යුද්ධය යනු සෑමවිටම සුන්දර අපේක්ෂාවන් රැගෙන එන වසන්තයක් නොවේ. එය වීරත්වයේ අභිමානයටත් වඩා අහිමිවීම්වල කඳුළු ගණන් කරන අඳුරු දිනපොතකි. නමුත් ඉතිහාසයේ සමහර තීරණාත්මක සංධිස්ථානවලදී මුළු දේශයකම බලාපොරොත්තුවල තාරකාව බවට පත්වන තනි මිනිස්සු ඉපදෙති.Sri Lanka Latest News
වර්ෂ 2000… මුළු ලෝකයම ශ්‍රී ලංකා යුද හමුදාවේ පැවැත්ම සහ අනාගතය දෙස සැකයෙන් බැලූ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අඳුරුතම යුගයයි. ‘අලිමංකඩ’ මහා බළකොටුව සතුරා අතට පත්වීමෙන් පසු යාපන අර්ධද්වීපයම අත්හැර දමා පසුබැසීමට ආරක්ෂක මණ්ඩලය සූදානම් වෙද්දී ඒ ඉරණම්කාරී තීරණයට පියසටහනින්ම අභියෝග කර ලංකා සිතියම වෙනස් කළ ඒ අසහාය සෙන්පතියා මේජර් ජෙනරල් සීවලී වනිගසේකරයන්ය. අද අප දිගහැරලන්නේ ඒ අමරණීය නාමයේ සැබෑ වීර කාව්‍යයයි.
2000 වසරේ මුල් භාගය වනවිට ගොඩබිම් මාර්ගයෙන් යාපනයට ඇතුළු විය හැකි එකම සහ ප්‍රධානතම ද්වාරය වූ අලිමංකඩ හමුදා කඳවුර දරුණු අර්බුදයකට මුහුණදී සිටියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ‘ඔපරේෂන් අන්සීසින්ග් වේව්ස් 3’ හෙවත් ‘නොනවතින රැල්ල’ නමැති මහා පරිමාණ ප්‍රහාරය දියත් කරමින් අලිමංකඩ වටලන්නට විය.
එවක හමුදාපති ලුතිනන් ජෙනරල් ශ්‍රීලාල් වීරසූරියගේ නායකත්වය යටතේ සටන් වැදුණු අපේ වීරෝදාර සෙන්පතියන්ට සහ භටයන්ට මුහුණ දීමට සිදුවූයේ සතුරාට පමණක් නොවේ. දරුණු ආහාර සහ ජල හිඟය මෙන්ම ෆැරන්හයිට් අංශක 100 (සෙල්සියස් අංශක 37.7) ඉක්මවා ගිය රුදුරු දේශගුණය ද ඔවුන්ට එරෙහි විය. අධික උෂ්ණත්වය නිසා ‘හීට් ස්ට්‍රෝක්’ (තාප ආඝාතය) වැලඳීමෙන් පමණක් සිය ගණනක් රණවිරුවන් දිවි පිදූහ. තත්ත්වය කෙතරම් දරුණු වූවාද කිවහොත් තවදුරටත් ජීවිත හානි වළක්වා ගැනීම සඳහා යාපනය අර්ධද්වීපයම අත්හැර පසුබැසීමේ උපායමාර්ගික තීරණයක් රජයේ ඉහළම ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙමින් පැවැතිණි. මුළු රටම අන්ධකාරයක ගිලී යාමට ඔන්න මෙන්න තිබිණි.
හරියටම රටේ වාසනාව මතුවූයේ ඒ මහා ඛේදවාචකය අද්දරදීය. යුද පෙරමුණේ නායකත්වයේ රැඩිකල් වෙනසක් සිදුකිරීමට හමුදාපතිවරයා තීරණය කළේය. ඒ වනවිට සටන් පෙරමුණේ සිටි 53 වැනි සේනාංකයේ ආඥාපතිවරුන් වූ බි්‍රගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි සහ බි්‍රගේඩියර් සිසිර වීරසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාටම හදිසියේ වැලඳුණු අසනීප තත්ත්වයන් හේතුවෙන් එම ධුරවලින් ඉවත් වීමට සිදුවිය.
හිස්වූ ඒ අතිශය අවදානම්සහගත වගකිවයුතු සටන් පෙරමුණේ පාලනය එවක හමුදාපතිවරයා විසින් පවරනු ලැබුවේ බි්‍රගේඩියර් සීවලී වනිගසේකර වෙතය. එය හුදෙක් පත්වීමක් නොව සතුරා ලියන්නට ගිය ලංකා ඉතිහාසය කණපිට හැරවූ ඓතිහාසික සටනක ආරම්භය විය.
2000 ජුනි මස 09 වැනි දින යාපනයේ රැඳී සිටි හමුදාව සමූල ඝාතනය කර යාපනයේ බලය තහවුරු කරගැනීමේ ඒකායන අරමුණින් කොටි ත්‍රස්තවාදීන් සරසාලේ ප්‍රදේශයට ම්ලේච්ඡ සහ ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. මෙය බි්‍රගේඩියර් වනිගසේකරයන් මුහුණ දුන් පළමු සහ දරුණුම පරීක්ෂණය විය.
හමුදා වාර්තාවලට අනුව සතුරාගේ පළමු ප්‍රහාරක රැල්ලෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු රණවිරුවන් 25 දෙනකු රට වෙනුවෙන් ජීවිතය පූජා කළ අතර 50කට අධික පිරිසක් තුවාල ලැබූහ. එහෙත් සතුරා කිසිසේත් බලාපොරොත්තු වන්නට නැත, තමන් ඉදිරියේ සිටින්නේ නොසැලෙන යකඩ මිනිසකු බව.
සමාජයේ පවතින ජනප්‍රවාදයන් පවසන්නේ වනිගසේකරයන් තනිවම සටන් කර සතුරා පලවා හැරිය බවයි. නමුත් සැබෑ හමුදා ඉතිහාසය ඊට වඩා සාමූහික සහ ගෞරවනීයය. සරසාලේ සටනේදී සමස්ත මෙහෙයුම් නායකත්වය බි්‍රගේඩියර් වනිගසේකරයන් දැරූ අතර, ඔහුගේ උපදෙස් මත ඍජුවම සටන් පෙරමුණේ සිටිමින් සතුරාට ලෙයින් සහ යකඩින් පිළිතුරු දුන්නේ එවක කර්නල් (පසුව මේජර් ජෙනරල්) සුමේධ පෙරේරා ඇතුළු දක්ෂ නිලධාරීන් පිරිසකි.
වනිගසේකරයන්ගේ සැබෑ දස්කම සහ වීරත්වය වන්නේ එදා එක සටනක් ජයගැනීම පමණක් නොවේ සතුරාගේ මහා ප්‍රහාර හමුවේ බියෙන් සහ තැතිගැන්මෙන් සිටි සාමාන්‍ය සෙබළාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සැමගේම උරහිස් ශක්තිමත් කරමින් ‘අපි යාපනය අත්නොහරිමු’ යන අධිෂ්ඨානය ඉහළ මණ්ඩලයට කාවැද්දීමයි.
අලිමංකඩ බිඳවැටීමෙන් පසු කොළඹින් ආ විධානයන් වූයේ යාපනයෙන් පසුබැස ඒම වුවද බි්‍රගේඩියර් වනිගසේකර ඊට තරයේම විරුද්ධ විය. යාපනය සතුරාට හැරදමා ආවොත් නැවත කිසිදා එය දිනාගත නොහැකි බව ඔහු දැන සිටියේය.
ඔහු වහාම ක්‍රියාත්මක වී තමා යටතේ තිබූ ආරක්ෂක කලාපයන් ඉතා කෙටි කලකින් ස්ථාවර කළේය. සෙබළුන්ගේ මානසිකත්වය ඉහළ නැංවීය. පසුබැසීමේ මාවත් ගැන සිතනවා වෙනුවට සතුරා කොටු කරගන්නා ආරක්ෂක වැටවල් සහ ප්‍රතිප්‍රහාරක උපක්‍රම ඔහු නිර්මාණය කළේය. ඔහුගේ ඒ අභීත නොසැලෙන තීරණය නිසා එදා සතුරාගේ ග්‍රහණයට නතු වීමට ගිය යාපනය මාතෘභූමියේ ස්වෛරීභාවයේ නොබිඳෙන ආරක්ෂක මධ්‍යස්ථානය බවට පත්විය.
ඔහු මහනුවර සුප්‍රකට ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. සිය පාසලෙන් ලැබූ විනය සහ නායකත්වය ඔහු මුළු ජීවිතයටම ආභරණයක් කරගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රහාරාත්මකම සහ ප්‍රබලතම රෙජිමේන්තුවක් වන ‘ගජබා රෙජිමේන්තුවේ’ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීමට තරම් ඔහු වරම් ලැබීය. මෙම ප්‍රබල රෙජිමේන්තුව ස්ථාපිත කිරීමේ මුල් අවධියේ සිටම එහි වර්ධනය උදෙසා ඔහු කළ මෙහෙවර අතිමහත්ය.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ බුද්ධිමත් සහ දක්ෂතම නිලධාරීන් බිහිකළ ‘කැඩෙට් ඉන්ටේක් 5’ කණ්ඩායමේ විශිෂ්ට සාමාජිකයෙකි.
මේජර් ජෙනරල් සීවලී වනිගසේකරයන්ගේ කතාව යනු හුදෙක් යුද ජයග්‍රහණයක වියළි වාර්තාවක් නොවේ. එය මිනිසකු සතු විය යුතු අසීමිත නිර්භීතකම විශිෂ්ට නායකත්වය සහ කිසිම තත්ත්වයක් යටතේ ‘අත්නොහැරීමේ’ උදාර ගුණාංගය කියාදෙන ජීවමාන පාඩමකි.
අද යාපනය අර්ධද්වීපය සාමකාමීව ශ්‍රී ලංකා සිතියමේ රඳා පවතින්නේ එදා මුළු රටම බලාපොරොත්තු අත්හැර දැමූ මොහොතක සිය ජීවිතයේ අවදානම නොතකා ‘අපි මේ බිම රැකගත යුතුමයි’ යනුවෙන් සිංහ නාද කළ මේ අසහාය සෙන්පතියා සහ ඔහුගේ සගයන් ලෙයින් ලියූ ඉතිහාසය නිසාමය.
දේශයේ නිදහස වෙනුවෙන් උරහිස දුන් ඒ අභීත සෙන්පතියාට මේජර් ජනරාල් සීවලී වනිගසේකරයන්ට සමස්ත ජාතියේ ප්‍රණාමය වේවා…
CHAMATH VLOGS








