ඊයේ පෙරේදා සියදිවි නසාගත් බව කියන රංග රාජපක්ෂ ගැන බොහෝ කතාබහ මුහුණු පොතේ දැකගන්නට හැකිය. ඒ අනුව ඔහු අවංකයෙකි. හොඳ සැමියෙකි. රත්තරන් පියෙකි. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා පිළිබඳවද මෙහිදී මාගේ කතිකාවක් නැත. ඒ පිළිබඳ සෙස්ස පස්සටය. රංග රාජපක්ෂ හොරෙක් නොවන බවට ඔහුගේ මිතුරන් පවසනු දැකිය හැකිය.Sri Lanka Latest News
පහත පළවන නිදසුන් කිහිපය අනුව රංග රාජපක්ෂ පමණක් නොව සිය ගණනක් ජවිපෙ කේඩර්වරුන් 1965 ආරම්භයේ සිට වර්තමාන තෙක් දිවි දුන්නේ ‘නිර්ධන පන්තිය වෙනුවෙන් ජවිපෙ අරමුණු’ වෙනුවෙන් බව ඔවුහු කියති. මේ, ඒ පිළිබඳ ආවර්ජනයකි.
මෙහි එක් පසක (වම්පස) පළවන ඡායාරූපය 1971 පෙබරවාරි 17 වැනිදා ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ල වෙනුවෙන් කොළඹ යෝර්ක් වීදියේ ලංකා බැංකුවේ රුපියල් 57,000ක් (එවකට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 6කි) පැහැරගෙන යෑමෙන් පසු ජවිපෙ 71 කැරැල්ල වෙනුවෙන් විජේවීරට ලබාදුන් අතර ලංකා බැංකුවේ සහකාර මුදල් අයකැමි කොල්වින් ජයසිංහය. අදාළ මුදල ලබාදීමෙන් පසු ජයවර්ධනපුර සරසවියට ගොස් හිස මුඩුකොට මහණවී හලාවත පන්සලකට ආරියරත්න හිමි සමග ගොස් 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කැරැල්ලට එක්වන ලෙසට ඔහුට කියා තිබිණි.
මෙහි තවත් ඡායාරූපයකින් දැක්වෙන ජවිපෙ දෙවැනි කැරැල්ල පරාජයත් සමගම ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වීමෙන් අසරණ වූ පවුල් දහස් ගණනක් වෙනුවෙන් ජවිපෙ තීරණය අනුව හැකි පමණින් සරණක් වන්නට ඉතිරිවූ කැරලිකරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් වැඩ කළ කඩවත පදිංචි උදය කුමාර රණතුංගය. ‘දිවයින’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1984 ජනවාරි සිට මෙම ලේඛකයා කටයුතු කළ කාලයේ පුවත්පතේ පිටු සැකසුම් ශිල්පීන් අතර රණතුංගද විය. උපාලි පුවත්පත් ආයතනයට රණතුංග බැඳුණේ 1982 පෙබරවාරි 02 වැනිදාය.
රත්මලානේදී 1992 අගෝස්තු 14 සිදුවූ රුපියල් ලක්ෂ 48 දුම්රිය වැටුප් මංකොල්ලය පසුපස හඹාගිය පොලිසියට අවසානයේ උදය කුමාර රණතුංග කොටුවිය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ මියගිය සගයන්ගේ දරු පවුල් ආරක්ෂා කරනු වස් රණතුංග ජවිපෙ වෙනුවෙන් තවත් පිරිසක් සමග එක්ව එම ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන්නේය. එය සිදුකළේය. දුම්රිය වැටුප් මංකොල්ලයේදී කැරැලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ දුම්රිය සේවකයන් තිදෙනෙක් මරුමුවට පත්වූ අතර 9 දෙනකු තුවාල ලැබීය. රණතුංගගේ මව ගුරුවරියක් වූ අතර ඔවුට සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් විය. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රණතුංග බැලීමට මම තෙවරක් ගියෙමි. ජවිපෙ වෙනුවෙන් ඔහුගේ තාරුණ්‍යය පමණක් නොව ජීවිතයද කැපකර තිබිණි. ඒ කිසිදු ප්‍රතිලාභයක් නොතකාය. ඒද ජවිපෙ වෙනුවෙනි.
මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමකින් උදය කුමාර රණතුංග ඇතුළු රිමාන්ඩ් සිරකරුවන් 5 දෙනකු 1993 සැප්තැම්බර් 06 ඝාතනය කර තිබිණි. ඒ අතර රණතුංග සමගම ගම්පහ ලක්ෂ්මන් ධර්මසිරි, ගම්පහ රවීන්ද්‍ර බැද්දෙවිතාරණ, රාජාංගනයේ රෝහිත සේනාධීර, බදුල්ලේ විමලදාස මහර බන්ධනාගාරයේදී ඝාතනයට පත්වූ අය අතර වූහ. බන්ධනාගාරයෙන් එම සිරකරුවන් පලායෑමේදී එම ගැටුම සිදුවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේය. ජවිපෙ වෙනුවෙන් එවැනි කාර්යභාරයක් කළ රණතුංග ගැන අද වනතෙක් කරුණු කාරණා සහිතව මා හැර කිසිවෙක් සඳහන් කර නැත. කඩවත සූරියගම නිවසේ රණතුංගගේ දේහය තැන්පත් කර තිබිණි. අත්අඩංගුවේ පසුවූ ඔහුගේ බිරිඳ ස්වර්ණා රාජපක්ෂ පැය කිහිපයකට ලැබුණු අවසරය මත බන්ධනාගාර නියාමකවරියන් සමග පැමිණ දේහය අසල වැලපෙනු ලේඛකයාට දක්නට ලැබිණි. සිඟිති දියණිය හෙළ මේධානි සෙල්ලම් කරමින් සිටියාය.
මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේ ජවිපෙ පූර්ණකාලීනයකු වශයෙන් 1976 සිට එක්වූවෙකි. ධර්මසේන ජවිපෙ දෙවැනි කැරැල්ලේදී 1985 මාර්තු මස ගුරු වැටුප් මංකොල්ලයකදී අම්බලන්තොට නෝනගම වැලිපැටන්වලදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට පත්ව තිරස්චීන පහරදීම්වලින් පසුව ඝාතනයට ලක්වූවෙකි. කිසිදු තොරතුරක් ඔහු හෙළි නොකළේය. අවසානයේ ඝාතනයට පත්විය. ඒ ජවිපෙ වෙනුවෙනි. මම ඔහුගේ නිවසටද ගියෙමි.
මට මෙහිදී සිහිපත් වන්නේ ජවිපෙ දෙවැනි කැරැල්ලේ සිටි කෑගල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් එම්.එච්. පියසේන හෙවත් මිලින්ද සේරම්ය. කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ලයට ඔහු සම්බන්ධය. මම ඔහුද හමුවී ඇත්තෙමි. 1988 මැයි මස කෑගල්ලේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් සේරම් පොළොන්නරුව වයි.එම්.බී.ඒ. ශාලාවේ පැවැති වධකාගාරයේ කලක් මුළුල්ලේ තිරස්චීන වධබන්ධනවලට මුහුණ දුන්නද කිසිවෙක් පාවා නොදීම නිසා පසුව ඝාතනය විය. ඒ ජවිපෙ ප්‍රතිපත්ති වෙනුවෙනි.
සියදිවි නසාගත් බව කියන රංග රාජපක්ෂ පිළිබඳවද ජවිපෙ ඉතිහාසය තුළ තව වසර කිහිපයකට පසු මෙසේ සඳහන් වුවද පුදුම වියයුතු නොවේ. ඒ ප්‍රවීණ පුවත්පත් කලාවේදී අජිත් සමරනායකයන් රණතුංගගේ අවමඟුල් සභාවේදී ප්‍රකාශ කළ පරිදි ‘මේ වැතිර සිටින්නේ සොරෙක්, මංකොල්ලකාරයකු නොව මිනිස් වීරයෙකි. නමුත් එය එසේ යැයි පිළිගනු ඇත්තේ වර්තමානයේදී නොව අනාගතයේය’.
එහෙත් ඉතිහාසය විසින් මේ සියලු දෙනා පිළිබඳ සත්‍ය හෙළිවීම කිසිදා කිසිවකුට වැළලිය නොහැකි සත්‍යයකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න










