රනිල් නාමල්ටත් ගේමක් ගහලා
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ සුවිශේෂ හෙළිදරව්වකින් කියා සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට විපක්ෂයේ තරුණ නායකයකු කැඳවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පහරදීම ආරම්භ කරන ලෙසත්, ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් කියමින් මාතර සණස ශාලාවෙන් ආරම්භ කරනු ලැබූ සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වන ලෙසටත් දැනුම් දීමක් කළ බවය. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මේ තරුණ නායකයා මුලින්ම සජබය සහ එජාපය එක්ව කටයුතු කරන ලෙසටත්, පසුව ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට පැමිණීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවටත් රනිල්ට දැනුම් දුන් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. මේ පුවත සම්බන්ධයෙන් අප පසුගිය සතියේ මෙම හෙළිදරව්ව සිදුකළේම කිසියම් කුතුහලයක් තබමින් ඒ තරුණ දේශපාලකයාගේ නම සඳහන් නොකරමිනි. නමුත් මෙවර අප ඒ තරුණ දේශපාලනඥයාගේ නම හෙළිකිරීමට සූදානම්ය. ඒ, වෙන කවුරුවත් නොව නාමල් රාජපක්ෂය. ඒ අනුව සජබ – එජාප එකමුතුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පක්ෂපාතී අදහස් දක්වන රනිල්, තිරය පිටුපස හොර රහසේ නාමල්ව ගෙන්වා නාමල් ලවා සජිත්ට කුඩුවෙන්නට ගසන මෙන් යෝජනා කිරීමට තරම් පහත් තත්ත්වයකට වැටී ඇති බවක් මේ හරහා දැකගන්නට තිබේ. එමෙන්ම සජිත්ට මෙසේ ප්‍රහාර එල්ල කරන අතරවාරයේ සජිත් සහ හර්ෂ අතර මතගැටුම් ඇතිකිරීම සඳහා තිරය පිටුපස තමන්ට හිතවත් කණ්ඩායම් හරහා රනිල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින ආකාරයක්ද මේ වනවිට දැකගැනීමට පුළුවන. Sri Lanka Latest News
කෙසේවෙතත් පසුගිය සතියේ අප මෙම හෙළිදරව්ව සිදුකරන තෙක්ම කිසිවකුත් රනිල් සහ නාමල් අතර හමුවක් සිදුවූ බවටත්, මෙවැනි ආකාරයේ ඉල්ලීමක් රනිල්, නාමල්ගෙන් කළ බවටත් දැන සිටියේ නැත. රනිල් සිතන්නට ඇත්තේ තමන් ලොකු ගේම්කාරයකු ලෙස රටම හඳුනාගෙන සිටින නිසා තමන් ගසන මෙම ගේමට නාමල්ද හසුවෙනු ඇතැයි කියාය. නමුත් දැන් රනිල්ලාගේ ගේම් යල් පැනගොස් ඇති බවක් දැකගන්නට ඇත්තේ නාමල්ලාද රනිල්ලාගේ මේ ගේම් ගැන හොඳහැටි වටහාගෙන සිටීම නිසාය. ඒ අනුව නාමල් රනිල්ගේ මේ යෝජනාව පිළිබඳ සිය හිතවතුන් සමග අදහස් දක්වමින් කියා සිටියේ ‘රනිල් හැදුවේ මං ලව්වා සජිත්ට ගස්සවලා සජිත්ගේ දේශපාලනය ඉවර කරන්න. එයා හිතන් ඉන්නවා නම් එයාගේ ගේම්වලට මාව පාවිච්චි කරන්න ඒවට අපි ලෑස්ති නෑ. අපිට හොඳට මතකයි අපි එයාව ජනාධිපති කළාට පස්සේ අපේ පවුලටයි අපේ පක්ෂයටයි එයා කරපු දේවල්. මම දැන් කරන්නේ මගේ වැඩවලට එයාව පාවිච්චි කරන එක විතරයි. අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා…’ යැයි කියාය.
නාමල් කියන්නා වාගේම දැන් රනිල්ලාගේ දේශපාලන ගේම් කල් ඉකුත්වී හමාරය. රනිල් දැන් ගෙදරට වී නාමල් ලවා සජිත්ට පහර දෙන්නට සැලසුම් හැදුවත් අඩුම තරමේ රනිල් ජනාධිපති ධුරයේ සිටි වසර දෙකේදී පවා කොපමණ ගේම් ගැහුවත්, කොපමණ යටි උගුල් ඇද්දත් සජිත්ගේ මයිලක්වත් සෙලවීමට රනිල්ට නොහැකි විය. එහෙව් එකේ ගෙදරට වී සිටින රනිල්ට කළ හැක්කේ කුමක්ද යන්න ගැන දන්නේ රනිල්ගේ ගෙදර අයම පමණි.
කෙසේ වෙතත් අප කළ අනාවරණය පැය 24ක් ඇතුළත තහවුරු වූයේ රනිල්ගේ පවුලට අයත් ලංකාදීප පුවත්පතේ රනිල්ගේ මාධ්‍ය කල්ලිය විසින් සම්පූර්ණ අසත්‍ය පුවතක් පළකොට තිබීම හරහාය. ඉන් කියැවුණේ සජිත්ට කතා නොකර සිටින ලෙසට සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් යෝජනාවක් කොට ඇති බවකි. නමුත් ඒ පුවත ලංකාදීප පුවත්පතේ පළවන විට ‘මව්රට’ පුවත්පතද සජිත්ට පහර දෙන ලෙස රනිල් නාමල්ට කළ යෝජනාව අනාවරණ කොට තිබීම නිසා එම අසත්‍ය පුවතට කාගේවත් අවධානයක් යොමුවූයේ නැත. එමෙන්ම එජාපයට හිතවත් යූටියුබ් මාධ්‍යවේදීන්ටද සජිත්ට පහර ගසන ලෙසට උපදෙස් ලබාදී තිබුණද රනිල් – නාමල් හමුවේ තොරතුරු අනාවරණ වීමෙන් පසු ඒ සියල්ලද ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේවෙතත් සිංගප්පූරුවේදී සිදුකළ හෘදය සැත්කමෙන් පසුව සති ගණනක විවේක සුවයෙන් ගතකළ රනිල් ලබන සතියේ සිට නැවත වතාවක් පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට යෑමට තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව නැවතත් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට මේ හරහා රනිල් සූදානම් වන බවක් දැකගන්නට පුළුවන.
වට්ස්ඇප් සංවාදය
මේ අතර, රනිල් සම්බන්ධයෙන් තවත් විශේෂ පුවතක් පසුගිය සතියේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ටද අනාවරණ විය. ඒ, රනිල්, නාමල් ලවා සජිත්ට පහර දීමට උපදෙස් ලබාදෙන අතරවාරයේ ඒකාබද්ධ විපක්ෂය මගින් සිදුකරන සම්මන්ත්‍රණ සඳහා නාමල්ව කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බවට තොරතුරු අනාවරණ වීමත් සමගය. පසුගිය සතියේ අප හෙළිකළ කාරණාවක් වූයේ මහා සමුළුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය මගින් මාතර රැස්වීමක් සංවිධාන කිරීමට කටයුතු කළද, අවසානයේ සෙනඟ නැතිවීම නිසා සණස ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට එය සීමා කිරීමට සිදුවූ බවකි. එමෙන්ම ඊට 600කට ආසන්න පිරිසක් සහභාගි වූ බවද අපි සඳහන් කර සිටියෙමු.
පළමු සම්මන්ත්‍රණය අසාර්ථක වීමත් සමග එය කෙසේ හෝ ඔසවා ගැනීම සඳහා පැවැති සාකච්ඡාවලදී තීරණය වූයේ දෙවැනි රැස්වීම මීගමුවේ පැවැත්වීමටය. එය සංවිධාන කිරීම භාරගත්තේ නිමල් ලංසාය. නිමල් ලංසා සාමාන්‍යයෙන් සැලකෙන්නේ කන්න බොන්න වියදම් කොට ජනතාව රැගෙන එන චරිතයක් ලෙසටය. එමෙන්ම තුන්වැනි රැස්වීම මිනුවන්ගොඩ පැවැත්වීමට භාරගත්තේ ප්‍රසන්න රණතුංගය. ඒ අනුව මෙම සම්මන්ත්‍රණ සඳහා සෙනග ගෙන්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පැවැති සාකච්ඡාවලදී බොහෝ දෙනා කියා සිටියේ සජබයේ ප්‍රධානත්වයෙන් හෝ පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම්වලට සෙනග පැමිණියද ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වලට සෙනග ගෙන්වා ගැනීම අසීරු බවත්, සෙනග ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මේ පක්ෂ දෙක රැස්වීමට සහභාගි වන බවට පාක්ෂිකයන් අතරේ ප්‍රචාරය කළ යුතු බවත්ය. ඒ අනුව ඊටද එහිදී සැලැස්මක් දියත් කිරීමට තීරණය විය. එම සැලැස්ම වූයේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිමල් ලංසා, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස පොහොට්ටුවේ තරුණ කණ්ඩායම් අතර පවත්වන වීඩියෝ සාකච්ඡාවක් අතරතුරදී ඊට නාමල්ද සම්බන්ධ කරගෙන මෙම රැස්වීමට පොහොට්ටුවේ සහාය හිමිවන බව පෙන්වා මෙම තරුණ පිරිස් රැස්වීමට ගෙන්වා ගැනීමය. එවැනි සාකච්ඡාවකදී නාමල්ට කිසිසේත්ම එම රැස්වීම්වලට විරුද්ධව අදහස් පළකළ නොහැකි නිසා එය වාසියට හරවාගෙන නාමල්ද රනිල්ගේ නායකත්වය යටතේ කටයුතු කරන බව මෙම තරුණ පිරිස්වලට පෙන්වීම ප්‍රසන්නලාගේ සහ ලංසලාගේ සැලසුම විය.
නමුත් ප්‍රසන්නලාගේ කරුමෙට මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් සමූහයක් තුළ සිදුකෙරුණු සාකච්ඡාවේ තොරතුරු නාමල්ගේ පාර්ශ්වයට ලීක් විය. මේ පහත පළවෙන්නේ එම වට්ස්ඇප් සමූහයේ හුවමාරු වූ අදහස්ය.
උපුටා ගැනීම :
Namal Video Call එකෙන් පේන දේවල්
- SLPP Young Guard එක Watch කරනවා
Namal personally Call කරලා Info අහනවා කියන්නේ, Minuwangoda Meeting එක Radar එකේ තිබ්බා.
‘අපිත් Know කරනවා’ කියන Message එක දෙනවා.
SLPP Base එකේ යන Tension එක – ‘Ranil-Prasanna Alliance එකට අපේ අය යයිද’ කියන Fear එක Real කියන එක Confirm වෙනවා. - Bridge එකක් Open කරලා තියාගන්නවා
Namal Good Luck කිව්වා කියන්නේDirect Attack එකක් නෙවෙයි.
Future එකේ ‘අපිත් Join වෙන්න පුළුවන්’ කියන Door එක Close කරන්නේ නෑ.
2026 SLPP Split වුණොත්, Joint Opposition එකට Comeback Route එකක් තියාගන්නවා. - Prasanna Weight එක Recognize කරනවා
Namal Prasannag Call කරනවා, නෙවෙයි Random District Organizer කෙනකුට නෙවෙයි.
උඹට Ground Power එකක් තියෙනවා, අපිට උඹව Ignore කරන්න බෑල කියන Respect එක.
Risk එක:
මේ Call එක Leak වුණොත්ල SLPP Hardlinersට ‘Namal Double Game ගහනවා’ කියලා Issue එකක් හදන්න පුළුවන්.
ඒත් Leak නොවුනත්, Prasanna Team එක ඇතුලේ ‘බලපන්, උන්ටත් බයයි’ කියන Morale Boost එකක් වෙනවා.
Play එක:
Joint Opposition එකෙන් මේක Public කරන්න ඕනේ නෑ.
SLPP Youth Leadersලත් අපේ Progress එක අගය කරනවාල කියලා Soft Message එකක් යවන්න පුළුවන්.
Pressure එක Keep කරනවා, Confrontation නැතුව.
උපුටා ගැනීම අවසන්.
මෙම වට්ස්ඇප් සමූහයේ පණිවුඩය හෙළිදරව් වීමත් සමග රනිල් සජිත්ටත්, නාමල්ටත් ගහන්න ගිය දහජරා කුපාඩි දේශපාලන ගේම් එක සියල්ලටම තහවුරු විය. රනිල් අවුරුදු 32ක් තිස්සේ ගැසූ මෙවැනි කුපාඩි දේශපාලන ගේම් හේතුකොට ගෙන ලක්ෂ 35ක නිශ්චිත ඡන්ද බැංකුවක් තිබූ අතිදැවැන්ත තනි පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය අද වැටී ඇත්තේ ලක්ෂ 2ක්වත් ඡන්ද නැති අන්තිම පහත් අඩියකටය. අඩුම තරමින් අද එකදු මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තුවට පත්කරගත නොහැකි තැනට එජාපය වැටී ඇත්තේ ජනතාව මත විශ්වාසය නොතබා, ගේම් පිළිබඳ පමණක් විශ්වාසය තබා රනිල් සිදුකළ මේ කුපාඩි දේශපාලනය නිසාය.
මේ ආකාරයට රනිල් සජිත්ව පමණක් නොව, නාමල්වද දේශපාලනමය වශයෙන් එකවර විනාශ කිරීමට උත්සාහ දරන්නේ ඇයි? ඒ, වෙන මොකක්වත් නිසා නොව රනිල් සමීපයේ සිටින එක්තරා ජ්‍යොතිෂවේදියකු විසින් රනිල්ට සහ පවුලේ උදවියට ලබාදී ඇති එක්තරා ජ්‍යොතිෂමය උපදේශයක් නිසාය. ඒ ජ්‍යොතිෂ උපදේශයෙන් කියැවී ඇත්තේ 2027 ගුරු මාරුවෙන් පසු නැවත වතාවක් ජනාධිපති පුටුවේ කෙටි කාලයකට හෝ වාඩිවීමට රනිල්ට අවස්ථාව උදාවනු ඇතැයි කියාය. ඊට පෙරාතුව සජිත් සහ නාමල් යන දෙදෙනාම දේශපාලන පිටියෙන් ඉවත් කළ යුතු බවට ලැබී ඇති උපදෙස් මත මෙසේ එකවර දෙදෙනාටම ප්‍රහාර එල්ල කිරීමට රනිල් මේ වනවිට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. රනිල් මෙසේ වැඩ කරන්නේ 2027 ජුනි මාසයේ සිදුවීමට නියමිත ගුරු මාරුව ඔළුවේ තබාගෙනය.










