බංකොලොත් රටේත් වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරු හියුමන් ඉමියුනෝ ග්බියුලින් නම් අත්‍යාවශ්‍ය ඖෂධයට විවිධ දේවල් මිශ්‍ර කර බාල, ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ජනතාවට ලබා දී ඇති බවත් කිසිදු බියක් සැකයක් නොමැතිව ඇමතිවරයා සහ නිලධාරීන් වංචා සහගත දූෂිත ක්‍රියාවල නියැලී ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ජනතාවට නිකුත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මිට අමතරව තවත් ඖෂධ රැසක් නිසා ජනතාව විපතට පත්ව ඇති බවත් බාල බෙහෙත් නිසා ඇස් පෙනීම නැති වූ විශාල ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් සිටින බවත් මෙවන් තත්ත්වයක් තුළ ණය ගෙවා ගත නොහැකිව රට බංකොලොත් වී කර්මාන්තශාලා වැසී විරැකියාව වැඩි වී ඇති රටකත් ඖෂධවලින් හොරකම් කිරීම සාපරාධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (2) අම්බලන්ගොඩ බටපොළ ශ්‍රී කල්‍යාණතිස්ස විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඖෂධ වංචා සිදු කළ බවට සැක කරන ලද පුද්ගලයන්ගේ ගුවන්ගමන් තහනම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පවසන විට ජනාධිපති කාර්යාලයේ රැස්වීම් ඇති නිසා පැමිණිම කළ නොහැකි බව දැන්වුවත් එවැනි රැස්වීම්වලට පවා ඔවුන් සහභාගි නොවී ඇති බවත් මෙම පුද්ගලයන් අධිකරණය පවා නොමග යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවැනි වැරදි ගණනාවක් සිදු කළ අය අදටත් ඇමති මණ්ඩලයේ සාමාජිකයන් බවත් මේ බාල ඖෂධ නිකුත් කිරීමේ වංචාවට සෞඛ්‍ය ඇමතිවරයා, නිලධාරීන් පමණක් නොව සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයේ දී ඔහු වෙනුවෙන් අත ඉස්සු 113 දෙනාත් වගකිව යුතු බවත් මොවුන් තවමත් ඇමති මණ්ඩලයේ සිටින විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න රජයට බැරි වුණා
නව සෞඛ්‍ය ඇමතිවරයාට පවා මෙම ගැටලුවලට තිරසර විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බවත් එක් පැත්තින් හොර බෙහෙත් ජාවාරම නිසා ජනතාවගේ ජිවිත අනතුරේ වැටුනත් ඇමතිවරයා වෙනත් අමාත්‍යාංශයක සුරසැප විඳිමින් සිටින බවත් මේ නිසා ජනතාවට පරිණත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට වත්මන් පාලකයන් අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මෙම හොරකම් සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්වාධින පරීක්ෂණයක් පවත්වා මෙම වැරදිකරුවන්ට නීතිය අනුව දඩුවම් ලබා දෙනවා සේම මෙරටින් හොරා කන ලද මුදල් සහ එයට සම්බන්ධ සියලු දෙනා නිතිය හමුවට ගෙනවිත් අහිමි වූ සම්පත් දේපල ජනතාවගේ ආයෝජනය උදෙසා යොමු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විකල්ප දේශපාලන පක්ෂ සක්වලටත් බාල්දි පෙරලනවා
පාසල් ළමුන්ට සුහුරු පන්ති කාමර, බස් රථ ලබා දෙන විට සමහර පාසල්වල විදුහල්පතිවරයා ප්‍රමුඛ සමහර ගුරුවරුන් මෙම වැඩසටහන ප්‍රතික්ෂේප කරන බවත් එයට හේතුව ඔවුන් විසින් ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරමුණින් ළමුන් වෙනුවෙන් ලබා දෙන මෙම උපකරණ ප්‍රතික්ෂේප කිරිම බවත් තමා කිසිදු අවස්ථාවක මෙම උපකරණ ලබා දීමේ දී දේශපාලන පක්ෂ, කුල භේද නොසලකන බවත් සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සමස්ත සිසු පරපුර නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට මිස දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පෞද්ගලික දේශපාලන මත වෙනයි. සක්වල වෙනයි. ඒ දෙක පටලවාගන්න එපා
දිවයිනේ බොහෝ පළාත්වල සමහරක් විකල්ප දේශපාලන මත දරන ගුරුවරුන් මෙම වැඩසටහනෙන් ලබා දෙන උපකරණ ප්‍රතික්ෂේප කර සිටියේ එය තමාගේ දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් විසින් සිදු කරන නිසා බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා මෙම සුහුරු පන්ති කාමර උපකරණ පාසල්වලට ලබා දුන්නා කියා එම පාසලේ සිටින ගුරුවරු තමන්ගේ පෞද්ගලික දේශපාලන මත වෙනස් කර ගත යුතුය කියා නීතියක් නොමැති බවත් තමා සේවය කරන්නේ තවමත් ඡන්දයක්වත් නොමැති 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කවුරුහරි දරුවන්ට හොඳක් කරනවා නම් කුහක වෙන්න එපා
තමන්ගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබා ගැනීමට හෝ ලබා නොගැනිමට කේවල් නොකරන ලෙසත් දරුවන්ට කවුරුන් හෝ සෙතක් සලසනවා නම් කුහක නොවී ඒ සඳහා උදව් කරන ලෙසත් හොඳම දේ දරුවන්ට ලබා දීම අප සැමගේම යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 79ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 771ක් වැය කර තිබේ.





















