මෙරට ආරක්ෂිතම බන්ධනාගාරය ලෙස සැලකෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිරකර සිටින ප්‍රබල අපරාධකරුවන්, යකඩ වැටවල් සහ දැඩි ආරක්ෂක වළලු අභිබවා තාක්ෂණය මගින් පිටත ලෝකයේ අපරාධ ජාලයන් මෙහෙයවන අන්දම පිළිබඳ 2025 වසරේ අගභාගය වනවිට ඉතා තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණ වී තිබේ. මෑතකදී සිදුකළ විශේෂ වැටලීම්වලදී මරණ දණ්ඩනය නියමවී සිටින දෙමටගොඩ චමින්ද සහ වෙලේ සුදා වැනි ප්‍රබලයන් සන්තකයේ තිබී අතිනවීන ස්මාර්ට් ජංගම දුරකතන සොයාගැනීමත්, නිලධාරීන් දකිනවාත් සමගම එම දුරකතන පොළොවේ ගසා විනාශ කිරීමට ඔවුන් දැරූ උත්සාහය තුළින් ගම්‍ය වන්නේ එම උපකරණ තුළ ඇති තොරතුරු පද්ධතිය ආරක්ෂා කරගැනීමට ඔවුන් කොතරම් සූක්ෂ්ම වන්නේද යන්නයි. බූස්ස බන්ධනාගාරයේ සිරමැදිරි පොළොව අඩි කිහිපයක් ගැඹුරට හාරා ඉතා රහසිගත ලෙස මෙම දුරකතන සහ උපාංග සඟවා තිබූ අතර, ඇතැම් අවස්ථාවලදී සිරකරුවන් සතුව තිබූ දුරකතනයක් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුළත ඔවුන්ට නැවත වෙනත් දුරකතනයක් ලැබෙන තරමටම බන්ධනාගාරය තුළ මෙම ජාලය මුල් බැස තිබීම බරපතළ ආරක්ෂක ගැටලුවකි. 2025 වසර තුළ පමණක් බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 160කට අධික ප්‍රමාණයක් සහ සිම්පත් 200කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබීමෙන් පෙනීයන්නේ ජෑමර් පද්ධති පවා අභිබවා යන තාක්ෂණික උපක්‍රම අපරාධකරුවන් සතුව ඇති බවයි.Sri Lanka Latest News
මෙම සන්නිවේදන ජාලය බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන්නේ අතිශය ඉහළ කළු කඩ මිල ගණන් යටතේ වන අතර, සාමාන්‍ය වෙළෙඳපළේ රුපියල් තුන්දහසක් පමණ වන ජංගම දුරකතනයක් බන්ධනාගාරය තුළ රුපියල් හැත්තෑ පන්දහසකටත්, අතිනවීන ස්මාර්ට් දුරකතනයක් රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර මිලකටත් අලෙවි වන බව අනාවරණ වී ඇත. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පෙන්වා දෙන්නේ ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ඍජු සහාය සහ මගපෙන්වීම නොමැතිව මෙවැනි උපකරණ ආරක්ෂක වළලු කිහිපයක් හරහා බන්ධනාගාරය තුළට රැගෙන යාම කිසිසේත්ම කළ නොහැකි බවයි. මීට අමතරව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සහ පාතාලය අතර පවතින සබඳතා හරහා ඔස්ටේ්‍රලියානු රජයෙන් මෙරටට පරිත්‍යාග කළ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිවල (VMMS) රහස් කේත පවා ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙහි භයානකම තත්ත්වය වන්නේ බූස්සේ සිටින පාතාල නායකයන් මෙම දුරකතන භාවිත කරමින් පිටත ලෝකයේ මනුෂ්‍ය ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඍජුවම මෙහෙයවීමයි. ලෝකයට අධි ආරක්ෂිත කලාපයක් ලෙස පෙන්වන බූස්ස බන්ධනාගාරය, ප්‍රායෝගිකව පාතාලයේ අදිසි සන්නිවේදන මධ්‍යස්ථානයක් සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මැදිරියක් බවට පත්ව තිබීම මෙරට ජාතික ආරක්ෂාවට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇති දැවැන්ත අභියෝගයකි.
බූස්ස බන්ධනාගාරයේ මෑතකාලීන වැටලීම් වාර්තා
2025 දෙසැම්බර් 24
දෙමටගොඩ චමින්ද සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පරීක්ෂාව. අතිනවීන ස්මාර්ට් ජංගම දුරකථන සොයාගැනීම සහ චමින්ද විසින් දුරකතනය පොළොවේ ගසා විනාශ කිරීමට තැත්කිරීම.
2025 දෙසැම්බර් 20
විශේෂ වැටලීමකදී ජංගම දුරකතන 2ක්, සිම්පත් 6ක්, චාජර් 3ක් සහ ඩේටා කේබල් 4ක් සොයාගැනීම.
2025 ඔක්තෝබර් 27
බූස්ස බන්ධනාගාරයේ සිදුකළ මහාපරිමාණ සෝදිසියකදී ස්මාර්ට් ජංගම දුරකතන 10ක් සහ සිම්පත් 17ක් සොයාගැනීම.
2025 ඔක්තෝබර් 13
ගණේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටි මැදිරිවල බිත්ති තුළ සඟවා තිබූ ස්මාර්ට් දුරකතන සහ අමතර උපාංග සොයාගැනීම.
2024 දෙසැම්බර් 03
බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ තිබී ජංගම දුරකතන චාජර් 5ක්, ඩේටා කේබල් 8ක් සහ ලයිටර් 2ක් එස්.ටී.එෆ්. නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම.
2024 ඔක්තෝබර් 29
‘සී’ වාට්ටුවේ සීසීටීවී දර්ශන ආධාරයෙන් සිදුකළ වැටලීමකදී සඟවා තිබූ ජංගම දුරකතන 3ක්, හෑන්ඩ්ස්-ෆ්‍රී 1ක් සහ චාජර් පරිපථයක් සොයාගැනීම.
2024 පෙබරවාරි 21
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රැවුල් කුමාර සහ කොස්ගොඩ තාරකගේ සහෝදරයා රඳවා සිටි මැදිරිවලින් දුරකතන 4ක් සහ දුරකතන අංක ඇතුළත් පොතක් සොයාගැනීම.
2025 වසරේ සමස්ත සංඛ්‍යාලේඛන (වසර අවසානය දක්වා)
පසුගිය වසර පුරා බූස්ස බන්ධනාගාරය තුළ පමණක් වැටලීම් 72කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් දෑ:
ජංගම දුරකතන – 133
සිම්පත් – 159
දුරකතන චාජර් – 110
හෙරොයින් සහ මත්ද්‍රව්‍ය – ග්‍රෑම් 2.8 සහ දුම්කොළ සැලකිය යුතු ප්‍රමාණයක්.
මෙම සිදුවීම් හරහා පෙනීයන්නේ බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව කොතරම් දැඩි කළද, අපරාධකරුවන් නව උපක්‍රම භාවිත කරමින් තවමත් සිය සන්නිවේදන ජාලයන් පවත්වාගෙන යන බවයි.
එස්. පතිනායක










