මාතර තෙලිජ්ජවිල නගරයේ පිහිටි දුරකතන අලෙවි සැලකට කඩා වැදුණු පුද්ගලයෙන් දෙදෙනෙක් විසින් කළ වෙඩි තැබීමකින් එහි රැඳී සිටි ඇඟලුම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙක් ලෙස තාවකාලිකව සේවයේ නිරතව සිටින 22 හැවිරිදි තරුණයෙක් ඝාතනය කිරීමට අදාළ සියලු විමර්ශන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. Sri Lanka Latest News
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබී ඇත්තේ අදාළ දුරකතන අලෙවි සැලේ හිමිකරු වන තරුණයා බව මූලික විමර්ශනවලින් පෙනී යාමත් එම දුරකතන අලෙවි සලේ හිමිකාර තරුණයා මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල කිරීමත්ය.
මෙම වෙඩි තැබීම සිදුවන්නේ මාලිම්බඩ පොලිස් වසමේදීය. මෙම පොලිස් වසමේ ඇති මත්පැන් අලෙවි සලක් මෙයට වසර කිහිපයකට පෙර හොරු බිඳ සේප්පුවේ තිබුණු රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් සොරාගෙන ගොස් තිබී ඇත. එම සොරකමට සැකපිට පොලිසිය විසින් දුරකතන අලෙවි සලේ හිමිකාර තරුණයාව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී අඩත්තේට්ටම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම තරුණයා මානව හිමිකම් කොමිසමට ද පැමිණිලිකර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබී ඇත. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගෙන තිබෙන අවස්ථාවකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බැවින් දුරකතන අලෙවි සල් හිමිකරු සැක කරනු ලබන්නේ පොලිසිය විසින් මෙම වෙඩි තැබීමට සම්බන්ධකමක් ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පෙරේදා (20) රාත්‍රි කාලයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ඝාතනය වන්නේ වැලිපිටියේ පදිංචි අලුත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි තරුණයාය. ඔහු එම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙස තාවකාලිකව සේවයේ නිරතව සිට ඇත. මෙම තරුණයා ළඟදීම කොරියාවේ රැකියාවකට යාමේ සූදානමින් සිට ඇති බවද පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් ඝාතනය වූ මෙම තරුණයා අපරාධ හෝ නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ අයෙක් නොවන බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු අහිංසකයෙක් බව පෙනී යන්නේ යැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේය.
මිලිමීටර් 09 වර්ගයේ පතරොම් යොදන පිස්තෝලයකින් වෙඩි පහක් තබා ඇති බවත් වෙඩි 03ක්ම තරුණයාට වැදී තිබෙන බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත. වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදී ඇති බව මේ වන විට පොලිසිය තහවුරුකරගෙන ඇත. ඉලක්කය වී ඇත්තේ මෙම දුරකතන අලෙවි ස්ථානයේ හිමිකරු යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාතර බණ්ඩත්තර ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී හමුවී ඇත. එය සොරාගත් යතුරුපැදියක් විය හැකි බව පොලිසිය සැක කරයි. යතුරුපැදියේ සඳහන් කර ඇති අංක තහඩුවට අනුව එහි හිමිකරු හඳුනා ගැනීමට විමර්ශන පැවැත්වීමට නියමිතය. ඇඟිලි සලකුණු විශේෂඥයන් පැමිණ යතුරුපැදියේ සටහන්ව ඇති ඇඟිලි සටහන් ලබාගැනීමට ඊයේ පියවර ගෙන තිබුණි. -දිනමිණ











