍රණය සඳහා ලබා ගන්නා කඩදාසි තොගද උග්‍ර හිඟයකට පත්ව ඇත. මේ අර්බුදය දැනට දිනෙන්, දිනම උත්සන්න වෙමින් පැවැතීම රහසක් නොවේ.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් පසුගිය වසර 02ක කාලයක් පුරා මෙරට තුළදී සිදුකෙරෙන විභාග රාශියක් නිසි කලට, වේලාවට පැවැත්වූයේද නැත. එසේම පාසල් නිසි ලෙස පැවැත්වීමට නොහැකි වීමද විශාල අර්බුදයක් විය. මෙවැනි වටපිටාවක් තිබියදී දැන් දරුවන්ගේ පාසල් විභාග පැවැත්වීමට අවශ්‍ය මුද්‍රණ කඩදාසි තොග නොමැති වීම යනු නවතම අර්බුදයකි. මෙම අර්බුදය ශ්‍රී ලංකාව තුළ සමහර පාර්ශ්ව විසින් සහ බොහෝ මාධ්‍ය විසින්ද, එතරම් දැඩි උනන්දුවක් ලෙස දක්වන විෂයක් බවට පත්කළේ නැත. එහෙත් මෙම අර්බුදය මේ වන විට විදේශ මාධ්‍ය විසින් ඉතාමත් දැඩි උද්දීපනයක් සහිතව ලෝකයට ඉදිරිපත් කර ඇත. එනම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට බලපා ඇති මෙම තත්ත්වය ඉතාමත්ම ආන්දෝලනාත්මකව එම මාධ්‍ය විසින් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත දරුණු ලෙස හිඳීයෑම හේතුවෙන්, අධ්‍යාපනයටද එය ප්‍රබලව බලපා ඇති ආකාරය මෙම විදෙස් මාධ්‍ය විසින් අවධාරණය කර ඇත. එම විදෙස් මාධ්‍ය ප්‍රකාශයන් ගැන සොයා බලමු.
එංගලන්තයේ බී.බී.සී. (BBC) බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සේවය.
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මිලියන ගණනාවකගේ අධ්‍යාපනික විභාග, උග්‍ර මුද්‍රණ කඩදාසි හිඟයක් හේතුවෙන් කල්දමා ඇති බැව් වාර්තා වෙයි. ශ්‍රී ලංකා රජයට මේ වන විට මුද්‍රණ කඩදාසි විදේශ රටවලින් ගෙන්වා ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇත. එරට රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මුද්‍රණ කඩදාසි ගෙන්වීම සඳහාත් ඩොලර් අර්බුදය බලපා ඇති බවයි. 1948 වසරේ ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මෙතෙක් ඇතිවුණු භයානකම ආර්ථික අර්බුදයට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිති. මෙම මුද්‍රණ කඩදාසි අර්බුදය හේතුවෙන් පාසල් රාශියකම විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීමට නොහැකි වී ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මුහුණ දෙන ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් වන අතර, ලක්‍ෂ 45ක් පමණ වන සිසුන්ගෙන් තුනෙන්, දෙකක්ම මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇත. මෙසේ කල් තබන ලද විභාග නැවැත පවත්වන්නේ කෙදිනකදැයි අධ්‍යාපන බලධාරීන් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නැත. එම තත්ත්වය ඉතා අවිනිශ්චිතය.
එංගලන්තයේ ‘The Guardian’ (ද ගාර්ඩියන්) දිනපතා පුවත්පත. දැනට වසර 200ක් ඉපැරැණි මෙම පුවත්පත ලෝකයේ ඉපැරැණිතම පුවත්පත්වලින් එකකි.
ශ්‍රී ලංකාවේ සිසුන් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී සිටිනවා. එනම් ඔවුන්ට පාසල්වල පැවැත්වෙන අධ්‍යාපන විභාග සඳහා සහභාගි වීමට නිසි වටපිටාවක් නැහැ. මේ වන විට සිසුන් මිලියන 5කට ආසන්න පිරිසක් මේ තත්ත්වයට මුහුණදී සිටිනවා. මුද්‍රණ කඩදාසි හිඟය හේතුවෙන් මෙසේ පාසල් විභාග දින නියමයක් නැතිව කල්දමා තිබෙනවා. මුද්‍රණ කඩදාසි මෙන්ම ඒවා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුද්‍රණ තීන්ත පවා විදෙස් රටවලින් ආනයනය කිරීමට නොහැකි වී ඇත්තේ, ශ්‍රී ලංකාවට විදේශ සංචිත නොමැති වීම හේතුවෙනුයි. මෙම පාසල් වාර විභාග කියන්නේ දරුවකුගේ නිසි අගැයීමක් සිදුකරන විභාග වර්ගයක්. ඒ මගින් අනෙක් ඉහළ පන්තිය සඳහා දරුවන් තෝරා ගන්නවා. මිලියන 22ක ජනතාව ජීවත් වන ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අගාධයකට පත්වී I.M.F. සංවිධානයේද පිහිට පැතීමට කටයුතු කරමින් සිටිනවා.
‘අල් ජසීරා’ (AL Jazeera) ජාත්‍යන්තර පුවත් සේවය සහ රූපවාහිනී සේවය. අරාබියේ කටාර් රාජ්‍යයේ සිට ලොව පුරා විකාශනය කෙරෙන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පුවත් සේවයකි.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණුතම විදේශ විනිමය අර්බුදය මත, එරට පාසල්වලදී පවත්වනු ලබන විභාග රාශියක් මුද්‍රණ කඩදාසි නොමැති වීම හේතුවෙන් අහෝසි කර දමා තිබෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දෙන ප්‍රබලතම ප්‍රශ්නයක් බවට පත්වෙලා. ශ්‍රී ලංකාවේ මෙම ඩොලර් අර්බුදය මත එරටට ආනයනය කරන සියලුම දේ මේ වන විට නවත්වා දැමීමට සිදුවෙලා. මේ තත්ත්වය නිසා දැන් ශ්‍රී ලංකාව I.M.F. සංවිධානයේ පිහිට පැතීමට තීරණය කරලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව පසුගියදා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක පමණ ණය මුදලක් ලබා ගැනීමට ගිවිසුම් අස්සන් කර තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 600ක් දැනට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 6.9ක විදේශ ණය ගෙවිය යුතුයි. පසුගිය පෙබරවාරි වන විටදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන 2.3ක් පමණයි.
‘A.B.C.’ (ඒ.බී.සී, නිව්ස් – ඕස්ටේ්‍රලියානු ගුවන්විදුලි සේවය) ලොව පැරැණිතම, ජාත්‍යන්තර පුවත් සහ රූපවාහිනී විකාශන සේවාවකි.
ශ්‍රී ලංකාවේ තිබෙන භයානක ආර්ථික අර්බුදය මැද ඔවුන් පසුගියදා දරුණු අධ්‍යාපනික ප්‍රශ්නයකටද මුහුණ දී සිටිනවා. මුද්‍රණ කඩදාසි සහ තීන්ත ආදිය හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාසල්වලදී පවත්වනු ලබන විභාග සියල්ලම අත්හිටුවා ඇති බැව් ප්‍රකාශ වෙනවා. ශ්‍රී ලංකාවේ සිසුන් මිලියන 4.5කට පමණ මෙම තත්ත්වය බලපාලා තිබෙනවා. විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් මෙසේ මෙම මුද්‍රණ කඩදාසි සහ අනෙකුත් මුද්‍රණ ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා වෙලා තිබෙනවා. මෙලෙස පාසල්වල 9, 10, 11 ශ්‍රේණිවල විභාග අහෝසි කර තිබෙනවා. ඉහළ ශ්‍රේණියකට සමත් කිරීම සඳහා මෙම විභාග අත්‍යාවශ්‍යයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයට යම් සහනයක් වශයෙන් චීනයෙන් ආධාර ඉල්ලා සිටියා. චීනය ශ්‍රී ලංකාවේ සමීප ගනුදෙනුකාරයෙක්, එහෙත් මේතාක් වෙනකම් චීනය ඒ ගැන නිසි ප්‍රතිචාරයක් දක්වලා නැහැ.
මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දරුවන් කිසිදු කාලයකදී මුහුණ නොදුන්, මෙවැනි ශෝචනීය අර්බුදයක් ගැන, ජාත්‍යන්තර මාධ්‍ය රැසක් පුවත් වාර්තා කර තිබුණේය. ඒ සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩක් නැත. එහෙත් එය විශිෂ්ට වාර්තාකරණයකි. මේ අනුව එම අධ්‍යාපනික අර්බුදය වාර්තා කළ විදෙස් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙසේ වෙයි.
- ඉකොනොමික් ටයිම්ස් (Economic Times)
- බී.බී.සී. පුවත් සේවය
(B.B.C. News) - එන්.ඩී.ටී.වී. නිවුස්
(N.D.T.V. News) - අල් ජසීරා (AL Jazeera)
- ඒ.බී.සී. නිවුස් (A.B.C. News)
- රිපබ්ලික් වර්ල්ඩ්
(Republic world) - හින්දුස්තාන් ටයිම්ස් (Hindustan Times)
- නිවුස් 18 (News 18)
- වියෝ නිවුස් (Wio News)
- ටයිම්ස් ඔෆ් ඉන්ඩියා
(Times of India) - ටැමිල් ගාඩියන්
(Tamil Guardian) - ටයිම්ස් ඔෆ් මෝල්ටා
(Times of Molta) - ඩේලි එක්ස්ප්‍රස්
(Daily Express) - ඩෙකෑන්හෙරල්ඩ් (Deccanherald)
මෙය එක්තරා ආකාරයකින් අතිශය සුවිශේෂී සිදුවීමකි. ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් බලපානු ලැබූ මෙම අර්බුදය, අප රටේ මාධ්‍ය වෙත එතරම් අවධානයක් යොමු නොවුණත්, විදෙස් ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්තාකර තිබුණේ අතිශයම වගකීම් සහිතවය. එසේම එම අධ්‍යාපනික අර්බුදය කේන්ද්‍රකර ගනිමින් මෙරට තිබෙන භයානකම ආර්ථික අර්බුදය ගැනද විශ්ලේෂණාත්මකව විවිධ කරුණු, කාරණා ඉදිරිපත් කර ඇත. මෙම අධ්‍යාපනික අර්බුදය ඇති වීමට හේතු වූයේ එම ආර්ථික අවපාතය බැව් එහිදී විග්‍රකර ඇත. කෙසේ හෝ මෙම විශේෂ පුවත එවැනි ජාත්‍යන්තර මාධ්‍ය 30කට ආසන්න ප්‍රමාණයකින් වාර්තා කර තිබිණි. එම බොහෝ වාර්තා සහ රූපවාහිනී පුවත්ද ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ විවිධ ඡායාරූපද සහිතව ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. කෙසේ හෝ මෙවැනි වටපිටාවක් තිබියදී රජයට මෙම බැරෑරුම් අධ්‍යාපනික ප්‍රශ්නය විසඳන්නට තවද නිසි ක්‍රමවේදයක් නැත. විවිධ විකල්ප රජය යෝජනා කර තිබුණද, ඒවා කෙසේ ක්‍රියාත්මක වන්නේ දැයි නිශ්චිත නැත. රජය ‘උගුරට හොරා බෙහෙත් කමින්’ සිටියි.
ප්‍රියන්ත හෙට්ටිගේ










