හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට සම්බන්ධ ඡන්ද විමසුමට සහභාගී නොවීමට මුලින් ගෙන තීබූ තීරණය වෙනස් කරවීම සදහා අවසන් මොහොතේ තිරය පිටුපස දියත් වූ රහස් දේශපාලන මෙහෙයුම පිළිබද සියලු තොරතුරු මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කිරීමෙන් පසුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට හිතවත් ආර්ථික විශ්ලේෂකයන් කැදවා ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමක් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබුණේ මෙහි ඇතුළත් ඇතැම් කොන්දේසි රටට බරපතළ ලෙස අහිතකර බැවින් සහ ලාබ ලබන රාජ්‍ය ආයතන පවා විකිණීමට සැලසුම් කර ඇති බැවින් ඊට ඡන්දය නොදී සිටීම හිතකර බවකි. එමෙන්ම ඉදිරියේදී ගිවිසුමට එරෙහිව රට ඇතුළේ බරපතළ විරෝධයක් මතුවිය හැකි බවද ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබිණ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබුණේ IMF ගිවිසුමට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණීමටය.
එම තීන්දුවට අනුව ඊයේ දින මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිදුන් වැඳ පුදා ගැනීම සදහා පවුලේ ඥාතීන් සමග මහනුවරට ගොස් තිබිණ.
කෙසේවෙතත් සිකුරාදා දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති සංයුතියට අනුව ඡන්ද විමසීමේදී ගිවිසුම සම්මත වන ලකුණු පහළ කොට තිබුණද 113ක බහුතරය අහිමි වීමේ අවදානමක් ආණ්ඩුව පැත්තෙන් මතුව තිබිණ.
ඒ, මහින්ද රාජපක්ෂ මහතා සමග පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ මෙම ගිවිසුමට ඡන්දය භාවිත නොකිරීමට තීන්දු කොට තිබීම හේතුවෙනි.
මේ හේතුවෙන් 113ක බහුතරය ලබා ගැනීමට නොහැකි බව වාර්තා වීමත් සමග ආණ්ඩුවේ ඉහළ ප්‍රධානීන් ප්‍රකට තෙවන පාර්ශ්වයක් හරහා වහාම බැසිල් රාජපක්ෂ මහතා හට පණිවුඩයක් යවමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තුට ගෙන ඒමට පියවර ගන්නා ලෙස දැනුම් දීමක් කර තිබිණ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කොට කරුණු පැහැදිලි කර දී ඒ මහතා ඇතුලු කණ්ඩායම පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කොට තිබේ.
ඊයේ දහවල් අප එම පුවත විශේෂ පුවතක් ලෙස අප වෙබ් අඩවියේ පළ කිරීමටද පියවර ගත්තෙමු.
කෙසේවෙතත් ඡන්දය විමසීමට සූදානම් වන අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා සබාගැබෙන් පිටත සිට මහින්ද රාජපක්ෂ මහතා හට පණිවුඩයක් එවමින් කියා තිබුණේ ගිවිසුමට පක්ෂව ඡන්දය ලබා නොදී සබාගැබෙන් පිටතට පැමිණෙන ලෙසටය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කරමින් ඡන්දය ලබා දීමට පියවර ගෙන තිබුණද නාමල් රාජපක්ෂ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටීමට පියවර ගෙන තිබිණ.