අම්බුලුවාව කඳු මුදුනට කේබල් කාර් මගින් සංචාරකයන් රැගෙන යන්නට චීනයේ ‘Amber Adventures’ සමාගම සිහින දකිද්දී, ලාංකේය ජනතාවද බලා සිටියේ මෙරට පළමු කේබල් කාර් ව්‍යාපෘතියේ අසිරිය විඳගන්නටය. එහෙත් දැන් ඒ සියල්ල වැලි මාලිගා සේ කඩාවැටී ඇත. ආයෝජකයා මෙරටින් ඉවත් වීමට තීරණය කර ඇති අතර, ඒ සමගම ලෝක සිතියමේ ශ්‍රී ලංකාවට හිමිව තිබූ ‘ආයෝජන සුරක්ෂිතභාව’ පිළිබඳ සහතිකයද දැවී අළුවී යමින් පවතී. මෙය හුදෙක් එක් චීන සමාගමක සමුගැනීමක් පමණක් නොව, 2022 මහා ආර්ථික කුණාටුවෙන් පසු ලංකාව හැරයන ජාත්‍යන්තර දැවැන්තයන්ගේ දිගු පෝලිමක අලුත්ම පුරුකයි.Sri Lanka Latest News
ලංකාවේ වසර 60ක ඉතිහාසයක් තිබූ ජපානයේ මිට්සුබිෂි සමාගම සිය මෙහෙයුම් නතර කරද්දී අපට දැනුණේ නැත. ප්‍රංශයේ ඩෙකැත්ලන් (Decathlon) වැනි ක්‍රීඩා භාණ්ඩ දැවැන්තයකු ඉවත් වෙද්දී අප එය සුළුවෙන් තැකුවෙමු. ඉන්දියාවේ සොමැටෝ (Zomato) සේවාව සහ ආන්දෝලනාත්මක සුළං බල ව්‍යාපෘතිය අතහැර දැමූ අදානි (්ා්බස) සමූහය මෙරටින් පිටව ගියේ ලංකාව යනු තවදුරටත් ආයෝජකයන්ට ‘සේප්පුවක්’ නොවන බව ලෝකයටම කෑගසා කියමිනි. ඇයි මෙහෙම වෙන්නේ? ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ සරුසාර පොළොවේ නොව, ඒ පොළොව පාලනය කරන ප්‍රතිපත්තිවල සහ නීති පද්ධතියේය.
ආයෝජකයෙකු රටකට එන්නේ සිය මුදල් රඳවා ගැනීමට මිස පුණ්‍ය කටයුතු කිරීමට නොවේ. එහෙත් ලංකාවේ පවතින ‘ප්‍රතිපත්තිමය නොගැළපීම’ ආයෝජකයකුට දකින්නට ලැබෙන බිහිසුණුම හීනයයි. අද එක් ආණ්ඩුවක් ගෙනෙන නීතිය හෙට එන තවත් ආණ්ඩුවක් කසළ බඳුනට දමයි. අල්ලස, දූෂණය සහ රතු පටියට හසුවී වසර ගණනාවක් ලිපිගොනු ලාච්චු තුළ ලගිද්දී, ආයෝජකයාට ඉතිරි වන්නේ හූල්ලන්නට පමණි. අනෙක් අතට, 2022 ඇති වූ ආර්ථික අස්ථාවරත්වය හමුවේ රුපියලේ අගය උච්චාවචනය වීම සහ විදේශ විනිමය පාලනයන් නිසා සිය ලාභය තමන්ගේ රටට ගෙන යාමට නොහැකි වීම ආයෝජකයන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකි.
මෙවැනි දැවැන්ත සමාගම් රට හැරයාම යනු හුදෙක් රැකියා දහස් ගණනක් අහිමි වීම පමණක් නොවේ. ඒ සමගම ලෝකයට ගලායන්නේ ‘ශ්‍රී ලංකාව ආයෝජනයට සුදුසු තැනක් නොවේ’ යන මාරාන්තික ඍණාත්මක පණිවුඩයයි. රටක් විදිහට අපට ඩොලර් අවශ්‍ය මොහොතක, විදේශ ඍජු ආයෝජන (FDI) ගලා ඒම වෙනුවට තිබෙන ආයෝජනත් ගලා යන්නේ නම්, අපේ ආර්ථික මළගම වැඩි ඈතක නොවේ. අම්බුලුවාව ව්‍යාපෘතිය අත්හැරීම යනු සංචාරක ක්ෂේත්‍රයේ නවමු පිම්මක් අහිමි වීමකි. අදානි ඉවත් වීම යනු බලශක්ති අර්බුදයට විසඳුම් පමාවීමකි.
දැන්වත් අප නින්දෙන් අවදි විය යුතුය. ගොස් ඇති ආයෝජකයන් යළි ගෙන්වා ගැනීමට නම්, පළමුව කළ යුත්තේ ‘වචනයට ගරු කරන’ රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීමයි. ආයෝජකයාට රස්තියාදු නොවී වැඩක් කරගත හැකි ‘ඒකල කවුළු’ (Single Window) ක්‍රමවේදයන් සැබෑ ලෙසම ක්‍රියාත්මක විය යුතුය. අල්ලසෙන් තොර, විනිවිද පෙනෙන නීති පද්ධතියක් සහ ආයෝජකයාගේ ලාභය සුරක්ෂිත කරන මූල්‍ය නිදහසක් නොමැතිව කිසිදු ජාත්‍යන්තර සමාගමක් ලංකාව දෙස හැරී බලන්නේ නැත.
ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමුගැනීම අපට දෙන අවසන් පාඩම මෙයයි. දේශපාලන උප්පරවැට්ටි සහ පටු වාසි තකා ජාත්‍යන්තර ආයෝජන පන්දුවක් සේ පාගන තාක්කල්, ලෝකයේ දියුණු සමාගම් ලංකාව අතහැර වියට්නාමය, බංග්ලාදේශය හෝ ඉන්දියාව වැනි රටවල් කරා පියාසර කරනු ඇත. අපට ඉතිරි වනු ඇත්තේ ගරාවැටුණු ව්‍යාපෘති සහ අතීතයේ මෙහි තිබූ සමාගම් ගැන ලියැවුණු කඳුළු කතා පමණි. පාලකයිනි, දැන්වත් තීන්දුවක් ගන්න. ආයෝජකයා රකින්නේද, නැතිනම් රටේ අනාගතය වළපල්ලට යවන්නේද?










