බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය. Sri Lanka Latest News
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.
බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ ඊයේ පස්වරු 6ට පමණය.
අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වනවා.
ඔවුන් අද අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.
අනතුර සැළවීමත් සමඟ කඩිනමින් ක්‍රියාත්මක වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස රෝගින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවය.
සිද්ධිය සම්බන්ධව බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.










