• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්බූදය මෝරයි! පැලවත්ත ඇතුළේ ක්‍රියාත්මක වූ මාලිමා වෙබ් අඩවිය හිටිහැටියේ අතුරුදන්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

May 31, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

ටිල්වින්ට වින් කරන්න බැරිද?

​පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට ආණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ජනතාව අතරත්, දේශපාලන පක්ෂ අතරත් පසුගිය සති කිහිපය ඇතුළත විශාල ගැම්මක් ඇතිව තිබුණත් පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීමක් හේතුකොටගෙන ඒ ගැම්ම සම්පූර්ණයෙන්ම කඩා වැටුණු ආකාරයක් දැකගත හැකි විය.
අවසන් වරට 2017 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය නොපවත්වා අතුරුදන් කර දැමීම සඳහා සියලු බාධා කිරීම්, කඩාකප්පල් කිරීම්, කුමන්ත්‍රණ, දේශපාලන කුපාඩිකම්, දහජරා වැඩ ආදී සියල්ලම කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල් එසේ කළේම අන් කිසිවක් නිසා නොව පළාත් සභා මැතිවරණය පැවැත්වූවා නම් එවක තිබූ විපක්ෂය නියත වශයෙන්ම එය ජය ගන්නා බව තහවුරු වී තිබීම නිසාය. රනිල් අගමැති ධුරය දැරූ 2105 යහපාලන ආණ්ඩු සමයේදී නියමිත කාලයට පළාත් සභා මැතිවරණය පැවැත්වූවා නම් එවක විපක්ෂයේ ප්‍රබල බලයක් හිමිව තිබූ පොහොට්ටුව නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව වැටහී ගොස් තිබීම නිසා සීමා නිර්ණය පිට දමා පළාත් සභා ඡන්දය අතුරුදන් කිරීමට රනිල් කටයුතු කළේය. ඉන් අනතුරුව 2023 වසරේදී ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී තේරී පත්වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට රනිල් කටයුතු කළේ එවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමගි ජන බලවේගය එම මැතිවරණය ජයග්‍රහණය කරන බවට සක්සුදක් සේ වැටහී ගොස් තිබීම නිසාය. ඒ අනුව තමන් යටතේ දේශපාලන බලය තිබුණද ඒ කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට තරම් හයියක් තමන්ට නොමැති බවට රනිල්ට තේරුම් ගොස් තිබීම මේ පළාත් සභා මැතිවරණය අතුරුදන් කිරීමේ කුමන්ත්‍රණයට හේතු වී තිබිණි. ඒ අනුව එහිදී රනිල් කළේ පාර්ලිමේන්තුව උපයෝගී කරගෙන ඉතා තුච්ච ආකාරයට පළාත් සභා මැතිවරණය දේශපාලන සිතියමෙන් අතුගා දැමීමට කටයුතු කිරීමය. නමුත් දෛවයේ සරදම වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදි බණ කියමින් එදා රනිල්ගේ ආණ්ඩුවට හතර අතේ බැණවදිමින් බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතාගේ මාලිමා ආණ්ඩුවද මේ වනවිට පළාත් සභා මැතිවරණය අතුරුදන් කිරීම සඳහා රනිල් ක්‍රියාත්මක කළ ඒ තුට්ටු දෙකේ මාර්ගයේම ගමන් කරමින් සිටීමය. Sri Lanka Latest News

රනිල් ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා සංශෝධනය සිය වාසියට හරවාගෙන මාලිමා ආණ්ඩුවද මේ වනවිට සිටින්නේ රටේ ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව හිතාමතාම අහිමි කරමිනි. අප ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍යයෙන් පුවත්පතක උපයෝගී කර නොගන්නා භාෂාවක් යොදාගෙන මෙම ක්‍රියාමාර්ගයන් විවේචනය කිරීමට කටයුතු කරන්නේ සෑම අවස්ථාවකදීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමට අප කටයුතු කිරීම නිසාය. ඒ අනුව මේ අවස්ථාවේදීද අප සිටින්නේ ප්‍රතිඵලය කුමක් වුවත් පළාත් සභා මැතිවරණය නියත වශයෙන්ම පැවැත්විය යුතුය යන ස්ථාවරයේය.

කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් මාලිමා ආණ්ඩුව ඇතුළේ ආරම්භයේ සිටම යම් අර්බුදයක් පැවැති බව පැහැදිලිවම දැකගන්නට ලැබුණු කාරණයකි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා විසින් පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට ප්‍රකාශ කිරීමත් සමගම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලකම පාහේ විශාල උනන්දුවක්, පිබිදීමක් ඒ සම්බන්ධයෙන් පැවැති ආකාරය දැකගත හැකි විය. ප්‍රධාන විපක්ෂය වූ සමගි ජනබලවේගය ඇතුළේ ඒ බව හොඳින්ම දැකගන්නට ලැබුණේ පළාත් සභා මැතිවරණය පවත්වන බව ප්‍රකාශයට පත්වී ගෙවුණු අවසන් සතිය වනවිට විවිධ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් 11 දෙනකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඒ ඒ පළාත්වල මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබීම නිසාය. එසේම පසුගිය සිකුරාදා වනවිට එම මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 16 දක්වා විපක්ෂ නායකවරයාටත් අදහාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්ව මහඇමැති අපේක්ෂක ධුරයට තරග වැදීමට සජබ මන්ත්‍රීවරුන් තීරණය කොට තිබුණේ ගම් මට්ටමෙන් සජබ පාක්ෂිකයන් පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සඳහා වහ වහා සංවිධාන වීම නිසාය. ඒ අනුව පළාත් සභා මැතිවරණයේදී මාලිමාව පරාජයට පත්කොට නියත ජයග්‍රහණයක් ලැබිය හැකි බවට සජබ මන්ත්‍රීවරුන්ට ටක්කෙටම වැටහී ගොස් තිබිණි. තමන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට සූදානම් බවට සජිත්ටත්, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරටත් ඔවුන් දැනුම්දී තිබුණේ ඒ හේතුව නිසාය.

ගම් මට්ටමේ ජනතාවගේ මේ මතය ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානය ඇතුළේ සිටින ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාටද නොදැනුණා නොවේ. සිය ගම් මට්ටමේ පාක්ෂික ජාලය හරහා පැලවත්තට දිගින් දිගටම ලැබී තිබූ පණිවුඩවලින් දැනුම්දී තිබුණේ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් එය ගම් මට්ටමේදී ජවිපෙට අවාසිසහගත ලෙස බලපෑ හැකි බවකි. මෙම තොරතුරු දිගින් දිගටම වාර්තා වීමත් සමග ටිල්වින් මොහොතක්වත් පමා වීමට කටයුතු කළේ නැත. ඉන් ටිල්වින් කොපමණ කලබලයට පත්වූවාද කියනවා නම් යාපනයේ ජවිපෙ කාර්යාලයක් විවෘත කිරීම අතරතුරදී ටිල්වින් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන බවකි. දිට්වා සුළි කුණාටුව පැමිණීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම සඳහා වෙන්කර තිබූ මුදල් ඒ සඳහා යොදාගත් බව කී ටිල්වින්, ලබන වසරේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳ සැක සහිත බවද කියා සිටියේය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අමතරව තවත් බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමටද ටිල්වින් කටයුතු කළේය. ඒ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කිසිදු බලපෑමක් නොමැති බවට ප්‍රකාශ කිරීමය. එය හිතාමතාම කළාද, නොසිතා කළාද යන්න පැහැදිලි නැතත්, ටිල්වින් කළ මේ ප්‍රකාශයන් මේ වනවිට මාලිමාව ඇතුළේත්, ජවිපෙ ඇතුළේත්, අනෙකුත් දේශපාලන පක්ෂ ඇතුළේත්, ජාත්‍යන්තරයේත් දැඩි සංවාදයකට තුඩුදී ඇති කතාවන් බවට පත්ව අවසානය.

ටිල්වින් කළ මේ ප්‍රකාශය හා සමාන ප්‍රකාශයක් මීට පෙර 2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සඳහන් කර සිටියේය. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින වකවානු පැමිණීමත් සමග රනිල් පාර්ලිමේන්තුවට පැමිණ කියා සිටියේ මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ මොහොතේ මුදල් නොමැති බවත්, ඒ හේතුවෙන් ඡන්දයකුත් නොමැති බවත්ය. ඒ කාලයේදී මාලිමාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටි අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරුන් තිදෙනා රනිල්ගේ මෙම ප්‍රකාශය දැඩිව හෙළාදකිමින් පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ නිකුත් කළ ආකාරය දැකගත හැකි විය.

එවක මහා භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා උසාවියට පවා පැමිණ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව ප්‍රකාශ කිරීමත් සමග ඊට වැඩියෙන්ම හිනා වුණේත්, ප්‍රහාර එල්ල කළේත් මේ කියන මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනාය. නමුත් දෛවයේ සරදම වී ඇත්තේ එදා එසේ හිනාවුණු ජවිපෙ ප්‍රධානීන්ටම අද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව කියමින් මැතිවරණය කල් දැමීමට සිදුව තිබීමය. අනෙක් අතට යාපනයේදී ටිල්වින් කළ මෙම ප්‍රකාශය හරහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධාන මැති ඇමැතිවරුන් නිතර නිතර මහත් උජාරුවෙන් කළ ප්‍රකාශයක්ද බිඳවැටීමකට ලක්ව තිබේ. ඒ, භාණ්ඩාගාරයේ උතුරන්න මුදල් තිබෙනවා යනුවෙන් කළ ප්‍රකාශයය. ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් පමණක් නොව, විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා පවා වරක් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන්නට තරම් මුදලක් ආණ්ඩුව සතුව තිබෙනවා යැයි කියාය. නමුත් ගම්මට්ටමෙන් සජබයට හිමිවෙමින් පවතින් ජන ප්‍රසාදය හමුවේ කලබලයට පත්ව සිටි ටිල්වින් යාපනයට ගොස් කළ මෙම ප්‍රකාශය හරහා ආණ්ඩුව කී එම කතා පවා අභියෝගයට ලක්ව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.

ඇතුළෙන්ම ප්‍රහාරය පටන් ගනී

පසුගිය කාලය පුරාම පැලවත්ත හා මාලිමාව අතරත්, පැලවත්ත හා ජනාධිපති ලේකම් කාර්යාලය අතරත් යම් යම් මත ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවක් අප මෙම තීරයේ වාර්තා කළේ වරක් දෙවරක් නොවේ. ටිල්වින් යාපනයේදී කළ මෙම ප්‍රකාශය සමග තිරය පසුපස පැවැති එම අර්බුදය නැවත වතාවක් ප්‍රසිද්ධියේ කරළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. එහිදී ටිල්වින්ට එරෙහි පළමු වෙඩිල්ල පත්තු කළේ වෙන කවුරුවත් නොව, ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යවරයකු වූ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තය. ලාල්කාන්ත හා ටිල්වින් අතර යම් ගැටුමක් පවතින බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට සති කීපයකට ඉහතදී පැලවත්ත ඇතුළේ සිදුවූ බවට සමාජ මාධ්‍ය හා යම් යම් මාධ්‍ය වාර්තා කොට තිබූ ගැටුමේ ප්‍රධාන චරිත දෙකක් බවට පත්ව තිබුණේත් මේ කියන ටිල්වින් සහ ලාල්කාන්තය. ඒ අනුව ටිල්වින්ගේ ප්‍රකාශය නිකුත් වී පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ ලාල්කාන්ත මෙවැනි ආකාරයේ වචන කිහිපයක් එහි සටහන් කිරීමට කටයුතු කොට තිබිණි.

‘ඔබටත් එයාටත් මෙයාටත් අරයටත් ඕන විදිහට ආණ්ඩු කරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත’ යනුවෙන් තැබූ සටහන හරහා ලාල්කාන්ත නොකියා ප්‍රහාරය එල්ල කොට තිබුණේ වෙන කාටවත් නොව ටිල්වින්ට බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.

ඊටත් වඩා බරපතළ ප්‍රතිචාරය ආවේ පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය. ටිල්වින්ගේ නම සඳහන් කරමින්ම මාධ්‍යවේදීන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිනා මුණු මුහුණින් මෙන්ම දැඩි විශ්වාසයකින් යුතුව කියා සිටියේ ඒ ආකාරයට මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් ආණ්ඩුවට නොමැති බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්ය.

නලින්ද එසේ ප්‍රකාශ කොට තවත් පැය කිහිපයක් ගතවීමට මත්තෙන් කිසිවකුටත් හිතාගත නොහැකි ආකාරයේ තවත් සිදුවීමක් සිදුවිය. ඒ, පැෆ්රල් ආයතනය විසින් සංවිධාන කොට තිබූ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ විද්වත් සාකච්ඡාවට එක්ව සිටි මාලිමාවේ මහලේකම්වරයා වූ නිහාල් අබේසිංහ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වීමට කටයුතු කිරීමය. එහිදී නිහාල් අබේසිංහ කියා සිටියේ තමන් මීට සති දෙකකට ඉහතදී පවා ටිල්වින් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමේ කිසිදු තීන්දුවක් ආණ්ඩුව විසින් ගෙන නොමැති බවත්ය. එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ඇති බව එහිදී කී නිහාල්, මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ තේරීම් කාරකසභාවේ තීන්දුව ලැබුණු වහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන බවද එහිදී ප්‍රකාශ කර සිටියේය. ඍජුවම නිහාල් මෙහිදී ටිල්වින් ඉලක්ක කර මෙම ප්‍රකාශය සිදුකිරීම හරහා පැහැදිලිවම ටිල්වින්ගේ ප්‍රකාශයයෙන් ජවිපෙ ඇතුළේ පමණක් නොව, ජවිපෙ සහ මාලිමාව ඇතුළේත් බරපතළ ගැටුමක් මතුව ඇති ආකාරයක් දැකගත හැකි විය.

මාලිමා වෙබ්අඩවිය අතුරුදන්

ආණ්ඩුව ඇතුළේ ජවිපෙ සහ මාලිමාව අතර මත ගැටුම් මතුවූ පළමු අවස්ථාව මෙය නොවේ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දා සිටම ජවිපෙ සහ මාලිමාව අතර මතගැටුම්ද ආරම්භ වී තිබිණි. එය පළමු වතාවට එළියට පැන්නේ මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීම ආරම්භ වූ දින සිටය. එහිදී මාලිමාවේ අපේක්ෂකයන් බොහෝ දෙනකුට නාමයෝජනා ලබා නොදී සෑම දිස්ත්‍රික්කයකම පාහේ ජවිපෙ ප්‍රබලයන්ට වැඩි වශයෙන් නාම යෝජනා ලබාදීමට එදා ටිල්වින් කටයුතු කොට තිබිණි. ඉන් අනතුරුව මහ මැතිවරණ ඡන්ද ව්‍යාපාරයේදී ජවිපෙ පාක්ෂිකයන් සංවිධානාත්මකව මාලිමා අපේක්ෂකයන් පරාජය කිරීමේ වැඩපිළිවෙළක් ගම් මට්ටමෙන් දියත් කළ බවටද විශාල චෝදනාවක් එල්ල වී තිබිණි. මේ රටේ කිසිදු මාධ්‍යයක් මේ තොරතුරු වාර්තා නොකරද්දී, ඒ ඒ කාලවලදී අප මෙම තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කළ ආකාරය පැරැණි පත්තර පිටු පෙරළන්නේ නම් අප පාඨකයන්ට පහසුවෙන්ම දැකගැනීමට හැකියාව තිබේ.

මේ මාලිමා – ජවිපෙ ගැටුමේ තවත් විශේෂ සිදුවීමක් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට සූදානම්ය. ඒ, මාලිමාව දියාරු කොට දියකර හැරීම සඳහා පැලවත්තෙන් දියත් කොට ඇති තවත් මෙහෙයුමක් පිළිබඳවය. පසුගිය ජනාධිපතිවරණයේදී පමණක් නොව, මහ මැතිවරණයේදී පවා ජවිපෙ සිය ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා සැඟවුණේ මාලිමා මුහුණ පසුපසය. 3%ක්ව පවතින ජවිපෙ ඡන්ද පදනම වැඩි කරගැනීම සඳහාත්, තමන්ට රටේ සියලු ක්ෂේත්‍රවල ජනතාවගේ සහාය ඇති බව රටට පෙන්වීම සඳහාත් මාලිමාවේ සිටින ආචාර්ය මහාචාර්යවරු, උගතුන් බුද්ධිමතුන් පෙන්වමින් ජවිපෙ ප්‍රබලයන් සැඟවී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ හරහා ඔවුන් එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප යන සියලු පාක්ෂිකයන්ට ඡන්දය ලබාදිය හැකි පොදු වේදිකාවක් සකස් කොට ඇති බව රටට පෙන්වීමට පියවර ගත්තේය. මාලිමාවේ හරිනිව වැඩි වැඩියෙන් පෙන්වමින් කාන්තාවන්ගේ සහ මධ්‍යම පංතියේ උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දය ලබාගැනීමට ජවිපෙ පියවර ගත්තේය. ඊට රැවැටී හෝ වෙනසක් බලාපොරොත්තුවෙන් හෝ වෛරය පිරිමැසීමට හෝ ටෙස්ට් කර බැලීමට හෝ ජනතාව පෝලිමේ ගොස් මාලිමාව ඉදිරියේ කතිරය ගැසුවේ ජවිපෙ නිතරම පෙන්වූ ඒ මාලිමාවේ අලුත් මුහුණු නිසාය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී පවා රටේ බහුතරය, තරුණ පරපුර, අලුත් පරපුර ඉලක්ක කරගනිමින් දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක්ද ජවිපෙ දියත් කොට තිබිණි. ඒ සියල්ල සිදුකෙරුණේ ජවිපෙ පක්ෂ මූලස්ථානයේදීය. ඒ සඳහා වෙනම ඒකකයක්ද ජවිපෙ විසින් නිර්මාණය කොට තිබිණි. එමෙන්ම එන්පීපී.එල්.කේ. යනුවෙන් වෙනම වෙබ් අඩවියක්ද ජවිපෙ ආරම්භ කළේ සමාජ මාධ්‍ය හරහා එම වෙබ් අඩවියට දැවැන්ත ප්‍රචාරයක් ලබාදෙමිනි. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය භාෂා තුනෙන්ම මෙම වෙබ් අඩවියේ පළකොට තිබූ අතර, විවිධ ක්ෂේත්‍රයන්හි මාලිමාවේ සිටින බුද්ධිමතුන් යොදාගෙන එම ක්ෂේත්‍රයන් ඉහළට ඔසවන ප්‍රතිපත්ති පවා මෙම වෙබ් අඩවියට ඇතුළත් කොට තිබිණි. අධ්‍යාපන, ආර්ථික, සංචාරක, තරුණ කටයුතු, කලා කටයුතු, ආගමික ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය, වැඩිහිටි ප්‍රජාව යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සහ එම ක්ෂේත්‍රයන් ඉහළට රැගෙන යන පරිදි සකස් කළ ප්‍රතිපත්තීන් එහි ඇතුළත් කිරීමටද ජවිපෙ කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බලයට පත්වී ලබන සැප්තැම්බරයට අවුරුදු දෙකක් සම්පූර්ණ වීමට නියමිතය. පසුගිය කාලය පුරාම මෙම එන්පීපීඑල්.කේ. වෙබ් අඩවිය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වූයේ ජවිපෙ පක්ෂ මූලස්ථානය ඇතුළේ ඒ සඳහාම වෙන්කොට තිබූ කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක් හරහාය. නමුත් මේ වනවිට වාර්තා වන අලුත්ම තොරතුර වන්නේ රටේම ජනතාව එක මිටකට රැස් කරගත් මෙම මාලිමා එන්පීපී.එල්.කේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම අක්‍රීය කිරීමට ජවිපෙ කටයුතු කොට ඇති බවය. ඒ අනුව මෙතෙක් කල් ඊට සවිකොට තිබූ ප්ලග් එක ජවිපෙ පැලවත්ත මූලස්ථානයෙන් මේ වනවිට ගලවා ඇති බවක් දැකගන්නට පුළුවන. ඒ හරහා ජවිපෙ ලබාදී ඇති දේශපාලන සංඥාව වී ඇත්තේ තවදුරටත් මාලිමාව යනුවෙන් පක්ෂයක් භෞතිකව නොමැති බව විය යුතුය.

මාලිමාව අලුත් පාරකට

මීට අමතරව තවත් විශේෂ තොරතුරක්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට අප සූදානම්ය. ඒ අනුව අප දැඩි වගකීමකින් යුතුව වාර්තා කරන්නේ බොහෝ දිස්ත්‍රික්කවල ජවිපෙ නොවන මාලිමා මන්ත්‍රීවරුන්ට ජවිපෙ පැත්තෙන් කෙණෙහිලිකම් සිදුකිරීම මේ වනවිට ආරම්භ කොට ඇති බවය. ඒ අනුව දැනටමත් ප්‍රාදේශීය සභා මට්ටමෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් මාලිමා මන්ත්‍රීවරුන් කොන් කිරීම ආරම්භ කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ගමේ සංවර්ධන කටයුත්තක් සිදුකිරීම වැනි අවස්ථාවලදී පවා ඒ සියල්ල ජවිපෙ මන්ත්‍රීවරුන් අතට ගෙන මාලිමා මන්ත්‍රීවරුන් පසෙකට කොට තැබීම හරහා මේ වනවිට මාලිමා මන්ත්‍රීවරුන් ගම් මට්ටමෙන් මහත් අසීරුතාවකට සහ මානසික පීඩනයකට ලක්ව ඇති බවක්ද දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම මේ කෙණෙහිලිකම් පිළිබඳ දැනුම් දීමෙන් පසු මාලිමාවේ ප්‍රබල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අවසන් වරට පාර්ලිමේන්තුව පැවැත්වූ දින කිහිපයේම මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවේ සිටි එක් අයකු දෙන්නකු පිළිබඳ බරපතළ සැකයක් මතුව තිබුණේ ඔවුන් ජනාධිපතිවරයාගෙන් හෝ පැලවත්තෙන් ලකුණු දමාගැනීම සඳහා එම සාකච්ඡාවේ තොරතුරු ඒ ඒ පාර්ශ්වයන්ට ලබාදිය හැකි බවටය. නමුත් මෙහිදී සාකච්ඡා කරන කරුණු ජනාධිපතිවරයාට හෝ පැලවත්තට වාර්තා කළද එහි කිසිදු ප්‍රශ්නයක් තමන්ට නොමැති බව ප්‍රසිද්ධියේම පෙන්වමින් මෙම මාලිමා මන්ත්‍රීවරුන් මේ වනවිට ජවිපෙ ගෙන යන ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර ඇති බව ආරංචිය. මාලිමා මන්ත්‍රීවරුන් ජවිපෙට බියව සිටි කාලය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවට වූ ඉඟිය එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු දෙස බැලීමේදී දැකගන්නට පුළුවන.

පාර්ලිමේන්තුව පැවැත්වූ එම දින කිහිපයේදීම මෙම මාලිමා මන්ත්‍රීවරුන් සිය දිස්ත්‍රික්කවල මාලිමාව නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් මුහුණ දෙන ගැටලු සහ කෙණෙහිළිකම් පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණි. එම සාකච්ඡාවන්වල අවසානයේදී ඔවුන් එක්තරා විශේෂ තීන්දුවකට එළඹ ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම තීන්දුව වී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ සහ තම තමන්ගේ දිස්ත්‍රික්කවල සිදුවන අක්‍රමිකතා සහ තමන්ට විඳින්නට සිදුව ඇති කෙණෙහිළිකම්වල තොරතුරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටය. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව ඇතුළේ සිදුවන සිදුවීම්වල සහ මතගැටුම්වල තොරතුරු විශාල ප්‍රමාණයක් විපක්ෂය පැත්තෙන් එළියට ඒමේ වැඩි ඉඩකඩක් මතුව ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.

ටිල්වින්ගේ කතා හරහා ආණ්ඩුව ඇතුළේ මෙවැනි ආකාරයේ අර්බුදයක් මතුවෙද්දී රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද ටිල්වින් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ආකාරයක් මේ වනවිට දැකගත හැකිය. ඒ, සිය කතාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු බලපෑමක් ආණ්ඩුවට නොමැති බව කියමින් නවදිල්ලිය පවා අපහසුතාවට පත්වන ආකාරයේ ප්‍රකාශයක් ටිල්වින් විසින් සිදුකර තිබීම හරහාය. මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ තමිල්නාඩු මහ ඇමැතිවරයා වශයෙන් තලපති විජේ දිවුරුම් දීමත් සමග එල්.ටී.ටී.ඊ.යට පක්ෂපාතීව අදහස් දැක්වූ ප්‍රභාකරන් සමග එකට දේශපාලනය කළ තමිල්නාඩුවේ පක්ෂ නායකයන් සහ ඩයස්පෝරාව මේ වනවිට තලපති විජේ සමග එක්ව ආණ්ඩු කිරීමට පටන්ගෙන ඇති ආකාරයය. ඒ අනුව තලපති විජේට සහාය දක්වන මෙම දේශපාලන පක්ෂ සෑම අවස්ථාවකදීම සිටියේ ඉන්දියාව මගින් ලංකාවට හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට වූ ස්ථාවරයේය. ඒ අනුව ටිල්වින්ගේ ප්‍රකාශය හරහා බොහෝ දුරට මෙම එල්.ටී.ටී.ඊ. හිතවාදී පක්ෂ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට තලපති විජේ හරහා නවදිල්ලි මධ්‍යම රජයට බලකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නොඅනුමානය.

සුමන්තිරන්ලාත් පැලවත්තට

මීට අමතරව උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂය වූ තමිල් අරසුකච්චි පක්ෂය පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නවදිල්ලියේ මතය නොනිල ආකාරයෙන් විමසීමක් කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අනෙක් ප්‍රශ්නවලදී ආණ්ඩුව සමග ගැටුම්කාරී තත්ත්වයකට නොයා යුතු වුවද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ මාතෘකාවේදී උතුරේ දෙමළ පක්ෂ දැඩි ස්ථාවරයක සිටිය යුතු බවට නවදිල්ලියෙන් ප්‍රතිචාර ලැබී ඇති බවකි.

මීට අමතරව ටිල්වින් කළ ප්‍රකාශයෙන් පසු මේ වනවිට තමිල් අරසු කච්චි පක්ෂය සූදානම් වන්නේ මේ සම්බන්ධයෙන් ටිල්වින් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වා ජවිපෙ ස්ථාවරය නිවැරැදිව තහවුරු කරගැනීමටය. ඒ අනුව මුලින් ටිල්වින් හමුවීමටත්, පසුව ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් තමිල් අරසු කච්චි පක්ෂය මේ වනවිට තීන්දු කර ඇති බවක් දැනගන්නට ඇත. මේ හරහා උතුර නැගෙනහිර මුල්කරගෙන පළාත් සභා මැතිවරණය ඉල්ලා තමිල් අරසු කච්චි පක්ෂය දැවැන්ත දේශපාලන සටනක් ආරම්භ කිරීමේ සූදානමින් පසුවන බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

එපමණක් නොව, එතැනින් නොනැවතී තමිල් අරසු කච්චි පක්ෂය මේ වනවිට දකුණේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කොට තිබේ. ඒ අනුව තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගිය සති කිහිපය පුරාම කොළඹ රැඳී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමග අතිශය රහසිගත සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට කටයුතු කළේය. එපමණක් නොව, සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ තමිල් අරසු කච්චි පක්ෂයේ ශානක්‍යන් රාසමානික්කම් එහිදීද පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලකර සිටි ආකාරයක් දැකගත හැකි විය.
මෙහිදී තවත් විශේෂ තොරතුරක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට සූදානම්ය. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා සුමන්තිරන් මහතා අතර මීට දින කිහිපයකට ඉහතදී පැවැති මුහුණට මුහුණ සාකච්ඡාවක් පිළිබඳව තොරතුරුය. එහිදී අපට ඇති තොරතුරුවලට අනුව ඉදිරියේදී පළාත් සභා මැතිවරණය ඉල්ලා විපක්ෂයේ දැවැන්ත සංවිධානයක් කරළියට ඒමේ ඉඩකඩ බොහෝ වැඩිය.

මීට අමතරව සජිත් සහ සුමන්තිරන් අතර පැවැති සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව පත්කළ තේරීම් කාරකසභාව පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ. එහිදී දෙපාර්ශ්වයේම අදහස වී අත්තේ පළාත් සභා මැතිවරණය පවත්වනවාට වඩා පළාත් සභා මැතිවරණය කල්දැමීමේ අරමුණෙන් විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම තේරීම් කාරකසභාව ආණ්ඩුව විසින් පත්කොට ඇති බවකි. ඒ අනුව දෙදෙනාගේම ස්ථාවරය වී තිබුණේ තවදුරටත් කල්මැරීමට ඉඩ නොදී පළාත් සභා මැතිවරණය පවත්වන තැනට ආණ්ඩුව රැගෙන යෑම සඳහා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවය. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. නමුත් තවදුරටත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපවත්වා විවිධ තර්ක, විවිධ හේතු මතුකරමින් කටයුතු කරන්නේ නම් රටට පමණක් නොව, ජාත්‍යන්තරයටද දැනෙන ආකාරයේ දැඩි තීන්දුවක් ගත යුතු බවට වූ එකඟතාවකටද මෙහිදී සජිත් සහ සුමන්තිරන් පැමිණ ඇති බවක් ආරංචිය. ඒ අනුව දැනට පෙළගැසෙන සිදුවීම් ගත්විට අපට දැනගන්නට ඇත්තේ තවදුරටත් පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටිය නොහැකි තත්ත්වයකට මේ වනවිට ආණ්ඩුව පත්ව සිටින බවය. පළාත් සභා මැතිවරණය අතුරුදන් කිරීමට රනිල් ක්‍රියාත්මක කළ පාරේම මාලිමා ආණ්ඩුව ගමන් කිරීමට සූදානම් වනවා නම් රනිල් මුහුණ දුන්නාට වඩා බරපතළ ඉරණමකට මාලිමා ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බවද මෙහිලා සඳහන් කළ යුතුව ඇත.

මූල්‍ය අරමුදලට යන්න කියයි

පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේ විශේෂ පුවතක් මගින් අප අනාවරණ කර සිටියේ ලංකාවට ලබාදීමට නියමිත පස්වැනි සහ හයවැනි වාරික මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව බදාදා (27) දිනයේදී රැස්වන බවත්, එහිදී ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් ලංකාවට නිදහස් කිරීමට මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවත්ය. අප පුවත්පත වෙළෙඳපළට පැමිණි සෙනසුරාදා දිනයේ වාර්තා කළ ආකාරයටම බදාදා දිනයේ රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව එම වාරික මුදල් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි. එය මේ වනවිට යම් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් බව බොහෝ පාර්ශ්වයන්ගේ අදහස වී තිබේ. ඒ අනුව ඉදිරියේදී ලැබීමට නියමිත ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ප්‍රමාණයන් සමග ගත්විට මෙය ඩොලර් බිලියනයකට ආසන්න අගයක් ගනු ඇති බව බොහෝ පාර්ශ්වයන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත් දැන් මතුවී ඇති ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න සම්බන්ධයෙන්ය. මීට සති දෙකකට ඉහතදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සුවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ලබන මාර්තු මාසයේදී මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ගිවිසුම අවසන් වන බවත්, ඒ අනුව අලුත් ආර්ථික අර්බුදයක් ආරම්භ වීමට ප්‍රථම වහාම මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අනුප්‍රාප්තික ගිවිසුමකට යෑමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්ය. එය සිදු නොකළහොත් ආර්ථිකය නැවත වරක් කඩාවැටීමේ දරුණු අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද සජිත් අවධාරණය කොට සිටියේය. සජිත් මේ බව ප්‍රකාශ කළේ ආවාට ගියාට නොව, කාලයක් තිස්සේ මූල්‍ය අරමුදලේ රාජකාරි කළ හිටපු ප්‍රබල නිලධාරීන් කිහිප දෙනකු සමග සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. නමුත් සජිත් කළ මෙම ප්‍රකාශයට ආණ්ඩුව පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නමුත් බංග්ලාදේශය පසුගිය සතියේදී සජිත් අනාවරණ කළ පරිදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමකට යෑමට කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා කල්තියාම මෙම අනතුරු ඇඟවීම කරද්දීත් ආණ්ඩුව නිහඬව සිටියේ ඇයි? ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රය කුමක්ද? ඒ අනුව අපද ආණ්ඩුවේ මේ නිහඬතාව සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ලැබුණේ ආණ්ඩුව මෙසේ නිහඬව සිටින්නේ කිසියම් දිගුකාලීන දේශපාලන සැලැස්මක් ඔළුවේ තබාගෙන බවය. ඒ අනුව ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ ලබන මාර්තුවේදී මූල්‍ය අරමුදලේ ගිවිසුම අවසන් වූ වහාම අලුත් ගිවිසුමකට නොයා එය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමටය.

එසේ නම් ආණ්ඩුව එවැනි බරපතළ තීන්දුවකට යෑමට තීන්දු කොට ඇත්තේ ඇයි?

2027 මාර්තුවලින් පසුව එන්නේ ආණ්ඩුවේ අවසන් භාගයය. ජනාධිපතිවරයාට නම් 2027න් පසු ඊළඟ ජනාධිපතිවරණය කැඳවීමට තවත් ඉතිරිව ඇත්තේ වසර 2ක් පමණි. එමෙන්ම මෙම කාලය ඇතුළත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයද හිමිවේ. මැතිවරණ කොමිසමටත්, දේශපාලන පක්ෂවලටත්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු වන අයටත් මැතිවරණ උණුසුම දැනෙන්නට පටන්ගන්නේ 2027 අප්‍රේල් – මැයි කාලය වනවිටය.

නමුත් හදිසි ජනාධිපතිවරණයකට හෝ හදිසි මහ මැතිවරණයකට යෑමට ආණ්ඩුවට ඇති ලොකම බාධාව වී ඇත්තේ මේ කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුමය. මන්ද යත් එහි ඇති කොන්දේසිවලට අනුව ආණ්ඩුවට හිතුමනාපයේ මුදල් වියදම් කළ නොහැක. ජනතාවට සහනාධාර ලබාදිය නොහැක. බදු ආදායම අඩු කරගත නොහැක. බදු ප්‍රතිශතයන් අඩුකරගත නොහැක. ඉන්ධන මිල, විදුලි බිල ආදියේ වියදමට අනුපාත වන ආකාරයට සකස් කළ යුතුය. භාණ්ඩාගාරයේ ටි්‍රලියන ගණනින් මුදල් එකතුවී පවතින මොහොතක පවා අවශ්‍ය ආකාරයට ජනතාවට අත දිග හැර සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ මූල්‍ය අරමුදල සමග අස්සන් කර ඇති මෙම ගිවිසුම නිසාය.

ඊට හොඳම උදාහරණය වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ඇතුළේ මතුවූ තත්ත්වයය. එහිදී ආණ්ඩුවට රුපියල් බිලියන 500ක මුදලක් ආධාර වශයෙන් ජනතාවට ලබාදීමට අවශ්‍යතාව තිබුණත්, ඊට මූල්‍ය අරමුදලෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් ආණ්ඩුවට දැනුම්දී තිබුණේ එසේ මුදල් වියදම් කළ නොහැකි බවත්, එම වියදම් කරන මුදල් යළි සොයාගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත්ය. අවසානයේදී ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර මතුවූ මෙම මතගැටුම හේතුවෙන් ඉකුත් දෙසැම්බරයේ ලංකාවට ලබාදීමට නියමිතව තිබූ පස්වැනි වාරිකය මේ මැයි මාසය දක්වාම කල්දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කොට තිබිණි.

ඒ අනුව ආණ්ඩුව මේ වනවිට නිහඬවම තීන්දු කොට ඇත්තේ ලබන මාර්තු මාසයේ මූල්‍ය අරමුදල සමග අස්සන් කළ ගිවිසුම අවසන් වූ වහා අලුත් ගිවිසුමකට නොයා ඉන් ඉවත් වීමටය. එතැන් සිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය ඉලක්ක කොට භාණ්ඩාගාරයේ පිරී ඇති මුදල් අත දිගහැර වියදම් කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බව ආරංචිය. එවැනි පසුබිමක් යටතේ සජිත් එක් වතාවක් නොව දහදොළොස් වතාවක් ආණ්ඩුවට මූල්‍ය අරමුදල සමග අලුත් ගිවිසුමකට යන ලෙස දැනුම් දුන්නද, ආණ්ඩුව එය තඹයකට මායිම් නොකර සිටින්නේ මේ අරමුණ ඔළුවේ තබාගෙනය.

දොන් ජුවන් සහ කැප්පෙටිපොළ

දේශපාලනය කරන්නන්ට කිසිදු ලැජ්ජාවක් නොමැති බවත්, ඔවුන්ගේ ලැජ්ජා නහරය කපා ඇති බවත් එදා සිටම මේ රට ඇතුළේ නිතරම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ අද දිනයේ ‘අම්මාමෝ‘ නැතිව රටටම පෙනෙන්නට බැණඅඬගසාගන්නා පක්ෂ දෙකක දේශපාලකයන් ඊට පසු දින කරට අතදාගෙන එකම පක්ෂයක සිටින ආකාරය එදා සිටම අපේ ජනතාව හොඳහැටි දැක තිබෙන නිසාය. මැතිවරණයක් කිට්ටු වන විටදී ‘අරයා එහෙට පැන්නා, මෙයා මෙහෙට පැන්නා, අරයා මෙයා ගාවට ගියා, මෙයා අරයා ගාවට ගියා..‘ යනාදී කතා ඕනෑ තරම් ලංකාවේ දැකබලා ගැනීමටද පුළුවන. අප මේ කෙටි සටහන මුලින්ම තැබීමට කටයුතු කළේ මේ දිනවලද මේ ආකාරයේම ලැජ්ජා නහර කපාදැමූ දේශපාලකයකු සිදුකර ඇති කටයුත්තක් පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු වාර්තා වීම නිසාය.

කලක් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ විමල් වීරවංශගේ දේශපාලන දිවිය ආරම්භයේ සිටම ප්‍රධානතම දේශපාලන හතුරා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව, රනිල් වික්‍රමසිංහය. දේශපාලන වේදිකාවේ රනිල්ට ප්‍රහාර එල්ල කරද්දී විමල් විවිධ වචන උපයෝගී කරගනිමින් පහළටම බැස රනිල්ට කුඩුවෙන්නම ගැසීය. වරෙක විමල් රනිල්ව හැඳින්වූයේ ‘වික්කම සිංහ’ යැයි කියාය. ඒ, රටේ ජාතික වත්කම් විකිණීමටම රනිල් සෑම මොහොතකදීම සැදීපැහැදී සිටීම නිසාය. තවත් වරෙක විමල්, රනිල්ට අධිරාජ්‍යවාදී ඉත්තෙකු, අධිරාජ්‍යවාදී ගැත්තෙකු යැයි කීවේය. යුද්ධ කාලයේදී විමල්, රනිල්ව හැඳින්වූයේ කොටියෙකු ලෙසටය. තවත් වරෙක රනිල්ට නෝර්වේකාරයෙක්, සී.අයි.ඒ.කාරයෙක් බව කියමින්ද විමල් බැණවැදුණේය. අන්තිමට විමල්, රනිල්ව සුද්දන්ගේ කාලේ රට පාවා දුන් දොන් ‘ජුවන් ධර්මපාල’ ලෙසද රනිල්ව හැඳින්වූයේය.

මේ ආකාරයට රනිල්ව ‘දොන් ජුවන් ධර්මපාල‘ කළ විමල්ව ඒ කාලයේ බොහෝ දෙනා හැඳින්වූයේ ‘වීර කැප්පෙටිපොළ‘ ලෙසය. නමුත් දේශපාලනය කරන විට ලැජ්ජා නහර කපා තිබිය යුතු බව යළිත් වතාවක් තහවුරු කරමින් පසුගිය සතියේදී මේ කියන ‘දොන් ජුවන් ධර්මපාල‘ සහ ‘වීර කැප්පෙටිපොළ‘ අතර හමුවක් කොළඹදී සිදුව තිබිණි. මෙම හමුව සිදුව තිබුණේ රනිල්ගේ පෞද්ගලික නිවස වන කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි නිවෙසේදීය. මෙහිදී සාකච්ඡාව සඳහා පසුබිම සැකසී තිබුණේ රනිල් විසින් විමල්ට ලබාදී තිබූ දුරකතන ඇමතුමක් හරහාය. රණවිරු සැමරුමට මල් කලඹක් තැබීමට ගිය අවස්ථාවේදී පැනනැගුණු උණුසුම් තත්ත්වය මුල් කරගනිමින් රනිල් විමල්ට දුරකතන ඇමතුමක් ලබාදී විමසා තිබුණේ ‘ඔයාට කරදරයක් වුණා කියලා ආරංචි වුණා. පොඩ්ඩක් එන්න මට ඔයාව හම්බවෙලා කතාකරන්න ඕනේ….’ යැයි කියාය. ඒ අනුව රනිල් කළ ආරාධනයට අනුව තමන් විසින්ම ‘දොන් ජුවන් ධර්මපාල‘ ලෙස හැඳින්වූ රනිල්ගේ නිවසට පසුගිය සතියේදී විමල් ගොසි තිබිණි. දෙදෙනා අතර මෙහිදී පැවැත්වී තිබුණේ ඉතා සුහද සාකච්ඡාවකි. මුලින්ම විමල් රණවිරු ස්මාරකය වෙත ගිය අවස්ථාවේදී සිදුවූ සිද්ධිය පිළිබඳ විමසා ඊට අදාළ නීති උපදෙස් කිහිපයක් ලබාදීමෙන් පසු රනිල් දේශපාලන කතාබහට පිවිසෙමින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විමල් සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කරන ආකාරය පිළිබඳවත්, ඊට විමල් සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙහෙයවන සජිත්ව ඉන් ගලවන ආකාරය පිළිබඳවත්, ඒකාබද්ධ විපක්ෂයට ඇති එකම බාධකය වූ සජිත් සහ සජබය ඉවත් කරන ආකාරය පිළිබඳවත් මෙහිදී දෙදෙනා අතර දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෙසේ වෙතත් සාකච්ඡාව අවසානයේදී කවදාවත් රනිල් නොකරන දෙයක්ද විමල් වෙනුවෙන් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ, විමල් සාකච්ඡාව අවසන් කොට පිටව යෑමට සැරසෙද්දී ඔහුත් සමග ඔහුගේ රථය දක්වා රනිල් කතාබහ කරමින් ඇවිදගෙන යෑමය. ඒ අනුව ඉදිරියේදී අපට බොහෝ දුරට ‘දොන් ජුවන් ධර්මපාල‘ සහ ‘වීර කැප්පෙටිපොළ‘ යන දෙදෙනාම එකම වේදිකාවේ අසුන්ගෙන සිටින දර්ශන දැකබලා ගත හැකි වාතාවරණයක් උදාවනු ඇත.

අනුර සැර වෙයි

ජනාධිපතිවරයා ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර සජබ ආසන සංවිධායකවරයකු වූ ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් අතුරු පරිපාලනයක් පත්කළේ බොහෝ දෑ සිතේ තබාගෙනය. ජනාධිපතිවරයා මෙම පත්වීම සිදුකරද්දීම අතිශය විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා හා ශම්මි අතර පැවැති අවසන් සාකච්ඡාවේදී හුවමාරු වූ කරුණු සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා කිරීමක් අපි සිදුකළෙමු. එහිදී ශම්මි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය සංචාරය වැට උඩ පවතින ආකාරය පිළිබඳවත්, ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව කියා සිටි අප, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා එය තමන් මෝදිත් සමග සාකච්ඡා කොට විසඳා ගන්නා බව ශම්මිට දැනුම් දුන් ආකාරයද වාර්තා කොට සිටියෙමු. මීට අමතරව තවදුරටත් අප තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ මෙම අතුරු කමිටුව මාස 3ක කාලයකට පමණක් වලංගු වන ලෙස පත්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්දී ඇති බවත්, ඉන් අනතුරුව ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කළ යුතු බවට දැනුම් දී ඇති බවත්ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නම් අදහස වී තිබුණේ අතුරු පාලක කමිටුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වසරක පමණ කාලයක් හිමිවනු ඇති බවකි. මේ බව මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් දෙදෙනකු ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසී අතිනත පටලාගෙන ඡායාරූපවලට පෙනීසිටීම නිසා බොහෝ දෙනා සිතුවේ ජනාධිපතිවරයා සිතූ ආකාරයටම වසරක පමණ කාලයකට ඉරාන්ගේ ක්‍රිකට් අතුරු කමිටුවට ආයු කාලය හිමිවනු ඇතැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාවේදී පවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් ඉතා ඉක්මනින් ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසට ජනාධිපතිවරයාට ඉඟි කොට ඇති බවකි.

නමුත් ජනාධිපතිවරයා ඊට සිය එකඟතාව පළකොට නොමැති බවක්ද දැනගන්නට තිබේ. එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ ක්‍රිකට් නිලවරණය මාස 3ක් වැනි කාලයකදී පැවැත්විය නොහැකි බවත්, මුලින්ම ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත්ය. නමුත් ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් දැනගන්නට නැත. එහිදී දින වකවානු සඳහන් නොකළද ව්‍යංගයෙන් අයි.සී.සී. නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ බංග්ලාදේශයේ සිදුකළ ආකාරයටම මාස 3ක කාලයක් ඇතුළත එම වැඩකටයුතු අවසන් කළ යුතු යැයි කියාය.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපතිවරයාද තදබල පණිවුඩයක් අයි.සී.සී. නිලධාරීන්ට ලබාදීමට පියවර ගත්තේය.

‘ක්‍රිකට් කියන්නේ ලංකාවේ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හැමෝම ආදරය කරන ක්‍රීඩාවක්. හැබැයි පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක ලංකාවේ ජනතාවට ක්‍රිකට් ගැන තියෙන්නේ මහා කලකිරීමක්. ඒ කලකිරීම කොච්චරද කියනවා නම් පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක එක තැනකදී මේවා බරපතළ තැනකට යන්න තිබ්බා. මේ රටේ මිනිස්සු එක ජනාධිපතිවරයෙක්ව පාරට බැහැලා බලයෙන් පැන්නුවා. ඒ වගේම දෙයක් තමයි ලංකාවේ ක්‍රිකට් පාලකයන්ටත් වෙන්න තිබ්බේ. එහෙම දෙයක් නොවුණේ අපේ ආණ්ඩුව බලයට ආපු නිසයි. අපි එහෙම දෙයක් ඇතිවෙන්න ඉඩ තිබ්බේ නෑ. ඒ නිසා මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතාව හිතන විදියට ඉඩ දෙන්න…’ යන ආකාරයේ පණිවුඩයක් මෙහිදී ජනාධිපතිවරයා අයි.සී.සී. නිලධාරීන්ට දී ඇති බවක් ආරංචිය.

එමෙන්ම මේ සාකච්ඡාවට ජනාධිපතිවරයා එක්වූයේම විශාල ලිපිගොනුවක්ද අතේ තබාගෙනය. එහි තිබී ඇත්තේ පසුගිය කාලසීමාව පුරා ක්‍රිකට් ආයතනය තුළ සිදුකර ඇති ගෙවීම්, පඩිනඩි ආදී විස්තරයන්ය. ජනාධිපතිවරයා එයද අයි.සී.සී. නිලධාරීන්ට පෙන්වා ඇති බවක් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ලංකාවෙන් පිටව ගොස් සිටින මෙම අයි.සී.සී. නිලධාරීන් ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ගනු ලැබීමට නියමිත තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. එහිදී බංග්ලාදේශයේ කළාක් මෙන් මාස 3ක් ඇතුළත ක්‍රිකට් නිලවරණයකට යන ලෙස දැනුම් දුනහොත් නියත වශයෙන්ම ජනාධිපතිවරයාගේ අතුරු පාලන කමිටුවක් පත්කිරීමේ අරමුණ ඵල රහිත වී අර්බුදයකට යාමට නියමිතය. ඒ මාස 3ක කාලය දීර්ඝ කිරීමට අයි.සී.සී.ය කටයුතු කළහොත් කිසිදු ගැටුමක් ඇති නොවනු ඇත. එම නිසා මේ දිනවල ලංකාවේ ජනතාව පක්ෂ භේදයෙන් තොරව බලා සිටින්නේ අයි.සී.සී.යේ මෙම තීන්දුව ලැබෙන තෙක්ය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

වෙසක් පෝදා උතුරෙන් ඇහුණු පපුව පිච්චිලා යන කතාව! ෆෝන් එක දුන්නෙ නෑ කියලා අවුරුදු 14 අයියා අවුරුදු 11ක නංගිව මරලා! I Sri Lanka Latest News

Next Post

තෙල් මිල වැඩි කරපු එකට මිනිස්සු අද උදේම හොඳම එකෙන් අමතයි! ‘අපිත් දුන්නා තමයි.. දැන් කෙළවෙලා තියෙන්නේ..!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.