රට බංකොලොත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ තීන්දුව අද (14)ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන්නේය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ , මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ , මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් , ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මුදල් අමාත්‍යාංශය ලේකම් ලෙස කටයුතු කළ පී බී ජයසුන්දර සහ එස් ආර් ආටිගල යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
මෙම වගඋත්තරකරුවන් 2021 සහ 2022 කාලයේදී ගත් වැරදි ආර්ථික තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි.
පෙත්සම්කරුවන් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමට අනුව වගඋත්තරකරුවන් වැරදිකරුවන් බවට තීරණය කර ඇති අතර
පෙත්සම් සලකා බැලීමෙන් පසුව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.
සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික ආචාර්ය මහින් මෙන්ඩිස් සහ සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩල සමාජිකයින් වන ආචාර්ය නෙවිස් මොරායස් , ආචාර්ය අතුල ශ්‍රී සමරකොන් යන මහත්වරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් සමගි නීතිඥ බලවේගයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු සමගි ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ










