බැඳුම්කර හොරු ඉන්න කිසිම පක්ෂයක් සමග සමගි ජන බලවේගය එකතු නොවන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
මේ බැඳුම්කර හොරුන් ඩීල් දමාගෙන, පාර්ලිමේන්තුව තුළත් ඩීල් දමාගෙන අරක්කු ව්‍යාපාර පවා සක්‍රීය කරගැනීමට කටයුතු කළ බවද ඒ මහතා කීය.
විපක්ෂයෙන් හුස්මක් 20 වන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
සමගි ජන බලවේගයේ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 20වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක් (රු. 2,320,000) වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. සෙන්තුර්පතිරාජා වෙත පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න, ද්‍රවිඩ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.සුමන්තිරන්, සෙල්වම් අඩෙයිකිලනාදන්, ගෝවින්දන් කරුණාකරම්, විනෝ නෝහාර්තලිංගම්, ශානක්‍යන් රාසමාණික්කම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.












