පසුගිය සතියේදී ඉන්දියානු මාධ්‍ය හදිසියේම වාගේ විශේෂ පුවතක් අනාවරණ කරමින් ලංකාවේ පාතාලය සහ කුඩු ජාවාරමට සම්බන්ධ සහ එල්.ටී.ටී.ඊ.ය නැවත නගාසිටුවීමට සැලසුම් කරන පුද්ගලයන් කිහිප දෙනකුගේම නම් එළියට දැමීමට කටයුතු කළේය. එහිදී ප්‍රධාන වශයෙන් මෙරට පාතාල සාමාජිකයන් 9 දෙනකුගේ නම් කියැවිණි. ඒ අතර සින්නයියා රවීන්ද්‍රන් ගුණසේකරන් හෙවත් කිඹුලාඇල ගුණා, බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් හෙවත් අස්මි, සුනිල් ගාමිණී ෆොන්සේකා හෙවත් කොට ගාමිණී, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා, නල්ලපෙරුම තන්ත්‍රීගේ ධනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ ධනුක, දීනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග හෙවත් ලඩියා, දික්පිටිය විතානගේ අසිත නොයෙල් කුමාර හෙවත් ආමි අසිත සහ ගමගේ සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග යන අය සිටියහ.
මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පලාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එම අපරාධකරුවන් 129 දෙනා අතර වැඩි දෙනෙක් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොන්නට වැටෙන අපරාධකරුවන්ය. ඊට අමතරව වංචා කිරීම්, මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද රතු නිවේදන නිකුත් වූ අපරාධකරුවෝ රැසක්ම සිටිති. ඒ අය අතරින්ද පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 25 දෙනෙක්ම එම රතු නිවේදන නිකුත් වූවන් අතර සිටිති. ඒ සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරම මෙහෙයවන දැවැන්තයන්ය.
ඉන්දියාව අලුත් නවාතැන
මේ අයගෙන් වැඩි දෙනෙක්ම ඔවුන් දැන් රැඳී සිටින රටවලට පැනගන්නේ ඉන්දියාවට බෝට්ටුවෙන් ගොස් එහි සිටය. කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වූ සමයං ඇතුළු හත්දෙනෙක් එක පොදියට මරාදැමූ අංගොඩ ලොක්කාත්, නීලමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග නොහොත් ලඩියා ඇතුළු හය හත්දෙනෙක්ම බෝට්ටු මගින් කල්පිටිය ප්‍රදේශයෙන් පැනගන්නේ ඉන්දියාවටය. අංගොඩ ලොක්කාත්, ලඩියාත් ඉන්දියාවේදී කොටුවන්නේද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් එහි සිට ඩුබායි පනින්නට සූදානම් වූ අවස්ථාවේදීය. අන්තිමේදී අංගොඩ ලොක්කාට සිය ගෝලබාලයන්ගේම සැලසුමකින් මරු තුරුලට යන තෙක්ම රැඳී සිටින්නට සිදුවන්නේ ඉන්දියාවේය. එසේ ඉන්දියාවේ සිටින මෙරට අපරාධකරුවන් ගණනද සුළුපටු නැත. ඇතැම් අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටින බව අපේ රටේ ආරක්ෂක අංශ පවා දන්නේ නැත. වැඩිම කාලයක් ඉන්දියාවේ රැඳී සිටි මෙරට අපරාධකරුවා වූයේ තෙල් බාලාය. මත්කුඩු ජාවාරමේද ආරම්භක පුරුකක් වන ඔහු ඉන්දියාවට පනින්නේ කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයට එල්ලවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයට සහාය දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන විටදීය. 2018 වසරේදී ඔහු ඉන්දියාවේදී මියයන්නේ ශල්‍යකර්මයක් අතරතුරදීය. ඒ වන විට ඔහු ඉන්දියාවේ ගතකරන්නේ ප්‍රභූ ජීවිතයකි. ඔහු කුලී රථ හිමිකරුවෙක්ද විය. මියයන විට ඔහු සතුව කුලී රථ 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.
2022 ජනවාරි 31 වැනිදා චෙන්නායි ගුවන් තොටුපළේදී එරට පොලීසිය කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා කිඹුලා ඇලේ ගුණාද තෙල් බාලාගේ අඩිපාරේ යමින් ඉන්දියාවේ ප්‍රභූ ජීවිතයක් ගතකළ අයෙකි. ඔහුද එරට ටැක්සි ව්‍යාපාරයක හිමිකරුවෙකි. එසේම ඔහුට තමිල්නාඩුවේ චෙන්නායිහි පාපන්දු ක්‍රීඩා සමාජයක හිමිකාරීත්වයද තිබී ඇත. චෙන්නායිහි දේශපාලනඥයන් රැසක්ම ඔහුගේ ගජ මිතුරන්ය.
කිඹුලාඇල ගුණාගේ පැටිකිරිය
තෙල්බාලා මෙන් ගුණාද ඉන්දියාවේම ජීවත් වන්නට එහි ගිය අයෙකි. ඒ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී පාතාලයට එරෙහිව සුදු වෑන් රථ කල්ලියක් ක්‍රියාත්මක වීමෙන් මරණ බිය දැනීය. ඔහු ඉන්දියාවට පලායන්නේද තනිවම නොව සිය සහෝදරයා වූ සුරේෂ් ඇතුළු ගෝලබාලයන් පිරිවරාගෙනය. ඒ අය අතර මෙරට පාතාලයේ ප්‍රබල චරිතයක් වූ කොට ගාමිණීද සිටියේය.
මෙරටින් ඉන්දියාවට පලායන මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ අපරාධකරුවන්ට එරටදී රැකවරණයත් පහසුකමුත් සලසා දෙන්නේ කිඹුලා ඇල ගුණාය. ඉන්දියාවේ සිට වෙනත් රටකට ඒ අයව පන්නන්නේද ගුණාය. ඒ සියල්ලක්ම සිදුවන්නේ ඉහළ මිල ගණන්වලටය.
අතුරුගිරිය ස්ථානාධිපති මරා රටින් පනී
කිඹුලා ඇල ගුණාගේ නමද ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනලාභීන් අතර ඇත්තේය. ඒ, 2010 වසරේ අගෝස්තුවේ සිටය. මෙරට පොලිස් තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට ඔහුගේ නම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන තුළට යන්නේ දෙමටගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් නමැති පොලිස් පරීක්ෂකවරයාව සහ ඔහුගේ බිරිඳව අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එම ද්විත්ව ඝාතනය ඔහු මෙහෙයවන්නේ ඉන්දියාවේ සිට ගෝලබාලයන් යොදාය. ඒ 2006 වසරේදීය.
ගුණාව අල්ලපු හේතුව
ඉන්දියානු තොරතුරු මගින් දැනගන්නට ඇති ආකාරයට ඉන්දියානු පොලීසිය කිඹුලාඇල ගුණාව කොටුකර ගන්නේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව නම් නොවේ. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 300ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් කොට ගාමිණී නමැති ඔහුගේ ප්‍රධානතම ගෝලයා සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ විමර්ශනයකට අනුවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩිතබා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ්ගේ සැලසුමට අනුව ව්‍යාජ මත්ද්‍රව්‍ය ඔත්තුවක් ලබාදෙමින් ඔහුව රැගෙන යන මොහොමඩ් නවාස් නමැති අපරාධකරුද ඉන්දියානු පොලීසිය මෑතකදී අත්අඩංගුවට ගන්නේද ඒ අනුවය.
නවාස්, ගුණාව පාවාදෙයි
කොට ගාමිණී සිය හාම්පුතා වූ කිඹුලාඇලේ ගුණාව පාවා නොදුන්නත් මොහොමඩ් නවාස් දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කිඹුලාඇල ගුණාව පාවා දුන්නේය. චෙන්නායි පොලීසිය කිඹුලාඇලේ ගුණා කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේ ඒ අනුවය. එම මෙහෙයුම ගැන කල්තියා තොරතුරු දැනගන්නා ගුණා සූදානම් වන්නේ සිය පුතා සහ ගෝලබාලයන්ද සමග ටික දිනකට චෙන්නායිවලින් ඈතට යන්නටය. ඔවුන් සූදානම් වන්නේ දිල්ලියට පනින්නටය. චෙන්නායි පොලිස් ඇසට වැලි ගසා ඔහුට එදා දිල්ලියට පැනගන්නට ඉඩක් නොවීය. ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වන්නේ කල්තියාම චෙන්නායි පොලීසිය ඒ බව දැන සිටි නිසාය. එහිදී අත්අඩංගුවට ගන්නේ ගුණාව පමණක් නොවේ. ගුණා සමග දිල්ලියට පැනගන්නට සූදානමින් සිටි ඔහුගේ පුතා ඇතුළු සිවු දෙනෙක්ම අත්අඩංගුවට ගත්තේය. ඒ අතර පාතාලයට එක්ව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් වූ බුම්මා නොහොත් කෙනඩිද සිටියේය. ඊට අමතරව ගුණාගේ බොඩිගාඩ් ලෙස කටයුතු කළ ප්‍රභාහරන් නමැති තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ද සිටියේය.
මේ අය අත්අඩංගුවට ගැනීමේ තොරතුර මෙරටට ලැබෙන්නේ ඊට පසු දිනය. ඒ සම්බන්ධයෙන් එකල අපේ රටේ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍ය හමුවක්ද පවත්වමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ට ස්තුතිය පුදකරනු ලබන්නේ එම මෙහෙයුමට අපේ රටේද දායකත්වයක් ඇති බවට හැඟී යන යම් ප්‍රකාශයක්ද කරමිනි. එසේම අත්අඩංගුවට ගත් ගුණා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට ඉඟියක්ද එහිදී ඇමැතිවරයා කළේය.
ගුණා ලංකාවට දෙයිද?
සරත් වීරසේකර ඇමැතිවරයා එසේ ඉඟි කළත් සැබෑ ලෙසම කිඹුලාඇල ගුණා ඇතුළු අල්ලාගත් අපරාධකරුවන් ඉන්දියාව විසින් මෙරටට භාරදුන්නේ නැත. කිඹුලාඇල ගුණා හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු කිසිවකුටත් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් වී නැත. රතු නිවේදනයට අනුව අපරාධකරුවන් හුවමාරුවක් සිදුවන්නේ නම් මෙරටට ලැබෙන්නේ කිඹුලාඇල ගුණා පමණි. එහෙත් ගුණාව චෙන්නායි පොලීසිය අත්අඩංගුවට ගන්නේ එරට සිදුවුණු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මිස ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවෙක් නිසා නොවේ. එබැවින් ගුණා හෝ සෙසු සැකකරුවන් චෙන්නායි පොලීසිය විසින් මෙරටට භාරදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
සමයං ඝාතනයෙන් පසු ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කාත් ලඩියාත් ඩුබායි පනින්නට ගිය අවස්ථාවේදී චෙන්නායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තද ඔවුන් දෙදෙනාව කොතරම් ඉල්ලා සිටියත් අපට භාරදුන්නේ නැත. අංගොඩ ලොක්කා මැරෙන්නේත් ඉන්දියාවේදීය. ලඩියා තවමත් සිටින්නේද ඉන්දියාවේය.
සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇල ගුණා
කිඹුලාඇල ගුණාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු මෝදර පැත්තේ කුණු කාණුවලට මුසුවූ ඉන්ධන ගෝනි දමා පෙරා ඒවා අලෙවි කිරීමේ ව්‍යාපාරය නිරත වූවෙක් ලෙසිනි. තෙල්බාලාගේද ආරම්භය වූයේ එයයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකට අනුව නම් කිඹුලාඇල ගුණාගේ පරම්පරාවේ කොළඹ ආගමනය සිදුවන්නේ මධ්‍යම කඳුකරයේ සිටය. කිඹුලාඇල ගුණා යැයි කියන්නේ ඔහුට පාතාල ලෝකයේ භෞතිස්ම කර ඇති නාමයයි. ඔහුට මවුපියන් තබා ඇත්තේ සින්නයියා ගුණසේකරන් කියාය. සින්නයියා යනු පෙළපත් නාමයයි. ගුණසේකරන් යැයි කියන්නේ ඔහුගේ නමයි. එහෙත් ඔහුට කුඩා කල සිට අමතා ඇත්තේ ‘ගුණා’ යනුවෙනි. ඔහු කිඹුලාඇල ගුණා වන්නේ මෝදර කිඹුලාඇල කේන්ද්‍ර කරගෙන පාතාල කටයුතු ක්‍රියාත්මක වූ බැවිනි. එම නාමය ඔහුට භෞතිස්ම කරන්නේ පොලීසියයි.
කොළඹ එන්නේ වැසිකිළි හෝදන්න
නියෝමාල් රංගජීවගේ විග්‍රහයට අනුව සින්නයියලා වතුකරයේ සිට කොළඹට එන්නේ රැකියාවක් ලෙස පොදු වැසිකිළි සෝදන්නටය. ඒ අතර ඔවුන් එකල පැවැති බාල්දි වැසිකිළිවල රැස්වන මලපහ එකතු කරන කරත්තවලද වැඩ කර ඇත. බාල්දි වැසිකිළි ඉවත්ව යාමත් සමග සින්නයියලාට කරන්නට සිදුවන්නේ වැසිකිළි පිරිසිදු කරන්නට පමණි. එබැවින් ඔවුන් අමතර ආදායමක් සොයාගන්නට කොළඹ වගුරුබිමි ආශ්‍රිතව පිහිටි කීර කොටුවල රැකියාවේද නිරත වන්නට ගත්තේය. එකල බාල්දි වැසිකිළිවල රැස්වන මලපහ බැහැර කරන්නට වූයේ මෝදර පැත්තේ තැන් කිහිපයකටය. සින්නයියලාගේ ජනාවාස පිහිටියේද ඒ කිට්ටුව පාතය. කිඹුලාඇලද එසේ සින්නයියලාගේ ජනාවාස පිහිටි ප්‍රදේශයක් විය.
කොටි එක්ක ලින්ක් එක හදාගනී
කිඹුලාඇල ගුණාද ඒ සින්නයියා පරපුරේ සාමාජිකයෙකි. ඔහුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම සිටිති. ඒ අය පවා යැපෙන්නේ ගුණාගෙනි. දෙමළ ජාතිකයෙක් වූ බැවින් ගුණාට එල්.ටී.ටී.ඊ.යේ සම්බන්ධකම්ද නොඅඩුව තිබුණේය. ඔත්තු බලන්නට කොළඹට එන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මුල් කාලයේ රැකවරණය ලැබුණේ ගුණාගෙනි. ඒ වෙනුවට ගුණාට එල්.ටී.ටී.ඊ.යෙන් කෘතගුණ සලකන්නේ ගිනි අවි මෙන්ම සිංහල තරුණයන් විනාශ කිරීමට මත්කුඩු තොග වශයෙන් ලබාදෙමිනි. තතු දත් තොරතුරුවලට අනුව මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුක් අතර ගුණාගේ නමද ඇත්තේ ඉහළින්ය. එකල අද මෙන් කිලෝ සිය ගණනින් පාකිස්තානයේ සිට නෞකා මගින් මත්කුඩු ගෙන ආවේ නැත. සියල්ල සිදුවූයේ ඉන්දියාව හරහාය. ගුණා මත්කුඩු ජාවාරමෙන් බලවත් වන්නේ එල්.ටී.ටී.ඊ.ය හරහා ඔහු ඉන්දියානු මත්කුඩු ජාවාරම්කරුවන් සමග ඇතිකරගන්නා සම්බන්ධකම් හේතුවෙනි. ගුණාව ඉන්දියාවේදී අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සමග එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙක් අදටත් සිටීමෙන්ම ඒ ගැන පැහැදිලිය.
දේශපාලන හයිය තදටම
අද මෙන් නොව, එකල කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන පාතාල කල්ලි තුනක් ක්‍රියාත්මක විය. ඒ ජනවර්ග පදනම් කරගෙනය. සිංහල පාතාලය, දෙමළ පාතාලය සහ මුස්ලිම් පාතාලය ලෙසිනි. දෙමළ පාතාලයේ ඉහළම පුරුකක් වූයේ කිඹුලාඇල ගුණාය. මත්කුඩු ජාවාරම හරහා මුදල් බලයෙන් ශක්තිමත් වූ ගුණාට දේශපාලන හයි හත්තියද නොඅඩුවම පැවැතිණි. කුමන ආණ්ඩුවක් බලයට ආවත් ප්‍රබල ඇමැතිකම් ලැබෙන වතුකරයේ ප්‍රබල දේශපාලනඥයෙක් ප්‍රධාන වශයෙන් ගුණාගේ රැකවලා විය. ඊට අමතරව කොළඹ එකල රජකළ දේශපාලනඥයෙක්ද ගුණාගේ සමීපතමයෙක් විය. ගුණාගේ ආරක්ෂකයා වූයේ එම දේශපාලනඥයාය. මෙකී දේශපාලනඥයන් දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නැත. මේ දෙදෙනා හැරුණු කොට තවත් දේශපාලනඥයන් රැසක්ම ගුණාගේ සාක්කුවේ සිටියේය. ඒ අය අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක්ද සිටියේය. එකල ගුණාට මේ දේශපාලන හයිය නිසාම කොළඹ නගරයේ ඕනෑම දෙයක් කරන්නට හැකියාව තිබුණේය. මෝදර පොලීසියට එකල ස්ථානාධිපතිවරුන් නම්කරන්නේ ඔහුය. ස්ථානාධිපතිවරුන් මාරුකරන්නේද ඔහුය. ඒ තරමට ඔහු බලවත්ව සිටියේය. ඒ නිසාම කිඹුලාඇල පැත්ත පළාතේ පොලීසිය පස් පාගන්නටද ගියේ නැත. ඒ ගුණාගේ එක දුරකතන ඇමතුමකින් යාපනයට විසිවන බව ඒ අය දැන සිටි බැවිනි. ඒ නිසාම බොහෝ පොලිස් නිලධාරීන් ගුණාව ෂේප් එකේ තබාගෙන තමන්ගේ පුටුව රැකගන්නට පියවර ගත්තේය. මෝදර පොලීසියේ එකල සේවයේ නිරතව සිටි ඇතැම් පොලිස් නිලධාරීන් ගුණාට ‘අයියා’ කියාද ‘සර්’ කියාද අමතා තිබුණේය.
පොලිසියත් ගුණා – උසාවියත් ගුණා
කිඹුලාඇල ගුණා ජීවත් වූ කිඹුලාඇල පැත්තේ ක්‍රියාත්මක වූයේ ඔහුගේ නීතියයි. මෝදර පොලීසිය පෙනෙන නොපෙනෙන දුරකින් කිඹුලාඇල පිහිටා ඇතත් ගමේ පැමිණිලි ගැටුම් ප්‍රශ්න පොලීසියට ආවේ නැත. සියල්ලම විසඳන්නේ ගුණාය. ඒ, ගුණාගේ පොලීසියෙනි. නඩු අසා දඬුවම් දෙන්නට පවා ගුණාගේ රාජධානියේ පාතාලයේ උසාවියක් පවා එකල පිහිටා තිබුණේය. එදා කිඹුලාඇල ජනතාවට ගුණාගේ අණට ඉහළින් වචනයක්වත් කතා කරන්නට බැරිය. එසේ වුවහොත් සිදුවන්නේ ගුණාගේ උසාවියෙන් ලබාදෙන තීන්දුවට අනුව වෙඩි කා මියැදෙන්නටය.
දේශපාලන හයිහත්තිය නිසාම කිඹුලාඇල ගුණාට පොලීසියේ ලොකු මහත්වරුන්ද දැක්වූයේ පක්ෂපාතීත්වයකි. ඒ නිසාම නිල නොවන ලෙස මෝදර පොලීසියට එම නිලධාරීන්ගෙන් නිරන්තර නියෝග ලැබෙන්නේ කිඹුලාඇල පැත්ත පළාතේ නොයන ලෙසටය. ඒ අණ එකල මෝදර පොලීසියේ සේවය කළ බොහෝ නිලධාරීන් අකුරටම පිළිපැද්දේය. ගුණාට එරෙහිව එකල මාධ්‍ය වාර්තා පළවන විට ගුණා වෙනුවෙන් එම මාධ්‍ය වාර්තා නිවැරදි කරන්නට පවා ඉදිරිපත් වූයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ය. ඒ නිසාම ජනතාව එකල මෝදර පොලීසිය හඳුන්වනු ලැබුවේ ගුණාගේ පොලීසිය යැයි කියාය. කිඹුලාඇල ගුණාගේ රාජධානියට එම නියෝග නොතකා පොලිස් නිලධරියෙක් වැටලීමකට ඇතුළු වන්නේ නම් සිදුවන්නේ ප්‍රහාරයන්ට ලක්වන්නටය. ඒ වෙනුවෙන් ගුණාගෙන් යැපෙන කාන්තා බළකායක්ම සිටියේය. ඒ අය පොලීසියට පහරදීමෙන් පසු චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් තමන්ට අතවර කරන්නට හැදූ බවටය. මෝදර පොලීසිය ඒ පැමිණිල්ල ලියාගෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඒ අය පොලීසියෙන්ද එළවන්නට වැඩ සලසමිනි. වරක් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කිඹුලාඇල ගුණාගේ මත්කුඩු ජාවාරමක් වටලන්නට ගොස් වෙඩි කන්නටද සිදුවිය. සුරාබදු නිලධාරීන්ට පහරදී ඔවුන් සතු ගිනි අවි පවා කොල්ලකෑවෝය. ඒ ගැනද නීතිය හරිහැටි ක්‍රියාත්මක වූ බවක් එකල පෙනෙන්නට නොවීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරම්භක වකවානුවේදී එහි අධ්‍යක්ෂ ලෙස සේවය කළ කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන සරත් ලූගොඩ, කිඹුලාඇල ගුණාගේ රාජධානියට ගොස් වැටලීමක් කළේය. එම වැටලීමෙන් පසු ඔහුට ඉහළ නිලධාරීන්ගෙන් එල්ලවන්නට වූ පීඩාවන් අපමණය. ඒ තරමට එදා ගුණා සිටියේ බලවත්වය.
චන්ද්‍රිකාට ගහපු බෝම්බය ආවේ ගුණාගේ උදව්වෙන්
1999 වසරේ දෙසැම්බර් 18 වැනිදා එල්.ටී.ටී.ඊ.ය එවක රටේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකාරියක්ව පුපුරුවා හරින්නේ කොළඹ පුරහල භූමියේ පැවැති ජනතා රැලියකදීය. එය ජනාධිපතිවරණයේ අවසන් රැස්වීමය. එවර චන්ද්‍රිකා ජනාධිපතිනිය මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ දෙවැනි වරට බලය ඉල්ලාය. එම බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිනියගේ ජීවිතයට හානියක් නොවූවත් ඇගේ එක් ඇසකට හානි වන්නේ සදාකාලිකව පෙනීම නැති කරමිනි. එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනා ගන්නේ බෝම්බකාරිය රැස්වීම් භූමියට ඇතුළු වන්නේ දේශපාලන ආධාරකාරියක් ලෙසින් බවටය. එදා එම රැස්වීම් භූමියට හතර වටින්ම ඇය නියෝජනය කළ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණෙන්නට වූයේ පෙළපාළිවලිනි. බෝම්බකාරියද එන්නේ ඒ එක් පෙළපාළියකට රිංගාය. විමර්ශනවලින් හෙළිව තිබුණු ආකාරයට එම බෝම්බකාරිය එන්නේ කිඹුලාඇල සිටය. ඒ, කොළඹ දේශපාලනඥයාගේ කණ්ඩායම තුළට රිංගවාය. එදා ඇයට උත්සව භූමියට බාධාවකින් තොරව රිංගන්නට හැකියාව ලැබෙන්නේ කිඹුලා ඇලෙන් පැමිණි කණ්ඩායම පරීක්ෂා කිරීමට එදා ඒ දේශපාලනඥයා ජනාධිපති ආරක්ෂක අංශයට ඉඩ නොදීම නිසාය. ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයාට එරෙහිව නිසි විමර්ශනයක් සිදු නොවූවත් ගුණාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඒ, කිඹුලාඇල ගුණා බෝම්බකාරියට රැකවරණ දී තිබුණු බව හෙළිව තිබුණු බැවිනි. මාස දෙකක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ ගුණා රඳවා සිටියත් අවසානයේදී ඔහු නිදහස ලබන්නේ එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොමැතිවය.
මුලින්ම ස්නයිපර් ගෙනාවෙත් ගුණා
ස්නයිපර් ගිනි අවි භාවිත කළ මෙරට පළමු පාතාල කල්ලිය වන්නේ ගුණාගේ කල්ලියයි. එම අවි ගුණාට ලැබී තිබුණේ එල්.ටී.ටී.ඊ.ය හරහාය. එම අවිවලින් එකක් ගුණා බස්නාහිර පළාත් නගර සභාවක සභාපතිවරයෙක්ටද එකල තෑගි කර තිබුණේය. ඒ බව දැනගත් බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම අවි සොයා මෙහෙයුමක්ද දියත් කළේය. එකල බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය. ගිනි අවි සොයා මෙහෙයුම දියත් කරන්නේද ඔහුගේ මෙහෙයවීමෙනි. එකල ගුණාට අභියෝග කරන්නට තරම් ශක්තිවන්තයෙක් මුළු කොළඹම නොසිටියේය. ඒ ගුණාගේ අණසකට කොළඹ පාතාලයේ වැඩි දෙනෙක් යටත්ව සිටි බැවිනි. එහෙත් මත්කුඩු ජාවාරමේ කොටස බෙදාගැනීම වෙනුවෙන් කුඩු ලාල් සහ ගුණා අතර ඇතිවන්නේ සීතල යුද්ධයකි. එහිදී කුඩු ලාල් පැත්තක සිට ගුණාට එරෙහිව පහරදීමට යොදවන්නේ ප්‍රින්ස් කොලම්වය. බ්ලුමැන්ඩල් කුණු කන්ද පාමුල සිය රාජධානිය කරගෙන සිටි ප්‍රින්ස්ටද දේශපාලන හයිය ලාල් හරහා ලැබී තිබුණේය. ඒ නිසාම ප්‍රින්ස් ඉවක් බවක් නොමැතිව ගුණාගේ ගෝලයන්ට පහරදෙන්නට ගත්තේය. මෙම ගැටුම හේතුවෙන් එකල කොළඹ නගරයේ වෙඩි පත්තු නොවන දිනක් නොමැති තරම්ය. වෙඩි ප්‍රහාරයන්ට ලක්ව එක පොදියට දෙතුන් දෙනා ඝාතනය වන්නට ගත්තේය. ප්‍රින්ස් කොලම් වැඩ පෙන්නුයේ බන්ධනාගාරයේ සිටය. මේ නිසාම ගුණා සැලසුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළේදීම ප්‍රින්ස්ට වෙඩිතබා මරාදමන්නටය. ඒ සඳහා ඔහු බන්ධනාගාරය ඇතුළේ සිටි ඔහුගේ ගෝලයෙක් අතට ගිනි අවියක්ද යැව්වේය. ඒ, බන්ධනාගාර නියාමකවරයකුගේ වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රයේ පිහිටි නිල නිවෙසකට ගෝලබාලයන් කිහිප දෙනෙක් යවා බිරිඳ සහ දරුවා ප්‍රාණ ඇපයට ගෙන, එම නියාමකවරයා බියගන්වාය. එම අවියෙන් ප්‍රින්ස්ව මරාදමන්නට හැකියාවක් නොලැබුණත් ගුණාගේ බලයේ තරම ඒ අනුව සිතාගත හැකිය.
ප්‍රශ්නය ආවේ මන්ත්‍රී ඝාතනයෙන්
ගුණාට එරෙහිව නිසි විමර්ශනයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ සිදුවන්නේ නම් ඒ බස්නාහිර පළාත් සභාවේ ඇමැතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් ඝාතනයත් සමගිනි. එම ඝාතනය පිටුපස ගුණා සිටියේය. 2003 වසරේදී ගුණා සිය ගෝලබාලයන් යොදා සුනිල් මෙන්ඩිස්ව වෙඩිතබා මරාදමන්නේ ඔහු ස්නයිපර් ගිනි අවියක් තෑගි කළ නගරාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවකටය. එය දේශපාලනික ගැටුමකි. එම ඝාතනයට කොට ගාමිණීගේද සම්බන්ධයක් පැවැතිණි. විමර්ශන පැවැත්වෙන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ ප්‍රියන්ත ජයකොඩිගේ මෙහෙයවීමෙනි. ඝාතනයට සම්බන්ධ එකා දෙන්නා අත්අඩංගුවට ගන්නා විට කොට ගාමිණී සිටින්නේ ඒ ගැන කිසිවක් නොදැන කිරුලපනේ පිහිටි නිවෙසේය. ඔහුව කොටුකර ගන්නට යන්නේ නමගිය අපරාධ විමර්ශකයෙක් වන දාස් ගුප්තා ඇතුළු කණ්ඩායමකි.
ප්‍රියන්ත ජයකොඩිටත් ගේමක් දෙන්න සෙට් කරලා
ඒ යන විට කොට ගාමිණී සිටින්නේ ඔහුගේ දරුවන් දෙදෙනා ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමිනි. ගාමිණීව අල්ලන්නට පොලීසිය යන්නේ අවශ්‍ය වුණොත් වෙඩිතබන්නට පවා සූදානම්වය. දරුවන් දෙදෙනා නිසා ගාමිණී දෙසට ගිනි අවි එල්ල කරන්නට පවා පොලිස් නිලධාරීන්ට සිත් නොවීය. ඒ නිසාම දරුවන්ව පැත්තකින් තබන ලෙස පොලිස් නිලධාරීන් ඔහුට අණ කළේය. ඒ අණට කීකරු වෙමින් ඔහු දරුවන්ව බිමින් තබන මුවාවෙන් කරන්නේ නිවස පිටුපසින් ගලාබසින කුණු ඇළට ජනේලයකින් පැන පලා යාමය. මේ ආකාරයට ගුණාගේ රොත්ත බුරුත්ත පස්සේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පන්නන්නට ගන්නා විට ප්‍රියන්ත ජයකොඩිගේ ජීවිතයටද තර්ජනයක් එල්ලවන්නට ගත්තේය. ප්‍රියන්ත ජයකොඩි සිය මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්නා පිරවුම්හල අවටද වෙඩික්කරුවන් ගැවසී තිබුණේ ඔහුව ඉලක්ක කරන්නටය. ඒ බව දැනගත් ප්‍රියන්ත ජයකොඩි ආරක්ෂක පියවර නොගන්නට පොලීසියේ ඇවිදින පුස්තකාලය යැයි විරුදාවලිය ලද ඔහු අද ජීවතුන් අතර නැත.
ගුණාගේ ගෙදරට හදිසි ප්‍රහාරයක්
මෙම සිදුවීමෙන් පසු කිඹුලාඇල ගුණාගේ රාජධානියට මහා රෑ සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදුණේය. ගුණාගේ පොලීසිය උසාවිය කුඩුකර දමන්නේ විනාඩි කිහිපයක් තුළදීය. අනතුරුව එම කණ්ඩායම පලායන්නේ ගුණාට මරණ වරෙන්තුවක්ද නිකුත් කරමිනි. එම ප්‍රහාරයෙන් පැයක් යන්නට මත්තෙන් කිඹුලාඇල ගුණාගේ නිවෙස පිරෙන්නේ දේශලපනඥයන්ගෙනි. ඒ අතර එකල පැවැති ආණ්ඩුවේ මැති ඇමැතිවරුද සිටියෝය. ඒ අය පොලිස් ලොක්කන්වද ගුණාගේ නිවෙසට කැඳෙව්වේය. නියෝජ්‍ය පොලිස්පතිවරුද ඒ අතර වූහ. ගුණාගේ පාතාලයේ පොලීසිය සහ උසාවියට සිදුව ඇති හානිය ගැන ඒ අය කඳුළු හෙළන්නට ගත්තේය. එම ප්‍රහාරය එල්ල කළ අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියෝග පවා දුන්නේය. තම සහෝදර දේශපාලනඥයා ඝාතනය වන විට නැති කැක්කුමක් ගුණාගේ රාජධානියට එල්ල වුණු ප්‍රහාරය ගැන ඒ අයට ඒ මොහොත් තිබුණේය. තමාගේ අනුදැනුමක් නොමැතිව කුරුල්ලකුටවත් ඇතුළු විය නොහැකිව තිබූ සිය රාජධානියට කඩාවැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාර ගුණාට තදින්ම දැනෙන්නට විය. ඒ මරණයේ බියද මුසුවෙමිනි.
සහෝදරයාට වෙඩි වරුසාවක්
මේ අතර ගුණාගේ සහෝදරයා වන විජේන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැහැර ගැනීමකටද ලක්විය. මත්කුඩු චෝදනාවකට බන්ධනාගාරගතව සිටි සිය බිරිඳගේ දුකසැප විමසා බලන්නට පැමිණි විජේන්ද්‍ර සිය ගෝලබාලයන් සමග මෝටර් රථයක නැගී කිඹුලාඇල බලා ගමන් කරන්නට සූදානම් වන විට පැහැර ගැනීමට ලක්වන්නේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසිනි. ඒ මෝටර් රථයද සමගිනි. පැය කිහිපයකට පසු එම මෝටර් රථය හමුවන්නේ පූගොඩ පැත්තේ සුසාන භූමියකිනි. ඒ විජේන්ද්‍ර ඇතුළු සිවුදෙනාගේ වෙඩිවැදුණු මළ සිරුරුද සමගිනි. ගුණා ඉන්දියාවට පැන යන්නේ ඒත් සමගිනි. ගුණා සමග ඔහුගේ සහෝදරයා වූ සුරේෂ්ද, කොට ගාමිණීද පැනගත්තේය. එදා විජේන්ද්‍රගේ අවසන් කටයුතු සිදුවන්නේ ප්‍රභූ මරණයක් ලෙසිනි. ඊට අශ්ව කරත්ත පවා යොදවා තිබුණේය. ගුණා ඉන්දියාවේ රැඳී සිටින විට ඔහුගේ තවත් සහෝදරයෙක් වන දිනේෂ් සහ ඔහුගේ මත්කුඩු ජාලයේ ගෝලයෙක් වන කැළුම් අතුරුදන් වූහ. දින කිහිපයකට පසු ඕජස් ගලමින් තිබුණු ඔවුන්ගේ නිරුවත් මළ සිරුරු හමුවන්නේ මාදම්පේ පැත්තේ පිහිටි වෙල් යායක තිබියදීය. ඊට කිඹුලාඇල ගුණා ප්‍රතිචාර දක්වන්නේ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරවමිනි. සිය පුතාව ඔහු ඉන්දියාවට ගෙන්වා ගන්නේ ඊළඟ වෙඩිල්ල ඔහුට එල්ල වනු ඇතැයි බියට පත්වය. ඔහු ඉන්දියාවේ සිටියත් එහි ජීවත් වූයේ කිඹුලාඇල සිටි ආකාරයටමය. චෙන්නායි හි දේශපාලනඥයන් කිහිප දෙනෙක්ද ඔහුට සමීපය. මෙරටදී මෙන්ම චෙන්නායිහිද ඔහුගේ ආරක්ෂකයන් වී ඇත්තේ දේශපාලනඥයන්ය.
ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා
කිඹුලාඇල ගුණා සමග චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා සිවු දෙනා අතර සිටි බුම්මා නමැති අපරාධකරු දකුණේ පාතාලයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවෙකි. ඔහුට කෙනඩි යැයිද කියති. දකුණේ සිදුවුණු පාතාලයේ මිනිස් ඝාතන රැසක අබිරහස් වෙඩික්කරුවා වූයේද බුම්මාය. එකල මෙම අබිරහස් ඝාතකයා සොයාගැනීමට නොහැකිව පොලීසියද සිටියේ කිසිවක් කර කියාගන්නට නොහැකිව අතරමංවය.
ඉපදුණේ කොච්චිකඩේ. 2002 කොටින්ට බැඳිලා
බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක්වන කොළඹ තරුණයෙකි. 1987 වසරේ මැයි 03 වැනිදා උපන් ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ කොච්චිකඩේ පැත්තේ පාසලකිනි. ඒ, අටවැනි ශ්‍රේණිය දක්වාය. බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක්වන්නේ පාසල් ගමනට සමුදීමෙන් පසු සිය පියා සමග එකල කොළඹ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයට ගොස් සිටියදී දැනහඳුනාගත් නාදන් නමැත්තෙක් මාර්ගයෙනි. නාදන් එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූවෙකි. 2002 වසරේ සාම සාකච්ඡා පැවැති වකවානුවේදී නාදන් සමග වන්නියට යන බුම්මා එල්.ටී.ටී.ඊ.යේ සටන්කරුවෙක් ලෙස එක්වන්නේ එලිලෝවන් නම් කොටි නාමයද සහිතවය. එහිදී ඔහු පුහුණුව ලබන්නේ සුබන් මාස්ටර් යටතේය. දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස පුහුණුව නිමකරන ඔහුව යොදවන්නේ ඉදිරිපෙළ සටන්වලටය. එහිදී තෙවරක්ම ඔහු හමුදා ප්‍රහාරවලින් තුවාල ලබා ඇත්තේය.
හිරේදී කොස්ගොඩ සුජී එක්ක සෙට්වෙලා
යුද්ධය නිමාවීමෙන් පසු 2009 මැයි 14 වැනිදා හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර බුම්මාද සිටියේය. මුලින්ම ඔහුව යොමුකෙරෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. මාස 21ක්ම ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේ බූස්ස කඳවුරේ රඳවා සිටියේය. අවි ආයුධ තොගයක් සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව සිටි දකුණේ පාතාල ප්‍රබලයෙක් වන කොස්ගොඩ සුජීවද එකල රඳවා සිටියේ බූස්සේය. මේ දෙදෙනා අතර හිතවත්කම් ගොඩනැගෙන්නට බූස්ස රැඳවුම් මධ්‍යස්ථානය හොඳ තෝතැන්නක් විය.
මෝදර කේන්ද්‍ර කරගනිමින් කොළඹ පාතාලයේ රජකළ කිඹුලාඇල ගුණා සමග ඒ වන විටත් බුම්මාට සම්බන්ධකම් පැවැතිණි. ඒ, කිඹුලාඇල ගුණාගේ සහෝදරයා වන සුරේෂ් සහ බුම්මා පාසල් මිතුරන් වූ බැවිනි. ඒ ඔස්සේ බුම්මා මත්කුඩු ජාවාරමටද අත තැබුවේය. ඒ, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙස සමාජගත වීමෙන් අනතුරුවය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේ සිට මරඳමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර පුනරුත්ථාපනය වූ බුම්මා පාතාලයට වැටෙන්නේ කුඩු සෙල්වි නිසාය. එකල ජම්පටා වීදියම හොල්ලාගෙන සිටියේ කුඩු සෙල්විය. ජම්පටා පොලීසියේ ඇතැම් පොලිස් නිලධාරීන් පවා සිටියේ සෙල්විගේ අතේය. සෙල්වි සිය ප්‍රතිවාදී මත්කුඩු ජාවාරම්කරුවන් පොලිසියට හසුකර දෙමින් එකල ජයටම මත්කුඩු ජාවාරමේ නිරතව සිටියේ දූෂිත පොලිස් නිලධාරීන්ගේද ආශීර්වාදය ඇතිවය.
සෙල්වි එක්ක පැටලෙයි
සෙල්විට පිරිමි දරුවන් තිදෙනෙක් සහ දියණියක් සිටියාය. වැඩිමලා පලනි ශිරාන්ය. මවගේ හයියෙන් ඔහුද ජම්පටා වීදියේ නැගී එන චණ්ඩියෙක් බවට ඒ වන විට පත්වෙමින් සිටියේය. දිනක් ඔහු සිය බලය යොදන්නේ බුම්මාගේ වැඩිමහල් සහෝදරිය වන ශිරෝමිටය. ඇය ඇහැට කනට පෙනෙන රූමත් තැනැත්තියක් වූවාය. ශිරාන් ඇගේ අතින් ඇද කළ අනවශ්‍ය විහිළුව දුරදිග යන්නේ සහෝදරයෙක් ලෙස එය විඳදරාගන්නට නොහැකි වූ බුම්මාගේ බාල සහෝදරයන් දෙදෙනාගෙන් අයෙක් වන මැරන්ස් ඒ ගැන විමසන්නට ශිරාන් මුණගැසීමට ගිය විටදීය. එහිදී ඇති වන බහින්බස් වීම දුරදිග යන්නේ බුම්මාගේ සහෝදරයාගෙන් ශිරාන්ට පහර කිහිපයක් එල්ලවීමෙනි.
ඊට ශිරාන්ගෙන් ප්‍රතිප්‍රහාරය එල්ලවන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපට ජවනිකාවක් බඳු ආකාරයට බුම්මාගේ නිවෙසට තිහ හතළිහක මැර හමුදාවක් සමග කඩාවැදී මුළු නිවෙසම පොඩි පට්ටම්කරමිනි. එම මැරයින් බුම්මාගේ මුළු පවුලටම පහරදී තිබුණේ අමානුෂික ආකාරයටය. එම පහරදීම්වලින් තුවාල ලැබූ බුම්මාගේ මවත් සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ සති කිහිපයක්ම ප්‍රතිකාර ලැබුවෝය. එහෙත් කුඩු සෙල්විට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගියේ නැත. ඒ, ඇගේ මුදල්වලට එකල පොලීසිය වහ වැටී සිටි බැවිනි. මේ තත්ත්වය මත බුම්මාගේ පවුලේ සාමාජිකයන්ට සිදුවන්නේ ගේදොර අතහැර මෝදර පැත්තේ කුලී නිවෙසකට යන්නටය. මේ සියල්ල සිදුවන විට බුම්මා සිටියේ බූස්සේය. බුම්මා නිදහස ලබන විට සිය මව සුබ්‍රමනියම් සෙල්වරාජ් සිටින්නේ මැරන්ස්ද සමග කුවෙට් රටේ රැකියාවකට ගොසිනි. වැඩිමහල් නැගණිය ශිරෝමි විවාහ වී ඒ වන විට මෝදර පැත්තේ පදිංචිව සිටියාය. ඒ, ජම්පටා වීදියේ පිහිටි නිවෙස මේ පවුලට තහනම් කලාපයක් බවට කුඩු සෙල්වි පත්කර තිබුණු බැවිනි. බුම්මා එම තහනම සිය පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් තකන්නට ගියේ නැත. නිදහස ලැබූ ඔහු කෙළින්ම පදිංචියට එන්නේ ජම්පටා වීදියේ පිහිටි මහ ගෙදරටය. ඒ සෙල්විට යම් අභියෝගයක්ද එල්ලකරමිනි.
පූකුඩිකන්නාගේ කේළමට බුම්මා අහුවෙයි
ඒත් එක්කම සෙල්විගෙන් සහ ඔවුන්ගේ දරුවන්ගෙන් පීඩනයට ලක්ව සිටි තරුණයින්ද බුම්මා වටා රොක්වන්නට ගත්තේය. සෙල්විට එය දරා ගන්නට නොහැකි වූවාය. බුම්මා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කරන්නට ඇය පාතාල සාමාජිකයෙකුට රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් දෙන්නේ ඒත් එක්කමය. ඒ බව බුම්මාගේ කනෙහි තබන්නේ පූකුඩිකන්නාය.
බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නාද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙකි. ඔහු පදිංචිව සිටියේ මෝදර පැත්තේය. එල්.ටී.ටී.ඊ.ය සමගද සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වූ පූකුඩිකන්නා ඒ වන විට සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මත්කුඩු සමග පොලිසියට හසුවීය. ඔහුටද සෙල්වි සමග මත්කුඩු ආරවුලක් පැවැතියේය. ඔහු බුම්මාව අවුස්සන්නේ ඒ නිසාය. ඊට බුම්මා හසුවිය. පූකුඩිකන්නා සිය සගයෙක් හරහා බුම්මා අතට ගිනි අවියක්ද පත් කළේය. 2015 සැත්තැම්බර් 12 වැනිදා බුම්මාගේ වෙඩි ප්‍රහාරයකින් කුඩු සෙල්විගේ කතාව නිම වෙන්නේ ඒත් සමගිනි.
ඒත් එක්කම බුම්මා කොළඹින් ද අතුරුදන් විය. මතුවන්නේ කොස්ගොඩිනි. ඒ කොස්ගොඩ සුජීගේ රැකවරණයත් සමගිනි. සුජී ඒ වන විට සිය බිරිඳත් සමග සිටින්නේ ඩුබායි රටට පැනගොසිනි. ඒ ඔහුගේ ප්‍රතිවාදියා වූ මාකඳුරේ මධුෂ්ගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සිය ජීවිතය රැක ගන්නටය. සිය සගයන් රැසක්ම පොලිසියට හසුවී සිටියදී බුම්මාගේ පැමිණීම කොස්ගොඩ සුජීට දැනෙන්නේ රටක් රාජ්‍යයක් තමාට හිමි වූ තරමේ සතුටකි. බුම්මාගේ වටිනාකම සුජී හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම බුම්මාව රැකගැනීමේ කටයුත්ත ඩුබායි සිට ඔහු පවරන්නේ ඌරගස්මන්හංදියේ සිටි විශ්වාසවන්තම සගයෙක් වූ මයිකල්ටය.
සුජීගේ ඉල්ලීමට ඝාතන රැසක්
කොස්ගොඩ සුජීගේ කල්ලියේ ඒ වන විට සිටි වැඩකරුවා වූයේ මයිකල්ය. සුජීගේ නම ගෑවුණු ඝාතන ගොන්නකටම සැබෑ වගකිව යුත්තා වූයේ මයිකල්ය. ඔහුට එරෙහිව දකුණේ අධිකරණ රැසකම නඩු රැසක් ඒ වන විටත් පැවතියේ විභාග වෙමිනි. 2016 වසරේ පෙබරවාරි 16 වැනිදාද ඔහුට එරෙහි නඩුවක් බලපිටිය අධිකරණයේ විභාගවීමට නියමිතව තිබුණේය. බලපිටිය අධිකරණය ඉදිරිපිටදී එදා කොස්ගොඩ සුජීගේ ඉල්ලීමකට අනුව බුම්මා දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කරන්නේ දෙනෝදාහක් බලා සිටියදීය. එදා බුම්මාගේ වෙඩිල්ලෙන් ඝාතනය වූවන් අතර පාතාලයේ නමගිය චරිතයක් වූ කේ.ඒ. පියරත්නද සිටියේය. අනෙකා රසික චමින්දය. සුජීගේ ඉල්ලීම මත 2016 අප්‍රේල් 11 වැනිදාද බුම්මා තවත් බිල්ලක් ගත්තේය. ඒ, ඌරගස්මංහංදියේ මීගස්පිටියේදීය. ඔහු නමින් නන්දසිරිය.
පොලිසියට බුම්මා ගැන ඉව වැටෙයි
කොස්ගොඩ සුජීගේ අබිරහස් වෙඩික්කරුවා වූ බුම්මා ගැන ඒ වන විටත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ඉව වැටී තිබුණේය. නන්දසිරිගේ ඝාතනයෙන් දින දෙක තුනකට වඩා ඔහුට නිදහසේ සිටින්නට ඉඩක් නොවීය. විශේෂ කාර්ය බළකායේ එකල බුද්ධි අංශයේ ස්ථානාධිපති ධර්මප්‍රියට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සමගිනි.
එතැන් සිට වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගරයේ රඳවා සිටි බුම්මා ඇප ලබා නැවත ජම්පටා වීදියට එන්නේ පාතාල අපරාධකරුවෙක් ලෙස පමණක් නොව, මත්කුඩු ජාවාරමේද දැවැන්තයෙක් ලෙසිනි. ඒ පැමිණි ඔහු 2018 මැයි 24 වැනිදා පළමු වෙඩිල්ල පත්තුකරන්නේ කුඩු සෙල්විගේ සැමියාටය. අනතුරුව එම වසරේම ජූලි 09 වැනිදා බුම්මා විසින් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂ්ණ කොටහේනේ පිහිටි ඔහුගේ වෙළෙඳසලේදී ඝාතනය කරන්නේ පිටරටකින් ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. ඒ පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් බවට තොරතුරුද එකල කියැවිණි. ඒත් එක්කම බුම්මාව පොලීසියේ ඉලක්කයක් බවට පත්විය. පොලීසියට හසුවුවහොත් සිදුවන්නේ මැරුම්කන්නට බව දැනගත් බුම්මා හලාවතින් බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන ගන්නේ සිය පාසල් මිතුරා වූ සුරේෂ්ගේ රැකවරණ පතමිනි.
සෙල්විගේ ළමයින්ගේ සෙල්ලම්
මේ වන විට කුඩු සෙල්විගේ දරුවන්ටද මරණ බිය දැනෙන්නට විය. ඔවුන් සිය ජීවිතාරක්ෂාව පතා එක්වන්නේ කන්ජිපානි ඉම්රාන්ගේ කල්ලිය වෙතය. ඒ මත්කුඩු ජාවාරම හරහා ඇතිකර ගන්නා සම්බන්ධකම් ඔස්සේය. ඒ වන විට කංජිපානි ඉම්රාන් සිටින්නේ මාකඳුරේ මධුෂ් සමග ඩුබායිවලය. කංජිපානිගේ කීමට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය කිට්ටුව මාර්ගයේ ‘කොස් මල්ලි’ නමැති පාතාල අපරාධකරුගේ හිස රැගෙනවිත් දමන්නේද සෙල්විගේ බාලයාත් මද්දුමයාත්ය. කන්ජිපානිගෙන් මත්කුඩු ලබාගෙන මුදල් නොගෙවා කට්ටි පනිමින් සිටි ඇන්ටන් රාජ් නැමැත්තකුට ආමර්වීදියේදී 2018 වසරේ මාර්තු 19 වැනිදා වෙඩිතබා මරාදැමූ වෙඩික්කරු සමග යතුරුපැදිය පදවන්නේ සෙල්විගේ බාලයාය. ඒ වන විට වැඩිමලා සිටින්නේ මත්කුඩු සමග පොලිසියට හසුවී බන්ධනාගාරගතවය. සහෝදරයන් දෙදෙනාව මෙහෙයවූයේ ඔහුය. මේ සහෝදරයන්ගේ ඉලක්කය වූයේ සිය මව ඝාතනය කළ බුම්මාටත් ගිනි අවිය ලබාදුන් පූකුඩිකන්නාටත් වැඩක් දෙන්නටය. ඒ වන විට පූකුඩිකන්නාද සිටියේ ඉන්දියාවට පැනගොසිනි. එබැවින් මේ සහෝදරයන් සැලසුම් කරන්නේ ඔහුව මෙරටට ගෙන්වාගෙන වැඩක් දෙන්නටය. පුකුඩිකන්නාගේ පියාට මෝදර තැපැල් කන්තෝරුව ආසන්නයේදී 2018 අගෝස්තු 03 වැනිදා වෙඩිතබා ඝාතනය කරන්නේ ද එකී අරමුණ වෙනුවෙනි.
වත්තලදී අතිදක්ෂ වෙඩිතැබීමක්
සෙල්විගේ පුතුන්ගේ සැලසුම කුමක්දැයි වටහා ගන්නා පූකුඩිකන්නාද සිය පියාගේ මරණයෙන් කලබල වූයේ නැත. බෝට්ටුවක නැගී ධීවරයෙක් ලෙස ඔහු ඉන්දියාවේ සිට මෙරටට එන්නේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනට පෙර දින රාත්‍රියේදීය. ඒ පැමිණි ඔහු වැඩි වේලාවක් නිවෙසේ රැඳී සිටියේද නැත. සිය පියාට අවසන් ගෞරවය දක්වා නැවතත් ඉන්දියාවටම පැනගත්තේය.
සෙල්විගේ දරුවන් කන්ජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් ඇසුරු කරමින් ශක්තිමත් වෙමින් පහර දෙන විට බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ගේ හයිය බිඳදමන්නටය. ඒ සඳහා සෙල්විගේ පුතුන්ට වැඩක් දෙන්නට ඔවුහු සැලසුම් කරන්නට වූහ. එහෙත් ඊට ඔවුන්ට අවස්ථාවක් උදා නොවන්නේ සෙල්විගේ බාලයාත් මද්දුමයාත් කොළඹ අපරාධ කොට්ඨාසයට කොටුවන බැවිනි.
ඉන්දියාවේ සිට ඇවිත් මිනීමරා යළි ඉන්දියාවට
ඒ වන විට සෙල්විගේ දියණිය සහ පුතුන්ගේ බිරින්දෑවරුන්ද සිය ආරක්ෂාව පතා සිටින්නේ ගේ දොර අතහැර වත්තල පැත්තේ පදිංචියට ගොසිනි. ඒ බව දැනගත් බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ට වැඩක් දෙන්නටය. ඒ සෙල්විගේ දරුවන්ට දැනෙන්නටය. වත්තල හේකිත්තේදී 2018 වසරේ ජනවාරි 13 වැනිදා සිදුවන්නේ එම ප්‍රහාරයයි.
රෝස පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එදා එම ප්‍රහාරය එල්ලකරන්නේ එහි ඉදිරිපස අසුනේ සිටි දෙදෙනාවම මරාදමමිනි. පිටුපස ආසනයේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක් සිටියද ඒ අයට හානියක් නොකරන්නට වෙඩික්කරුවන් වගබලාගෙන තිබුණේ ඉලක්කය නිසි පරිදි ලබාගනිමිනි. ටී-56 වර්ගයේ ගිනි අවි දෙකකින් එදා එම ප්‍රහාරය එල්ලකළවුන් අතර මුස්ලිම් කාන්තා වෙස්ගත් වෙඩික්කරුවෙක්ද සිටියේය. ඔහු බුම්මාය. ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණ ඔහු නැවතත් ඒ පැමිණි ආකාරයෙන්ම ඉන්දියාවටම ගොස් තිබුණේ පැය 24ක් ගතවන්නටත් මත්තෙනි.
බුම්මා ගුණාට සෙට්වෙයි
එදා බුම්මා එල්ල කළ එම ප්‍රහාරයෙන් ඝාතනය වන්නේ කුඩු සෙල්විගේ දියණිය විවාහ ගිවිසගෙන සිටි ස්ටීවන් රාජේන්ද්‍රන් සහ සෙල්විගේ වැඩිමහල් පුත්‍රයා වන ශිරාන්ගේ බිරිඳගේ සහෝදරයා වන සුප්පයියා මදිවානන් යන දෙදෙනාය. මෝටර් රථයේ සිට වෙඩි නොකා දිවි ගලවාත්තවුන් වූයේ ශිරන්තගේ බිරිඳ සහ දරුදෙදෙනාත් නැගණියත්ය.
එම ප්‍රහාරයෙන් කෙටි කලකට පසු බුම්මාගේ අවි ගබඩාවක් විශේෂ කාර්ය බළකායේ විශේෂ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් වටලා ගිනි අවි රැසක් සමග මත්කුඩු තොගයක්ද අල්ලා ගන්නේ ජාඇල පැත්තෙනි. බුම්මා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් නිතර පැමිණ යන බව මෙන්ම ඔහු ඉන්දියාවේ රැඳී සිටින්නේ කිඹුලාඇල ගුණා සමග බවත් හෙළිවන්නේ එහිදීය. කිඹුලාඇල ගුණාගේ මත්කුඩු ජාලයේ ඒ වන විට ඔහු සිටියේ අංක එකේ පුරුකක් බවට පත්වය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව දික්පිටිය විතානගේ අසිත නොයෙල් කුමාර නොහොත් ආමි අසිත නමැති සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 2017 වසරේදී පිළියන්දලදී නියෝමාල් රංගජීවට වෙඩිතැබූ වෙඩික්කරුව බවට හඳුනාගෙන ඇත.
පසුගිය 2021 වසරේ ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව සිදුකළ මෙහෙයුමකදී ලංකාවට රැගෙන එමින් තිබූ මත්කුඩු තොගයක් සහ ආයුධ සහිත බෝට්ටුවක් සිය භාරයට ගැනුණි. ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී තිබුණේ එම ජාවාරම මෙහෙයවා ඇත්තේ ඉන්දියාවේ රැඳී සිටින කිඹුලාඇල ගුණා ඇතුළු ලාංකික පාතාලයේ පිරිසක් විසින් බවයි. ඔවුන් ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නගාසිටුවීමට රහසිග මෙහෙයුමක් දියත් කර ඇති බවද එහිදී අනාවරණ කරගැනීමට ඉන්දීය විමර්ශන නිලධාරීන්ට හැකිව තිබිණි.
හාජි සලීම්
හාජි සලීම් යනු පාකිස්තානය කේන්ද්‍ර කරගත් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ එවීමේ ජාවාරමේ ප්‍රධානම පුරුකක් බව අනාවරණ වී ඇත.
කෙසෙල්වත්තේ ධනුක
ධනුෂ්ක රොෂාන් නොහොත් කෙසෙල්වත්තේ ධනුක මේ වන විට කෙසෙල්වත්ත සහ පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශවල සම්පූර්ණ පාතාල බලය අල්ලාගෙන සිටියි. ඔහු එම ප්‍රදේශවල වෙළෙඳසල්වලින් කප්පම් ගැනීම ආදිය සිදුකරන බව අනාවරණ වී ඇත. එතෙක් කලක් කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාතාල බලය හෙබවූ දිනුක පසුගිය සමයේ ඩුබායිහිදී මියයෑමත් සමග කෙසෙල්වත්තේ පාතාලයේ බලය අතට ගත්තේ ධනුෂ්ක රොෂාන් නොහොත් ධනුක විසින් වන අතර, පසුගිය කාලයේ පිටකොටුව, කෙසෙල්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනිස් ඝාතන රාශියක ඔහු සම්බන්ධ බව හෙළිවී ඇත. ඔහු ඉන්දියාවේ පුනරුත්ථාපන කඳවුරේ සිට එම ඝාතන මෙහෙයවා ඇති බවත් අනාවරණ විය.
වැල්ලේ සුරංග
වෙල්ලාල සුරංග ප්‍රනාන්දු නොහොත් වැල්ලේ සුරංග ඉන්දියාවට පැනගන්නේ බෝට්ටු මගිනි. ඔහු මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු බව අනාවරණ වී ඇත. මෝදර, මට්ටක්කුලිය කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම මෙහෙයවන වැල්ලේ සුරංග, එම ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ සියලු ඝාතන පසුපස සිටි අයකු බව කියැවේ.
මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් හෙවත් අස්මි
මොහොමඩ් අස්මිද මට්ටක්කුලිය කේන්ද්‍ර කරගෙන මහාපරිමාණ කුඩු ජාවාරමට සම්බන්ධව සිටි අයෙකි. මත්කුඩු ජාවාරම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් හිමි වුවද ඉතා රහසිගත ලෙස ඉන්දියාවට පලා යෑමට අස්මි සමත් විය. ඉන්දියාවේ සිටියදීද කිඹුලාඇල ගුණා සමග එක්ව කොළඹ කුඩු පාතාලය මෙහෙයවීමට අස්මි කටයුතු කර තිබිණි.
– විශේෂ වාර්තාකරුවකු විසිනි