නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් බළඇණියෙන් මහ මුහුදේ කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ තිබූ අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ප්‍රබල ජාවාරම්කරුවන් සිවු දෙනකුට අයත් බවට සැක කරන තොරතුරු රැසක් මේ වන විට ලැබී තිබේ.Sri Lanka Latest News
පාකිස්තානයේ සිටින ප්‍රබල ජාවාරම්කරුවෙක් විසින් එවා ඇතැයි පැවසෙන මේ මත්කුඩු තොගය හා කියැවෙන නම් වන්නේ ප්‍රංශයේ රැඳී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන රූබන්, ඩුබායිහි රැඳී සිටින බව කියන බොරැල්ලේ පරෙයි සහ බටුවත්තේ චාමර යන අයගේ නම්ය. මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් ලබමින් සිටින දෙමටගොඩ චමින්දගේ නම ද මේ මත්කුඩු හා කියැවෙනු ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් සොයා බැලීමක් සිදු කරමින් සිටින අතර, නිශ්චිත ලෙසම මේ මත්කුඩුවල සැබෑ හිමිකරුවා කවුරුන්දැයි ඊයේ සවස් වනතුරුම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තහවුරු කරගෙන නොතිබූ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව වැටලීම සිදු කර ඇත්තේ පසුගිය 31 වැනිදාය. එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ 335ක් සොයාගෙන ඇත. එය රුපියල් කෝටි 500කට අධික වීථි වටිනාකමක් සහිතය. මේ සමඟ එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔක්තෝබර් මස 11 වැනිදා ගාල්ලෙන් ගිය මේ යාත්‍රාවට ගැඹුරු මුහුදේදී වෙනත් යාත්‍රාවකින් රැගෙනවිත් මේ මත්කුඩු තොගය පටවාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ. ඒ අනුව උර 16ක අයිස් සහ හෙරොයින් මෙහිදී හමුවී ඇත. මෙසේ අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය ඊයේ (02) පෙරවරුවේ වත්තල, දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය.
මේ අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා ද පැමිණ සිටි අතර, ඒ මහතා පැවසුවේ ඉදිරියේදී මත්ද්‍රව්‍ය ජාවාරම මේ රටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, නීති ප්‍රමාණවත් නොමැති නම් නව නීති සම්පාදනය කරමින් හෝ ඒ සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්ය.
එහිදී මේ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා අදහස් දක්වමින්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මනා සංවිධානයකින් යුතුව තීව්‍ර ලෙස සිදුකරන බැවින්, රටට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන්ට එම කටයුතුවලින් ඉවත්වන ලෙස අවධාරණය කළේය.
දිනමිණ










