බිම් මට්ටමින් ගලා එන අදහස් තුළින් උතුරු පළාතෙත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේත් සංවර්ධන කටයුතු සිදු කරනා බවත් කිසිදු දවසක ක්‍රියාත්මක නොවුණු ඓතිහාසික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරපු මේ විපක්ෂ නායකවරයා රටේ නායකයා වු පසු කිළිනොච්චි දිස්ත්‍රික්කය දියුණු කරනා බවට පොරොන්දු වන බවත් මේ ප්‍රදේශයට වෙනමම කර්මාන්ත ජනපද මෙන්ම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ඉන්දියාවෙ ඇති IIM, IIT වැනි ආයතනවල ආකෘතිය ගෙන එවැනිම ආයතන අප රටේත් ආරම්භ කර ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ ආයතන ආරම්භ කරනා බවත් ඒ සඳහා ඉන්දියාව ඇතුළු සෙසු රටවල සහාය ලබා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 9) කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 225 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
ලක්ෂ 220ම 1st class citizenලා
මෙරට 1st class citizens, 2nd class citizen, 3rd class citizen කියා වර්ගීකරණයක් නොමැති බවත් සැවොම එක හා සමාන බවත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු ලක්ෂ 220 ජනතාවම 1st class citizen බවත් ඒ සඳහා වන පහසුකම් පරිපාලන ක්ෂේත්‍රයේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ නොමැති නිසා එය භූමියේ යථාර්ථයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
13 වැනි සංශෝධනය බලාත්මක කරනවා
විවිධ නායකයන් විවිධ වේලාවල විවිධ බොරු විවිධාකාරයෙන් කියමින් සිටියත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට සමගි ජන බලවේගය සෑම අවස්ථාවකම පවසා ඇති බවත් ජාත්‍යන්තර කම්කරු දිනයේදී පවා එම ප්‍රතිඥාව ලබා දුන් බවත් උත්තරීතර නීති පොතේ ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනා බවත් උතුරත් නැගෙනහිරත් බස්නාහිරත් රටේ පළාත් 9 ජනතාවට එම පොරොන්දුව දෙන බවත් එය ක්‍රියාත්මක කිරීමට මැලි නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ තුළින් මේ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන, ආගමික, සමාජීය, සංස්කෘතික අයිතිය ලබා දෙන බවත් රටේ මූලික අයිතිය කියන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය පුළුල් කරනා බවත් ඒ සඳහා ආර්ථික, සමාජීය, ආගමික, සෞඛය, අධ්‍යාපන අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි එකට එකතු වෙලා රට ගොඩනගමු
13 වැනි සංශෝධනය ගැන කියද්දි විවිධ නායකයෝ අහක බලා ගැනීම, ඇහුන් නැ වගේ සිටිම, වෙනත් මාතෘකා ගෙන ඒම,බය වීම, ලැජ්ජ වීම් සිදු කරන බවත් ඔවුන් දේශපාලන අවස්ථාවාදීන් වුවත් තමා කෙළින් කතා කරන අයකු ලෙස 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනා බවත් සිංහල වුවත් දමිළ වුවත් බර්ගර් වුවත් මුස්ලිම් වුවත් එක අම්මගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගෙන රට ගොඩ නැගීමට එකතු වන ලෙස ද මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.
අනික් අය වැඩ නොකළට අපි වැඩ කරනවා
විවිධ දේශපාලනඥයන් උතුරට ඇවිත් රජයේ සම්පත් බෙදුවට තමා බෙදන්නේ විවිධ පරිත්‍යාගශීලීන් ලබා දුන් ආධාර බවත් විපක්ෂයේ වෙනත් පක්ෂ වැඩ නොකළට තමා ඇතුළු පිරිස වැඩ කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්ද මල්ල වැඩි කර ගැනීමට උත්සාහ කරන දේශපාලනඥයන්ගෙන් පරිස්සම් වන ලෙසත් මොවුන් දරුවන්ගේ අනාගතය ගැන නොසිතා ඡන්ද මල්ල ගැන සිතන අය වුවත් තමා මේ අවස්ථාවේ සිදුකරන්නේ තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගන්නවා වෙනුවට දරුවන්ගේ සහ පාසල්වලට අගයක් එකතු කිරීම බවත් කුමන ජාතියකට, ආගමකට අයත් වුවත් සියලු දූදරුවන් එකට සලකා ඔවුන්ගේ අනාගතයට ආයෝජනයක් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 225ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2514ක් වැය කර තිබේ.



































