‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ…’ යනුවෙන් අපූරු කියමනක් අපගේ ජනවහරේ ඇත. සිංහල ජනවහරටම අනන්‍ය වූ මෙම වදන යම් කාලයක් ආර්ථවත් කරන ප්‍රස්ථාව පිරුළකි. මෙයින් කියැවෙන්නේ ‘අසාමාන්‍ය දේ සිදුවන කාලයක සාමාන්‍ය දේ පවා අනිසි ලෙස හැසිරෙන බව’යි. ස්වභාවිකව තිත්ත නොවන ‘ලබු’ අකාලයේ තිත්ත වීමෙන් අදහස් කරන්නේ එම අරුතයි. තවත් ආකාරයකින් අර්ථවත් කරන්නේ නම් යහපත් ගුණාංග නැති නොමග ගිය කාලයක සාමාන්‍ය දේවල් පවා දෝෂ සහිත වීමය. මෙම අපූරු ජන කියමන යම් රටක පාලන තන්ත්‍රයට අදාළවද අරුත් ගැන්වෙන අයුරු දක්නට හැකිය. එනම් යම් රාජ්‍ය පාලන තන්ත්‍රයක පිරිහීමක හෝ සමාජ අර්බුදයකදී සිදුවන අසාමාන්‍ය සිදුවීම් පෙන්වා දීමටද යෙදාගැනෙයි. එහෙයින් මෙම අපූරු කියමන දේශපාලන හෝ රාජ්‍ය පාලනය තුළද රසවත් අරුතක් මවනු ඇතිය.’Sri Lanka Latest News
අපේ සිංහල රජවහරක වතගොත ලියා තබමින් ඔබට මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එයට හේතුව නම් මෙයට දින කීපයකට පෙරදී අපට අසන්නට ලැබුණු අපූරු කතාවකි. මෙය අසන්නට ලැබුණේ අපගේ ශ්‍රී ලංකාවට යාබද දේශයක් වන බංග්ලාදේශයෙනි. දකුණු ආසියාතික රාජ්‍යයක් වන බංග්ලාදේශය පසුගිය වසර දෙකක පමණ කාලයක් පුරා නොයෙකුත් ආකාරයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ රටක් ලෙස ප්‍රකටය. එනම් එරට වත්මන් වටපිටාව සොයා බලන්නට ප්‍රථම ඉහත පැවසූ අතීතයේ තොරතුරු යමක් සොයා බලමු.
යම් ආකාරයකින් යහපත් හා සාමකාමී වටපිටාවක් තිබුණු බංග්ලාදේශය මහා ගිනි ජාලාවක් බවට පත්වූයේ පසුගිය 2024 වසරේ ජුනි මාසයේදීය. එසේ වූයේ එරට තුළ මහා තරුණ ජන අරගලයක් ආරම්භ වීම හේතුවෙනි. එනම් එරට විශ්වවිද්‍යාල සිසුන් විසින් ප්‍රාථමික අයුරින් ආරම්භ කළ උද්ඝෝෂණය, කෙටි දිනක් ඇතුළතදී එරට පොදු ජනතාව පවා සහභාගි වූ මහා බියකරු ජන අරගලයක් බවට පත්විය. එකල බංග්ලාf්දශයේ වසර 15ක් පුරා (2009 සිට 2024 දක්වා) අගමැති ධුරය දරමින් නොකඩවා ඒකාධිපති පාලනයක් ගෙනගිය ෂෙයික් හසීනා අගමැතිවරිය පන්නා දැමීම සහ එම රාජ්‍ය පාලනය බිඳදැමීම මෙම තරුණ අරගලයේ ප්‍රධාන අරමුණ විය. Gen Z Revolution ලෙසින් හැඳින්වූ මෙම අරගලය දිනෙන් දින බියකරු උච්ච තත්ත්වයට පත්වෙමින් මාසයකුත් දින 04ක් පුරා (2024 ජූනි 01 සිට අගෝස්තු 05 දක්වා) පැවැත්විණි. මෙම අරගලය කෙතරම් බියකරු ම්ලේච්ඡ එකක් වූයේද යත් එරට අහිංසක මිනිස් ජීවිත 1581ක් අමු අමුවේ ඝාතනයට ලක්විය. මෙයින් බහුතර පිරිස තරුණ තරුණියන් විය. බංග්ලාදේශයේ රාජ්‍ය හමුදාවල වෙඩි උණ්ඩයට මොවුන් බිලි විය. එසේම තවත් 12,000ක පිරිසක් තුවාල ලබා තවත් 11,000ක පමණ පිරිසක් අත්අඩංගුවට පත්වූහ. මෙම සියලු දත්ත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිකුත් කරන ලද නිල සත්‍ය ලේඛනයන් විය. කෙසේ හෝ අවසානයේ ෂෙයික් හසීනා අගමැතිවරිය රටින් හොර රහසේ ඉන්දියාවට පලාගිය අතර, රජය බිඳවැටීමකට පත්විය. අනතුරුව අරගලය සිදුකළ තරුණ කණ්ඩායම් තම ජයග්‍රහණය තහවුරු කරගත් අතර, නව පාලකයන්ගෙන් යුත් අන්තර්වාර රජයක්ද පිහිටුවා ගත්තේය. මෙයට වසර 02කට පමණ පෙර සිදුවූ ජන අරගලයේ යම් ආවර්ජනයක් මෙසේ ලියා තැබුවේ වර්තමානයේදී බංග්ලාf්දශයේ සිදුව ඇති නවතම සිදුවීම ඔබට වඩාත් අවබෝධ කරවන්නටය. එම කතාව සොයා බලමු.
පසුගිය බංග්ලාදේශ අන්තර්වාර රජය පාලනය යටතේදී ඉදිරියේදී එරට මහ මැතිවරණයක් පවත්වන බවට පොරොන්දුව වී තිබිණි. ඒ අනුව කටයුතු සම්පාදනය වූ අතර, 2026 මහ මැතිවරණය පසුගිය පෙබරවාරි 12 වැනිදා පවත්වන ලදී. මේ සඳහා එරට ප්‍රධානතම දේශපාලන පක්ෂ කිහිපයක්ම පෙරමුණ ගෙන ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත විය. මෙහිදී ප්‍රධානතම දේශපාලන පක්ෂ 03ක් තරග වැදුණු අතර, ඉන් පක්ෂ 02ක් පැරැණි ඉතිහාසයක් ඇති දේශපාලන පක්ෂ වූ අතර, එක් පක්ෂයක් පසුගිය 2024 තරුණ අරගලයෙන් පසුව බිහිවූ තරුණ පරපුර නියෝජනය කරන නවක පක්ෂයක් විය. ඒ අනුව මෙවර 2026 බංග්ලාදේශ මහ මැතිවරණය අතිශය උද්වේගකර එමෙන්ම දැඩි තරගකාරී එකක් විය. සාම්ප්‍රදායික පක්ෂ දෙකක් සමග එරට වසර 15ක තිබුණු ඒකාධිපති පාලන තන්ත්‍රය බිඳදැමූ සහ අරගලය මෙහෙයවූ තරුණ පක්ෂය තරග වැදීම මුළුමහත් ලෝකය පුරාම ආන්දෝලනයක් ඇතිකිරීමට සමත් විය. මෙම මැතිවරණයේ නවතම තතු සොයා බලන්නට ප්‍රථම ඒ සඳහා මෙලෙස තරග වැදුණු පක්ෂ තුන ගැන සොයා බලමු. එසේම එයට නායකත්වය දුන් දේශපාලන නායකයන් කවුරුන්දැයි සොයා බලමු.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (Bangladesh Nationalist Party) – බංග්ලාදේශයේ 06 වැනි ජනාධිපති ධුරය දැරූ හමුදා පාලකයකු වන සියාවුර් රහමාන් විසින් 1978 වසරේදී මෙම පක්ෂය ආරම්භ කරන ලදී. එරට යුද හමුදා කුමන්ත්‍රණයකින් 1981දී සියාවුර් රහමාන් ඝාතනය කරන ලදී. ඉන් පසුව ඔහුගේ බිරිය වූ කලීඩා සියා වෙත පක්ෂයේ බලය පැවරුණු අතර, කාලය යත්ම ඇය බංග්ලාදේශයේ 09 වැනි අගමැතිවරිය ලෙසට වසර 10ක් කටයුතු කළාය. එරට පසුව පත්වූ හමුදා රජයක් මගින් ඇයට සහ පුතුන් දෙදෙනාට දූෂණ චෝදනා නගා ඇය සිරගත කරන ලදී. 2018දී ඇයට වසර 17ක සිර දඬුවමක් නියම වුවද පසුව 2024 අරගලයේදී ඇය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය. පසුගිය 2025 දෙසැම්බර් 30 දා ඇය 79 වැනි වියේදී වකුගඩු ආසාදන රෝගී තත්ත්වයෙන් මියගියාය. ඉන් පසුව පක්ෂයේ නායකත්වය ඇයගේ වැඩිමහල් පුත් ටාරික් රහමාන් වෙත පවරන ලදී. දැනට 60 වැනි වියේ පසුවන මොහු පසුගියදා බංග්ලාදේශ මහ මැතිවරණය අතිසාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කළේය.
දැන් ඔබ මෙම කතාවේ වටපිටාව හොඳින් අවබෝධ කරගෙන ඇති අතර, මෙහි සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයට ඔබ පැමිණ සිටින්නේය. එසේනම් දැන් බංග්ලාදේශයේ සිදුව ඇත්තේ කුමන පරිවර්තනයක්ද? එනම් මෙවර මැතිවරණයෙන් බංග්ලාදේශ් ජාතිකවාදී පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත. එනම් එරට පාර්ලිමේන්තුවේ මැතිවරණ ආසන 299කින් ආසන 212ක්ම හිමිකර ගෙන ඇත්තේ මෙම පක්ෂය වන අතර, එය 49.97%ක ප්‍රතිශතයකි. මේ අනුව එම පක්ෂයේ නායක ටාරික් අහමාන් තව නොබෝ දිනකින් බංග්ලාදේශයේ අගමැතිවරයා ලෙසට පත්වනු ඇත. දෙවැනි ස්ථානයට පත්වූ ජමාත් – ඊ – ඉස්ලාම් පක්ෂය ආසන 68ක් හිමිකරගෙන ඇත. තෙවැනියට ජාතික පුරවැසි පක්ෂය ආසන 06ක් පමණක් හිමිකරගෙන අන්ත පරාජයකට පත්ව ඇත. එම ප්‍රතිශතය 3.05%ක් පමණි.
දැන් ඔබ මෙම කතාවේ කූටප්‍රාප්තියට පැමිණ සිටින්නේය. අද බංග්ලාදේශ මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයෙන් සිදුව ඇත්තේ කුමක්ද? අද මෙම තත්ත්වය ලෝක දේශපාලන විශ්ලේෂකයන් රැසක් දැඩි ලෙස අවධාරණයට ගෙන ඇත. එනම් එරට මෑතකදී සිදුවුණු තරුණ ජන අරගලයෙන් පසුව පත්වූ අන්තර්වාර රාජ්‍ය පාලනයන් පසෙකටලා එරට කාලයක් පුරා පාලනය සිදුකළ පවුල් බලයෙන් බලගතු වූ පක්ෂයක් නැවත බලයට පත්වීමය. පසුගිය සමයේදී එරට ජනාධිපති ධුරය දැරූ පියෙකුගේ සහ අගමැති ධුරය දැරූ මවකගේ පුත්‍රයකු අද එරට නායකයා බවට පත්වී ඇත. දැන් එසේනම් එරට රාජ්‍ය පාලනය පසුගිය දා තරුණ අරගලය හරහා බිඳදැමූ තරුණ නායකයන්ට කුමක් වීද? ජන සංහාරයක් මතින් ලබාගත් එම මහා ජයග්‍රහණයට අද කුමක් සිදුවුණේද? පසුගියදා එම ජන අරගලය මෙහෙයවූ ජාතික පුරවැසි පක්ෂය මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 32ක් තරග කළ නමුත් එයින් දිනාගැනීමට හැකිවූයේ ආසන 06ක් පමණි. මෙයින් පෙනීයන්නේ පොදු ජනතාව තරුණ රැල්ල සමග නොසිටින බවද? තත්ත්වය කෙසේ වුවද හිටපු අගමැතිනි කලීඩා සියා නොහොත් නව අගමැති ටාරික් සියා රහමාන්ගේ මව, බංග්ලාදේශය ජනතාව අතර ආදරයක් දිනා සිටින කාන්තාවකි. මෙහි අනෙක් සුවිශේෂ කතාව වන්නේ ටාරික් රහමාන් යනු පසුගිය වසර 07ක් පුරා යුරෝපයේ ජීවත්වූ පුද්ගලයකු වීමයි. මේ ආකාරයට බලන විට බංග්ලාදේශයට නැවත පවුල් බලය පැමිණ ඇති අතර, තරුණ බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇත. මෙවැනි අරුම පුදුම ජනතා තීන්දු තවත් ලෝකයේ කොහේ කොහේ රටවල අනාගතයේද සිදුවේද? ‘අන්තෝ ජටා බහි ජටා’ යැයි කියන්නේ මේවාටය.

ප්‍රියන්ත හෙට්ටිගේ











