භාතිය මැරුණද? මැරෙන්න ඇරියද? භාතිය වෙනුවෙන් පොදු ජනතාව හඬ නගන්නේ ඇයි? පසුගිය 17 වැනිදා බත්තරමුල්ල පරිසර අමාත්‍යංශය ඉදිරිපිට පොදු ජනතාව ඒකරාශී වී නිහඬ සාමකාමී විරෝධතාවයක් පළකරමින් පාලකයන්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ භාතියගේ මරණයට සාධාරණයක් ඉටුකරන ලෙසයි. මේ අලි ඇතුන් ඝාතනය අද වනවිට 221ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, මේ වසරේ ගතවූ මාස 7යි දින 15ක කාලය තුළදී. මෙසේ වුවහොත් වසර අවසාන වනවිට ඝාතනය වන අලින් ප්‍රමාණය අපට හිතාගැනීමටත් නොහැකි වනු ඇත. එබැවින් අලි ඝාතන, ඇත් ඝාතන සහ සෙසු වනජීවී ඝාතනවලට එරෙහිව පොදු ජනතාවගේ ඒකරාශී වීම හොඳ ප්‍රවණතාවකි. මක්නිසාද යත්, නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, නිලධාරීන් අකාර්යක්ෂම නම්, අදාළ දෙපාර්තමේන්තුව නිද්‍රාශීලී නම්, මහජනතාව අවදි වී ඔවුන් දැනුවත් කර, ඔවුන්ට පීඩනයක් එල්ල කර මේ ගැටලුවට සාර්ථක විසඳුමක් ලබාගත යුතු නිසයි. Sri Lanka Latest News

පසුගිය සතියේ කැලෑ කොලමෙන් අප පෙන්වා දුන් ආකාරයට නිලධාරීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල සහ අත්හැර දැමීම හමුවේ ඇතිවූ මහජනතාවගේ පෙලඹවීම නිසායි භාතිය මෙපමණක් කල් හෝ ජීවත් වීමට වරම් ලැබුවේ. භාතියට නිසි වෙලාවට නිසි ප්‍රතිකාර ලබාදුන්නා නම් මෙවැනි තත්ත්වයක් උදා නොවන බවයි පොදුවේ මහජනතාවගේ අදහස වුණේ.
භාතියගේ මරණය හුදෙක් ස්වභාවික මරණයක් නොව එය ඝාතනයක් බව පොදු ජනතාවගේ මූලික අදහසයි. එම කනගාටුදායක තත්ත්වයට විරෝධය පළකිරීමයි බත්තරමුල්ල පරිසර අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ පොදු ජනතාවගේ ඉල්ලීම වී තිබුණේ. එම ඉල්ලීමට බලධාරීන් කන් දෙනු ඇතැයි කැලෑ කොලමේ අපි බලාපොරොත්තු වෙමු.
පහත පළවන්නේ එම සාමකාමී විරෝධතාවට එක්වූ පරිසර ලෝලියකු අප සමග දැක්වූ අදහස්ය.
‘අපි දන්නවා අපේ රටේ අලි සම්පත තමයි අපට තියෙන සුවිශේෂම සම්පත. මේ රටට විදේශ විදේශිකයෝ එන්නේ මේ රටේ ගහකොළ සතා සිව්පාවෝ, මේ දළ ඇතු ටික බලලා යන්න. එහෙම නැතුව අපි වගේ මේ අවලස්සන මිනිස්සු බලන්න නෙවෙයි මේ රටට විදේශිකයෝ එන්නේ. දිනපතාම දැන් මේ අපේ රටේ අලි සම්පත විනාශ වෙමින් යනවා. භාතිය කියන්නේ ඉතාම ලස්සන, වයස අවුරුදු 35ක වගේ, තව අවුරුදු ගානක් ජීවත් වෙන්න පුළුවන් සතෙක්. මේ සතාට වෙඩිතියලා මාස ගානක් විඳෙව්වා. අපි හිතන්නේ මේ සතාට අවශ්‍ය ප්‍රතිකාර නිසි විදියට ලබාදෙන්න අදාළ බලධාරීන්ට බැරි වුණා. ඔවුන්ගේ තියෙන අකාර්යක්ෂමතාව හින්දා තමයි අද භාතියට ඉතාම අවාසනාවන්ත විදිහට මේ මරණය අත්පත් වුණේ. ඒ නිසා මේ වෙනුවෙන් ජනතාව දැන් නැගී සිටින්න ඕනෙ ගහකොළ, සතා සිව්පාවෝ, මේ අලි ඇත්තු ටික රැකගන්න. ජන පවුරක් අපි හදන්න ඕනෙ. අපට කිසිම දේශපාලන අරමුණක් නෑ. දේශපාලන පක්ෂ භේදයක් නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ මේ සතා සිව්පාවා සහ මේ මියැදෙන අලි ඇත්තු රැකගැනීම වෙනුවෙන් විතරයි.’
දිගින් දිගටම අලි ඇත්තු නොකඩවා දිනපතා ඝාතනය වෙනවා. මේක රැල්ලක් විදිහට යන එකක් කියලා තමයි අපට හිතෙන්නේ. මේ ඝාතන පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද?
‘පැහැදිලිවම. ඉතිහාසයේ කවදාවත් තිබිච්ච නැති විදිහට දැන් අපේ රටේ අලි මැරෙනවා. මේ වෙද්දිත් අදත් අලියෙකුට වෙඩි තියලා. ඊයෙත් අලියෙකුට වෙඩි තිබ්බා. හැමදාම අලින්ට වෙඩි තියෙනවා. මේ වෙද්දි පණ අදින අලි ඉන්නවා හයහත් දෙනෙක්. කවදාවත් මෙහෙම එකක් තිබ්බේ නෑ. අපි හිතනවා ඉතාම කුමන්ත්‍රණකාරී විදිහට මේ රටේ අලි ටික නැති කරලා දාන්න, ආණ්ඩුව දන්නවද කියලා අපි දන්නේ නෑ, අදාළ බලධාරීන් දන්නවද කියලා අපි දන්නේ නෑ, ආරක්ෂක අංශ මේ ගැන දැනුවත්ද කියලා අපි දන්නේ නෑ. නමුත් මේ රටේ අලි සම්පත විනාශ කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව නම් දැන් ඉතාම පැහැදිලියි.’
අපිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබ්බට, පොදු ජනතාවට සහ අපිට හිතෙන දෙයක් තමයි ඒකෙ නැත්තේ සංරක්ෂණය කියන එක විතරයි?
‘පැහැදිලිවම. අපේ බදු මුදල්වලින් මේ ගොඩනැගිලි හදලා, මැති ඇමැතිවරු පත්කරගන්නේ මේ වනජීවී සම්පත රැකගන්න. හැබැයි මේ ඉන්න බලධාරීන් උද්දච්ච සහ කිසිම අලුත් දෙයක් කරන්න අකමැති පිරිසක්. භාතිය වෙනුවෙන් මේ රටේ විවිධ මිනිස්සු යෝජනා ඉදිරිපත් කළා. ඒවාට මුදල් දෙන්න ඇහුවා. අට්ටාල ගහන්න ඇහුවා. ඒ සියල්ලම අදාළ බලධාරීන් ප්‍රතික්ෂේප කළා. අවශ්‍ය ප්‍රතිකාර නිසි විදිහට දුන්නා නම් අද භාතිය ජීවතුන් අතර. නමුත් භාතිය අකාලයේ මියගියේ මේ අවශ්‍ය දේවල් සිද්ධ වෙච්ච නැති නිසා. ඉතින් යල් පැනගිය අපේ අකාර්යක්ෂම වනජීවී ආයතන අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනෙ. මේවා පුනරුදයට ලක්වෙන්න ඕනේ.’
මේ නිලධාරීවාදයක් සහ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා හිතෙන්නේ නැද්ද මේ වැඩපිළිවෙළ හරියට නිසියාකාරව ක්‍රියාත්මක නොවීම තුළ?
‘ඔව්. මේක ඇතුළේ තියෙනවා මේ නිලධාරීන්ගේ, ඔවුන් හදාගත්තු ඔවුන්ගෙම ලෝක. ඒ ලෝක ඇතුළට කාටවත් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. නැත්නම් මේ භාතිය ඇතාට ප්‍රතිකාර කරන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ වෛද්‍ය අංශ මුලින්ම ඇහුවා සම්බන්ධ වෙන්නද කියලා. හැබැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කැමැති වුණේ නෑ ඒකට. ඔහු කිව්වා ඕනෙ නෑ කියලා. අපට පුළුවන් කිව්වා. අට්ටාල හදන්න ඕනෙ නෑ කිව්වා. අට්ටාල ගැහුවට පස්සේ අලින් මැරෙනවා කිව්වා. ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරා. අපිට පුළුවන් කියලා තමයි හිටියේ. හැබැයි ජීවත් කරවන්න පුළුවන්කම තිබුණු ඇතෙක් මේ කට්ටිය උවමනාවෙන්ම මරාගත්තා.’
භාතියට අත්වෙච්ච ඉරණම ඉදිරි ඇත් පරපුරට අත්නොවීම සඳහා අපි මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්න ඕනේ?
‘අපි ජන පවුරක් හදන්න ඕනෙ. මේ මේ අලි ඇත්තු ඇමැතිවරයාටවත්, තාරකටවත් අයිති දේවල් නෙවෙයි. ඒවා මේ රටේ පොදු සම්පත්. පොදු ජනතාවගේ සම්පත්. මේ පොදු සම්පත් රැකගන්න එක අපේ අයිතිය. මිනිස්සු විදිහට අපි පෙළගැහෙන්න ඕනෙ. අපිට දේශපාලන අරමුණු අපිට මුකුත් නෑ. සත්තු ගැන හිතන මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ ජන පවුරක් හදන්න ඕනෙ මේ ආණ්ඩුව කරන පිස්සුව නවත්තන්න.’





සමන් හල්ලොලුව










