ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන නිශ්චිත කාලයක් නොමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
පළමු පියවර නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවයක් ඇති විය යුතු බවත් දෙවැනි පියවර නම් මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීරණ වීම බවත් පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.
මෙම පියවර දෙක සම්පූර්ණ වූ පසු ඉදිරියට යා හැකි බවත් ඉන් අනතුරුව සමාලෝචන වාර්තාව සකස් කිරීමට යම් කාලයක් ගතවන බවත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටද තවත් යම් කාලයක් ගතවන බවත් පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.කෙසේ නමුත් මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සෑහීමකට පත්වන බවද පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමුවරට අනාවරණයක් කරමින් කියා සිටියේ බොහෝදුරට මූල්‍ය අරමුදල දෙවන වාරිකය ලංකාවට ලබා දීම පමා කරනු ඇති බවකි.
එහ හෙළදරව්ව මෙසේය.
පැරිස් සමාජය පස්ස ගහයි!
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ලෝක බැංකු නියෝජිතයන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ද මුණගැසුණේ මෙවැනි ආන්දෝලනාත්මක පසුබිමක් මධ්‍යයේය. එහිදී ප්‍රධාන තැනක් ගත්තේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සමග පැවැති සාකච්ඡාවය. ඒ, ලංකාවට ණය ආධාර ලබාදීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට ලංකා ආණ්ඩුව සමත් වී නොමැති පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වීම හේතුකොටගෙනය. ඇත්තම කියනවා නම් තවමත් ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පවතින්නේ විශාල අවුලකය. ඊට හේතුවී ඇත්තේ ලංකාවේ ණය හිමි බටහිර රටවල් සහ චීනය විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දෙපැත්තක සිටීමය. ඇමෙරිකාව, පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය ප්‍රමුඛ රටවල් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය ඇතුළු සියලු රටවල් එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බව කියද්දී චීනය එම සාකච්ඡාවලට සහභාගි නොවී එය ප්‍රතික්ෂේප කිරීමත්, චීනය පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කොට පෙන්විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමත් මෙම අර්බුදයට මුල්වී තිබේ. ඒ අනුව මෙම අර්බුදය සමතයකට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබිණි.
යහපත් ප්‍රතිචාර නෑ!
මුලින් පැරිස් සමාජය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට එකඟ වී තිබුණත් මේ වන විට මතුවෙමින් පවතින ජාත්‍යන්තර අර්බුදය නිසාදෝ පැරිස් සමාජය එම වැඩපිළිවෙළ කුමක්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පැරිස් සමාජය තුළ සිරවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව ලංකාව පෞද්ගලික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පාර්ශ්ව කිහිපයක් හරහාම පැරිස් සමාජයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ලබාගැනීමට උත්සාහ කොට තිබුණද ඒ කිසිවක් සාර්ථක වී තිබුණේ නැත. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන තෙක් චීනය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම එහි ඇති අනෙක් ලොකුම ප්‍රශ්නයය. ජනාධිපතිවරයාගේ චීන සංචාරය ලබන මාසයේදී යොදාගෙන ඇති බැවින් එම සාකච්ඡාවන්ට සහභාගි වීමට ප්‍රථම පැරිස් සමාජයේ වැඩපිළිවෙළ එළිදක්වා ගැනීම අත්‍යාවශ්‍ය නිසා ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමග පැවැති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කිරීමට කටයුතු කොට ඇති බව බොහෝ දෙනාගේ අදහසය.
IMF මත දෙක!
ඇමෙරිකාවේදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එසේ සාකච්ඡා පවත්වද්දී මේ දිනවල ලංකාවේද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය පළමු සමාලෝචනයේ සාකච්ඡාවන්ට සහභාගි වී සිටින ආකාරයක් දැකගන්නට තිබිණි. මෙම සාකච්ඡාවන්හිදී මතුව ඇති කරුණු මුල්කරගෙන ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ කරන අතර, එක් මතයකින් කියැවෙන්නේ තවමත් ලංකාව ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉටුකර නොමැති බැවින් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 333ක මුදල ලබාදීම ප්‍රමාද කරනු ඇති බවකි. දෙවැනි මතය වී ඇත්තේ කොන්දේසි ඉටු නොකර තිබුණද මූල්‍ය අරමුදල විසින් මෙවර වාරිකය ලබාදී තුන්වැනි වාරිකය ලබාදීම අත්හිටුවනු ඇතැයි කියාය.