අධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. Sri Lanka Latest News
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (20) යළි විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.
එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය විවාදයට භාජනය කළ නොහැකි බව කියා සිටියේය.
කෙසේ වෙතත් එම බලය පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ක්‍රියාත්මක විය යුතු යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ජනාධිපතිවරු විසින් එම බලය පරිහරණය කිරීමේදී මතුවිය හැකි අසමානතා මඟහැරීම සදහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්
අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළව මේ වනවිට අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන ලිපිගොනුව පිළිබඳව විමසූ විට එය ජනාධිපති කාර්යාලයේ නොමැති බව එම කාර්යාලය විසින් තම සේවාදායකයාට දන්වා තිබූ බව පැවසීය.
පසුව එම ලිපි ගොනුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් ඔහු පැවසුවේය.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ජුලි 13 වනදා දක්වා කල් තැබූ අතර එදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.










