මේ වනවිට පත් කොට ඇති ස්වාධීන කොමිෂන් සභාවන්හි පාලනය ආණ්ඩුව සතුව නොමැති බවත්, ඒ හේතුවෙන් 22 වන සංශෝධනය හරහා අලුතින් කොමිෂන් සභා පිහිටුවා ඒවා පාලනය කිරීමට කටයුතු කරන බවත්, ඊට තමන්ට විපක්ෂයේ සහාය හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කොට ඇත.
අද පාර්ලිමේන්තුවේ පැවැති හදිසි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබේ.
මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැදවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.
මෙහිදී මන්ත්‍රීවරුන් රැසක් 22වන සංශෝධනයට එරෙහිව අදහස් පළ කොට ඇති අතර ඊට එරෙහිව ජන්දය භාවිත කළ යුතු බව පෙන්වා දී ඇත.
මෙම රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී වී සිටියේ නැති නමුදු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටි බැවින් රැස්වීමට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආශු මාරසිංහ මහතා අතේ පණිවුඩයක් යැවීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කොට තිබේ.
මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ 22 වන සංශෝධනය හරහා විධායක බලතල කප්පාදු වන බවකි.
නමුත් ඊට පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ විධායක බලතල කප්පාදු වී ඇති බවකි.
‘දැන් බලන්න. මේ ස්වාධීන කොමිෂන් සභා වැඩ තරන්නේ කිසිම පාලනයකින් තොරව. මානව හිමිකම් කොමිසමට මගේ ගේ ගිනි තිබ්බ එක ගැන පැමිණිලි කළාම ඒ අය හදන්නේ අපේ අය වැරදිකරුවන් කරන්න. මැතිවරණ කොමිසම මේ වෙලාවේ ජන්ද තියන්න හදනවා. ගෝඨා දාපු අය නිසා මේ අයව අයින් කරන්නත් බෑ. ඒ නිසා අලුත් කොමිෂන් සභා ඇති කරලා අපේ අය ඒවාට පත් කරලා මේවා පාලනයකින් අරන් යන්න වෙනවා.මට ඒකට විපක්ෂයේ සහායත් ලැබෙනවා..’ යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
‘මේ ප්‍රශ්නවලට මෙහෙම උත්තර හොයන්න බෑ.හැමෝම හිතුවේ මම හිට්ලර් කෙනෙක් වගේ වැඩ කරයි කියලා. හැබැයි මම මොළෙන් ගැහුවේ. මේ වෙලාවේ ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙනවා අපෙන් ව්‍යවස්ථා සංශෝධන. ඒක අපි කළ යුතුයි. නැත්නම් අපිට ජාත්‍යන්තර වශයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නෑ…’ යනුවෙන්ද ජනාධිපතිවරයා පවසා ඇත.
ඉන් අනතුරුව පොහොට්ටු මන්ත්‍රීවරු ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන ලෙසත්ය.
ඒ අනුව මෙම සාකච්ජාවෙන් පසු පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙනමම හමුවී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.