• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ට්‍රම්ප්ගේ 30%ක බද්ද 20%ට බස්සගන්න අන්තිම පැය දෙකේ ගහපු ගේම! අමෙරිකාවෙන් බරපතළ ඉල්ලීමකුත් ඇවිත්! ඉදිරි මාස 3 තීරණාත්මකයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

August 3, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රිකා ගෙයින් එළියට බැස්සා!

මහින්ද නිකම් යන්නේ නෑ!

සුමන්තිරන්ට ආ බරපතළ පණිවුඩය!

සිකුරාදා ආ සුබ පණිවුඩය

සිකුරාදා අලුයම් කාලයේදී මුළු රටම බලාපොරොත්තුවෙන් සිටි විශේෂ පුවතක් සියලු මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නට විය. ඒ, ට්‍රම්ප් රජය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරුබද්ද 20% දක්වා අඩුකිරීමට ගෙන තිබූ තීන්දුවය. ට්‍රම්ප් රජය බලයට පත්වීමත් සමග පළමු වටයේදී ලංකාවට මෙම බද්ද 44%ක් ලෙස පැනවීමට පියවර ගෙන තිබිණි. පසුව සිදුකළ සාකච්ඡාවලදී එම බද්ද 30% දක්වා අඩු කිරීමට එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය කටයුතු කළේය. දෙවැනි අදියරේ සාකච්ඡාවෙන් පසු තුන්වැනි අදියරේ සාකච්ඡා පැවැත්වී තිබුණේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේය.
කෙසේ වෙතත් අන්තිම මොහොත දක්වාම සාකච්ඡාවන්ට සහභාගි වී සිටි කණ්ඩායමට ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතායතනය විසින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවට පැනවෙන බද්ද 30% ප්‍රතිශතයේම පවතිනු ඇතැයි කියාය. පසුගිය අඟහරුවාදා පස්වරුව වන විටත් වොෂිංටන්වලින් ලංකාවට ලැබී තිබුණු පණිවුඩය වූයේ බද්ද අඩුකර ගැනීමට ඇති අවස්ථාව බොහෝ අවම බවත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බවත්ය. මේ හේතුව නිසාම බදාදා දිනයේදීත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් රජය සමග පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක බවට පණිවුඩ ලැබෙමින් ඇති බවකි.Sri Lanka Latest News

ඇත්ත වශයෙන්ම බදු සම්බන්ධ සාකච්ඡා පැවැතියේ අවසන් මොහොත වන තෙක්ම ලංකාවට අවාසිදායක තත්ත්වයකය. සාකච්ඡා අවසන් වීමට පැය දෙකක් තිබියදී පවා වොෂිංටනය පැත්තෙන් කියැවුණේ 30%ක බදු ප්‍රතිශතය පහත දැමීමට අසීරු බවකි. නමුත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට ලංකාව සමත් වූයේ බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමට පැය 2ක කාලයක් තබාය. මෙම පැය දෙකක මෙහෙයුමේදී ලංකාව පැත්තෙන් සිදුකළ හැකි සියලු කටයුතු සිදුකිරීමට ඔවුන් කටයුතු කොට තිබිණි.

අන්තිම පැය දෙක

බලයට පත්වීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ ආකාරයට ලෝකයේ සියලු රටවලට විශාල බදු ප්‍රතිශතයන් පැනවීමට පියවර ගත්තේ ප්‍රධාන සැලසුම් 2ක් ඔළුවේ තබාගෙනය. ඉන් පළමුවැන්න වූයේ ඇමෙරිකාවේ ආර්ථිකය සහ ආයෝජන ඉහළ නංවා ගැනීමය. දෙවැන්න වූයේ මේ වනවිට ලෝකයේ තීරණාත්මක ආර්ථික වර්ධනයක් ලබාගෙන ප්‍රබල රටක් බවට පත්ව සිටින චීනය වාණිජමය වශයෙන් කඩාවැට්ටවීමය. බද පැනවීමත් සමග ලොව සියලු රටවල් ඇමෙරිකාව සමග සාකච්ඡා ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආසියානු කලාපයේ ලංකාව සමග තරග කරන ඉන්දුනීසියාව, වියට්නාමය, කාම්බෝජය, බංග්ලාදේශය, පාකිස්තානය වැනි රටවල බදු ප්‍රතිශතයන් 20%ක් දක්වා පහත දැමීමට ට්‍රම්ප් රජය කටයුතු කොට තිබිණි. ඊට හේතු වී තිබුණේ මේ සියලු රටවල් ඇමෙරිකාවෙන් සිය රටවලට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 100%ක්ම තීරුබදු සහනයක් ලබාදීමය. නමුත් ලංකාව අවසන් මොහොත වනවිටත් එවැනි තීරුබදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට එකඟතාව පළ කොට තිබුණේ නැත. නමුත් භාණ්ඩ 2,100කට ආසන්න ප්‍රමාණයක් සඳහා අවසාන මොහොතේදී බදු නිදහස් කිරීමට ලංකාව පැත්තෙන් එකඟතාව පළකිරීම මෙසේ තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමට ආසන්නම හේතුව වී ඇති බව පැවසේ. එමෙන්ම අනෙකුත් භාණ්ඩ සඳහා ඉතාම අඩු තීරුබදු ප්‍රතිශතයක් පැනවීමට ලංකාව එකඟ වී ඇති බවක්ද ආරංචිය. මීට අමතරව භාණ්ඩ කාණ්ඩ 300කට පමණ සම්පූර්ණ බදු සහනයක් ලබාදීමට එකඟ වී ඇති බවක්ද දැනගන්නට ඇත.

එහෙන් ආ ඉල්ලීම්

මීට අමතරව සාකච්ඡාවල අවසන් මොහොතේදී තවත් යෝජනා හෝ ඉල්ලීම් වශයෙන් ඇමෙරිකාවෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් වී ඇති බවක්ද වාර්තා වේ. එය පොදුවේ ඇමෙරිකාව විසින් තීරුබදු ප්‍රතිශතයන් අඩුකිරීමේදී සෑම රටකටම ඉදිරිපත් කොට තිබූ යෝජනාවකි. ඒ, චීනයෙන් අමුද්‍රව්‍ය ලබාගන්නේ නම් ඇමෙරිකාව විසින් චීන භාණ්ඩ මත පනවා ඇති බදු ප්‍රතිශතයම ලංකාව විසින්ද චීන අමුද්‍රව්‍ය මත පැනවිය යුතු බවට වන යෝජනාවය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් සහ අපනයනකරුවන් තම නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය 40%ක් පමණ ලබාගන්නේ චීනයෙනි. ඒ, චීන අමුද්‍රව්‍යවල මිල ගණන් ඉතා පහළ අගයක පැවැතීම නිසාය. ඒ අනුව ඇමෙරිකාව යෝජනා කොට ඇත්තේ එසේ ගන්නා චීන අමුද්‍රව්‍යවලට තම රජය චීනයට පනවා ඇති බදු ප්‍රතිශතයම අයකළ යුතු යැයි කියාය. චීන ආර්ථිකය බිඳවට්ටාලීම සඳහා ට්‍රම්ප් රජය අනුගමනය කරන එක් තුරුම්පුවක් වන්නේ එයය. ඇමෙරිකාව එම කොන්දේසිය වියට්නාමයට, බංග්ලාදේශයට කාම්බෝජයට ද පනවා ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් ඊට ලංකාව පැත්තෙන් එකඟතාව පළ කළාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නැත.

කෙසේ වෙතත් ඇමෙරිකාව සෑම රටකටම සිය අවසන් තීරු බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර ඇත්තේ වාචිකව පමණි. එය ක්‍රියාත්මක කිරීමට සහ ගිවිසුම්ගත වීම සඳහා සෑම රටකටම මාස 3ක කාලයක් පවතී. උදාහරණයක් ලෙස මෙම මාස 3ක කාලයේදී ඕනෑම රටකට ඇමෙරිකාව සමග එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක නොකිරීමේ හැකියාව පවතී. උදාහරණයක් ලෙස චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කරද්දී අමතර බද්දක් පැනවිය යුතු බවට ඇමෙරිකාව දැමූ කොන්දේසිය ඇතැම් රටවල් විසින් ක්‍රියාත්මක නොකිරීමටද ඉඩ තිබේ. ඇමෙරිකාව මෙම බද්ද සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ගන්නේ මෙම මාස තුනක කාලය ඇතුළත ඒ ඒ රටවල් තමන් සමග එකඟ වූ කොන්දේසි ක්‍රියාත්මක කරනවාද යන්න බැලීමෙන් අනතුරුවය.

අනාගත අභියෝග

අනෙක් පැත්තෙන් ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකාව අතර ඇති විශාල වෙළෙඳ ශේෂ හිඟය අවම කිරීම සඳහා වූ යෝජනාවන්ද මෙම මාස තුනක කාලය ඇතුළත ලංකාව පැත්තෙන් ක්‍රියාත්මක කර පෙන්විය යුතුය. ආණ්ඩුව ඒ සඳහා ඇමෙරිකාවෙන් බොර තෙල් සහ ගෑස් මිලදී ගැනීමට කටයුතු කරන බව යෝජනා කොට තිබිණ. එම තොරතුර මීට පෙර පළමුවරට රටට අනාවරණ කළේද ‘රාජ්‍ය රහස්’ තුළින් අප විසිනි. නමුත් ඉදිරි මාස තුනක කාලය තුළ ආණ්ඩුවට මෙම පොරොන්දුව ඉටු කිරීම සඳහා විශාල වශයෙන් ඇමෙරිකාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගත හැකිද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි.

අනෙක් අතට ඇමෙරිකාවට භාණ්ඩ විශාල ප්‍රමාණයක බදු සහනයන් ලබාදීම හේතු කොට ගෙන අපගේ අනෙකුත් ප්‍රධාන ආනයනකරුවන් වන චීනය, ඉන්දියාව, යුරෝපා කොමිසම විසින් එම සහනය ඉල්ලා සිටීමේ අවදානමක්ද මේ වනවිට මතුවී නැතුවා නොවේ.

කෙසේ වෙතත් අවසන් මොහොත දක්වාම 30% තිබූ තීරුබදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට අවසන් පැය දෙකේදී ආණ්ඩුව සමත් වූයේ කෙසේද? අප පෙර කී පරිදිම අන්තිම මොහොත දක්වාම වොෂිංටනයෙන් ආණ්ඩුවට ලැබෙමින් පැවැති පණිවුඩවලින් කියැවුණේ 30% ප්‍රතිශතය අඩුකර ගැනීම ඉතා අසීරු බවත්, එය යම් තරමකින් හෝ අඩුකර ගැනීම නම් ජනාධිපතිවරයා වහාම මෙම සාකච්ඡාවලට ඍජුවම මැදිහත් විය යුතු බවත්ය. ඒ අනුව වොෂිංටනයෙන් ඇමෙරිකාව බලාපොරොත්තු වන ඉල්ලීම් ඇතුළත් ලියවිල්ල ජනාධිපතිවරයා වෙත එවීමට පියවර ගෙන තිබිණි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවසන් සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ බදාදා පස්වරුවේ වන අතර, මෙම යෝජනාවලිය ජනාධිපතිවරයාට ලැබුණේ බදාදා පෙරවරුවේය. ඒ අනුව එහි තිබූ ඉල්ලීම් එකින් එක ඉතා සියුම්ව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි තිබූ ඇතැම් යෝජනාවන්ට ඍජුවම තම විරෝධය පළකිරීමට පියවර ගත්තේය. එහිදී ඒ අසල සිටි ඉහළ නිලධාරීන්ට ජනාධිපතිවරයා දැනුම් දී සිටියේ එම ඉල්ලීම කිසිසේත්ම ඉටුකළ නොහැකි යැයි කියාය. ඇතැම් ඉල්ලීම් ඉටුකිරීම අසීරු බවද එහිදී ජනාධිපතිවරයා පවසා තිබූ බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් ඒ වනවිට මෙම තීරුබදු සාකච්ඡා මුල්කරගෙන ජනාධිපතිවරයාද සිටියේ ඉතා විශාල පීඩනයකය. ඊට හේතු වී තිබුණේ ලංකාවේ ප්‍රධාන අපනයනකරුවන් මෙම තීරුබදු අඩුකර ගන්නා ලෙස ඉල්ලමින් විශාල බලපෑමක් ජනාධිපතිවරයාට එල්ල කර තිබීමය. එහිදී ඇතැම් ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ තීරුබදු ප්‍රතිශතයන් අඩුකර ගැනීමට නොහැකි වුවහොත් සිය කර්මාන්ත ශාලා වසාදැමීමට හෝ අඩු තීරුබදු ප්‍රතිශතයන් සහිත ඉන්දියාවට හෝ රැගෙන යෑමට සිදුවනු ඇතැයි කියාය. මේ නිසාම ජනාධිපතිවරයාද ඇමෙරිකාව සමග සාකච්ඡා පවත්වමින් සිටි කණ්ඩායමට දැනුම් දී තිබුණේ කෙසේ හෝ මෙම තීරුබදු ප්‍රතිශතයන් අඩුකර ගැනීමට නොහැකි වුවහොත් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි කියාය.

චීනය කැමැති වෙයිද?

එමෙන්ම මේ වනවිට තීරුබදු අඩුකර ගැනීමෙන් පසු ලංකාවට මුහුණ දීමට ඇති ඊළඟ විශාලතම අභියෝගය වන්නේ ඇමෙරිකාව කියන ආකාරයට චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය සඳහා ඇමෙරිකාව චීනයට පනවා ඇති බද්දම පැනවීමට හැකිදැයි කියාය. ලංකාව එවැනි පියවරකට ගියහොත් චීනය කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න මෙහිදී ලංකාව මුහුණ දෙන ඊළඟ ප්‍රධානම ගැටලුවය. ලංකාව ඇමෙරිකාවේ තීරුබද්ද අඩුකර ගැනීමට පියවර ගෙන තිබුණද, ඒ හරහා මතුවීමට නියමිත අභියෝග එතරම් සුළුපටු නැත. ඒ අනුව ඉදිරි මාස තුන ලංකාවට ඉතා තීරණාත්මක බව අමුතුවෙන් කිවයුතු නැත. එය බොහෝ තීරණාත්මක වන්නේ දැනටමත් ආණ්ඩුව නවතා ඇති චීන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා චීනය සමග නව සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති පසුබිමකය. මෙම සාකච්ඡාවලදී දැනටමත් චීනය ප්‍රකාශ කොට ඇත්තේ මීරිගම-කඩවත අතර ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස ඉදිකිරීමට සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සහාය දැක්විය හැකි යැයි කියාය. මෙම සාකච්ඡා තවමත් අවසානයක් දැක නොමැත්තේ ගෙවිය යුතු වන්දි සහ ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබීම නිසාය. එහිදී වන්දි මුදල් යම් කපාහැරීමකට ලක්කිරීමට චීනය එකඟතාව පළකොට ඇතත් තවමත් එහි අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කොට නොමැත. ආණ්ඩුව උත්සාහ කරන්නේ කිසිදු වන්දි මුදලක් හෝ ප්‍රමාද ගාස්තුවක් නොගෙවා හෝ එම වන්දිය අවම කොටගෙන කෙසේ හෝ දැනට නැවතී ඇති මෙම ව්‍යාපෘති දෙක යළිත් සක්‍රීය කරගැනීමටය.

එමෙන්ම චීනයද සිටින්නේ මේ සියලු ව්‍යාපෘත පෙන්වා චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව විවෘත කරගැනීමේ එකඟතාව ලබාගැනීමේ අරමුණ ඇතිවය. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ එය සිය රටේ අභිමානය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් යැයි කියාය. එම නිසා මෙම සාකච්ඡා බොහෝ දුරදිග ගොස් ඇති නිසාත්, අවසානයක් කරා ළඟා වීමට ඔන්න මෙන්න කියා තිබීම නිසාත් ඇමෙරිකාව පවසන පරිදි චීන අමුද්‍රව්‍ය මත අලුත් බද්දක් පැනවීම කොපමණ දුරට සාර්ථකද වේද යන්න දැන්ම තියා කිව නොහැක.

කෙසේ වෙතත් කුමන බාධා මධ්‍යයේ වුවද ආණ්ඩුව 30%ට තිබූ ඇමෙරිකානු තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීම ඉතා විශාල ජයග්‍රහණයක් බව අවිවාදයෙන්ම කිව යුතුය. ඒ හරහා ලංකාවට මුහුණ දීමට නියමිතව තිබූ බොහෝ අභියෝගයන් තාවකාලිකව හෝ මගහරවා ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බව සැබෑය. නමුත් ඒ හරහා මතුව ඇති අලුත් අභියෝගද එසේ මෙසේ ඒවා නොවන බව සඳහන් කළ යුතුව ඇත. එම අභියෝග ජයගැනීම සඳහා ආණ්ඩුව තවත් විශාල ඉදිරි ගමනක් යායුතුව තිබේ.

චන්ද්‍රිකා නම් යනවා

ජනාධිපතිවරයා සිය මාලදිවයින් සංචාරය අවසන් කොට ලංකාවට පැමිණ පැය කීපයක් යෑමට මත්තෙන් ආණ්ඩුව පැත්තෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් විය. ඉන් කියැවුණේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ වරදාන වරප්‍රසාද විශාල ප්‍රමාණයක් කපාහැරීමට තීන්දු කොට ඇතැයි කියාය. ආණ්ඩුව බ්‍රහස්පතින්දා දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කළද ඊට දින කීපයකට පෙර සිටම එවැනි ගැසට් නිවේදනයක් නිකුත් වීමට නියමිත බවට වූ තොරතුර හිටපු ජනාධිපතිවරුන්ට ලැබී තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකාත්, මහින්දත් පසුගිය දින කීපයේ ඊට දැක්විය යුතු ප්‍රතිචාර සම්බන්ධයෙන් සිය ළඟම හිතවතුන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි.

මෙහිදී චන්ද්‍රිකා තීන්දු කොට තිබුණේ තමන්ට ලබාදී ඇති රජයේ නිල නිවසින් ඉවත්ව තම පවුලට අයත් වෙනත් නිවසකට යෑමටය. ඒ අනුව චන්ද්‍රිකාගේ මුල්ම තේරීම වී තිබුණේ සිය මව වූ සිරිමාවෝ මැතිනිය වාසය කළ කොළඹ රොස්මීඩ් පෙදෙසේ පිහිටි මහගෙදරය. එම නිවසේ හිමිකාරීත්වය මේ වනවිට පවතින්නේ චන්ද්‍රිකාගේ සොහොයුරිය වූ සුනේත්‍රාටය. ඇය මේ වනවිට එම රොස්මීඩ් පෙදෙසේ මහගෙදර සුප්‍රකට හෝටලයක් බවට පත්කර ඇති අතර, ‘ටින්ටජල්’ ලෙස එය ප්‍රකටව තිබේ. චන්ද්‍රිකා සිය යෝජනාව සුනේත්‍රාට ඉදිරිපත් කළද සුනේත්‍රා එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව චන්ද්‍රිකා අවසානයේදී තීන්දු කළේ හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්වේ පදිංචියට යෑමටය. ඒ අනුව පසුගිය සතිය වනවිට තමන් රැඳී සිටි නිවසේ බඩු භාණ්ඩ ඉවත් කරගැනීමටද චන්ද්‍රිකා කටයුතු කොට තිබිණි.

මහින්දගේ තීන්දුව

චන්ද්‍රිකා මේ ආකාරයට නිහඬවම ආණ්ඩුවේ නිල නිවෙසින් පිටව යෑමට තීරණය කළද මහින්ද නම් ඒ සම්බන්ධයෙන් දැක්වීමට සූදානම්ව ඇත්තේ ඊට තරමක් වෙනස් ප්‍රතිචාරයකි. නිල නිවස යළි ආණ්ඩුවට පවරා ගන්නාි බවට ගැසට් නිවේදනයක් නිකුත් වන බවට වූ තොරතුර ලැබීමත් සමග මහින්දගේ හිතවතුන් බොහෝ දෙනකු ඔහුට කියා තිබුණේ කොළඹින්ම ආරක්ෂා සහිත නිවසක් සොයන ලෙසත්, එහි කුලිය ගෙවීමට තමන් කටයුතු කරන බවත්ය. නමුත් මහින්ද ඒ සඳහා වැඩි කැමැත්තක් දක්වා නැති බව පැවසේ. එසේම සිය නිල නිවසින් පිටව යෑමට මහින්ද තීරණය කොට ඇතත් චන්ද්‍රිකා ගියාක් මෙන් හොර රහසේ යෑමට මහින්ද සූදානම් නැති බවක් ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ වෙනුවට මහින්ද තීරණය කොට ඇත්තේ ගෙයින් එළියට බසින ලෙස දැනුම් දෙන අවසන් මොහොත දක්වාම විජේරාම නිල නිවෙසේ රැඳී සිට සිය පාක්ෂිකයන් සමගම ගෙයින් එළියට බැසීමටය.
2015 ජනාධිපතිවරණය පරාජයට පත්වූ පසුවත් මහින්දට මේ ආකාරයෙන්ම අරලිය ගහ මන්දිරයෙන් නික්ම යෑමට සිදුවිය. එදිනද මහින්දගේ හිතවතුන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට එක්ව සිටියහ. පරාජය මැද වුවත් සිනාසෙමින් මහින්ද සියල්ලන්ටම අත වනා එදා අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සේ ඒ විශාල පාක්ෂිකයන් පිරිසගේ ජය ඝෝෂා මැදය. එමෙන්ම තමන්ගේ උපන් ගම වූ මැදමුලන කාල්ටන් වලව්වට මහින්ද ගියේද පාක්ෂිකයන් දහස් සංඛ්‍යාවක් පිරිවරාගෙනය. එදින මහින්ද සිය මහගෙදර ජනෙල් පත්තට නැගී පාක්ෂිකයන් ඇමතූ ආකාරය අදද බොහෝ දෙනාට අමතකව නැත. ඒ අනුව මහින්ද මෙවරත් සූදානම් වන්නේ ඒ ආකාරයට දහස් ගණනක් වූ පාක්ෂිකයන් සමග විජේරාම නිල නිවසින් එළියට බැස තංගල්ල මහ ගෙදරට යෑමට බව ආරංචිය.

අනුර නාමල් සාකච්ඡාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අඟහරුවාදා දිනයේදී මාලදිවයින බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනාවකට අනුවය. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 101 දරන යානයේ ව්‍යාපාරික පන්තියට ගොඩවූ ජනාධිපතිවරයාට තවත් විශේෂ අමුත්තකු එම යානයේම සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ, වෙන කවුරුවත් නොව නාමල් රාජපක්ෂය. කෙසේ වෙතත් ඔවුන් සිටියේ එක ළඟ ආසන දෙකක නොව, පේළි දෙකක තිබූ ආසනවලය. නමුත් ඒ.අයි. තාක්ෂණය ඔස්සේ ඇතැමුන් ජනාධිපතිවරයා සහ නාමල් එක ළඟ අසුන්ගෙන කතාබහ කරමින් සිටි ආකාරය දැක්වෙන ඡායාරූප සකස් කොට සමාජ මාධ්‍යවල බෙදාහැර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. අඟහරුවාදා පෙරවරුවේම අපටද මෙම වාර්තා වීමත් සමග ඒ මොහොතේම අප ප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ අනාවරණ කිරීමට කටයුතු කළෙමු.

මේ සිදුවීම සම්බන්ධයෙන් පසුව මාධ්‍ය නාමල්ගෙන් විමසීමේදී ඔහු කෙළින් පිළිතුරක් නොදුන්නද අපට ලැබුණු තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙම ගමන අතරතුරදී ජනාධිපතිවරයා සහ නාමල් අතර සුහද සාකච්ඡාවක් සිදුව ඇති බවය. දේශපාලන වශයෙන් කඳවුරු දෙකක සිටියද, දේශපාලනයේ පසමිතුරන් ලෙස ක්‍රියා කළද, දේශපාලන වේදිකාවලදී එකිනෙකාට ප්‍රහාර එල්ල කළද දෙදෙනාම ඒ සියල්ල අමතක කොට ඉතා සුහදව එහිදී කතාබහ කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙහිදී දෙදෙනා අතර කිසිදු දේශපාලන සාකච්ඡාවක් හෝ බරපතළ දේශපාලන කරුණු පිළිබඳ කතාබහට ලක්වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් දෙදෙනා සාමාන්‍ය අයුරින් කතාබහ කරමින් විහිළුතහළු කරගනිමින් සිනාසුණු ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය.

කෙසේ වෙතත් ගුවන් ගමන අවසන් කොට නාමල් මාලේ ගුවන් තොටෙන් බසිද්දීම ඔහුට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ හම්බන්තොට උසාවිය මගින් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කොට ඇති බවය. යහපාලන සමයේ හම්බන්තොට වරාය විකිණීමේදී සිදුකරනු ලැබූ උද්ඝෝෂණයක් හේතුකොට ගෙන හම්බන්තොට උසාවිය තුළ නඩුවක් ක්‍රියාත්මක වෙමින් පැවැති අතර, ඊට පෙනී නොසිටීම නිසා මෙසේ වරෙන්තුව නිකුත් වී ඇති බවද එම පණිවුඩයෙන් කියැවිණි. ඒ අනුව වහාම නාමල් සිය නීතිඥවරුන්ට දැනුම් දී සිටියේ තමන් ඊට පසු දිනම ලංකාවට පැමිණෙන නිසා ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසය.

මේ අතර, වරෙන්තු නිකුත් කොට තිබීම නිසා නාමල් යළි ලංකාවට පැමිණීමේදී කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට රාවයක්ද අඟහරුවාදා වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබිණි. ඒ සමගම කොළඹින් නාමල්ට කතා කළ පිරිස් කියා සිටියේ අවශ්‍ය නම් විශාල පාක්ෂිකයන් පිරිසක් රැගෙන කටුනායකට පැමිණීමට හැකි යැයි කියාය. නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නාමල් කියා සිටියේ එසේ කළ යුතු නැති බවත්, තමන් කටුනායකින් පිටවූ වහාම හම්බන්තොට බලා නික්ම යන බවත්ය. කී ආකාරයටම නාමල් කටුනායකින් ගොඩබැස හම්බන්තොට බලා පිටත්ව ගිය අතර, ඔහු අත්අඩංගුවට ගැනීමක් එහිදී සිදු නොවිණි.

ආර්ථික ඔස්තාර්ලා

‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පසුගිය කාලවකවානුව පුරාම විපක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව පිළිබඳ වරින් වර කරුණු හෙළිදරව් කළෙමු. එහිදී මේ ආර්ථික ඔස්තාර්ලා විපක්ෂය නියෝජනය කරන බව බොරුවට පෙන්වමින් පැවැති ආණ්ඩුවලට කඩේ ගිය ආකාරයත්, ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව කියමින් ජනතාව නොමග යැවූ ආකාරයත් පිළිබඳ සාක්ෂි සහිතව තොරතුරු වාර්තා කිරීමටද අපි කටයුතු කළෙමු. මෙවර අප හෙළිදරව් කිරීමට යන්නේ මේ ආර්ථික ඔස්තාර්ලා විපක්ෂයේ හිඳිමින් ගහන තවත් කැත දේශපාලන ගේමක් පිළිබඳවය. ජනතාව වෙනුවෙන් පෙනීසිටින බව කීවද මේ ආර්ථික ඔස්තාර්ලා ලොකු ලොකු කොම්පැනිකාරයන් වෙනුවෙන් ලැජ්ජා නැතුව පෙනී සිටින බවය. ඔවුන්ට කඩේ යන බවය. ඡන්ද කාලවලදී තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට මේ කොම්පැනිකාරයන්ගෙන් කෝටි ප්‍රකෝටි ගණන් සන්තෝසම් වශයෙන් මුදල් ලැබෙන බවය. ඒ අනුව රටට ලෝකෙට පෙනෙන්නට ටයි කෝට් දමාගෙන සිටියද, සුදු ඇඳගෙන සිටියද මේ ආර්ථික ඔස්තාර්ලා සිදුකරන්නේ තුට්ටු දෙකේ දේශපාලනයක් බව මෙවර රටට පෙන්වීමට අප සූදානම්ය.

රනිල් වික්‍රමසිංහ රජය සමයේ විපක්ෂයේ සිටින මේ ආර්ථික ඔස්තාර්ලා රෙදි නැතිව රනිල්ට කඩේ ගියේය. රට බංකොලොත් වී තිබියදී පවා රනිල් ජනතාව මත බදු පිට බදු ගසද්දී මේ ආර්ථික ඔස්තාර්ලා ඊට වචනයකින් හෝ විරෝධය පළ කළේ නැත. ඒ වෙනුවට ඔවුන් රනිල්ව සුද්ද කළේය. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අගය කළේය. රට ගොඩගන්න නම් බදු ගැසිය යුතු බව කීවේය. මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව තව තව බදු පැනවිය යුතු බව කීවේය.

ඉන් අනතුරුව මෙරට ප්‍රධාන පෙළේ සමාගම් තුනක් මගින් පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වීමේදී බිලියන හයක බදු මුදලක් ගෙවා නොමැති බවටත්, රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ආරම්භ වූ මේ බදු නොගෙවීම වත්මන් ජනාධිපතිවරයාගේ කාලයේත් සිදුවන බවටත් මාධ්‍ය වාර්තා කර සිටියේය. ඒ පිළිබඳ ලිපිගොනු සහිතව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීමටද පියවර ගත්තේය. මරික්කාර්ගේ මේ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුව උත්තර දීගත නොහී සිරවූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් අද වනතුරු මේ ආර්ථික ඔස්තාර්ලා මේ පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීමේදී සිදුකර ඇති බව කියන බිලියන ගණනක වංචාව පිළිබඳ වචනයක් හෝ කතා කළේ නැත. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ ආර්ථික ඔස්තාර්ලා ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකළේ ඡන්ද කාලයේදී මේ බදු වංචා කළ බවට චෝදනා එල්ල වූ සමාගම්වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට පොම්ප වීම නිසාය.

කෝටි ගණන් සල්ලි එනවා

මීට කාලයකට ඉහතදී බියර් සමාගමකට වාසිසහගත ආකාරයට මිල අඩුකිරීම සම්බන්ධයෙන් විපක්ෂය විශාල සටනක් ගෙනගිය ද මේ ආර්ථික ඔස්තාර්ලා ඒ සම්බන්ධයෙන් වචනයක් කතා කිරීමට කටයුතු කළේ නැත. එම මිල අඩුකිරීමෙන් අදාළ බියර් සමාගම කෝටි ගණනක අයථා වාසියක් ලැබුවද අදාළ සමාගම් මේ ආර්ථික ඔස්තාර්ලාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් පොම්ප කිරීම නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් වචනයක් හෝ කතා නොකළ බවටද චෝදනා එල්ල විය.

එමෙන්ම පසුගිය කාලයේ දී රාජපක්ෂවරුන් මෙරටට කැසිනෝ ශාලා ගෙන ඒමේදී මේ ආර්ථික ඔස්තාර්ලා දැවැන්ත විරෝධයක් ගෙන ගියහ. ඊට එරෙහිව යටිගිරියෙන් කෑගැසූහ. එහි ප්‍රතිඵලයක් ලෙස එදා රටට ඒමට සිටි ජේම්ස් පැකර් සිය ආයෝජනය හකුලාගෙන යන්නට ගියේය. ඉන් අනතුරුව යහපාලන රජය සමයේදීද කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් විය. නමුත් ඊට සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ කැබිනට් පත්‍රිකාව තහනම් කොට එම පරිශ්‍රයේ කිසිදු ආකාරයකින් කැසිනෝ ශාලාවක් ආරම්භ කළ නොහැකි පරිදි නව කැබිනට් පත්‍රිකාවක් සම්මත කිරීමට පියවර ගත්තේය.

එසේ තිබියදී රනිල් ජනාධිපතිවරයා වීමෙන් පසු එම ස්ථානයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩලය හරහා අවසර ලබාදීමට පියවර ගෙන තිබිණි. එහිදී මෛත්‍රීපාල විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අහෝසි කොට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඊට අවසර ලබාදුන්නාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. එමෙන්ම කැසිනෝ ආයතනවල ලාභයෙන් 45%ක් බදු ලෙස අයකර ගතයුතු බවට වූ නීතිය මෙම කැසිනෝ ශාලාවටද බලපාන්නේද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්ද මේ වනවිට මතුව තිබේ. මේ වනවිට මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමට පියවර ගෙන ඇති පසුබිමක එදා මේ කැසිනෝ ශාලා විවෘත කරද්දී යටිගිරියෙන් කෑගැසූ ආර්ථික ඔස්තාර්ලා අද වචනයක් හෝ කතා නොකිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

බී.වයි.ඩී. බදු වංගුව

මේ කැසිනෝ ශාලාව ආරම්භ කර ඇති සමාගම මගින්ම මේ වනවිට බී.වයි.ඩී. මෝටර් රථ ලංකාවට ගෙන්වන අතර, එහිදීද බදු වෙනස් කිරීමක් සිදුකොට ඇති බවට විශාල හෙළිදරව්වක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදුවිය. ඒ, මුජිබර් රහුමාන් මහතා කළ හෙළිදරව්වක් සමගිනි. මුජිබර්ගේ මෙම හෙළිදරව් කිරීමෙන් පසු විශාල ආන්දෝලනයක් හටගත් අතර, ජනාධිපතිවරයා මාලදිවයිනේ සිටම මුදල් අමාත්‍යවරයා ලෙස නියෝග කොට තිබුණේ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි කියාය. ඒ අනුව රේගුව අදාළ බී.වයි.ඩී. වාහන නිදහස් කිරීම අත්හිටුවීමට කටයුතු කොට තිබූ අතර, දැනට ගෙන්වා ඇති වාහන 1000ක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමටද ආරම්භ කොට ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් හෝ විපක්ෂයේ සිටින මේ ආර්ථික ඔස්තාර්ලා වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමකි. අදාළ වගකිව යුතු සමාගම් කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට මේ ආර්ථික ඔස්තාර්ලා ඒ සමාගම් සුද්ද කරන තැනට වැටී තිබීමද විශේෂ සිදුවීමකි.

එමෙන්ම පසුගිය සතියේ මන්ත්‍රීවරයකු හෝ නොවන උදය ගම්මන්පිල මහතා තවත් විශාල හෙළිදරව්වක් කරමින් කියා සිටියේ ආණ්ඩුව පසුගිය කාලයේදී පරීක්ෂා නොකර කන්ටේනර් 323ක් නිදහස් කළ ආකාරයටම පසුගිය සතියේදී වරායේ කන්ටේනර් තදබදයක් අස්සේ තවත් කන්ටේනර් 6ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවකි. එම කන්ටේනර් හය ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකු වන රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාට අයත් ලුණු කන්ටේනර් හයක් බවද එහිදී ගම්මන්පිල අනාවරණ කර සිටියේය. නමුත් එසේ වුවද විපක්ෂයේ සිටින මේ ආර්ථික ඔස්තාර්ලා ඒ ගැන කටක් ඇර වචනයක් හෝ කීවේ නැත. ඒ සමාගම් කැඳවා ප්‍රශ්න කිරීමට පියවර ගත්තේ නැත.

එපමණක් නොව මේ ආර්ථික ඔස්තාර්ලා මේ වනවිට තවත් අලුත් ගේමක්ද ගසමින් සිටිති. ඒ, මේ වනවිට අක්‍රීයව පවතින දැවැන්ත ව්‍යාපෘති සක්‍රීය කරගැනීමේ මෙහෙයුමකය. අප එසේ කියන්නේ මීට සති දෙකකට ඉහතදී මේ ආර්ථික ඔස්තාර්ලා එක්තරා ස්ථානයක හමුවී ඒ සම්බන්ධයෙන් රහසේ සාකච්ඡා කොට තිබීම නිසාය. ගෝඨාගේ පාලන කාලයේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග එල්.එන්.ජී. ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අස්සන් තැබූ අතර, පසුව එල්ලවූ සමාජ විරෝධය හමුවේ එය අතහැර දැමීමට පියවර ගෙන තිබිණි. නමුත් මීට සති දෙකකට ඉහතදී මේ ආර්ථික ඔස්තාර්ලා අත්හැර දමා තිබූ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබිණි. ඒ ආකාරයට මේ ආර්ථික ඔස්තාර්ලා පෙනීසිටින්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හෝ විපක්ෂය වෙනුවෙන් නොව මහාපරිමාණ දැවැන්ත සමාගම් වෙනුවෙන් බව මේ වනවිට තහවුරු වී තිබේ. ඒ අනුව බොහෝ දෙනා චෝදනා කරන්නේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින මෙවැනි ආර්ථික ඔස්තාර්ලා විපක්ෂයේ පරාජයන්ට විශාල හේතුවක් වී ඇති බවකි. ඒ නිසා වහාම විපක්ෂයේ ප්‍රධානීන් විසින් මේ ආර්ථික ඔස්තාර්ලා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගතයුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ජනතාව වෙනුවෙන් නොව කොම්පැනි වෙනුවෙන් පෙනී සිටින මේ ආර්ථික ඔස්තාර්ලාගේ ජනතාවට නොතේරෙන ආර්ථික තියරි වෙනුවට අලුත් ආර්ථික තියරියක් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවද ඔවුන්ගේ යෝජනාව වී තිබේ.

උපදෙස් පැලවත්තෙන්

සාමාන්‍යයෙන් ආණ්ඩුව ඇතුළේ හෝ ආණ්ඩුවේ ඇමැතිවරුන් අතරේ හෝ ප්‍රශ්නයක් මතගැටුමක් පැමිණි විට ජනාධිපතිවරයා මැදිහත්ව ඒවා විසඳීම සාමාන්‍ය සිදුවීමකි. ඉකුත් ආණ්ඩුවල පවා කැබිනට් මණ්ඩලයේදීත්, ඉන් පිටතදීත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් අතර ප්‍රසිද්ධියේ මතගැටුම් මතුවූ අවස්ථාවලදී ඒ ඒ ජනාධිපතිවරුන් මැදිහත්ව ඔවුන්ව කැඳවා එම ප්‍රශ්න විසඳාලූ ආකාරය සම්බන්ධයෙන් උදාහරණ ඕනෑ තරම් තිබේ. නමුත් මේ වනවිට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ එවැන්නක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විශාල ප්‍රශ්නයක් මතුව තිබේ.

පසුගිය කාලයේදී ආණ්ඩුව ඇතුළේ යම් යම් ඇමැතිවරුන් දැක්වූ අදහස් හේතුවෙන් ආණ්ඩුව විශාල වශයෙන් අපහසුතාවන්ට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. වරෙක ලාල්කාන්ත රිළව් සම්බන්ධයෙන්ද, ඩඩ්ලිගේ අරලිය හෝටලය සම්බන්ධයෙන්ද දැක්වූ අදහස් නිසා ආණ්ඩුව අපහසුතාවට පත්විය. සුනිල් හඳුන්නෙත්ති යම් යම් අවස්ථාවලදී දැක්වූ අදහස් නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වූ ආකාරය දැකගත හැකි විය. මෑතකදී නලින් හේවගේ දැක්වූ අදහස් හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් මේ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා මේ ඇමැතිවරුන් කැඳවා ගැටුම් සමතයකට පත්කළ බවක් හෝ එම ඇමැතිවරුන්ට උපදෙස් ලබාදුන් බවක් වාර්තා වී තිබුණේ නැත.

එසේ වුවත් මෙම ඇමැතිවරුන්ට පැලවත්තෙන් නම් යම් යම් උපදෙස් ලැබී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටින්නේ ජනාධිපතිවරයා වෙනුවට මේ ඇමැතිවරුන් පාලනය කිරීම මේ වනවට පැලවත්තෙන් සිදුවනවා යැයි කියාය.

සජිත් පැල්වත්තට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේදී විශේෂ වැඩකටයුතු දෙකකට අතගැසුවේය. ඒ, මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළින්ම කතාවෙන මාතෘකා දෙකක් මුල් කරගෙනය. ඉන් පළමුවැන්න වූයේ තරුණ කණ්ඩායම් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවය. ඊට හේතු වී තිබුණේ මේ දිනවල ආණ්ඩුව තරුණ සංගම්වල තනතුරු අත්පත් කරගැනීමට කටයුතු කරන බවට විශාල චෝදනාවක් එල්ල වී තිබීමය. මීට පෙර කිසිදු රජයක් තරුණ සංගම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකර තිබූ පසුබිමක වත්මන් රජයේ මැති ඇමැතිවරුන් පවා තරුණ සභාවල රැස්වීම්වලට සහභාගි වන බවට විශාල චෝදනාවක් එල්ල වී තිබූ පසුබිමක් යටතේ සජිත් තරුණ පිරිස් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටත්, ඊට එරෙහිව කටයුතු කිරීමටත් පියවර ගෙන තිබිණි.

මීට අමතරව පසුගිය සතියේ සජිත් හදිසියේම පැල්වත්තේ විශේෂ සංචාරයකද නිරත විය. ඒ, මේ දිනවල තමන්ට ලැබිය යුතු වැටුප් පවා ලබා නොදෙන බවට පැල්වත්තේ සහ සෙවණගල උක් ගොවීන් සහ සැපයුම්කරුවන් ආරම්භ කොට ඇති දැවැන්ත විරෝධතාවට ශක්තියක් දීම සඳහාය. එහිදී සජිත් කියා සිටියේ ජනාධිපතිවරයා මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනයක මුදලක් එකතු වී ඇති බවට මහත් උජාරුවෙන් යුතුව කියා සිටින නිසා වහාම එම මුදල් යොදවා මේ උක් ගොවීන්ගේ ප්‍රශ්නය අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය.

සුමන්තිරන්ට ආ පණිවුඩය

ලබන සැප්තැම්බරයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් සම්මත වීමට නියමිත බව අවස්ථා කීපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට අප පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ පසුගිය කාලයේදී මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව මුල්කරගෙන මෙසේ ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් සම්මත වීමේ අවදානමක් මතුව ඇති බවය.

අප කී එම තොරතුර මේ වනවිට තහවුරු වී ඇත්තේ මහා බි්‍රතාන්‍යය විසින් ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමගය. කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව යන රටවල සහාය ඇතිව මෙම යෝජනාව ගෙන ඒමට නියමිතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මහලේකම්වරයා වන වෝල්කර් ටර්ක් විසින් දෙමළ සන්ධානයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන්ට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ඩඩ්ලිගේ වැඩේ ඉවරයි! ලාල්කාන්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග හැප්පෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලි ඉන්න තැන් ගෙදර ඉඳන් දැනගන්න පුළුවන්! ගල්ගමුවේ පොඩි කොල්ලෙක් අලි බේරගන්න ලොකු වැඩක් කරයි! ඇප් එකේ නම Elephant Journey!

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.