• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ටාජ් සමුද්‍රා හෝටලයේදී සාගලවත් රහසේ හමුවෙයි! සජබ එජාප එකතුව ගැන ලොකු අඩියක් ඉස්සරහට තියයි! එජාපයෙන් මතුවූ අලුත් භූතයාට සමගිය කඩන්න පුළුවන් වෙයිද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

හරිනිට වෙන්න යන දේ

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ආරම්භ වූ ආන්දෝලනය මේ සතිය වනවිට තවදුරටත් තීව්‍ර වෙමින් විවිධ පැති කරා ඇදී යන ආකාරයක් දැකගන්නට තිබිණ. පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් අතිවිශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙම ගැටලුව තවදුරටත් ඉදිරියට යාමට නොදී වහාම අගමැති හරිනි අමරසූරිය එම තනතුරෙන් ඉවත් කොට ඊට සභානයක බිමල් රත්නායක මහතා පත්කළ යුතු බවට පැලවත්තෙන් දැඩි බලපෑමක් ජනාධිපතිවරයා වෙත එල්ල වෙමින් පවතින බවකි. Sri Lanka Latest News

අගමැතිවරිය සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයක් මතුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද පළාත් පාලන මැතිවරණයේ පසුබෑමත් සමග පැලවත්තෙන් ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කළ යුතු බවත්, ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් කළ යුතු බවත්ය. මේ බව සභානායක බිමල් රත්නායක මහතා රාජ්‍ය මාධ්‍ය හමුවට පැමිණ ප්‍රසිද්ධියේම කියා සිටියේය. නමුත් ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉවත දැමුණු අතර, ජනාධිපතිවරයාට හිතවත් ඇමැතිවරුන් වූ සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස බිමල්ගේ එම ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් එවැනි ඇමැති සංශෝධනයක් හෝ අගමැතිවරිය ඉවත් කිරීමක් මේ මොහොතේ සිදු විය යුතු නැති බවක් ප්‍රකාශ කර සිටියහ.

මේවට ඉඩ දෙන්න බෑ!

කෙසේ වෙතත් මෙවර එම යෝජනාව පැලවත්තෙන් දැඩිව ඉදිරිපත් වූ අවස්ථාවේදී නැවතත් අගමැති ධුරයට බිමල්ගේ නම යෝජනා වුවද, ජනාධිපතිවරයා සිටියේ තමන් දැරූ පළමු ස්ථාවරයේමය. ඒ, මේ මොහොතේ අගමැති ධුරය වෙනස් කළ යුතු නැති බවත්, එසේ වෙනස් කරන්නට අවශ්‍ය නම් පවතින භූදේශපාලනික තත්ත්වය හමුවේ ඊට හොඳම තේරීම බිමල් නොව විජිත බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබිණි. මේ බව අප පසුගිය සතියේ පළමු වතාවට ‘මව්රට’ පුවත්පත ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. අප කළ එම අනාවරණයෙන් පසුව විවිධ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද අපගේ පුවත වාර්තා කිරීමට පටන්ගත් අතර, ආණ්ඩුව පැත්තෙන් කිසිදු අවස්ථාවක එය ප්‍රතික්ෂේප කළ බවක් දැකගන්නට ලැබුණේ නැත. මෙම පසුබම යටතේ හරිනි අමරසූරිය සම්බන්ධ ප්‍රශ්නය විවිධ පැතිකඩවලට යමින් ඇති බවක් සහ විපක්ෂය මේ වනවිට අගමැතිවරිය සම්බන්ධ ප්‍රශ්නය ඉතා ගැඹුරින් තමන්ගේ අතට ගෙන ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
පළමු වරට ඉංග්‍රීසි මොඩියුලයේ මෙවැනි සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් ඇති බව රටට අනාවරණ කළේ ගුරු සංගම් නියෝජනය කරන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ය. උන්වහන්සේ අස්ගිරි මහා නාහිමියන් හමුවී පළමු වතාවට මේ බව දැනුම් දී තිබූ අතර, එහිදී අස්ගිරි මහානාහිමියන්ගේ ප්‍රතිචාරය කිසිවකුත් නොසිතූ ආකාරයේ ඉතා බරපතළ එකක් විය. එහිදී මෙම කරුණ වාර්තා වීමත් සමග අස්ගිරි මහානාහිමියන් ප්‍රසිද්ධියේම කියා සිටියේ ‘මුන් රට කනවා… හරි භයානකයිනේ… මේවට ඉඩ දෙන්න හොඳ නෑ…’ යැයි කියාය.

ඒ අනුව මෙම තත්ත්වය මාධ්‍ය වාර්තා කිරීමත් සමග එළියේ නොපෙනුණාට මහා සංඝරත්නය, ගුරු විදුහල්පති සමිති, වෘත්තීය සමිති, මවුපිය සංගම් මේ තත්ත්වය ඉතා බැරෑරුම් ලෙස සාකච්ඡාවට ගනු ලැබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම විපක්ෂයද මෙම කරුණ ඉතා දැඩිව ගෙන තිබූ අතර, විශේෂයෙන්ම සජබය වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය සඳුදා ‘සූම්’ යෙදවුම ඔස්සේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබිණී. එහිදී මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ ප්‍රධානම යෝජනාව වූයේ ආණ්ඩුව ඒ වනවිටත් එහි වගකීම භාරගෙන තිබූ බැවින් අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවකි. සාකච්ඡාවට සම්බන්ධ වී සිටි සියලු සජබ මන්ත්‍රීවරු මෙම යෝජනාවට ඒකමතිකව අනුමැතිය ලබාදීමට පියවර ගත්හ. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළවීමෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ අඟහරුවාදා දින විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීන්දුව ගැනීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට භාර කෙරිණි.

සජබය කරන්න යන දේ!

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක් වූයේ විශ්වාසභංගය අස්සන් කිරීම සිදුකරන අතරවාරයේ අගමැතිවරියට සහ ආණ්ඩුවට එරෙහිව මෙම කරුණ මුල්කරගෙන ප්‍රබල විරෝධතාවක් දියත් කළ යුතු යැයි කියාය. එම අවස්ථාවේදී එක් යෝජනාවක් ඉදිරිපත් කරමින් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කියා සිටියේ එසේ නම් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට ගොස් ඊට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විය යුතු යැයි කියාය. ඊටද මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළවූ අතර, ඒ සඳහා දිනයක් පසුව යොදාගැනීමට තීරණය විය. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද, අවසානයේදී සජිත්ද ඊට එකඟතාව පළකිරීමට පියවර ගත්තේය.

මීට අමතරව කළුතර මන්ත්‍රී ජගත් විතානද මේ සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහු කියා සිටියේ නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතාගේ පිළිරුව තමාගේ මතුගම ආසනයේ ඉදිකොට ඇති බැවින්, වත්මන් ආණ්ඩුව සිදුකරන නිදහස් අධ්‍යාපනයේ විනාශයට එරෙහිව කන්නංගර මහතාගේ පිළිරුව ඉදිරිපිටට ගොස් විරෝධතාවක් පැවැත්විය යුතු බවකි. ඊටද මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාව පළවූ අතර, එය සෙනසුරාදා දිනයේ පැවැත්වීමට තීන්දු විය.

මේ ආකාරයට හරිනි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය තීන්දු කරද්දී ව්‍යවස්ථාදායක සභාව මුල්කරගෙනද යම් මතගැටුමක් මතුව තිබේ. එහි ඇති විශේෂ සිදුවීම වන්නේ ඊටද අගමැති හරිනි සම්බන්ධ වී තිබීමය. ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සිවිල් නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය මේ මස අවසන් වන බැවින් ඊට නව සිවිල් නියෝජිතයන් තිදෙනකු පත්කිරීමට අදාළ සාකච්ඡා මේ දිනවල අගමැතිවරිය සහ සජිත් අතර පැවැත්වෙමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙම සිවිල් නියෝජිතයන් තිදෙනා අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතිය යටතේ පත්කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන්ව තිබීමය. ඉකුත් ආණ්ඩුව සමයේදී එවක හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් යන දෙදෙනාම සියලු දෙනාටම පිළිගත හැකි නම් තුනක් එහිදී යෝජනා කළ අතර, ඒ දෙදෙනා අතර එකඟතාවකින් යුතුව පත්කිරීමට පියවර ගෙන තිබූ නිසා එහි කිසිදු මත ගැටුමක් මතුවූයේ නැත. එහිදී දිනේෂ් එක් නමක් යෝජනා කළ අතර, සජිත් තවත් නමක් යෝජනා කොට තිබිණි. ඉතිරි නම දෙදෙනාගේම එකඟත්වයෙන් ඉදිරිපත් වූ නිසා සිවිල් නියෝජිතයන් තිදෙනා ලෙස ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න ඊට පත්කිරීම සිදුවිය.

සජිත් නීති පොත පෙරළයි!

නමුත් මෙවර එහි තරමක වෙනසක් දැකගන්නට ලැබුණේ සජිත් මෙහිදී කිසිදු පක්ෂයකට සම්බන්ධයක් නොමැති රටම පිළිගත් ස්වාධීන පුද්ගලයන් තිදෙනකු ඊට පත්විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කිරීම නිසාය. මන්ද යත් මාස 8ක් තිස්සේ විගණකාධිපති ධූරය හිස්ව තැබීමට ආණ්ඩුව කටයුතු කර තිබීමත්, ජනාධිපතිවරයා ඊට එවූ නම් 4ක්ම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබීම නිසා එම පත්වීම සිදුකිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට මත පළවී තිබීමත් ඊට හේතුව වී තිබිණ. ඒ අනුව මාලිමා ආණ්ඩුව සිතා සිටියේ ඉකුත් වතාවේ දිනේෂ් සමග සජිත් කටයුතු කළ ආකාරයටම මෙවරද වැඩේ ගොඩදා ගැනීමට හැකිවනු ඇතැයි කියාය. නමුත් ආණ්ඩුව විගණකාධිපතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා විසින් නම් 04ක් ව්‍යවස්ථාදායක සභාවට එවා තිබීමත්, ඊට සිවිල් නියෝජිතයන් තිදෙනා අනුමැතිය ලබා නොදීමත්, ඉන් අනතුරුව අණ්ඩුව විසින් ප්‍රසිද්ධියේම සිවිල් නියෝජිතයන් තිදෙනා ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් නිසා සජිත් මෙවර ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරන නම් පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය.

එමෙන්ම සජිත් මෙම සිවිල් නියෝජිතයන් පත්කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කොට තමන්ට දැනුම් දීමට පියවර ගන්නා ලෙස ව්‍යවස්ථාව පිළිබඳ ඉහළ දැනුමක් ඇති නීතිඥවරුන් කණ්ඩායමකට භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව එම නීතිඥවරුන් පසුගිය සතියේ සජිත්ට දැනුම් දී තිබුණේ ආණ්ඩුවට තනිවම මෙම සිවිල් නියෝජිතයන් පත්කළ නොහැකි බවත්, ඊට විපක්ෂ නායකවරයාගේ එකඟතාව හිමිවිය යුතු බවත්ය. ඊට අදාළ ව්‍යවස්ථාවේ වගන්ති පවා එම නීතිඥවරු සජිත්ට පෙන්වා දීමට පියවර ගත්හ.

ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයාට එක නමක්, විපක්ෂ නායකවරයාට එක නමක්, දෙදෙනාගේ එකඟත්වයෙන් අනෙක් ඉතිරි නම යෝජනා විය යුතු බවක් සඳහන් වන්නේ නැත. එහි සඳහන් වන්නේ සිවිල් නියෝජිතයන් තිදෙනාටම අගමැතිවරියගේ පමණක් නොව, විපක්ෂ නායකවරයාගේ එකඟතාවද අවශ්‍ය වන්නේ යැයි කියාය. තවදුරටත් ඉදිරියට යමින් එම නීතිඥවරුන් සජිත්ට දැනුම් දී සිටියේ ව්‍යවස්ථාවට අනුව එම තිදෙනාම එකවර එකඟතාවයෙන් යුතුව පත්කිරීමට නොහැකි නම් එවැනි එකඟතාවක් ඇතිවන තෙක් දැනට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා තවදුරටත් එම ධුරවල කටයුතු කළ යුතු බවත්ය.

කතානායකවත් ඉල්ලයි! සජිත් බෑ කියයි!

ඒ අනුව මෙම සිවිල් නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් හරිනි සහ සජිත් අතර පළමු රැස්වීම පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. කෙසේ වෙතත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අදාළ සාකච්ඡාව ආරම්භ වීමට පෙර ආණ්ඩුව පැත්තෙන් ටිකක් අමුතු ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් වීමය. ඒ, මෙම සාකච්ඡාවට කතානායකවරයාත් මැදිහත්කරුවකු ආකාරයට සහභාගි විය යුතු යැයි කියාය. මෙම යෝජනාව පැමිණි වහා එය එකහෙළාම ප්‍රතික්ෂේප කරමින් සජිත් කියා සිටියේ එවැනි ආකාරයේ කිසිදු මැදිහත් වීමකට ව්‍යවස්ථාවේ ඉඩකඩක් ලබාදී නැතැයි කියාය. ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට මෙම කටයුත්ත සිදුකළ යුතු බව සජිත් වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියේය.

හර්ෂ ගේමක් ගැහුවාද?

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීමට සුළු මොහොතක් තියා තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සභාගැබේදී හැකි ඉක්මනින් විගණකාධිපතිවරයකු පත්කළ යුතු බවට ප්‍රකාශයක් සිදුකර තිබීමය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන් සමග දුරකතනයෙන් දීර්ඝ සංවාදයක් සිදුකළ බවත්, මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස හැකි ඉක්මනින් විගණකාධිපතිවරයකු පත්කළ යුතු බවට වූ ස්ථාවරයේ තමන්ද සිටින බවත් හර්ෂ එහිදී සඳහන් කර සිටියේය. එම නිසා ඉතා ඉක්මනින් මෙම තනතුර පත්කළ යුතු බවද හර්ෂ එහිදී කියා සිටියේය.

හර්ෂ කළ මෙම ප්‍රකාශයත් සමග එහි සිටි සජබ මන්ත්‍රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් යම් කතාබහක් සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී එක් සජබ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ හර්ෂ සහ ජනාධිපතිවරයා අතර අලුත් ගනුදෙනුවක් ආරම්භ වී ඇති බවත්, ජනාධිපතිවරයාට අවශ්‍ය දේ හර්ෂගේ කටින් එළියට පැන්න බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හර්ෂව මේ සඳහා පාවිච්චි කරනවාද යන සැකය තමන්ට ඇති බවද මෙම මන්ත්‍රීවරයා එහි සිටි අනෙක් සජබ මන්ත්‍රීවරුන් තිදෙනාට දැනුම් දී සිටියේය. ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සිවුදෙනා වහාම කළේ ඒ වනවිටත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ රැඳී සිටි සජිත් හමුවී මේ පිළිබඳ ඔහු දැනුවත් කිරීමය. එහිදී මේ මන්ත්‍රීවරුන් සජිත්ට කියා සිටියේ විගණකාධිපතිවරයා පත්කිරීම මුල්කරගෙන ජනාධිපතිවරයා හර්ෂව අල්ලාගෙන ගේමක් ගැසීමට සූදානම් වන බවක් දැකගන්නට ඇති බවකි. කෙසේ වෙතත් එහිදී සජිත් කිසිදු ආකාරයකින් කලබල වූ බවක් දැකගන්නට ලැබුණේ නැත. ඉතා සන්සුන්ව සජිත් කියා සිටියේ ඉකුත් කාලයේදී ඇතැමුන් තමන් සහ ජනාධිපතිවරයා අතර ඩීල් එකක් පවතින බව කීවද තමන් එවැනි ආකාරයේ කිසිදු ඩීල් දැමීමක් සිදුකරන්නේ නැතැයි කියාය.

සජිත් දීපු උත්තරේ!

‘ඉස්සර කට්ටිය මටනෙ ගැහුවෙ ජනාධිපතිවරයා එක්ක මම ඩීල් දානවා කියලා. මම කිසිම වෙලාවක ජනාධිපතිතුමා එක්ක ඩීල් දාන්න යන්නේ නෑ. ඒ වගේම මම ව්‍යවස්ථාවෙන් පිට පැනලා කිසි දෙයක් කරන්නෙත් නෑ. හැම දේම කරන්නේ ව්‍යවස්ථාවට අනුව. ඒ හින්දා ජනාධිපතිතුමා කවුරු එක්ක ඩීල් දැම්මත් මම වැඩ කරන්නේ ව්‍යවස්ථාවේ තියෙන විදියට. ඒ ගැන බයවෙන්න එපා. ජනාධිපතිතුමා විගණකාධිපති විදියට නම් තුනක් ව්‍යවස්ථාදායක සභාවට එවලා තිබ්බා. හැබැයි ඒ ආපු එක නමකටවත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය එකඟ වුණේ නෑ. මොකද ඒ තනතුරට ඊට වඩා සුදුසුකම් තියෙන අය විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළේ ඉන්න නිසා ඒ නම් ප්‍රතික්ෂේප වුණා. ඉතින් කවුරු හරි ජනාධිපතිතුමා එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙනවා නම්, ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා නම් ජනතාවට තේරෙනවා මොකක්ද එතන වෙන්නේ කියලා. ඉස්සර වගේ නෙවෙයි දැන් ජනතාව හුඟක් බුද්ධිමත්. කෙනෙක් කතාකරද්දිම දැන් ජනතාව දන්නවා එයා කතා කරන්නේ මොන ලයින් එකේ ඉඳන්ද කියලා. ඔය කවුරු මොනවා කිව්වත් මම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරන්න යන්නේ සජබයට හරි එජාපයට හරි කිසිම විදියකින් සම්න්ධ නම් නෙවෙයි. මම යෝජනා කරන්නේ හැමෝටම පිළිගන්න පුළුවන් මේ රටේ ඉන්න කීර්තිමත් විශිෂ්ටතම වෘත්තීයවේදීන්ගේ නම්. ගිය සැරේ මම කළෙත් ඒකමයි. මේ සැරේ කරන්නෙත් ඒකමයි. ඔය කාටවත් හදිසි වුණාට මම ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්නේ නෑ…’ යනුවෙන් සජිත් ඒ මන්ත්‍රීවරුන් සිවුදෙනාට දැනුම් දී සිටියේය.

දෙපැත්තෙන්ම නම්වලට එකඟ නෑ!

බදාදා දිනයේ සජිත්, හරිනි සමග සාකච්ඡාවට වාඩි වූයේම මෙම කරුණ මන්ත්‍රීවරුන් වෙත අවධාරණය කිරීමෙන් අනතුරුවය. ඒ අනුව දෙදෙනා අතර පමණක් පැවැති සාකච්ඡාවේදී අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ අගමැතිවරිය විසින් ඉදිරිපත් කොට ඇති නම් සම්බන්ධයෙන් සජිත් සමග එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබී නොමැති බවකි. ඒ වෙනුවට සජිත් සියලු දෙනාටම පිළිගත හැකි ආකාරයේ නම් කිහිපයක් යෝජනා කොට ඇති බවකි. ඒ අනුව හරිනි සහ සජිත් අතර කිසිදු එකඟතාවකින් තොරව බදාදා සාකච්ඡාව අවසන්ව තිබූ අතර, බ්‍රහස්පතින්දා සවස 2ට හමුවී නැවතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙදෙනා අතර එකඟත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවේදීද වැඩි වෙනසක් සිදුවූයේ නැත. හරිනි තවදුරටත් තමන් කලින් යෝජනා කළ නමේම සිට ඇති අතර සජිත්ද පෙර ස්ථාවරයේ සිටිමින් අදහස් දක්වා ඇති බවක් ආරංචිය. ඒ අනුව පළමු දිනයේ සාකච්ඡා සඳහා නැවත දිනයක් වෙන් කරගෙන සාකච්ඡාව අවසන් කළත් බ්‍රහස්පතින්දා දින දෙදෙනා අතර සාකච්ඡාව අවසන් වූයේ නැවත හමුවීම සඳහා දිනයක් හෝ යොදා ගැනීමකින් තොරව වීම විශේෂ සිදුවීමකි. එසේ එකඟතාවක් ඇතිවන තාක් දැනට ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු කරන සිවිල් නියෝජිතයන් තිදෙනා ඉදිරියටත් එහි කටයුතු කරනු ඇත.

හරිනි ගැන අනුර අන්තිම තීන්දුව අරන්!

සජිත් සහ හරිනි අතර මේ ආකාරයට සාකච්ඡා අවසන් වෙද්දී බ්‍රහස්පතින්දා වනවිට හරිනි සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී තිබිණි. ඒ, කෙතරම් බලපෑම් පැමිණියද කිසිදු ආකාරයකින්වත් අගමැති ධුරය වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවකි. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් අගමැතිවරියට ඉවත් වන ලෙස බලපෑම් එල්ල වුවත්, පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමැතිවරුන් කීප දෙනකු පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කොට අගමැතිවරිය ආරක්ෂා කිරීමටය. එමෙන්ම මෙම ප්‍රශ්නය කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවද එහිදී දීර්ඝව සාකච්ඡා වී තිබිණි. ඒ අනුව එහිදී ගත් ප්‍රධානම තීන්දුව වූයේ දැනට සිදුකොට ඇති පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඉන් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටය. එමෙන්ම අගමැතිවරියට සහ ජනාධිපතිවරයාට සමීප ඇමැතිවරුන් දෙදෙනකු වූ විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස සමග අගමැතිවරියද එක්ව මාධ්‍ය හමුවක් කැඳවීමටත්, එහිදී අගමැතිවරිය ආරක්ෂා කරමින් අදහස් දැක්වීමටත් යෝජනා විය. එසේම අගමැතිවරිය මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටත් තීන්දු විය. අවසාන වශයෙන් මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් හමුවී මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවටද තීන්දු විය. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේ හරිනි, විජිත සහ නලින්ද විශේෂ මාධ්‍ය හමුවකට එක්වූ අතර, බදාදා දිනයේදී හරිනි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු කළාය. බ්‍රහස්පතින්දා දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද හරිනි කටයුතු කළාය.

රනිල්ගේ සමීපතමයෙක් සජිත් හමුවෙයි!

ආණ්ඩුව පැත්තෙන් මේ ආකාරයට හරිනිව ආරක්ෂා කරමින් ආණ්ඩුවේ එකමුතු බව රටට පෙන්වද්දී සජබය සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින එකඟතාව පිළිබඳවද පසුගිය සතියේ විශේෂ සිදුවීම් කීපයක් සිදුවිය. සජබය සහ එජාපය අතර පැවැති සාම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ළඟාවෙමින් පවතින ආකාරයක් රටට දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ ‘මව්රට’ වෙබ් අඩවිය විසින් පළමු වරට ඉදිරිපත් කළ ඡායාරූපය මුල්කරගෙනය. එම ඡායාරූපයේ සිටියේ සජිත් සහ මේ වනවිට එජාපයේ සිටින ජනප්‍රියතම තරුණ නියෝජිතයන් තිදෙනකු වූ නවීන් දිසානායකත්, අකිල විරාජ් කාරියවසමුත්, රුවන් විජේවර්ධනත්ය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හිදී මේ සිවුදෙනා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවටත්, එහිදී සජබ-එජාප එකමුතුවට ශක්තිමත් අඩිතාලමක් දමා ඇති බවටත් අප කළ අනාවරණයෙන් පසු සජබ පමණක් නොව එජාප පාක්ෂිකයන්ගෙන්ද ඊට විශාල ප්‍රතිචාරයක් ඊට ලැබුණු ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකිරීමට සූදානම්ය. ඒ, පසුගිය සඳුදා ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හිදීම සිදුවූ තවත් සුවිශේෂ හමුවක් පිළිබඳවය. මෙම හමුව ගැන අද දිනයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කරන තෙක් එවැන්නක් පිළිබඳ අතළොස්සක් දෙනා හැරුණු විට වෙනත් කිසිවකුත් නොදැන සිටි බව අපට හොඳ හැටි විශ්වාසය. ඒ අනුව එදින එම හමුව සිදුවූයේ වෙන කවුරුවත් අතර නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන සාගල රත්නායක මහතා අතරත්ය.

පසුගිය සතියේ සාගල සහ රනිල් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ අලුත් අවුරුදු දිනයේදී කොළඹ සජබ නාගරික මන්ත්‍රීවරයකු වන තරංග අතුරලිය මහතාගේ ජංගම දුරකතනය හරහා රනිල් සහ සාගල සජිත්ට ඇමතුමක් ගෙන නව වසරට සුබපැතූ බවකි. එමෙන්ම සාගල එහිදී සජිත්ව හමුවිය යුතු බවට ඉල්ලීමක් කළ බවද අපි එහිදී අනාවරණ කළෙමු. මීට පෙරද තමන්ට සජිත් හමුවිය යුතු බවට පාර්ශ්ව කීපයක් හරහා සාගල පණිවුඩ එවා තිබූ ආකාරයද අප මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. ඒ අනුව සජිත් සාගලට දැනුම් දී සිටියේ සඳුදා දිනයේ කලම්බු ක්ලබ්හිදීම එම සාකච්ඡාව පැවැත්වීමට හැකි යැයි කියාය. ඒ අනුව රනිල් සහ තවත් කීප දෙනකු පමණක් දැනුවත්ව පැවැති මෙම සාකච්ඡාව භාහිර කිසිවකුටත් නොදැනෙන ආකාරයට අතිශය රහසිගතව පැවැත්වීමට සජිත් සහ සාගල යන දෙදෙනාම කටයුතු කර තිබිණි.

හමුව පරණ තැනම!

එමෙන්ම එවැනි හමුවක් සාගල සමග පවත්වෙන බව තවත් විශේෂ පුද්ගලයන් තිදෙනකුට දැනුම් දීමට සජිත් පියවර ගත්තේය. ඒ වෙන කවුරුත් නොව තමන් සමග ඊට පෙර කලම්බු ක්ලබ්හිදීම සාකච්ඡාවට වාඩි වූ නවීන්, රුවන්, අකිල යන තිදෙනාය. එහිදී මේ තිදෙනාටම ඇමතුම් ලබාදී තමන් සාගල හමුවන බව සඳහන් කරද්දී ඒ තිදෙනාම සජිත්ට කියා සිටියේ එය ඉතා හොඳ ඉදිරි පියවරක් යැයි කියාය.

ඒ අනුව කලම්බු ක්ලබ්හිදී පැවැති සජිත් – සාගල හමුව පැය ගණනාවක් පුරා පැවැති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී ද සජිත් ඉකුත් වතාවේ මෙන්ම ඉතා අවංකව අදහස් දක්වමින් සාගලට දැනුම් දී සිටියේ තමන් පක්ෂ දෙක එකතු කරන මෙම කාර්යයට අතගැසුවේ අවංකව සහ විනිවිදභාවයකින් යුතුව යැයි කියාය. එමෙන්ම පක්ෂ දෙක එකතු වනු දැකීම, පක්ෂ දෙකේ නියෝජිතයන්ගේ පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයන්ගේ ප්‍රාර්ථනාව බවද සජිත්, සාගලට පෙන්වා දුන්නේය.

සජිත්ට ගහපු ගේම්!

‘මම කියන්න ඕනේ නෑනේ ඔබතුමාට මම යූ.ඇන්.පී. එකේ ඉන්න කොට මට කරපු දේවල්. හැබැයි මම ඒ කිසිම දෙයක් හිතේ තියාගෙන වැඩ කළේ නෑ. රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම හිටියේ සිංගප්පූරුවේ. මට මේ සිදුවීම ආරංචි වුණාම මම පක්ෂයට කිව්වේ මොන ප්‍රශ්න තිබුණත් අපි ඒවා අමතක කරලා රනිල් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ කියලයි. ඔයා දන්නවා අපි සජබය හැදුවට පස්සේ ඒ පක්ෂය කඩන්න, මාව විනාශ කරන්න රනිල් මොනවද නොකළේ කියලා. එතුමා ජනාධිපති වුණාට පස්සෙත් මට ගහන්න, මේ පක්ෂය විනාශ කරන්න පුළුවන් හැම දේම කළා. හැබැයි එතුමා අත්අඩංගුවට ගත්තා කියලා මට කිව්වට පස්සේ මට ඇතිවුණේ ලොකු කනගාටුවක්. මට එතුමා ගැන අනුකම්පාවක් ඇතිවුණේ. මොකද එතුමා මගේ හිටපු නායකයා. ඒ නිසා මම අවංකවම එතුමා බේරගන්න වැඩේට බැස්සා. මම විතරක් නෙවෙයි පක්ෂයත් බැස්සුවා. හැමදාම ඉස්පිරිතාලෙට ගිහින් එතුමා ගැන හොයා බැලුවා. වැලිකඩට ගිහින් එතුමා ගැන බැලුවා. මේ හැම දෙයක්ම මම අවංකවම කළේ එතුමාව ශක්තිමත් කරන්න. හැබැයි අන්තිමට මොකක්ද වුණේ? එතුමා ඉස්පිරිතාලෙන් එළියට එන දවසෙම සැලසුම් කළේ මට ගහන්න. මට ගහලා මාව විනාශ කරන්න. එතුමාගෙ කට්ටිය දම්මලා මට එරෙහිව නිවුස් ප්ලාන්ට් කරන්න ගත්තා මාවත් අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන්න යනවා කියලා. අල්ලස් කොමිසමෙන් මාව අත්අඩංගුවට ගන්න යනවා කියලා. එහෙම කරලා එතුමා බැලුවේ මාව වට්ටන්නයි. හැබැයි මමත් දැන් මේ ගැහිලිවලින් හොඳට තෙම්පරාදු වෙලයි ඉන්නේ. මම දැන් ඉස්සර සජිත් නෙවෙයි. මේ ගැන හොයන්න මම හොඳට ඉව තියෙන පොලිස් බල්ලො දැම්මාම ඒ අය ගිහින් නැවතුණේ රනිල්ගෙ කකුල් දෙක ගාව. ඒ නිසා මම කියන්නේ මෙච්චරයි. ගේම් ගගහා අපිට මේ වැඩේ කරන්න බෑ. එක්කෝ අපි දෙගොල්ලොම ගේම් ගගහා ඉමු. නැත්නම් අපි දෙගොල්ලෝ එකතු වෙලා වැඩ කරමු. මට ගේම් ගහන්නයි, පක්ෂ දෙක එකතු කරලා පාක්ෂිකයන්ට ජයග්‍රහණයක් අරන් දෙන්නයි දෙකම කරන්න බෑ. හැබැයි රනිල් හදන්නේ හැම වෙලාවෙම ගේම් ගහලා මේකේ කකුලෙන් අදින්න….’ යනුවෙන් සජිත් ඉතා සංවේදීව අදහස් ඉදිරිපත් කරද්දී සාගල කිසිදු අදහස් දැක්වීමකින් තොරව නිහඬව ඒ සියල්ල අසා සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී යම් යම් කරුණු සම්බන්ධයෙන් සාගලද යම් අනුකූලතාවක් දක්වමින් ඒවා පිළිගනිමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් අවසානයේදී සාගලද කියා සිටියේ පක්ෂ දෙක එකතු වීම සඳහා දෙපාර්ශ්වයම යම් එකඟතාවකට පැමිණිය යුතු බවත්, මේ වනවිට ඒ සම්බන්ධයෙන් පාක්ෂිකයන් තුළද විශාල උනන්දුවක් සහ බලාපොරොත්තුවක් මතුව ඇති බවත්ය. සජිත් ඊට 100%ක් එකඟතාව පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.

සාගලත් එකතු වෙයි!

‘කිසි ප්‍රශ්නයක් නෑ. මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනේ. අපි යම් එකඟතාවකට එන්න ඕනේ. හැබැයි එතැනදී රනිල් පැහැදිලිවම ඉන්න ඕනේ උපදේශක මට්ටමේ. දැන් මේ පක්ෂ දෙකේම නායකත්වයට එන්න පුළුවන් දක්ෂ තරුණයෝ විශාල පිරිසක් හැදිලා ඉන්නවා. රටේ ජනතාව ඉල්ලන්නේ ඒක. අපි මේ පක්ෂ දෙක එකතු කරලා එක පක්ෂයක් විදිහට යනවාද, නැත්නම් සන්ධානයකට යනවද කියලා පස්සේ තීරණය කරන්න පුළුවන්. අපි එතැනට යන්න ඉස්සෙල්ලා දෙපැත්තේම අයට එකඟ වෙන්න පුළුවන් පොදු වැඩපිළිවෙළකට යන්න ඕනේ. මමම මේක අතට ගත්තේ ඒ නිසයි. මොකද මෙව්වා කමිටු දාලා, වාර්තා හදලා, ඒවා විශ්ලේෂණය කර කර තීන්දු තීරණ ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මම මේක කරන්නේ ගේම් ගහන්නේ නැතුව අවංකවම. මම ගිය සතියේ මෙතැනදිම රුවන්, අකිල, නවීන් මුණගැහිලා කතා කළෙත් මේකමයි. ඒ අයත් මට කිව්වා ඔයාවත් හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම මම අනෙක් අයවත් හමුවෙලා මේ ගැන කතා කරනවා…’ යැයි සජිත් කියද්දී සාගලද එය පිළිගනිමින් කියා සිටියේ හැකි ඉක්මනින් පක්ෂ දෙකේ නායකයන් වන සජිත් සහ රනිල් අතරද හමුවක් පැවැත්විය යුතු යැයි කියාය. ඊට සජිත් එකඟතාව පළකළත් එවැනි හමුවක් සඳහා මෙය අවස්ථාව නොවන බව සජිත්ගේ ස්ථාවරය වී තිබිණි.

‘ඔව්, අනිවාර්යයෙන්ම නායකයෝ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි. අපි ඒක කරන්න ඕනේ අන්තිමට. එතැනට අපි යන්න ඕනේ පියවරෙන් පියවර. මොකද දැන් ඡන්දෙකුත් නෑ. අපිට පක්ෂ දෙක එකතු කරගන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න කාලය තියෙනවා. මුලින්ම අපි මේ විදියට සාකච්ඡා කරලා පොදු වැඩපිළිවෙළක් හදාගෙන ඒකට අනුව ගමන් කරමු. පස්සේ අපිට පුළුවන් ඒ විශ්වාසය ගොඩනගා ගත්තට පස්සේ නායක මට්ටමේ සාකච්ඡාවක් තියලා අවසන් තීන්දු තීරණවලට එන්න…’ යනුවෙන් සජිත් කියද්දී සාගලද ඊට එකඟතාව පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සජිත්, නවීන්, අකිල, රුවන් සාකච්ඡාව මෙන්ම සජිත් – සාගල සාකච්ඡාවද අවසන් වූයේ ඉතා සාර්ථකවය.

රනිල් සිල් අරන්ද?

ඒ අනුව දැන් බැලිය යුත්තේ රනිල් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්දැයි කියාය. රනිල් සිල් අරන්ද? මේ යන සාකච්ඡාවලට රනිල් 100%ක් එකඟද? නැත්නම් රනිල් සුපුරුදු පරිදි ගේම් ගසනවාද? මන්ද රනිල්ගේ ඉතිහාසය දෙස බලන විට මේ පක්ෂ දෙක එකතු කරන තැනක රනිල් කිසිම අවස්ථාවක සිටියේ නැත. ඒ වෙනුවට රනිල්ගේ සිතේ තිබුණේ සජබය වෙනුවට එජාපය සහ පොහොට්ටුව එකතු කිරීමටය. මීට පෙර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම්වලදී රනිල් මෙම යෝජනාව ඉදිරිපත් කළ ආකාරයත්, ඊට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් විරෝධය පළකළ ආකාරයත් අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට වරක් පියවර ගත්තෙමු. රනිල් මෙසේ එජාපය පොහොට්ටුවට ගැටගැසීමට උත්සාහ කළද පොහොට්ටුව පැත්තෙන් එය ප්‍රතික්ෂේප කළ ආකාරයත්, විශේෂයෙන්ම නාමල් ඊට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ ආකාරයත් අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. එහිදී නාමල් කියා සිටියේ එජාප – සජබ එකමුතුව සිදුවිය යුතු බවත්, තමන්ද ඊට ආශිර්වාද කරන බවත්ය.
ඒ අනුව අපට මෙවරද කීමට ඇත්තේ රනිල් සිල් අරන් නොමැති බවත්, සජබය සහ එජාපය එකතු වෙනවාට රනිල්ගේ එතරම් කැමැත්තක් නොමැති බවත්ය. නමුත් මේ වතාවේදී දැනට පැවැත්වූ සාම සාකච්ඡා සම්බන්ධයෙන් පක්ෂ දෙකේම නියෝජිතයන් මෙන්ම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ද 200%ක් සෑහීමකට පත්ව සිටින නිසා මේ එකමුතුවට එරෙහිව ප්‍රසිද්ධියේ ගේම් ගැසීමට නොහැකි තැනකට රනිල්ද තල්ලු වී තිබේ. ඒ අනුව අප පසුගිය සතියේ විශේෂ තොරතුරක් අනාවරණ කරමින් කියා සිටියේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ් සාකච්ඡාවේ ඡායාරූපය පළවීමෙන් පසු රනිල් නවීන්, අකිල, රුවන් යන තිදෙනාම ගෙන්වා ඊට විරෝධය පළකරමින් අදහස් දැක්වූ බවකි. එමෙන්ම නවීන්, අකිල, රුවන් යන තිදෙනා සජිත් සමග කළ සාකච්ඡාව සම්බන්ධයෙන්ද රනිල්ගේ එතරම් ලොකු ප්‍රසාදයක් තිබුණේ නැත. ඔවුන් තිදෙනා වෙන් වෙන්ව කැඳවා පැවැති සාකච්ඡාවලදී රනිල්ගෙන් ඉදිරිපත් වූ අදහස්වලට අනුව එකමුතුව සම්බන්ධයෙන් රනිල් සිටින්නේ වෙනස් තැනක බව ඔවුන් තිදෙනාටද වැටහී ගොස් ඇතිවාට සැක නැත.

ඒ අනුව පසුගිය සතියේත් විවිධ අයුරින් මෙම එකමුතුවට බාධා ඇතිවන ආකාරයේ සිදුවීම් කීපයක් එජාපය පැත්තෙන් සිදුවිය. ඉන් එකක් වූයේ එජාප ව්‍යවස්ථාවේවත් නොමැති ආකාරයට ගහෙන් ගෙඩි එන්නාක් මෙන් සජිත් සමග සාකච්ඡා මේසයේ අසුන්ගත් නවීන් දිසානායකට එජාපයේ උපනායක තනතුරක් ලබාදී ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමය. මාධ්‍යවලින් පළවන තෙක්ම නවීන්ද ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි අතර, අඩුම තරමේ එජාපයෙන් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් හෝ සිදුකොට තිබුණේ නැත. එමෙන්ම ඊට අදාළ ලිපියක් හෝ නවීන්ට ලැබී නොතිබීමද විශේෂ සිදුවීමක් විය.

පුත්තලම හිස් කළේ රංගේට දෙන්නද?

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බදාදා පස්වරුවේ පැවැත්වුණේ මෙවැනි පසුබිමක් යටතේය. පස්වරු 3.10ට පමණ ආරම්භ වූ මෙම රැස්වීමේදී බොහෝ දෙනා සම්ප්‍රදායක් ලෙස නව තනතුරක් හිමිවූ නවීන්ට සුබපතා රනිල් ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් සිදුවූයේ නැත. ඒ වෙනුවට සාමාන්‍ය පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භයේදී රනිල් කළේ පක්ෂයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය.

‘මේ වෙද්දි අපි පක්ෂය යළි ප්‍රතිසංවිධාන කරන්න සංවිධාන හදලා කමිටු දාලා වගකීම් පවරලා තියෙනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල වගකීම හිටපු ඇමැතිවරුන්ට භාරදීලා තියෙනවා. දැනටමත් අපි ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කවල වගකීම පවරලා ඉවරයි. පුත්තලම, උතුරු නැගෙනහිර වගේ දිස්ත්‍රික්ක තාමත් තියෙනවා. මේ වෙනකල් පුත්තලමයි කුරුණෑගලයි දෙකම බැලුවේ අකිල. ඒක ලොකු වගකීමක් හින්දා අකිලට කුරුණෑගල විතරක් භාරදෙන්න මම තීරණය කළා. අපි බලමු ඉස්සරහට පුත්තලම කාටද දෙන්න පුළුවන් කියලා…’ යනුවෙන් කී රනිල් ඉන් අනතුරුව මුදල් කමිටුව, විනය පරීක්ෂණ කමිටුව, සාමාජික ප්‍රවර්ධන කමිටුව වැනි පක්ෂයේ ප්‍රධාන කමිටු රැසකටම නව නිලධාරීන් පත්කිරීමට පියවර ගත්තේය. දේශපාලන කරුණු සම්බන්ධයෙන් රනිල් අදහස් දැක්වීම ආරම්භ කළේ ඉන් පසුවය.

නවීන් එකම ස්ථාවරයක!

‘එජාපයයි සජබයයි එකතු කරන වැඩපිළිවෙළේදි රුවනුයි, අකිලයි, නවීනුයි මට ඇවිත් කිව්වා සජිත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා කියලා. මම ඒ අයට අනුමැතිය දුන්නා ගිහින් සජිත් එක්ක මේ ගැන කතා කරන්න. ඒ සාකච්ඡාවලදී වුණේ මොකක්ද කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනුවත් කරන්න කියලා මම ඉල්ලනවා…’ යනුවෙන් රනිල් කියද්දී මුලින්ම කතාකිරීමට පටන් ගත්තේ නවීන්ය.

‘මම අවුරුදු 20ක් මේ පක්ෂයෙ මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඒ නිසා මට දැනෙන දේ තමයි අපිට තනියම ගිහිල්ලා මේ ගමන දිනන්න බෑ. අපි පක්ෂ දෙක එකතු වෙලා ඉස්සරහට ගියොත් අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. අපිව හම්බවෙන පාක්ෂිකයෝ අපිට කියන්නෙත් ඒකමයි. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නෙත් ඒ ස්ථාවරයේමයි. සජිත්ටත් ලොකු වුවමනාවක් තියෙනවා අවංකවම මේ පක්ෂ දෙක එකතු කරලා ඉදිරියට යන්න. හැබැයි එතුමා කියපු එකම දේ තමයි ගේම් ගහන්නේ නැතුව මේ වැඩේ අවංකවම කරන්න ඕනේ කියලා…’ යනුවෙන් නවීන් කියද්දී රනිල් සජිත් සමග සාකච්ඡාවට එක්ව සිටි අකිලටද කියා සිටියේ එහිදී සාකච්ඡා වූ කරුණු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දෙන්නැයි කියාය. නමුත් අකිල කියා සිටියේ තමන්ටද කීමට ඇත්තේ නවීන් කී කරුණුම යැයි කියාය. රුවන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වී නොසිටි බැවින් රනිල් ඔහු ගැන කතා කරන්නට ගියේ නැත.

එජාපයේ අලුත්ම භූතයා මාන්නප්පෙරුමද?

කෙසේ වෙතත් මෙහිදී කිසිවකුත් නොසිතූ පරිදි සාකච්ඡාවට මැදිහත් වූයේ අහක සිටි අජිත් මාන්නප්පෙරුමය. සියලු දෙනාම සජබය සමග එක්ව කටයුතු කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටියත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි මාන්නප්පෙරුම කතා කළේ ඊට වෙනස් ස්ථාවරයක සිටිමින්ය.

‘සර් දැන් මේ සජිත් අපේ අයත් එක්ක දිගින් දිගටම කතා කරනවා. තැන් තැන්වල හම්බවෙනවා. ඉතින් සජිත් කරනවා වගේ ඔබතුමාත් ඔය සජබෙ ඉන්න කබීර්ලා, හර්ෂලා ඉරාන්ලා ගෙන්නලා සාකච්ඡා කරන්නකො….’ යනුවෙන් අජිත් මාන්නප්පෙරුම කියද්දී වහාම ඊට පිළිතුරු දුන් නවීන් කියා සිටියේ, ‘ඉතින් නායකතුමා අපේ මල්ලි මයන්තත් එක්ක ඔය නිතරම කතා කරන්නේ…’ යැයි කියාය. නවීන්ගේ පිළිතුරෙන් පසු මාන්නප්පෙරුමට උත්තර දෙන්න නැගිට්ටේ අකිල විරාජ්ය. කිසිවකුත් නොසිතූ පරිදි සිය කතාව ආරම්භ කල අකිල, මාන්නප්පෙරුමට කියා සිටියේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න මේ වැඩපිළිවෙළට ඇදගන්න එපා යැයි කියාය.

අකිලට යකා නගී!

‘ඔයා මේ ඔයාගේ පුද්ගලික ප්‍රශ්න මෙතැනට අරන් එන්න ලෑස්ති වෙන්න එපා. මේක අපේ ජීවිතත් මරණයත් අතර සටනක්. අපේ පාක්ෂිකයන්ගේ ජීවිතත් එක්ක, රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා…’ යනුවෙන් අකිල කෙළින්ම මාන්නප්පෙරුමට එරෙහිව යුද ප්‍රකාශ කරද්දී රනිල් පවා පුදුමයට පත්කරමින් එජාප ජ්‍යෙෂ්ඨයන් පවා මාන්නප්පෙරුමගේ ප්‍රකාශයට විරෝධය පළකරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ඔවුන් අවධාරණය කර සිටි එකම කාරණය වූයේ දැන්වත් මේ පක්ෂ දෙක එකතු විය යුතු යැයි කියාය. විශේෂයෙන්ම මනුෂ එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ගම්වලට ගොස් පාක්ෂිකයන් එළියට ගැනීමට නම් මේ පක්ෂ දෙක අනිවාර්යයෙන්ම එකතු කළ යුතු යැයි කියාය. සාගලද එම ප්‍රකාශයට පක්ෂව අදහස් දක්වමින්, ‘මමත් ගිය සඳුදා සජිත්ව හම්බවුණා. එතැනදී එතුමයි මමයි හොඳ සාකච්ඡාවක් කළා. මමත් හිතන්නේ මේ පක්ෂ දෙක එකතු වෙලා ඉස්සරහට ගමන් කරන්න ඕනෙ කියලයි…’ යනුවෙන් කියද්දී මාන්නප්පෙරුමගේ කට ඉබේම වැසීගිය ආකාරයක් දැකගත හැකි විය.

රනිල් සුපුරුදු ලයින් එකේ!

ඉන් අනතුරුව කතා කළේ රනිල්ය. එජාප ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම පාහේ සජබ-එජාප එකමුතුවට පක්ෂව අදහස් දැක්වීම නිසා රනිල්ද කතා කළේ ඒ ලයින් එකේ සිටමය. නමුත් සජබය සමග පමණක් එකතු වනවා වෙනුවට සජබය, පොහොට්ටුව ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එකතු විය යුතු බවද රනිල් සිය කතාවේදී සුපුරුදු පරිදි කියා සිටියේය.

‘හරි අපි දැන් මෙහෙම කරමු. නිල නොවන සාකච්ඡා ආරම්භ වෙලා තියෙන හින්දා පක්ෂ දෙක කරන වැඩ එකතු වෙලා කරගෙන යන්න ආරම්භයක් ලබාගමු. දැනටමත් අපි කමිටුවක් දාලා තියෙනවා සජබෙත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අය ඔය කරගෙන යන විදියට සාකච්ඡා කරන්න. 80%ක් විතර පක්ෂ දෙක එකතු කරන විදිය ගැන කතා කරලා මේ සාකච්ඡා එකඟතාවකට ආවම මායි සජිතුයි එකට වාඩි වෙලා ඉතුරු 20% එකතු කරන විදිය ගැන කතා කරන්නම්. මට කිසි ප්‍රශ්නයක් නෑ සජිත් හම්බවෙලා කතා කරන්න. අනික අපි සජබය එක්ක විතරක් නෙවෙයි පොහොට්ටුව එක්කත් කතා කරන්න ඕනේ. විපක්ෂයේ ඉන්න ජීවන් තොණ්ඩමන්ලා එක්කත් කතා කරන්න ඕනේ. නුගේගොඩ රැස්වීමට එන්න කිව්වම සජිත් ආවෙ නෑ. ඒකෙන් එයා වැටුණා. නාමල් ඇවිල්ලා ඒක අතට ගත්තා. ඒකෙන් නාමල් ඉස්සුනා. ඒ හින්දා අපි පොහොට්ටුවත් එක්කත් කතා කරලා ඒ අයත් මේ සන්ධානයට එකතු කරගන්න ඕනේ. දැන් අපේ අය පක්ෂ දෙකේ එකමුතුව ගැන තිබ්බ සාකච්ඡා අපේ වර්කිං කමිටි එකට කියලා ඉවරයි. නමුත් තවම සජබයෙ වර්කිං කමිටි එකට මේ සාකච්ඡාවල ප්‍රගතිය දැනුම් දීලා නෑ. ඒකත් දැනුවත් කළාම පක්ෂ දෙකේ වර්කිං කමිටි දෙක එකතු වෙලා මේ ගැන කතාකරන්නත් පුළුවන්. අපි එකතු වෙලා වැඩ කරමු. ඕගොල්ලෝ යෝජනා ටික ඉදිරිපත් කරන්න. සජබෙත් එක්ක එකතු වෙලා වැඩ කරනවට කවුරුත් විරුද්ධ නැහැ…’ යනුවෙන් රනිල් කියද්දී රනිල් කී එක් කතාවකට යම් සංශෝධනයක් එකතු කිරීමට අකිල පියවර ගත්තේය.

පොහොට්ටුවට අකිලගේත් විරෝධය!

‘හැබැයි සර් අපිට පොහොට්ටුවත් එක්ක ඉදිරි දේශපාලන ගමනක් යන්න බෑ. පොහොට්ටුවත් එක්ක සාකච්ඡා කරනවා කියලා අපි කිව්වොත් එතැනින්ම මේක වැටෙනවා. මොකද 21 නුගේගොඩ තිබ්බ පොහොට්ටුවේ රැස්වීමට ගියාට පස්සේ අපිට ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ආවා. ඒ නිසා පොහොට්ටුව කියන නම නැතුව ඕනෙ නම් විපක්ෂයේ පක්ෂ එක්ක සාකච්ඡා කරනවා කියලා කියලා දාලා නිවේදනයක් නිකුත් කරමු…’ යනුවෙන් අකිල කියද්දී ඊට සියලු දෙනාගේම එකඟතාව පළවිය. ඒ අනුව එජාපය මගින් පසුව නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වූයේ මෙවැන්නකි.

එජාපය දැමූ නිවේදනය!

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඪෂෂෂ වැනි විධායක ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පසුගිය දා හමුවිය. ඒ අනුව අද (07) දින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිල වශයෙන් මේ සාකච්ඡාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලදී.

පක්ෂ දෙක අතර තිබෙන කටයුතු ඉදිරියට ගෙන යාමට එකමුතුව කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පළකරන ලදී.

මේ පිළිබඳව පළමු පියවර හැටියට එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් අතර ඒකාබද්ධ වැඩපිළිවෙලකට එකඟ වීමට තීරණය කෙරිණි. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැලකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබීය.

  1. ජාතික වශයෙන් පළාත් පාලන ආයතනවල, නගර සභා, ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය අතර සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතුවලදී වැඩ කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීම.
  2. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩසටහන් 3කට කරුණු ඉදිරිපත් කිරීම.
  3. දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කරන අතර, එම පක්ෂවලටද මේ කරුණු පැහැදිලි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකේ නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීම.
  4. මෙම වැඩපිළිවෙලට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම.
  5. ඉන්පසුව පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරී මණ්ඩල ඒකාබද්ධව මුණගැසී සාකච්ඡා කිරීම.
  6. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර ගිවිසුම් පිළිබඳවත්, අප සම්බන්ධ වී කටයුතු කරන පක්ෂත්, සමගි ජන බලවේගය සමග එකමුතු වී කටයුතු කරන අතර, එම සියලු පක්ෂ දැනුවත් කිරීම.
    එක්සත් ජාතික පක්ෂය.
    2026.01.07

ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, එක් අයකු දෙන්නකු හැරුණු විට සජබ-එජාප එකමුතුවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින සියලු දෙනාම පාහේ කොළ එළිය දල්වා ඇති බවය. ඊට විරුද්ධව යන්තම් හෝ අදහස් දක්වා තිබුණ් රන්ජන් රාමනායකගෙන් හිස්වූ ගම්පහ පාර්ලිමේන්තු ආසනයට පැමිණ රනිල් සමග ඩීල් දැමීම හේතුකොට ගෙන සජබයෙන් පන්නා දැමූ අජිත් මාන්නප්පෙරුමත්, පක්ෂ කිහිපයකටම පැන පැන ගොස් ඇමැති ධුර දරා මේ වනවිට ඇපත් නැතිව සිටින පරාජිත චරිතයකුත් ඇතුළු දෙතුන් දෙනකු පමණි. ඒ සඳහා ඔවුන් තැන් තැන්වල පැවැත්වූ රහස් සාකච්ඡාත්, සමගිය කඩන්න කළ සැලසුම්වල තොරතුරුත් ‘රාජ්‍ය රහස්’ තීරය සතුව පවතී. අප ඒවා මේ මොහොතේ පළ නොකරන්නේ සජබය සහ එජාපය අතර එකමුතුව සම්බන්ධයෙන් අපද සමීපව බලා සිටින නිසාය.

අර්ජුනයි නෝනයි!

මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමේදී රටට දුන් එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ මහබැංකු බැඳුම්කරු වංචාවේ මහමොළකරු වශයෙන් සැලකෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බෙල්ලෙන් අල්ලා ලංකාවට කුදලාගෙන පැමිණෙන බවය. නමුත් ආණ්ඩුව බලයට පත්වී මේ වනවිට වසරකුත් ඉක්ම ගොස් තිබුණද එවැන්නක් සිදුවනවා තියා සිදුවන ලකුණක් හෝ දැකගන්නට නැත. ඒ අනුව අපේ රටේ ජනතාවට අර්ජුන් මහේන්ද්‍රන්වත්, මහබැංකු කොල්ලයත් අමතක වී යන ආකාරයක් දැකගන්නට ලැබිණි.


නමුත් හදිසියේම අර්ජුන් මහේන්ද්‍රන් යළි කරළියට පැමිණියේ දැනට ලන්ඩනයේ වාසය කරන මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරියගේ ෆේස්බුක් පිටුවෙනි. උවිඳු සමග පවතින හිතවත්කම නිසා අර්ජුන් උවිඳුට වීඩියෝ ඇමතුමක් ගෙන කතාබහක යෙදී තිබූ අතර, පසුව එය උවිඳු අර්ජුන්ගේ අවසරය මත සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමට කටයුතු කොට තිබිණි. උවිඳු එය පළ කර තිබුණේ ජනාධිපතිවරයාට ලබාදීමට පණිවුඩයක් අර්ජුන් තමාට ලබාදුන් බව කියමිනි. ඒ අනුව රනිල් ජනාධිපතිව සිටි කාලයේ පවා ප්‍රසිද්ධියේ එළියට ඒමට බියට පත්ව සිටි අර්ජුන් මහේන්ද්‍රන් අනුරගේ පාලන සමයේ පළමු වරට නොබියව එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. තමන් තවදුරටත් සැඟවී නොසිටින බවට අර්ජුන් මහේන්ද්‍රන් රටට දුන් පළමු ඉඟිය බවට පත්වූයේ එයය.

ඉන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය සතියේ නැවත වතාවක් නව වසරට සුබ පතමින් පළමු වරට සිය බිරිය සමග සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගත්තේය. එයද එළියට ආවේ උවිඳුගේ ෆේස්බුක් පිටුවෙනි. ඒ අනුව දැන් අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු බියක් සැකක් නොමැතිව තමන්ව බෙල්ලෙන් අල්ලාගෙන කුදලාගෙන එනවා යැයි කී ආණ්ඩුවක් බලයේ සිටියදී බිරිය සමග සිටින ඡායාරූපද ප්‍රසිද්ධියට පත්කරන තරමට කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට ඇත. එසේ අර්ජුන් එළියට පැමිණෙන්නේ තමන් අත්අඩංගුවට ගනු ඇති බවට වූ බිය පහව ගොස් ඇති නිසාද, එසේත් නැත්නම් යම් සැකසහිත ගනුදෙනුවක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳ බොහෝ දෙනාට සැකයක් මතුවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඉදිරියේදී කටයුතු සිදුවන ආකාරය අනුව මෙම ඡායාරූපයේ පසුපස කතාව සියල්ලන්ටම දැකබලා ගැනීමට හැකිවනු ඇත.

ඉන්දයාවේ පණිවුඩය

මීට සති කිහිපයකට ඉහතදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රධානීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී නිල වශයෙන් සාකච්ඡා වූ කරුණු මාධ්‍ය මගින් සියල්ලන්ටම දැකගත හැකි විය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ මෙතෙක් කිසිදු මාධ්‍යයක සඳහන් නොවුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයට අදාළ සිදුවීමකි.

ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පැවැති හමුවේදී දෙපාර්ශ්වයේම ඉහළ පෙළේ නිලධාරීන් ඊට සහභාගි වී සිටි අතර, සාකච්ඡාව අවසාන භාගයේදී අනෙකුත් සියලු නිලධාරීන් ඉවත් කොට ජනාධිපතිවරයා සහ ජයශංකර් අතර පමණක් මුහුණට මුහුණ පැය භාගයක පමණ විශේෂ හමුවක් සිදුවිය. මෙහිදී ජයශංකර් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබාදී තිබූ අතිවිශේෂ පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. එහිදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවුණු ආකාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් ලංකාවට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ජයශංකර් වෙත ස්තුතිය පළකිරීමට කටයුතු කළ බවක්ද දැනගන්නට ඇත.

චීන විදේශ ඇමැති දෙන්න යන දේ!

ජයශංකර් ලංකාවෙන් පිටව යෑමට පෙරම චීන රජයේ ඉහළ පෙළේ විශේෂ නියෝජිතයකුද ඒ අවස්ථාවේ ලංකාවට පැමිණියේය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරකසභාවේ සාමාජික සහ ෂිෂැන්ග් ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් මහතාය. ඒ වනවිට දිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට දැවැන්ත හානියක් සිදුව තිබීම නිසා වැන්ග් ජුන්ෂෙන් මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අධාර උපකාර ලබාදීමට චීනය සූදානම් යැයි කියාය. එම ව්‍යාපෘතිය කුමක්ද යන්න පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බවද චීන විශේෂ නියෝජිතයා ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටියේය.

ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලංකාවට පැමිණීමට නියමිතය. ඒ, දකුණු අප්‍රිකාව බලා සිදුකරන නිල සංචාරය අතරතුරදී අතරමැද ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙසටය. ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා කටුනායකින් ගොඩබසිද්දී ඔහුව පිළිගැනීමට ජනාධිපතිවරයාත්, අගමැති හරිනි අමරසූරියත්, විදේශ අමාත්‍ය විජිත හේරතුත් ගුවන් තොටුපළ බලා යෑමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී චීනය විසින් භාරගනු ලබන ව්‍යාපෘතිය පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් සිදුකරනු ඇති බවක්ද දැනගන්නට තිබේ.

ජාත්‍යන්තර සමුළුවක් නෑ! එන්නෙ වෙබ් අඩවියක්!

මීට අමතරව සුළි කුණාටුවෙන් විනාශ වූ පළාත් යළි ගොඩනැගීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව පසුගිය කාලයේ පියවර ගෙන තිබිණ. විනාශයත් සමග ආණ්ඩුව ‘රීබිල්ඩ් ශ්‍රී ලංකා‘ නමින් අරමුදලක් ආරම්භ කොට ඒ සඳහා අරමුදල් ලබාදෙන ලෙසට මුළු රටෙන්ම ඉල්ලීමක් කළේය. එපමණක් නොව ආධාර ලබා දෙන ලෙසට විදෙස් තානාපතිවරුන් කැඳවා ඔවුන්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කිරීමට අගමැතිවරියත්, විදේශ අමාත්‍යවරයාත් කටයුතු කොට තිබිණි. ඒ අවස්ථාවේදී විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණේ වහාම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගන්නා ලෙසටය. එක් අවස්ථාවකදී ආණ්ඩුව පැත්තෙන්ද කියවුණේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමට සැලසුම් කරමින් සිටින බවය.
නමුත් මේ වනවිට ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තාවන තොරතුරුවලින් කියැවෙන්නේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමේ යෝජනාව ආණ්ඩුව විසින් ඉවත දමා ඇති බවකි. යම් හෙයකින් මෙම ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වා අසාර්ථක වුවහොත් එය බරපතළ ලෙස ආණ්ඩුවේ අනාගතයට බලපානු ඇති බවට එක් විශේෂඥයකු දුන් උපදෙසක් අනුව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. ඒ වෙනුවට මුළු රටේම හානියට පත්වූ මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම්, නිවාස, පාසල්, පොදු ගොඩනැගිලි ඇතුළු සියල්ල සහ ඒවා යළි ගොඩනැගීමට වැයවන ඇස්තමේන්තු සියල්ල ඇතුළත් කොට නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව ආරංචිය. දැනටමත් එහි වැඩකටයුතු සියල්ලම අවසන් කොට ඇති අතර, ලබන අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා විසින් එය රටට ඉදිරිපත් කිරීමට සූදානම් කොට ඇති බවක් දැනගන්නට තිබේ.

මීට පෙර පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්ද ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරියේදී විනාශයට පත්වූ සියලු දේපළ සහ ඒවා ගොඩනැගීමට යන වියදම් ඇතුළත් ලේඛනයක් රටට ඉදිරිපත් කරන බවත්, අවශ්‍ය ඕනෑම දානපතියකුට හෝ රටකට හෝ ආයතනයකට එම ව්‍යාපෘති බාරගත හැකි බවත්ය. ඔවුන් කැමැති නම් ඒවා යළි ඉදිකිරීමෙන් පසු ඔවුන්ගේ නම ඇතුළත් පුවරුවක් එහි සවිකළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඒ අනුව මෙම තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය ලබන අඟහරුවාදා දිනයේදී විවෘත කිරීමෙන් අනතුරුව ඕනෑම අයකුට එහි ඇති ව්‍යාපෘති භාරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අර්බුදයක් එනවා

පසුගිය සති කීපයේදී නැවත වතාවක් ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අර්බුදයක් පිළිබඳ පාර්ශ්ව කීපයකින්ම අනතුරු ඇඟවීමක් කළ ආකාරයක් දැකගත හැකි විය. වරක් එජාපයේ හරින් ප්‍රනාන්දු කියා සිටියේ ලබන අප්‍රේල් මාසය වනවිටදී ආර්ථිකය අර්බුදයකට යන බවකි. රාජිත සේනාරත්න කියා සිටියේ මේ වසර අවසානය වනවිට ආර්ථික අර්බුදයක් මතුවන බවකි. විමල් වීරවංශද පසුගිය සතියේ මාධ්‍ය හමුවකට පැමිණ කියා සිටියේ රටට නැවත වතාවක් ආර්ථිකමය වශයෙන් අර්බුදයකට යෑමේ අවදානමක් මතුව ඇති බවකි. මෙම පිරිස් කුමන දේශපාලන අරමුණක් සහිතව මේ ආකාරයට ආර්ථික අර්බුදයක් ගැන අනාවැකි පළකළාද යන්න පැහැදිලි නැතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ප්‍රායෝගිකව මතුවිය හැකි අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සූදානම්ය. මෙයද එක්තරා ආකාරයක ආර්ථික අර්බුදයක සලකුණක් වුවත් එය සිදුවන්නේ ලබන අප්‍රේල් මාසයේද, වසර අවසානයේද, එසේත් නැත්නම් 2027 වසරේද, නැත්නම් 2028 වසරේද යන්න පිළිබඳ නිශ්චිත වශයෙන් කීමට අපට හැකියාවක් නැත.

ආපදාවෙන් පසු ආණ්ඩුව රට යළි ගොඩගැනීමට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීමට කටයුතු කොට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධය මධ්‍යයේය. මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී තිබුණේ ඒ සඳහා ඉක්මන් නොවන ලෙසත්, ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී එවැනි මුදලක් සොයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මැදිහත්වී කටයුතු කළ හැකි බවත්ය. එමෙන්ම බිලියන 500ක මුදල් ඒ සඳහා වෙන් කරන්නේ නම් එම මුදල් නැවත සොයාගන්නේ කෙසේද, එම මුදල වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූල්‍ය අරමුදල ප්‍රශ්න කළත් ආණ්ඩුව පැත්තෙන් ඊට නිසි පිළිතුරක් ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. මේ නිසාම මූල්‍ය අරමුදල මගින් ලබාගත් ණය වාරිකයේ පස්වැනි වාරිකය නිදහස් කිරීම සඳහා ආණ්ඩුවත් මූල්‍ය අරමුදලත් අතර ඇතිකරගෙන තිබූ කාර්ය මණ්ඩල එකඟතාව අවලංගු කොට එය ලබන පෙබරවාරි දක්වා කල්දැමීමට මූල්‍ය අරමුදල පියවර ගෙන තිබිණි. ඒ අනුව මෙතෙක් ගිවිසුමට අනුකූලව ගලාගෙන ආ ගමන එක්වරම අතරමග නැවතුනු ආකාරයක් දැකගත හැකි විය.

IMF ගිවිසුම නවත්වයිද?

ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව වන ක්‍රිස්ටලීනා ජෝජියාව සහ ඉහළ පෙළේ දූත පිරිසක් මේ මාසය ඇතුළත ලංකාවේ සංචාරය කිරීමටද නියමිතය. එහිදී මෙම රුපියල් බිලියන 500 යළි සොයාගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත සැලැස්මක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් යම් අවදානම්කාරී තත්ත්වයක් මතුවීම වැළැක්විය නොහැක. එවැනි තත්ත්වයක් මතුවුවහොත් බොහෝ දුරට මූල්‍ය අරමුදල ලබන මාර්තු අප්‍රේල් මාසය වනවිට ලංකාවේ ණය තිරසරභාවය ස්ථාවර නොමැති බවටත්, විදෙස් ණය ගෙවීමේ නොහැකියාවක් දිගුකාලීනව මතුවිය හැකි බවටත් ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව වැඩි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. යම් හෙයකින් මූල්‍ය අරමුදල එවැන්නක් ප්‍රකාශ කළහොත් අර්බුදයක් මතුවීමේ මුල් අවස්ථාව එය වනු ඇත. එසේ වුවහොත් ගෝඨාගේ කාලයේ සිදුකළාක් මෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව නැවත වතාවක් සිය ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටමකට ගෙන ඒමේ අවදානමක් තිබේ. එහි ඊළඟ පියවර වනු ඇත්තේ ලංකාවට කිසිම ජාත්‍යන්තර මට්ටමේ ණයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුවීමය. අර්බුදය ගලාගෙන යනු ඇත්තේ ඒ ආකාරයටය. එවැනි පසුබිමක් මතුවුවහොත් එය එක රැයකින් ආර්ථිකය හෝ ආණ්ඩුව කඩාවැටීමේ තත්ත්වයක් නොව දිගුකාලීන ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවක් පමණක් වනු ඇත.

නමුත් මේ සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව පැත්තෙන් නිසි සැලසුමක් හෝ නිසි ප්‍රතිචාරයක් ලැබී ඇති ආකාරයක් දැකගන්නට නැත. යම් හෙයකින් ආණ්ඩුවට මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා වෙනත් නිශ්චිත සැලසුමක් තිබෙනවා විය හැකිය. මූල්‍ය අරමුදල එවැනි ස්ථාවරයකට ගියහොත් ආණ්ඩුව එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනාවද විය හැකිය. එහි ප්‍රතිඵල බලාගැනීම සඳහා තවත් මාස දෙක තුනක කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය වෙන කට්ටියක් අල්ලාගනී! රාජ්‍ය ලාංඡනයත් විකෘති කරලා! I Sri Lanka Latest News

Next Post

2026වත් මේවට උත්තර ඕනෑ! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.