තිබ්බ 15% එකපාරටම 30% වුණේ කොහොමද?
ට්‍රම්ප් අනුරව දන්නේ නැද්ද?
දැන් සාකච්ඡා යන්නේ ඔන්ලයින්!
අනුර ගැස්සෙයි
.
පසුගිය බදාදා රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඇමෙරිකාවේ වොෂිංටන් නුවරින් විශේෂ දුරකතන ඇමතුමක් සමග ලිපියක් ලැබිණි. එම දුරකතන ඇමතුමේ එහා කෙළවරින් සම්බන්ධ වූ තැනැත්තා ජනාධිපතිවරයාට දැනුම් දුන් පුවත එක්තරා ආකාරයකට ජනාධිපතිවරයා යම් තිගැස්මකට ලක්කළා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද යත් මේ ඇමතුම හරහා ජනාධිපතිවරයා එක්වරම බලාපොරොත්තු සුන්වූ තැනකට පත්වීම ඊට හේතුවය. එම ඇමතුමෙන් කියැවුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අගෝස්තු 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 30%ක තීරුබද්දක් පැනවීමට තීරණය කොට ඇති බවකි. ජනාධිපතිවරයා එම පුවත ඇසිමත් සමග යම් කම්පනයකට පත්වූයේ අදාළ තීරුබද්ද අඩුකරගැනීම සඳහා වොෂිංටනය සමග සාකච්ඡා කළ කණ්ඩායම සහ තමන්ට හිතවත් වෙනත් පාර්ශ්වවලින් ඊට හාත්පසින්ම වෙනස් තොරතුරු රැසක් ජනාධිපතිවරයා වෙත ඒ වනවිටත් වාර්තා වී තිබීම හේතුකොට ගෙනය. අනෙක් අතට වසරකට ඩොලර් බිලියන 4කට ආසන්න වූ විදේශ විනිමයක් ඇමෙරිකාවෙන් පමණක් ලංකාවට ලැබීමත්, එය රටේ ආර්ථිකයේ විශාලතම පංගුවක් වීමත්, යම් හෙයකින් මෙම තීරු බද්ද හරහා එම විශේෂ ආදායමට යම් බලපෑමක් එල්ල වුවහොත් එය රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක ප්‍රහාරයක් වීමත් ජනාධිපතිවරයාගේ තිගැස්මට හේතු වී තිබිණ.Sri Lanka Latest News
කෙසේ වෙතත් මෙම තීරුබදු පැනවීම සහ ට්‍රම්ප් රජය සමග සාකච්ඡා පැවැත්වීමේදී මුල සිටම ආණ්ඩුව යම් යම් අතපසුවීම් රැසක් සිදුකරගත් ආකාරයක් දැකගත හැකි විය. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේ ආකාරයේ අතිශය භයානක තීරුබදු පැනවීමක් සෑම රටක්ම ඉලක්ක කොට පැනවීමේ සූදානමකින් සිටින බවට වූ පුවත පළමු වරට ලංකාවේ මාධ්‍යයකින් රටට අනාවරණ කළේ ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසිනි. ඉකුත් ජනවාරි මාසයේ අප එම පුවත වාර්තා කිරීමෙන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් කිසිදු ක්‍රියාත්මක වීමක් දැකගන්නට නොලැබුණු තැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප වාර්තා කළ එම පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. ඒ, ඉකුත් මාර්තු මාසයේදීය. එහිදී සභාවේ සිටි විදේශ ඇමැති විජිත හේරත් මහතා වහාම නැගී සිටිමින් කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවට විශේෂ කණ්ඩායමක් යවා ඇති බවකි. නමුත් පසුව අප කළ සොයාබැලීම්වලදී අනාවරණ වූයේ විජිත එසේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කොට තිබුණේ සම්පූර්ණයෙන්ම අසතයයක් බවත්, එවැනි කිසිදු විශේෂඥ කණ්ඩායමක් වොෂිංටනය සමග සාකච්ඡා කිරීමට පිටත් කොට යවා නොමැති බවත්ය.
ට්‍රම්ප් රජය මගින් ලංකාව ඉලක්ක කොට 44%ක තීරු බද්දක් පැනවූයේ ඊට හරියටම දින කිහිපයක් ඉක්ම යෑමෙන් අනතුරුවය. ආණ්ඩුවට දෙකොන පත්තු වූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට වොෂිංටනය මගින් මෙම තීරු බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමත් සමගය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් පාර්ලිමේන්තුවේදී විජිත කී කතාව සිහිපත් කරමින් මෙම තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවට යැවූ බව කී කණ්ඩායමේ නම් ගම් විමසා සිටි අතර, ආණ්ඩුවෙන් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොලැබීම එහිදී දැකගැනීමට ලැබුණු විශේෂ සිදුවීමක් විය. එමෙන්ම අප කළ වාර්තා කිරීම්වලට අමතරව වොෂිංටනයෙන් පවා මේ සම්බන්ධව ආණ්ඩුවට දිගින් දිගටම තොරතුරු වාර්තා කොට තිබුණද ආණ්ඩුව පැත්තෙන් ක්ෂණික ප්‍රතිචාර නොලැබීම සහ සූදානම් වීමක් නොතිබීම මෙහිදී සිදුවූ බරපතළ අතපසු වීමක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.
අනෙක් රටවල ප්‍රතිචාරය
ආණ්ඩුව මේ ආකාරයෙන් ට්‍රම්ප්ගේ තීරුබදු පිළිබඳ නිහඬ සහ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළද ලොව වෙනත් රටවල් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. උදාහරණයක් ලෙස අසල්වාසී ඉන්දියාව ගතහොත් ට්‍රම්ප් රජය ඉන්දියාවට ඉලක්ක කොට 56%ක තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට කටයුතු කොට තිබිණි. එහිදී ඉන්දීය රජය ක්‍රියාත්මක වුණේ ලංකාවේ බලධාරීන් කටයුතු කළ ආකාරයට නම් නොවේ. ඒ වනවිට ඉන්දියාවේ පැවැති සමුළුවකට සහභාගි වෙමින් සිටි ඉන්දීය වෙළෙඳ ඇමැතිවරයා ඒ සියලු කටයුතු අත්හිටුවා වහාම වොෂිංටනය බලා පිටත්ව ගොස් ඇමෙරිකානු බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද පෞද්ගලිකවම ඇමෙරිකාවට ගොස් ජනාධිපති ට්‍රම්ප් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ලොව අනෙක් රටවල රාජ්‍ය නායකයන්ද වහ වහා ඇමෙරිකාවට පැමිණ ට්‍රම්ප් හමුවී මෙම තීරුබදු ප්‍රතිශතයන් අවම කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට තිබිණි.
නමුත් ලංකාව පැත්තෙන් සිදුවුණේ අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසුවා හා සමාන සිදුවීමකි. බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වොෂිංටනය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා එවක ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේය. නමුත් අවස්ථා ගණනාවකදී වොෂිංටනයට ගොස් එක්සත් ජනපද ආර්ථික නියෝජිතායතනය සමග සාකච්ඡා පවත්වද්දී ඔවුන් ලංකාවේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ ඇමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 3.8ක වටිනාකමකින් යුත් භාණ්ඩ ලංකාවෙන් ආනයනය කරන නමුත් ලංකාව ඇමෙරිකාවෙන් වාර්ෂිකව ආනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 400ක පමණ කුඩා ප්‍රමාණයක් බවය. මේ හේතුවෙන් දෙරට අතර අවාසිදායක වෙළෙඳ හිඟයක් ඇමෙරිකාවට පවතින බව පෙන්වා දුන් එම නිලධාරීන් වහාම මේ තත්ත්වය සාධාරණ ලෙස අවම කරගත යුතු බවත්, ඊට ලංකාවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව ආණ්ඩුවේ බලධාරීන් වොෂිංටනයට දැනුම් දී තිබුණේ එම වෙළෙඳ හිඟය අඩුකර ගැනීම සඳහා ඇමෙරිකානු භාණ්ඩ මත පනවා ඇති 88%ක් පමණ වූ තීරුබදු ප්‍රතිශතයන් 0% දක්වා අඩු කිරීමට හැකි බවත්, ඒ සමගම ලංකාව ඇමෙරිකාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීමට සූදානම් බවත්ය. ඇමෙරිකානු බලධාරීන් මෙම සාකච්ඡාවලදී තරගකාරී මිලකට තෙල් සහ ගෑස් ලබාදීමට එකඟතාව පළකළද ප්‍රායෝගික තලයේදී ඇමෙරිකාවේ සිට තෙල් නැව් සහ ගෑස් නැව් ලංකාවට පැමිණීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසා එම යෝජනාවේ ප්‍රායෝගික බව සම්බන්ධයෙන් ගැටලු මතුව තිබිණ. මීට අමතරව ලංකාවේ ව්‍යාපාරිකයන් ඇමෙරිකාවට අපනයනය කෙරෙන ප්‍රධාන අයිතමයන් වන ඇඟලුම්, ටයිල්, ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ වර්ග රැසක් සඳහා 0%ක බදු සහනයක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කොට තිබිණි. ලංකාව හා වොෂිංටනය අතර හුවමාරු වූ ලිපිවලින්ද ආණ්ඩුව මේ බව නිල වශයෙන් ඇමෙරිකානු නියෝජිතයන් හට දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
ආරංචිය සුබයි
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ මෙම සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේ වොෂිංටනය පැත්තෙන් ඉතා සුබදායක සංඥා ආණ්ඩුවට ලැබී තිබීමය. ඒ සංඥාවලින් කියැවී තිබුණේ ආණ්ඩුවේ ඉල්ලීම් සියල්ලම පාහේ ඉටුවන ලකුණු පහළ කොට ඇති බවත්, ලංකාවට පනවා තිබූ 44%ක තීරු බද්ද බොහෝ දුරට 10%ක 15%ක මට්ටමට හෝ ඊටත් අඩු අගයකට පහත දැමීමේ ඉඩකඩක් මතුව ඇති බවත්ය. ඒ බව පැහැදිලිවම දැකගැනීමට ලැබුණේ සජබයේ ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා මහතා සහ එජාපයේ ඇතැම් ප්‍රබලයන් ආණ්ඩුව ඇමෙරිකාව සමග සාකච්ඡා පවත්වන ආකාරය පිළිබඳ යම් යම් විවේචන එල්ල කරද්දී ආණ්ඩුවේ පැත්තෙන් ඊට ලැබුණු ප්‍රතිචාර හරහාය. එහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ ඇමෙරිකාවෙන් හෙට අනිද්දාම සුබ පණිවුඩයක් ලැබීමට නියමිතව ඇතැයි කියාය. ඇමැති අනිල් ජයන්ත මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා තිබුණේ විපක්ෂයේ බොරුවලට නොරැවටෙන ලෙසත්, සාකච්ඡා ලංකාවට ඉතා වාසිදායක බවත්, අදාළ බදු සහනයන් පිළිබඳ ඉදිරියේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වනු ඇති බවත්ය. එමෙන්ම ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ ඒ වනවිටත් ඇමෙරිකාව පැත්තෙන් සුබදායක පණිවුඩ ලැබෙමින් තිබුණු නිසා විපක්ෂයට විවේචනය කරන්න ඉඩ දී අමෙරිකානු නිල නිවේදනය ලැබීමෙන් අනතුරුව විපක්ෂයට හතර ගාතේ දා ඇදවැටෙන ලෙස පහරදීමටය. ‘ආණ්ඩුවට වැඩ බෑ… ජාත්‍යන්තර සබඳතා නෑ.. ජාත්‍යන්තරය එක්ක ඩීල් කරන්න අත්දැකීම් නෑ…’ යනුවෙන් කියමින් සිටින විපක්ෂයට ‘ඔන්න අපි කරලා පෙන්නුවා’ යැයි කියමින් දුවන්න දී කකුල් කඩන්නටය.
මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ අමෙරිකාවට අමතරව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පැත්තෙන්ද ආණ්ඩුවට නොනිල වශයෙන් සුබදායක පණිවුඩ ලැබෙමින් තිබීමය. සාමාන්‍යයෙන් මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ගැන යන කටකතාවලින් කියැවෙන්නේ ඇය, දැඩි අනුර හිතවාදී චරිතයක් ලෙසටය. ඉකුත් ජනාධිපතිවරණයේදී අනුරව බලයට ගෙන ඒම සඳහා විශාල වැඩ කොටසක් සිදුකළ චරිතයක් ලෙසටය. මාලිමා ආණ්ඩුවට කැමැති තානාපතිවරියක් ලෙසටය. ඒ අනුව මේ තීරුබදු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීම්වලදී පවා ලැබී තිබුණේ ආණ්ඩුවට හොඳ පැකේජයක් ඇමෙරිකාවෙන් ලැබීමට නියමිතව ඇති බවකි. ඒ අනුව ආණ්ඩුවද මහත් උද්දාමයකට පත්ව සිටියේ එම හොඳ පැකේජය ලැබීමෙන් පසු විපක්ෂයට ‘දෙන්නම් බැටේ’ සැලසුමකය.
ආණ්ඩුව අහුවණාද?
නමුත් දැන් දැන් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ ඇමෙරිකාව පැත්තෙන් සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැත්තෙන් ලැබුණු මෙම පණිවුඩ රාජ්‍යතාන්ත්‍රික ආකාරයෙන් නිවැරැදිව කියවා ගැනීමේ ගැටලුවකට ආණ්ඩුව මුහුණ දුන්නාද කියාය. එසේත් නොමැති නම් ඇමෙරිකානු බලධාරීන් ආණ්ඩුව නොමග යැවීමට කටයුතු කර තිබුණාද කියාය. උදාහරණයක් ලෙස ඇමෙරිකාව පළමු වටයේදී රටවල් කිහිපයකට සංශෝධිත තීරුබදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කරද්දී එම ලැයිස්තුවේ ලංකාව ඇතුළත්ව නොතිබිණි. ආණ්ඩුවේ බලධාරීන් ඒ පිළිබඳ වොෂිංටනය පැත්තෙන් සොයාබලද්දී පවා ලැබුණු ප්‍රතිචාරය වූයේ ලංකාවට ඉතා සුබදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවකි.
ව්‍යාපාරිකයන්ට වෙන ආරංචියක්
කෙසේවෙතත් ආණ්ඩුවේ බලධාරීන්ට මේ ආකාරයේ සුබ පණිවුඩ හතර අතෙන් ලැබෙන්නට පටන්ගෙන තිබුණත් ඇමෙරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට නම් ලැබී තිබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ තොරතුරු කිහිපයකි. ලංකාවෙන් සතිපතා දැවැන්ත භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කරන මේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට ලැබී තිබුණු පණිවුඩවලින් කියැවී තිබුණේ ඇමෙරිකාව ලංකාව ඉලක්ක කර අතිශය භයානක තීරණයක් ගැනීමේ සුදානමකින් පසුවනවා යැයි කියාය. ඒ අනුව එම ව්‍යාපාරිකයන් ආණ්ඩුවේ ඉහළම තැන්වලින් මේ පිළිබඳ සොයා බැලීම් කරද්දී ආණ්ඩුවේ ප්‍රධානීන් ඔවුන්ටද දැනුම් දී තිබුණේ එවැනි භයානක තත්ත්වයක් නොමැති බවත්, ලංකාවට ඉතා වාසිදායක තීන්දුවක් ලැබෙනු ඇති බවත්, විශේෂයෙන්ම ඇඟලුම්, තේ, කුරුඳු වැනි අපනයන භාණ්ඩවලට ඇමෙරිකාව විසින් පනවා තිබූ බදු පවා 0% තෙක් අඩුඅකරන බවට තොරතුරු ලැබී ඇති බවත්ය.
නමුත් බදදා රාත්‍රියේ ධවල මන්දිරයෙන් නිකුත් වූ නිල නිවේදනයෙන් කියවුණේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ලංකාවට 30%ක තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇති බවකි. ඒ අනුව මේ වෙනස සිදුවූයේ කෙසේද? ලංකාවට ලැබුණු සුබ ආරංචිය අසුබ ආරංචියක් බවට පත්වූයේ කෙසේද? ඒ පිළිබඳ සොයා බලද්දී රාජ්‍ය රහස් තීරයට වාර්තා වූයේ ආණ්ඩුවේ නියෝජිතයන් ඇමෙරිකානු බදු නියෝජිතායතනයේ සාමාජිකයන් සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව විවිධ ආරංචි මාර්ගවලින් ඔවුන්ට දැනගැනීමට හැකිව ඇත්තේ ලංකාව ඉලක්ක කරගෙන බදු නියෝජිතායතනය විසින් 15%ක බදු ප්‍රතිශතයක් ලංකාව වෙනුවෙන් යෝජනා කර ඇති බවකි. ඒ අනුව ඔවුන් ඊට අදාළ ලිපිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යොමුකොට තිබිණි. බදු නියෝජිතායතනය 15%ක් ලෙස තීන්දු කළ බදු ප්‍රතිශතය එක්වරම 30% දක්වා ඉහළ නැංවී ඇත්තේ අදාළ ලිපිය ට්‍රම්ප්ගේ අතට ලැබීමෙන් අනතුරුවය. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා තීන්දු කොට ඇත්තේ ලංකාව ඇතුළු තවත් රටවල් කීපයකටම එම බදු ප්‍රතිශතය 30% දක්වා ඉහළ නැංවිය යුතු බවටය. ඒ අනුව ධවල මන්දිර වෙබ් අඩවියේ පළව තිබූ ලිපියේ සිංහල පරිවර්තනය මෙසේය.
මෙන්න ලියුම
ජනාධිපතිතුමනි,
අපගේ වෙළඳ සම්බන්ධතාවයේ ශක්තිය සහ කැපවීම පෙන්නුම් කරන මෙම ලිපිය ඔබට එවීමට ලැබීම මට මහත් ගෞරවයක් වන අතර, ඔබේ ශ්‍රේෂ්ඨ රට සමග සැලකිය යුතු වෙළෙඳ හිඟයක් තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග දිගටම වැඩ කිරීමට එකඟ වී ඇත.
අපි ඔබ සමග ඉදිරියට යාමට තීරණය කර ඇත්තෙමු. නමුත් ඒ වඩාත් සමබර හා සාධාරණ වෙළෙඳාම සමග පමණි. එබැවින්, ලෝකයේ අංක එකේ වෙළෙඳපොළ වන එක්සත් ජනපදයේ අසාමාන්‍ය ආර්ථිකයට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු. ශ්‍රී ලංකාව සමග අපගේ වෙළෙඳ සම්බන්ධතාවය සාකච්ඡා කිරීමට අපට වසර ගණනාවක් ගත වී ඇති අතර, ශ්‍රී ලංකාවේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළඳ බාධක මගින් ජනනය කරන ලද මෙම දිගුකාලීන හා නොවෙනස්ව පවතින වෙළඳ හිඟයන්ගෙන් අපි ඉවත් විය යුතු බව නිගමනය කර ඇත්තෙමු. අවාසනාවකට මෙන්, අපගේ සම්බන්ධතාවය අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ දුරස් වී ඇත.
2025 අගෝස්තු 01 වැනි දින සිට, සියලූම ආංශික තීරුබදුවලින් වෙන්ව, එක්සත් ජනපදයට යවන ඕනෑම සහ සියලූම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අපි ශ්‍රී ලංකාවෙන් 30%ක තීරුබදුවක් අය කරන්නෙමු. ඉහළ තීරුබදු මගහැරීම සඳහා නැව්ගත කරන ලද භාණ්ඩ එම ඉහළ තීරුබදුවට යටත් වේ.
කරුණාකර තේරුම් ගන්න. 30% අංකය ඔබේ රට සමග අපට ඇති වෙළෙඳ හිඟයේ විෂමතාව ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුය. ඔබ දන්නා පරිදි, ශ්‍රී ලංකාව වන ඔබේ රට තුළ සිටින සමාගම් එක්සත් ජනපදය තුළ නිෂ්පාදනයක් ගොඩනැගීමට හෝ නිෂ්පාදනය කිරීමට තීරණය කළහොත් තීරුබදු නොමැති අතර, ඇත්ත වශයෙන්ම, අපි ඉක්මනින්, වෙනත් වචනවලින් කිවහොත්, සති කිහිපයකින්, අනුමැතිය ලබාගැනීමට හැකි සෑම දෙයක්ම කරන්නෙමු.
කිසියම් හේතුවක් නිසා ඔබ ඔබේ තීරුබදු වැඩි කිරීමට තීරණය කරන්නේ නම්, ඔබ ඒවා වැඩි කිරීමට තෝරාගන්නා සංඛ්‍යාව කුමක් වුවත් එය අප අය කරන 30%ට එකතු කරනු ලැබේ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් වසර ගණනාවක් පැවති මෙම තිරසාර නොවන වෙළඳ හිඟයන් ඇති කරන ශ්‍රී ලංකාවේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක නිවැරදි කිරීමට මෙම තීරුබදු වෙනස අවශ්‍ය බව කරුණාකර තේරුම් ගන්න. මෙම හිඟය අපගේ ආර්ථිකයට සහ ඇත්ත වශයෙන්ම අපගේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයකි.
ඉදිරි වසර ගණනාවක් ඔබේ වෙළඳ සහකරු ලෙස ඔබ සමග වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබ මීට පෙර වසාදමා ඇති වෙළඳපොළවල් එක්සත් ජනපදයට විවෘත කිරීමට සහ ඔබේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළඳ බාධක ඉවත් කිරීමට කැමති නම්, අපි සමහර විට මෙම ලිපියට ගැලපීමක් සලකා බලමු.
ඔබේ රට සමග අපගේ සම්බන්ධතාවය අනුව මෙම තීරුබදු ඉහළට හෝ පහළට වෙනස් කළ හැකිය. ඔබ කිසි විටෙකත් ඇමරිකා එක්සත් ජනපදය ගැන කලකිරීමට පත් නොවනු ඇත.
මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තුතියි.
නමත් වෙනස කරලා
පසුගිය බදාදා රාත්‍රියේ ඇමෙරිකානු ධවල මන්දිරය මගින් සිය වෙබ් අඩවියේ ලංකාවට පනවන තීරුබදු සම්බන්ධයෙන් වන ට්‍රම්ප්ගේ ලිපියේ දැකගන්නට ලැබුණු අනෙක් විශේෂම සිදුවීම වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම වෙනුවට එහි ජනාධිපති ‘අරුණ කුමාර දිසානායක‘ මහතා යනුවෙන් සටහන්ව තිබීමය. සාමාන්‍යයෙන් ඕනෑම රාජ්‍ය නායකයකු වෙනත් රටක රාජ්‍ය නායකයකු අමතා ලිපියක් යොමුකරන්නේ නම් ඒ රාජ්‍ය නායකයාගේ නම නිවැරැදිව සඳහන් කිරීම ඔහුට කරන ගෞරවයක් වශයෙන් සැලකෙන්නකි. නමුත් ධවල මන්දිර වෙබ් අඩවියේ පළකළ ලිපියෙහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම සටහන් වී තිබුණේ වැරදි ආකාරයටය. මෙය මුලින්ම දුටුවේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහය. එම වැරැද්ද දුටු සැණින් මහින්ද කළේ වහාම ධවල මන්දිරයට කතා කොට ඔවුන් කර තිබූ එම වැරැද්ද පෙන්වා දීමය. එය බරපතළ අත්වැරැද්දක් බවද, රාජ්‍ය නායකයකුට කළ අපහාසයක් බවත් මෙහිදී මහින්ද ධවල මන්දිර බලධාරීන්ට පෙන්වා දුන්නේය. ඒ සමගම ධවල මන්දියර බලධාරීන්ද තමන්ට සිදුවූ අත්වැරැද්ද නිහතමානීව පිළිගෙන වහාම ඒ වෙනුවෙන් සමාව අයැදීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. එපමණක් නොව ජනාධිපතිවරයාගේ නම නිවැරැදිව සඳහන් කොට ධවල මන්දිර වෙබ් අඩවියේ නැවත පළකිරීමටත්, එහි මුල් පිටපත තානාපති මහින්ද වෙත ලබාදීමටත් ධවල මන්දිර බලධාරීන් පියවර ගෙන තිබිණි.
මේ ආකාරයට අදාළ ලිපිය ජනාධිපතිවරයාට ලැබීමත් සමග එම ලිපිය මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ටද වෙනත් පාර්ශ්වයන් හරහා ලැබී තිබිණි. එම ලිපිය දුටු සැණින් ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ජනාධිපතිවරයා කඩාවැටුණු ආකාරයට වඩා දෙතුන් ගුණයකින් කඩාවැටුණු ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිල්ල වී තිබුණේ පවතින තත්ත්වය යටතේ පවා ඉතා අසීරුවෙන් සිය කර්මාන්ත පවත්වාගෙන යන අතරේ තවත් 30%ක බදු පැනවීමක් හරහා තවදුරටත් සිය කර්මාන්ත පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි යැයි කියාය. ඒ අනුව ඔවුන් වහාම ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී තිබුණේ කෙසේ හෝ නැවත වතාවක් ඇමෙරිකාව සමග සාක්ච්ඡා කොට මෙම බද්ද තවදුරටත් අඩුකර ගැනිමට පියවර ගන්නා ලෙසටය. ඒ අනුව මෙම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 01 වැනි දින සිට නිසා ආණ්ඩුව සූදානම් වන්නේ නැවත වතාවක් ඇමෙරිකාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මින් ඉදිරියට පැවැත්වෙන සාකච්ඡා සියල්ලම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) පැවැත්වීමට නියමිතව තිබීමය.
සජිත්ගේ පණිවුඩය
මෙම පසුබිම යටතේ බ්‍රහස්පතින්දා පෙරවරුවේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ට්‍රම්ප්ගේ 30%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. සජිත් මෙහිදී චෝදනා එල්ල කර තිබුණේ ආණ්ඩුවේ දුර්වල සාකච්ඡා ක්‍රියාමාර්ගයන් හේතුකොට ගෙන ලංකාවට මෙම අවාසිසහගත තත්ත්වයට මුහුණ දීමට සිදුවූවා යැයි කියාය.
‘ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30%ක ඇමෙරිකානු තීරු බදු පැනවීම යනු දුර්වල සාකච්ඡා සඳහා අප ගෙවන මිලයි.
අපගේ මමත්වය සෑම සගයෙකුම, සෑම විශේෂඥ හස්තයක්ම සෙවීමෙන් අපව වළක්වා ගත් අතර, දැන් ඩොලර් බිලියන 3කට ආසන්න අපනයන අනතුරුදායත තත්ත්වයකට හෙළා ඇත.
ඉතා සංකීර්ණ සැබෑ ලෝකයේ සාකච්ඡා සඳහා පෙළපොත් විශේෂඥයන් මත යැපීමේ අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයට මෙය ඉතා වැදගත් සිද්ධියකි.’ යනුවෙන් එහි සඳහන්ව තිබිණි.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ 30%ක බදු පැනවීමත් සමග ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව අවිවාදිතය. මෙම බද්ද පැනවීමට පෙරාතුවම කටුනායක ක්‍රියාත්මක වෙමින් තිබූ ජර්මානු ඇඟලුම් ආයතනයක් ලංකාවෙන් ඉවත් වීමට පියවර ගත්තේය. එමෙන්ම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයකු වූ ගෞතම් අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට කළ ආයෝජන අත්හිටුවා ලංකාවෙන් දැනටමත් පිටව යෑමට කටයුතු කොට තිබේ. ජපානය කොළඹ වරායේ ඩොක්යාර්ඩ්හි තමන්ට හිමි කොටස් සියල්ල ඉන්දියාවට විකුණා දමා පිටව යෑමට පියවර ගෙන තිබිණි. බදු පැනවීමෙන් අනතුරුව ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ එරට ආයෝජනයන්ට බදුරහිත හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් ලංකාවේ ඇති ඇඟලුම් සමාගම්වලට එරට ආයෝජනය කිරීමට පැමිණෙන ලෙසය. යම් හෙයකින් එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ඉදිරියේදී රට බරපතළ ආර්ථික අර්බුදයකට මෙන්ම බරපතළ රැකියා අර්බුදයකටද මුහුණ දීමට සිදුවනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.
සජිත්ව කොටුකරයි
මේ සියල්ල මැද්දේ ආණ්ඩුව මේ වනවිට තමන්ට එල්ල වන ප්‍රතිරෝධයෙන් මිදීම සඳහා දියත් කරමින් සිටින එකම තුරුම්පුව ලෙස විපක්ෂය චෝදනා කරන්නේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලියය. දිනපතාම පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසමද විපක්ෂයේ දේශපාලනඥයන්ට කැඳවීම් කරනු ලබන අතර, ඉඳහිට අත්අඩංගුවට ගැනීම්ද සිදුකරයි. අධිකරණය හමුවේ ඒවාට නඩු පැවරීම්ද සිදුකරනු ලබයි. මේ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අර්ථකථන සමාජය ඇතුළේ මතුවෙමින් තිබෙන අතර, විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව එක්තරා දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය දියත් කරමින් සිටින බවය. විපක්ෂයේ සියලු චරිත සිර ගෙදරට ගාල්කොට ඉදිරි මැතිවරණවලදී තනි අශ්වයකුගේ ධාවන තරගයකට ඉදිරිපත් වීමට ආණ්ඩුව කැසකවමින් සිටින බවද ඔවුන්ගේ අදහස වී තිබේ. එමෙන්ම ඔවුන් මේ වනවිට ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින්නේ කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් නිදහස් කිරීම මෙන්ම තවත් යම් යම් දූෂිත සිදුවීම් කීපයක්ම ආණ්ඩුව ඇතුළේ සිදුවී ඇති බවකි. විපක්ෂයේ චරිත පසුපස දුවමින් ඒ පරීක්ෂණ ඉක්මන් කරනවා මෙන්ම ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇති කන්ටේනර් සම්බන්ධ සිද්ධිය පිළිබඳවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
මේ සියල්ල මැද පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු උත්සාහ කොට අසාර්ථක වූ එක්තරා මෙහෙයුමක් වත්මන් ආණ්ඩුව විසින්ද ආරම්භ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, වෙන කිසිවක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව කටයුතු කරන සමයේ එහි මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමය. මෙම චෝදනාව මුලින්ම එල්ල කළේ වෙන කවුරුවත් නොව, සජිත්ව දේශපාලන වශයෙන් විනාශ කිරීමේ අරමුණෙන් එජාපයේම ප්‍රධානීන්ය. ඒ අනුව මුලින්ම එම චෝදනාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ වූයේ 2019 බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේය. එහිදී මහින්ද අගමැති වීමත් සමගම එජාපයේ රනිල්ගේ පාර්ශ්වයෙන් මහින්දට පණිවුඩ පිට පණිවුඩ යවමින් කියා තිබුණේ සජිත්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලෙසටය. ඒ වනවිටත් සජිත් එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගය ගොඩනගා දීර්ඝ දේශපාලන ගමනකට අත්පොත් තබා තිබූ බැවින් කෙසේ හෝ සජිත්ගේ දේශපාලනය විනාශ කිරීම එජාප ප්‍රධානීන්ගේ අරමුණ විය. ඒ අනුව, මහින්දට ඔවුන් යැවූ පණිවුඩවලින් කියැවුණේ සජිත්ගේ කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ සොයන්නේ නම් එජාපයේ උදව් ලබාදිය හැකි බවත්ය. ඒ හරහා සජිත්ගේ දේශපාලනය අවසන් කළ හැකි බව ඔවුන් මහින්දට පෙන්වා දී තිබිණ.
මුලින් මුලින් මේ පණිවුඩය එද්දී මහින්ද කියා සිටියේ මධ්‍යම සංස්කෘකිත අරමුදලෙන් සජිත් මුදල් ගෙන වියදම් කොට ඇත්තේ පන්සල්, පල්ලි, කෝවිල් ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට බවත්, ආගමික කටයුත්තක් මුල්කරගෙන එම මුදල් වියදම් කොට ඇති හෙයින්, එය හොඳ කටයුත්තක් නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි බවත්ය. නමුත් දිගින් දිගටම එජාපයෙන් එල්ලවූ පීඩනය හේතුවෙන් අවසානයේදී මහින්ද සජිත් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට එකඟ විය. ඒ අනුව අල්ලස් කොමිසමටත්, කෝප් කමිටුවටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කෙරිණි. ඒ අනුව පරීක්ෂණ වාර්තා දෙකක් මේ සම්බන්ධයෙන් නිකුත් වුවත් ඒ කිසිවකින් සජිත් මුදල් අවභාවිත කර ඇති බව අනාවරණ නොවූ අතර, ඒ චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කිරීමටත් පියවර ගෙන තිබිණි. එමෙන්ම අල්ලස් කොමිසමද විශේෂ ලිපියක් යොමුකරමින් කියා තිබුණේ අල්ලස් කොමිසම යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණ නොවන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නොකිරීමට තීරණය කර ඇති බවය.
ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද කෝප් කමිටුව හරහා සජිත්ගේ දේශපාලනය අවසන් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් සොයාබැලීමට විමර්ශනයක් ආරම්භ කළේය. එකල සජිත්ට පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පහර පිට පහර එල්ල කළේ වෙන කවුරුවත් නොව රනිල් වෙනුවෙන් ලොකුම කොන්ත්‍රාත්තුව ඉටුකළ බව කියැවෙන මහින්දානන්ද අලුත්ගමගේය. එමෙන්ම එවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාරද සිටියේ රනිල් සමගය. ඒ අනුව රනිල්ගේ වුවමනාවට මේ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කෙරුණු අතර, මඩ ගැසීමක් සහ අපහාස කිරීමක් විනා ඉන් එපිට කිසිවක් අනාවරණ කරගැනීමට එම කමිටුවට නොහැකි විය. සජිත්ට එරෙහිව මඩ ගසන්නට ගිය හිටපු ජනාධිපති ගෝඨාභයට උන්හිටි තැන් නැති විය. මහින්දගේද දේශපාලන ගමන අවසන් වී ඇත. අද රනිල් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගොස්ය. මහින්දානන්ද සිටින්නේ වසර 20කට සිරගතවය. රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තුවේ තියා ඉන්න හිටින තැනක්වත් සොයාගන්නට නැත. දැන් අනුර අතගසා ඇත්තේ ගෝඨාගෙන් සහ රනිල්ගෙන් පසු සජිත්ව ඉවර කරන තුන්වැනි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටය. එය කොතැනින් අවසන් වේදැයි දැන්ම කිව නොහැක.
රනිල් කලින්ම දන්නවා
මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වූ විශේෂම තොරතුර වූයේ අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඊට අදාළ කමිටුව පත්කිරීමට දින කීපයකට පෙර රනිල්ගේ මල් පාරේ පිහිටි කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවකි. මේ දිනවල රනිල් තමන් සමග සමීපව දේශපාලනය කළ එජාපයේ, පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් තනි තනිව ගෙන්වා සාකච්ඡා පවත්වමින් සිටින අතර, එහි එක් තැනකදී ආණ්ඩුව මේ දිනවල විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස එළවමින් සිදුකරන දේශපාලන මෙහෙයුම් පිළිබඳවද සාකච්ඡා වූ ආකාරයක් ආරංචිය. එහිදී ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත සහ සිරගත වීමට නියමිත යම් යම් හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් කීපයක්ද කියැවී ඇති අතර, හිටිහැටියේම සජිත්ගේ නමත් හිටපු එජාප ප්‍රබලයකුගේ කටින් පිටවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔහු කියා සිටියේ, ‘සජිත්ටත් ඉස්සරහට ලේසි වෙන එකක් නෑ. හෙට අනිද්දට එයාගේ සංස්කෘතික අරමුදලේ වෙච්ච දේවල් ගැනත් ආයෙමත් හොයන්න යන්නේ…’ යැයි කියාය.
මෙම සිදුවීම එදිනම අපටද වාර්තා වූ අතර, ඉන් දින කීපයකට පසු හරිනි විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව, රනිල්ගේ සාකච්ඡාවේදී කල්තියා මේ පිළිබඳ කතාබහට ලක්වීම හරහා ආණ්ඩුව සහ රනිල් අතර යම් ගනුදෙනුවක් සිදුවන්නේද යන ප්‍රශ්නය බොහෝ දෙනාට මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. අනෙක් අතට පසුගිය කාලයේදී ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම කියා සිටියේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඊට අදාළ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනවා යැයි කියාය. බටලන්ද මිනීමරුවන්ට ජනාධිපති කොමිෂන් වාර්තාවට අනුව දැඩි දඬුවම් ලබාදෙනවා යැයි කියාය. නමුත් දැන් ඒ සියල්ල සීමා වී ඇත්තේ වචනයන්ට පමණි. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව සූදානම් වන්නේ සජිත්ව ඉලක්ක කර තුන්වැනි වතාවටත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමටය.
විමල් හොල්ලයි
දිගු දේශපාලන නිහැඬියාවකින් පසු කලක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලතම චරිතයක් ලෙස සැලකුණු විමල් වීරවංශ මහතා යළිත් වතාවක් සක්‍රීය දේශපාලනයට පිවිස ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය සතියේදී විමල් ‘කාගෙද මේ මූනිස්සම්’ නමින් දේශපාලන ගීතයක්ද එළිදැක්වීමට කටයුතු කළේය. ජවිපෙන් දේශපාලනය ආරම්භ කළ විමල් පසුව මහින්ද රාජපක්ෂ සමග එක්වූ නමුත් ගෝඨාගේ ආණ්ඩුව සමයේදී රාජපක්ෂවරුන් සමග දේශපාලනය අතහැරීමට පියවර ගෙන තිබිණ. ඉන් අනතුරුව විමල් සහ උදය ගම්මන්පිල ‘සර්ව ජන බලයේ‘ නායක දිලිත් ජයවීර සමග එක්ව නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට උත්සාහ කළද, පසුව විමල් දිලිත්ගෙන්ද ගැළවුණු ආකාරයක් දැකගත හැකි විය. දැන් දිලිත් සමග ඉතිරිව ඇත්තේ පසුගිය කාලයේ පොහොට්ටුව සමග දේශපාලනය කළ අයගෙන් කිහිප දෙනකු පමණි. දිලිත් සමග එක්වූ පොහොට්ටුවේ එස්.එම්. චන්ද්‍රසේන මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. දිලිත් සමග සිටි තවත් බොහෝ දෙනකුටද මේ ආකාරයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇත.
කෙසේවෙතත් කෙටි නිහඬතාවකින් පසුව විමල් එළියට ඒමට බලපෑ ප්‍රධාන සිද්ධිය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් රථ 323ක් රේගුවෙන් නිදහස් කිරීමය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මෙම කන්ටේනර් පිළිබඳ දැක්වූ අදහස් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා කැඳවා තිබු පසුබිමෙක විමල් මාධ්‍ය හමුවේ නොබියව මෙම කන්ටේනර් 323 පිළිබඳ අදහස් දැක්වීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් විමල් යනු අතේ සාක්ෂි නොමැතිව ආවාට ගියාට අදහස් දක්වන අයෙකු නොවේ. ඒ අනුව විමල් පසුගිය සතියේ මෙම කන්ටේනර් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එළියට පැමිණ තවත් බරපතළ හෙළිදරව්වක් මාධ්‍ය හමුවේ සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී විමල් කියා සිටියේ මෙම කන්ටේනර් තොගය අස්සේ එතනෝල් කන්ටේනරයක්ද නිදහස් කොට ඇති බවය. එම එතනෝල් කන්ටේනරය පසුගිය කාලයේ මාලිමාවට වේදිකා ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සැපයූ අයකුගේ බවත්, විජේවීර මුල්කරගෙන නිෂ්පාදනය කළ චිත්‍රපටයට ඔහු වියදම් කර තිබූ බවත් විමල් එහිදී කියා සිටියේය. එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට විමල් පිළිතුරු ලබාදී තිබුණේ මෙසේය.
ඔබතුමා ප්‍රකාශය ලබා දුන්නද? මොකද වුණේ?
ඔව්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර එක්ස්පෝ ලංකා ආයතනයේ හිමිකරු දැන්නම් ඔහු කියන්නේ ඔහු ඒකට සම්බන්ධයක් නැහැ කියලා. ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තමයි මම පවත්වපු මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අද කැඳවනු ලැබුවේ. අවසානයේ ප්‍රකාශය දුන්නට පස්සේ එය කියවා බලා මම අස්සන් කරන්න කලින් ඉහළ නිලධාරියකුට ඒක නැවත යොමුකරන්න කියලා ඉල්ලීමක් ආවා. ඉතින් ඉහළ නිලධාරියකුට යවලා ආයේ එයා කියවලා ආයේ එනකන් මට ඉන්න බැරි නිසා මම වෛද්‍යවරයකු හමුවෙන්න මේ වෙනකොටත් ප්‍රමාද වෙලා තිබෙන නිසා මම අස්සන් කරන්න සහ තව ඕනෙ නම් තව ප්‍රකාශයක් දෙන්න තව දවසක එන්නම් කියන පොරොන්දුව මත මම එතනින් බැහැරව ආවා. මම ඒගොල්ලොන්ට මුලින්ම දැනුම් දුන්නා මට කෙටි කාලයයි තියෙන්නේ. ඒ කාලය තුළ මම අවශ්‍ය ප්‍රකාශය දෙන්නම් කියලා.
මේ තියෙන්නේ ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි පළවුණු ප්‍රවෘත්ති පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ කමිටු වාර්තාව. මේකට මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් ආයතනවල නිලධාරීන් සම්බන්ධයි. මේ කමිටු වාර්තාවේම කියනවා අපි කියපු කරුණු. රතු ලැයිස්තුවට අයිති 151ක් බහාලුම් කිසිදු පරීක්ෂාවකින් තොරව එළියට යැවීම ඉතාම බරපතළ වැරැද්දක් හැටියට මෙම කමිටු වාර්තාවේ කියනවා.
ඒ වගේම මේ කමිටුව සැක පළකරනවා අර බහාලුම් තදබදය ඒක ස්වභාවිකව ඇති වූවක්ද? නැත්නම් කෘත්‍රිමව ඇති වූවක්ද? කියන කාරණය ගැනත් සැකයක් මේ කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට අරන් තියෙනවා. මම කලින් මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා එක්ස්පෝ ලංකා එකට අයත් කන්ටේනර් මේක ඇතුළේ තියෙනවා කියලා. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා නිවේදනයක් නිකුත් කරලා තමන් දැන් එක්ස්පෝ ලංකා එකත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. එහෙම නැතුව ඔහු කිව්වේ නැහැ එක්ස්පෝ ලංකා එකට අයත් කන්ටේනර් කිසිවක් මේ 323 ඇතුළත නැහැ කියලා ඔහු කිව්වේ නැහැ.
ඒ වගේම මම අද අනාවරණ කළා රෝහණ විජේවීර චරිතාපදානය ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මුදල් යෙදවපු, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පසුගිය මැතිවරණ කාලපරිච්ඡේදයේ වේදිකා නිර්මාණය කිරීම සඳහා සම්පූර්ණ මුදල් යොදවපු ඇමෙරිකාවේ දැනට මූලිකව වාසය කරන ශ්‍රී ලාංකිකයකුට අයත් එතනෝල් කන්ටේනරුත් මේ අතර තිබිච්ච බව මම සී.අයි.ඩී.යට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අවසන් ලේඛනයට මගේ අස්සන තබන්න පුළුවන් වුණේ නැහැ. අර ඉහළ කෙනෙක් පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ තමයි මට අස්සන් කරන්න දෙන්නේ කිව්වම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නිසා මම ආවා. මම කිව්වා මට නැවත දිනයක් දන්වන්න, මම අස්සන් කරන්න එන්නම් කියලා.
ආයේ කවද්ද එන්නේ කිව්වේ?
දිනයක් කිව්වේ නැහැ. ඔවුන් මට දන්වයි.
අවශ්‍ය කරුණු ටික දුන්නා?
මම දන්න සත්‍ය කරුණු ටික දුන්නා. ඒ වගේම මේ වාර්තාවේ පිටපතකුත් දුන්නා. ඒගොල්ලෝ ගාව මේ වාර්තාවේ පිටපතක් තිබ්බේ නැහැ. මේ වාර්තාවේ පිටපතකුත් රහස් පොලීසියට දුන්නා. ඒ නිසා කන්ටේනර් 323 තමන්ගේ දේශපාලන ගජමිතුරන්ගේ, ඡන්දෙට උදව් කරපු ධනකුවේරයන්ගේ කන්ටේනර් 323ක් මේ එළියට ආවේ. ඒක රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ පිටින් යවලා බේරෙන්න බැහැ. බිමල් රත්නායක ප්‍රසිද්ධියේ කිව්වා තමන් ඒ වගකීම බාර ගන්නවා කියලා. මුදල් ඇමැතිට විතරයි බලයක් තියෙන්නේ යම්කිසි කන්ටේනර් එකක්, බහාලුමක් පරීක්ෂාවකින් තොරව එළියට දාන්න කියලා කියන්න.
එතකොට මුදල් අමාත්‍යවරයා තමයි දැන් මේ කමිටුව පත් කරලා තියෙන්නේ. කමිටුව කියනවා මේක වැරදියි කියලා. මෙතැන වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම කියද්දි අපෙන් ප්‍රශ්න කරලා වැඩක් තියෙනවද? එහෙනම් ඉතින් දැන් අර කමිටුව ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ සී.අයි.ඩී. එකට. ඔයගොල්ලෝ මොකද මෙහෙම එකක් වාර්තාවක් නිකුත් කළේ කියලා? යනුවෙන් විමල් කියා සිටියේය.
විමල් කළ මෙම හෙළිදරව්ව හරහා අපට දැනෙන කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් සුවිශේෂ සාක්ෂි රැසක් විමල් සතුව ඇති බවකි. ඒ අනුව එය නිශ්චිත වේලාවේදී එළියට දැමීමේ සුදානමකින් විමල් පසුවනවා විය යුතුය.
අනෙක් පැත්තෙන් පසුගිය සතියේ පැවැති තවත් මාධ්‍ය හමුවකදී විමල් තවත් විශේෂ අනාවරණයක්ද කළේය. එම අනාවරණයට නම් එක පැත්තකින් හිනායන අතර, තවත් පැත්තකින් දුක හිතෙන බවක්ද කිව යුතුය. විමල් එහිදී අනියමින් අදහස් දැක්වූයේ දිලිත් ජයවීර සම්බන්ධයෙන්ය. දිලිත් යනු දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානියාය. විමල්ගේ මෙම කතාවේ විශේෂත්වය වන්නේ මේ දිනවල දේශපාලනය සහ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් සමාජය ඇතුළේ කතාබහට ලක්වෙමින් පැවැතීම නිසාය. මන්ද යත් මාධ්‍ය හිමිකරුවන් බොහෝ දෙනකු මේ වනවිට නියමින් හෝ අනියමින් දේශපාලනයට පිවිස ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඇතැම් මාධ්‍ය හිමිකරුවන් ඍජුව දේශපාලනය කරන අතර, තවත් මාධ්‍ය හිමිකරුවන්ගේ දරුවන් දේශපාලනයේ නිරතව සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. එහිදී දැකගැනීමට ඇති විශේෂම සිදුවීම වන්නේ මෙම හිමිකරුවන් දේශපාලඥයන් පාලනය කිරීමට සහ දේශපාලන පක්ෂ පාලනය කිරීමට සිය මාධ්‍ය නියමින් හෝ අනියමින් යොදාගෙන ඇති ආකාරයය. කොටින්ම කියනවා නම් ඇතැම් චැනල් මේ වනවිට ජනතාවාදී චැනල් වනවා වෙනුවට දේශපාලන චැනල් බවට පත්ව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. විමල් මෙම මාධ්‍ය හමුවේදී දෙරණ නාලිකාවේ සහ සිරස නාලිකාවේ ලාංඡන සහිත මක්‍රෆෝන පෙන්වමින් මේ වනවිට දෙරණ නාලිකාවද සිරස නාලිකාව හා සමාන තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. ඒවායේ සිය කතා විකාශය නොකරන බව උපහාසයෙන් යුතුව එහිදී විමල් කියා සිටියේය.
මෙහිදී එකක් කිව යුතුමය. ඕනෑම මාධ්‍යයකට ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තිබේ. එමෙන්ම දේශපාලන පක්ෂයකට සහාය දැක්වීමේ අයිතියක්ද තිබේ. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ඉන්දියාව වැනි රටවල පවතින නාලිකාද දේශපාලන මතයන් දරණ අතර, මැතිවරණ සමයන්වලදී තමන් ප්‍රසිද්ධියේම මේ මේ පක්ෂවලට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමද එම නාලිකා විසින් සිදුකරනු ලබයි. එසේ වුවද ඔවුන් අනෙකුත් මතයන්ටද සිය නාලිකාවල ඉඩ ලබාදීම සිදුකරයි. නමුත් අපේ රටේ මාධ්‍ය භාවිතය තවමත් එවැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයකට පත්ව ඇති ආකාරයක් දැකගන්නට නැත. ලංකාවේ මාධ්‍යවලට එල්ල වී ඇති චෝදනාවක් වී ඇත්තේ ඔවුන්ද විවිධ පක්ෂ සමග ඩීල් දමාගෙන සිටින බවටය. ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසු බහුතරයක් නොලැබුණු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තේරීමේදී මේ කියන මාධ්‍ය නාලිකා හිමිකරුවන් විවිධ පක්ෂ සමග ඩීල් දැමූ බවට ප්‍රසිද්ධියේම චෝදනා එල්ල වූ ආකාරයක් ද දැකගැනීමට තිබිණි.
කෙසේ වෙතත් කලකට පසු විමල් එළියට බැස මේ එල්ල කළ ප්‍රහාරය ඉතා බරපතළ බවත්, එය එතැනින් නතර නොවනු ඇති බවත් බොහෝ දෙනාගේ විශ්වාසයය.
ජයවීර ආවේ කොහොමද?
මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හර්ෂණ සූරියප්පරුම මහතාගෙන් හිස්වූ මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයකු නම්කිරීමේදී බරපතළ අර්බුදයක් මාලිමාව ඇතුළේ මතුව ඇති බව අනාවරණ කළෙමු. ඒ අනුව, දිගින් දිගටම එම මන්ත්‍රී ධුරය පිරවීම කල්ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් පසුගිය සතිය වනවිට පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර තිබුණේ එම මන්ත්‍රී ධුරය නම්කිරීම සඳහා ගිය කාලය ඉතා වැඩි බවත්, වහාම එම පුරප්පාඩුව පිරවීමට කටයුතු කළ යුතු බවත්ය. නමුත් විවිධ නම් යෝජනා වීම නිසා යම් යම් මතගැටුම් හටගැනීමෙන් දිනෙන් දින එය කල්ගිය ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් එවැනි පසුබිමක් යටතේ හිටිහැටියේම පසුගිය සතියේ මාලිමාවේ පුරප්පාඩුවට මන්ත්‍රීවරයකු දිවුරුම් දෙනු ලැබීය. ඔහු නිශාන්ත ජයවීරය. නමුත් එවැන්නකු පිළිබඳ ජවිපෙ දේශපාලනය ඇතුළේ කිසිදු අවස්ථාවක සඳහන් වී නොතිබීම නිසා බොහෝ දෙනා ඔහු කාගේ කවුරුන්ද යන්න සොයා බැලීමට පටන්ගෙන තිබිණි. එසේ සොයාගෙන යද්දී ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ හෙතෙම අනුර සහ විජිත නියෝජනය කළ කැලණිය විශ්වවිද්‍යාලයේම විජිතගේ සමකාලීනයකු යැයි කියාය. එමෙන්ම අතිරේක ලේකම්වරයකු වශයෙන් අමාත්‍යාංශයකද, සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස්වරයකු වශයෙන්ද හෙතෙම කටයුතු කොට ඇති බවද කියැවිණි.
ඒ අනුව දේශපාලන පසුබිමක් නොමැති අයකුගේ නමක් හිටිහැටියේම මෙම තනතුරට නම්කිරීමට ජවිපෙ කටයුතු කොට තිබුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරද්දී ඇතැමුන් කියා තිබුණේ මෙය මාලිමා-ජවිපෙ කඹ ඇදිල්ල නිමවී නිශ්චිත මන්ත්‍රීවරයකු නම්කරන තෙක් තෝරාගත් අතරමැදි පත්කිරීමක් යැයි කියාය. නොඑසේ නම් මාධ්‍ය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන නිසා මාලිමාවට හෝ ජවිපෙට සම්බන්ධ නැති අතරමැදි පිටස්තර චරිතයක් හිස්වූ ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට කටයුතු කොට ඇති බවකි. අදාළ මන්ත්‍රී ධුරය සඳහා මාලිමාව සහ ජවිපෙ අතර පැවැති කඹ ඇදීම සමතයකට පත්කර ගන්නා තාක් මේ පුද්ගලයාට මන්ත්‍රී ධුරය ලබාදිය යුතු බවට යෝජනා කර ඇත්තේද විජිත හේරත් විසින් බවද ආරංචිය. ඒ අනුව දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අදාළ මන්ත්‍රී ධුරය සඳහා ජවිපෙ සහ මාලිමාව අතර පැවැති මත ගැටුම තවමත් අවසන්ව නොමැති බවකි. සිදුව ඇත්තේ තාවකාලික විසඳුමක් ලෙස පිටස්තර චරිතයක් කරළියට ගෙන ඒම පමණි.
කැසිනෝ අවුල
ලබන අගෝස්තු මස 02 වැනි දින ලංකාවේ ලොකුම කැසිනෝ ශාලාව සහිත පරිශ්‍රය කොළඹ සිටි ඔෆ් ඩී්‍රම් හෝටල් පරිශ්‍රයේ ආරම්භ වීමට නියමිතව ඇති බවත්, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පැමිණීමට නියමිතව ඇති බවත්, ඔහුගේ ගාස්තුව පමණක් ඩොලර් මිලියනයක් වී ඇති බවත් මීට සති දෙකකට ඉහතදී අපි ‘රාජ්‍ය රහස්’ තීරයෙන් විශේෂ වාර්තාවක් ගෙන එමින් අනාවරණ කළෙමු. ඒ අනුව අප මෙවර මේ තීරයෙන් අනාවරණ කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ හා සම්බන්ධ තවත් සුවිශේෂ තත්ත්වයකි.
ලොව කැසිනෝ රජු ලෙසින් හැඳින්වෙන ජේම්ස් පැකර් ලංකාවට ගෙන ඒමට මුල් අඩිතාලම දැම්මේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂය. එවක ජේම්ස් පැකර් යනු ජාත්‍යන්තර වශයෙන් කැසිනෝ අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටි ප්‍රකෝටිපතියෙකි. ඒ අනුව මහින්ද කොටුව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි විශාල ඉඩම අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදී එහි දැවැන්ත හෝටල් සහ කැසිනෝ හල් ව්‍යාපෘතියක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදුන්නේය. එය සම්බන්ධීකරණය කළේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
කෙසේ වෙතත් මහින්දගේ ආණ්ඩුව ඇතුළෙන් පිපිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ මේ කැසිනෝ රජු හට ලංකාවේ දොරටු විවෘත කිරීමය. ඊට එරෙහිව එවක විපක්ෂයේ සිටි එජාපය මෙන්ම ජවිපෙද දැඩි විරෝධයක් පළකළ අතර, මහා සංඝරත්නය පාරට බැස දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ. මල්වතු අස්ගිරි මහා නාහිමිවරු පවා ඊට එරෙහිව නිවේදන නිකුත් කළහ. මහින්දගේ කැසිනෝ යෝජනාවට එසේ එළියෙන් විරෝධය පැමිණෙද්දී ආණ්ඩුව ඇතුළට එම විරෝධය අරගෙන ආවේ චම්පික රණවක, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමය. අවසානයේදී ඔවුන් ප්‍රසිද්ධියේම මහින්දගේ ආණ්ඩුවේ ඇමැති ධුර අතහැර එළියට පැමිණ ආණ්ඩුවට අභියෝග කිරීමට පියවර ගත්හ. එහි අවසානය වූයේ මහින්දගේ ආණ්ඩුව කඩාගෙන වැටීමය. නමුත් එදා මහින්දගේ ආණ්ඩුව යටතේ රටට පැමිණිමට නියමිතව තිබූ ඩොලර් බිලියන ගණනක ආයෝජන අවස්ථාවක් රටට අහිමි වී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ මොහොතේ පැකර් ලංකාවට ආවා නම් සිංගප්පූරුවට, මාලදිවයිනට කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා යන කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත්වීමට බොහෝ විට ඉඩ තිබිණි.
එදා ඒ ආකාරයට මහින්දගේ කැසිනෝ යෝජනාවට ජවිපෙ විරෝධය පළ කළද අද ඇත්තේ ජවිපෙ ප්‍රධාන මාලිමා ආණ්ඩුවකි. නමුත් අද මාලිමා ආණ්ඩුව යටතේ කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. නමුත් මේ වනවිට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම කැසිනෝ බලපත්‍රය නිකුත් කිරීම පසුපස විශාල ප්‍රශ්නයක් පවතින බවය. මෙම කැසිනෝ ව්‍යාපෘතිය මීට පෙර ආරම්භ කිරීමට එක්තරා සමාගමක් උත්සාහ කළේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදීය. එම යෝජනාව යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් ඉදිරියට රැගෙන එද්දී මහින්දගේ කාලයේදී මෙන් මහා සංඝරත්නය ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් පළකිරීමට පටන් ගත්හ. නමුත් එම විරෝධය කනකට නොගෙන යහපාලන ආණ්ඩුවේ රනිල් පිල එදා කැසිනෝ බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් මහා සංඝරත්නයේ විරෝධය හේතුකොට ගෙන එම ගැටලුව විසඳීම සඳහා එවක කතානායකවරයා වශයෙන් කටයුතු කළ කරු ජයසූරිය මහතා මැදිහත් වී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ එදා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වෙමින් අදාළ කැසිනෝ බලපත්‍රයට විරෝධය පළකොට එය අහෝසි කිරීමට පියවර ගැනීමය. රනිල් පිල විසින් බදු සහන යටතේ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස්, ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස්, ක්වීන්ස්බරි ලෙෂර් ලිමිටඩ් යන සමාගම්වලට නිකුත් කොට තිබූ කැසිනෝ බලපත්‍ර කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කිරීමට මෛත්‍රිපාල පියවර ගත්තේය. 2015.01.31 දිනැති කැබිනට් පත්‍රිකාව යටතේ කිසිම ආකාරයකින් අදාළ හෝටල් පරිශ්‍රයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට අවසර දීමක් හෝ කිසිදු බදු සහනයක් ලබා නොදිය යුතු බව සඳහන් කරමින් එම කැබිනට් පත්‍රිකාව ඒකමතිකව සම්මත කිරීමට කටයුතු කොට තිබිණි. පහත දැක්වෙන්නේ එම කැබිනට් පත්‍රිකාවය.

එවැනි තත්ත්වයක් පැවැතියදී හිටි හැටියේම නැවත වතාවක් අදාළ පරිශ්‍රයේම කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවට බරපතළ ගැටලු කිහිපයක් මතුව තිබේ. දැනට පවතින නීතිය යටතේ කැසිනෝ ශාලාවල ආදායමෙන් 45%ක බද්දක් රජයට ගෙවිය යුතුය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මෛත්‍රිපාලගෙන් පසු ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක වශයෙන් ජනාධිපතිවරු තුන්දෙනෙක් ධුර දැරීම නිසා මෛත්‍රිපාලගේ කැබිනට්ටුව විසින් ඒකමතිකව අහෝසි කරනු ලැබූ කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම යළිත් ආරම්භ කරනු ලැබුවේ කුමන ජනාධිපතිවරයා යටතේදැයි කියාය. මෛත්‍රිපාල විසින් ඒකමතිකව සම්මත කළ කැබිනට් පත්‍රිකාව අහෝසි කොට ඒ සඳහා අනුමැතිය ලබාදුන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ කුමන ආණ්ඩුවක් යටතේදැයි කියාය. එසේ අවසර දුන්නා නම් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කොහේද යන්න කියාය. අනෙක් ප්‍රශ්නය වන්නේ එදා කැසිනෝ ශාලාවට බදු සහන ලබා නොදිය යුතු බවට පනවා තිබූ නීතිය මෙවර කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමේදීද වලංගු වී තිබුණාදැයි කියාය. එසේත් නොමැති නම් නව ආයෝජකයන්ට බදු සහන ලබාදී ඇද්දැයි කියාය. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මෙම කැසිනෝ ශාලාවට අවසර දුන් වගකිව යුත්තන් විසින් මෙම ප්‍රශ්නවලට අදාළ පිළිතුරුද සැපයිය යුතු යැයි කියාය. එසේ නොවුණහොත් මේ ප්‍රශ්නය ඉදිරියේදී නීතිය හමුවට යෑමේ බොහෝ ඉඩකඩක් මතුව ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










