දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි සුවිසල් නිවෙසේ තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (2) සවස සොයාගෙන තිබේ.
මළසිරුර තිබී ඇත්තේ නිරුවතින් වූ අතර, සිරුර හඳුනාගැනීමට නොහැකි පරිදි ඉදිමී තිබී ඇත. පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක්ද ඇති බැවින් පොලිසිය විශ්වාස කරනුයේ මෙය ඝාතනයක් විය හැකි බවයි. හිසට පහර දීමකින් මේ ව්‍යාපාරිකයා ඝාතනය කර නිරුවත් සිරුරු ඇදගෙන විත් පිහිනුම් තටාකය වෙත දමා ඇති බව මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
මේ ව්‍යාපාරිකයාගේ යටඇඳුම් මෙන්ම තවත් ඇඳුම් කිහිපයක්ම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ඇති අතර, ඔහු මිය යන විට සිට ඇත්තේ නිරුවතින් බවට සැකයක් ඒ අනුව මතු වන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය. පිහිනුම් තටාකය පිහිටි ස්ථානයේම උපත් පාලන කොපු දෙකක්ද තිබී ඇති අතර, ඉන් එක් උපත් පාලන කොපුවක් භාවිත කර ඇති බව පෙනී යන බවද එම නිලධාරියා කීය.
මේ ව්‍යාපාරිකයා 50 හැවිරිදි වියේ පසු වන අවිවාහක තැනැත්තෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ‘මයාරා‘ නිවෙසේය. ඔහුගේ සිරුර හමු වූ නිවෙස අලුත්වැඩියා සිදු කරමින් පවතින එකක් බවත් එහි තවමත් ඔහු ස්ථිර ලෙස පදිංචියට ගොස් නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මේ කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ පසුගිය 30 දා සිටය. මෙදින සවස 5.30ට පමණ මේ ව්‍යාපාරිකයා වැල්ලම්පිටියේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය ගොස් ඇත්තේ ඔහුට අයත් KE 9998 අංකය දරන මෝටර් රථයේ නැඟීය. සවස 7.00ට පමණ ව්‍යාපාරිකයාගේ නැඟණිය ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇති අතර, ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇය එම ඇමතුම දී ඇත්තේ රාත්‍රී ආහාර සූදානම් කිරීම සම්බන්ධයෙන් බව සඳහන්ය. පසුව ඔහු රාත්‍රී 7.29ට පමණ සිය නැඟණියට ඇමතුමක් ගෙන තමා ඇමතුවේ ඇයිදැයි විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
එම ඇමතුමෙන් පසු සිය සහෝදරයාගේ ජංගම දුරකතනය පවා අක්‍රිය තත්ත්වයෙන් පැවති බවත්, ඔහු අතුරුදන්ව සිටින බවත් සඳහන් කරමින් නැඟණිය විසින් පෙරේදා (1) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. මේ අතර යම් සැකයක් මත නැඟණිය ඇතුළු පවුලේ සාමාජිකයන් පැලවත්තේ පිහිටි නිවෙසට ගොස් ඊයේ කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිඩ් කාඩ් පත් 4ක් අතුරුදන්ව ඇති බවද පොලසිය විසින් හෙළි කරගෙන ඇත. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිඩ් කාඩ් පත් මඟින් ගුවන් ටිකට් පත් 5ක් වෙන් කරගෙන ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ල ලැබීමෙන් පසු වැල්ලම්පිටිය පොලිසිය කළ මූලික විමර්ශනයකදී පෙනී ගොස් තිබුණේ එක්සත් රාජධානියට ගුවන් ටිකට් පත් 2ක් වෙන් කරගෙන ඇති බවයි. එහෙත් මේ ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු හෙළි වී ඇත්තේ ඉන්දුනීසියාව බලා යෑමට ගුවන් ටිකට්පත් 5ක් වෙන් කරගෙන ඇති බවකි. එසේම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා භාණ්ඩ මිල දී ගැනීමක්ද එක් ක්‍රෙඩිඩ් කාඩ් පතකින් සිදු කර ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇත.
මේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවකගේ සම්බන්ධයක් ඇති බව බැලූ බැල්මටම විමර්ශකයන්ට පෙනී ගොස් ඇත. එම කාන්තාව සමඟ ඔහු පැලවත්තේ සිටි නිවෙසේ සිටියදී ඇගේද සහාය ඇතිව යම් පිරිසක් විසින් ඔහු ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශකයෝ සැක කරති.
ඝාතනය සිදු වූ නිවෙසේ ආරක්ෂක කැමරා සවි කර නැති බැවින් අවට නිවාස සහ ගොඩනැඟිලිවල ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කරමින් එම කාන්තාව සහ ඝාතකයා හඳුනාගැනීමට පියවර ගැනීමට පොලිසිය විසින් ඊයේම මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
ව්‍යාපාරිකයාගේ සිරුර හමු වූවත් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ඊයේ සවස් වන තුරුම හමු වී නැත. පොලිසිය සැක කරනුයේ ව්‍යාපාරිකයාගේ ඝාතකයන් මේ වන විට රටින් පලාගොස් ඇති බවයි.
ගයාන් කුමාර වීරසිංහ