• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Rajya Rahas

ඇමැතිවරු තුන්දෙනෙක්ට හොඳ පාඩමක් උගන්වන්න පොහොට්ටුව ලෑස්ති වෙයි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

November 26, 2022
in Exclusive, Rajya Rahas
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

අජිත් දොවාල් ආ එක කිව්වේ අපි විතරයි! කිසිම මාධ්‍යයකට හොයාගන්න බැරි වුණා!

ගුවන් සීමාව වහපු කතාව ඇත්තක්ද?

බැසිල්ගේ කොණ්ඩය එකපාරටම සුදු වුණේ ඇයි?

ආණ්ඩුවම හොල්මන් වෙන්න සජිත් අයවැයට ගහපු ගේම් එක!

කල්තියා අපි කරපු හෙළිදරව්ව!

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතාගේ පුත්‍රයා වූ ෂවුර්යා දෝවාල් මහතා හදිසියේම ලංකාවට පැමිණි බව වාර්තා කළෙමු. එමෙන්ම ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ දුරකතන සංවාදයක් පැවැති බවද අපි සඳහන් කර සිටියෙමු. ඒ අනුව අප කළ මෙම විශේෂ අනාවරණය සහිත ‘මව්රට’ පුවත්පත වෙළෙඳපළට නිකුත් වූයේ ඉකුත් සෙනසුරාදා (19) වැනි දිනය. නමුත් පුවත්පත වෙළෙඳපොළට නිකුත් වූ සෙනසුරාදා දහවල් වරුවේ අපට තවත් සුවිශේෂ පුවතක් දැනගන්නට ලැබිණි. ඒ, ඉන්දීය ‘ජාතික ආරක්ෂක උපදේශක’ අජිත් දෝවාල් මහතා හදිසියේම ලංකාවට පැමිණීමට තීන්දු කර ඇති පුවතය. ඒ අනුව අතිවිශේෂ පුවතක් ලෙස අප එම පුවත සෙනසුරාදා දිනයේදීම අප වෙබ් අඩවිය වූ www.mawratanews.lk ඔස්සේ රටට දැනුම් දීමට පියවර ගත්තෙමු. අප පළ කළ එම පුවත මෙසේය.

අපි වෙබ් එකේ දැම්මේ මෙහෙමයි!

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හදිසියේම ලංකාවට එයි! දින 2ක් නවතී! ඉහළ පෙළේ සාකච්ඡා රැසක්! EXCLUSIVE

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ‌දෝවාල් මහතා හදිසියේම හෙට (19) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා‌ වේ.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ ලංකාවේ ගත කරන දෝවාල් මහතා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසේ.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (20) දිනයේදීය.

මේ ආකාරයට හදිසියේම දෝවාල් මහතා ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය රජයේ විශේෂ පණිවුඩයක් ලබාදීමේ අරමුණින්ද, එසේත් නැතිනම් ලංකා ආණ්ඩුවේ විශේෂ පණිවුඩයක් ඉන්දියාවට රැගෙන යාමේ අරමුණින්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරාම ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් සූදානම් කිරීමට අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන් උත්සාහ දරා තිබුණද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වී තිබුණේ මෝදි මහතා ඒ සදහා වේලාවක් ලබා නොදීම හේතුකොටගෙනය.

ජනාධිපතිවරයා මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා පමණක් නොව ඉන්දියාවේ ශ්‍රී ලංකා ‌මහකොමසාරිස් ධුරය දරණ මිලින්ද මොරගොඩ මහතා හරහාද ඊට වේලාවක් ලබාගැනීමට උත්සාහ කළද එය සාර්ථක වී තිබුණේ නැත.

පසුව අනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක මහතා ඉන්දියාව බලා පිටත් කොට යැවුණද ඔහුටද ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් පැවැත්වීමට වේලාව වෙන්කර ගැනීමට හැකි වූයේ නැත.

ඉන් අනතුරුව පසුගිය සතියේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සමග දුරකතනයෙන් සාකච්ජා කොට ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් සූදානම් කරන ලෙසට ඉල්ලීමක් කොට තිබිණ. නමුත් එයද සාර්ථක වූයේ නැත.

කෙසේවෙතත් මෙවැනි පසුබිමක් යටතේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතාගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

මාධ්‍ය කඩිගුලක් වගේ ඇවිස්සෙයි! කතාවේ ඇත්ත නැත්ත හොයයි! කවුරුත් සද්ද නෑ!

ඒ අනුව අප මෙම පුවත අතිවිශේෂ පුවතක් ලෙස වෙබ් අඩවියේ පළකිරීමත් සමග මෙරට මාධ්‍ය ඔස්තාර්ලා යැයි කියාගන්නා පිරිස්, විවිධ තරාතිරම්වල සිටින මාධ්‍යවේදීන් විවිධ පාර්ශ්ව හරහා අප පළ කළ මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට පියවර ගන්නා ආකාරයක් දැකගන්නට හැකි විය. ඇතැමුන් ඍජුවම මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට කතාකොට මේ පුවතේ ඇත්ත නැත්ත විමසා සිටියහ. තවත් පිරිසක් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහාත්, ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු භාරව සිටින විවිධ පුද්ගලයන් හරහාත් මෙම පුවතේ ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගත්හ. නමුත් ඒ කිසිදු තැනකින් ඔවුන්ට මෙම පුවත තහවුරු කරගැනීමට හැකිවූයේ නැත. එසේ කතාකළ බොහෝ දෙනාට ලැබී තිබුණු පිළිතුර වූයේ අපි නම් එහෙම දෙයක් දන්නේ නැතැයි කියාය. මේ නිසාම ඇතැම් මාධ්‍යවේදීන් සිය පුවත්පත්වල හෝ වෙබ් අඩවිවල මේ පිළිබඳ වචනයක් හෝ සඳහන් නොකර නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.

එන්න දවස් 2ක් පරක්කු කළා!

කෙසේ වෙතත් අප කී පරිදි දෝවාල් 19 වැනි දින ලංකාවට පැමිණියේ නැත. එයද අපට අතිශය විශ්වාසදායක ආරංචි මාර්ගයකින් තහවුරු කරගැනීමට හැකි විය. එම ආරංචි මාර්ගයෙන් කියැවුණේ දෝවාල් සිය ලංකා ගමන හදිසියේම තවත් දින දෙකකින් කල් දැමීමට තීරණය කොට ඇති බවය. ඒ අනුව දෝවාල් ලංකාවට පැමිණියේ සඳුදා (21) රාත්‍රියේය. ඒ, ඉන්දීය විශේෂ ජෙට් යානයකිනි. එම තොරතුර තහවුරු වූ වහා අප එම පුවතද ඊට පසුදින එනම් අඟහරුවාදා අතිවිශේෂ පුවතක් ලෙස අපගේ www.mawratanews.lk වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගත්තෙමු.

යළිත් මාධ්‍ය – වෙබ්අඩවි ඇවිස්සෙයි!

ඒ අනුව ඉකුත් වතාවේ මෙන්ම මේ වතාවේදීද දෝවාල්ගේ ලංකාවට පැමිණීමේ පුවත අප වෙබ් අඩවියෙන් දුටු අනෙකුත් මාධ්‍ය මී වදයකට ගලක් වැදුණු පරිද්දෙන් ඇවිස්සී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. වහාම ඔවුහු පසුගිය වතාවේදී මෙන්ම මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට, ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ට සහ ජනාධිපතිවරයාගේ හිතවතුන්ට ඇමතුම් දෙමින් මේ පිළිබඳ විමසා සිටීමට පියවර ගත්හ. නමුත් ඒ කිසිවකුටත් දෝවාල්ගේ ලංකා ගමන තහවුරු කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම මාධ්‍යවේදීන් ඒ ගැන වචනයක් හෝ නොලියා නිහඬව සිටින ආකාරයක් අපට දැකගත හැකි විය.

ඉන්දීය මාධ්‍යත් කට වසාගනී!

නමුත් ප්‍රශ්නය ඇත්තේ ලංකාවේ මාධ්‍ය පිළිබඳ නොව ඉන්දීය මාධ්‍යවත් දෝවාල්ගේ මේ හදිසි ලංකා ගමන පිළිබඳ වචනයක් හෝ කතා නොකොට නිහඬ පිළිවෙතක් දැරීමය. සාමාන්‍යයෙන් වෙනදා නම් දෝවාල් විදෙස් සංචාරයක නිරත වන්නේ නම් එය කාටත් කලින් එළියට දමන්නේ ඉන්දීය මාධ්‍යය. එමෙන්ම ඉකුත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදී අවස්ථා කිහිපයකදීම දෝවාල් ලංකාවට පැමිණ නිල වශයෙන් ගෝඨා ඇතුළු ඉහළ පෙළේ දේශපාලනඥයන් හමුවී සාකච්ඡා පවත්වා තිබිණි. ඒ සෑම එකකම ඡායාරූප සහිතවම පුවත් පළකිරීමට එදා ඉන්දීය මාධ්‍ය කටයුතු කොට තිබිණි. නමුත් මෙවර ඡායාරූප තබා දෝවාල්ගේ ගමන පිළිබඳ හෝ කිසිදු පුවතක් ඉන්දීය මාධ්‍යවල වාර්තා නොවීම පුදුමසහගත සිදුවීමක් විය. ඇතැම් විට දෝවාල්ගේ ලංකා ගමනේ තිබූ අතිශය රහසිගතභාවය මුල් කරගෙන එසේ වූවා වීමටද පුලුවන. ඒ අනුව දෝවාල්ගේ ලංකා ගමන පිළිබඳ පුවත පළ කළ එකම මාධ්‍ය වූයේ අප පමණය.

ඉහළ පෙළේ විශේෂ හමුවීම් කිහිපයක!

කෙසේ වෙතත් දෝවාල් ලංකාවට පැමිණ ඉහළ පෙළේ දේශපාලනඥයන් මුණගැසීමට නියමිත බවද අප කල්තියාම සඳහන් කළෙමු. ඒ අනුව ලංකාවට පැමිණි දෝවාල් ගත කළ පැය කිහිපය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සතියේ ලංකාවට ආ බැසිල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ බවක් නිල නොවන වශයෙන් ආරංචිය. නමුත් ඒ සෑම අවස්ථාවකදීම සිය ගමනේ අතිශය රහසිගත බව නඩත්තු කිරීමට දෝවාල් වගබලාගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.

ගුවන් සීමාව වැහුවාද? නිව්ස්වේව් කියපු කතාව!

කෙසේවෙතත් දෝවාල් ලංකාවෙන් පිටත්වී පැය කිහිපයක් නික්ම යෑමෙන් පසු මෙරට වෙබ් අඩවියක් වන නිව්ස්වේව් වෙබ් අඩවිය විශේෂ පුවතක් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ. එහි සදහන්ව තිබුණේ හදිසියේම වාගේ ඉන්දියාව ලංකාවට අයත් ගුවන් සීමාවේ කොටසක් වසාදැමීමට පියවර ගත් බවකි. ලංකාවට අයත් එම ගුවන් සීමාව වසා දැමීම කෙතරම් දැඩිව ක්‍රියාත්මක වූවාද කියනවා නම් අඩුම තරමේ ආරක්ෂක අංශවලට අයත් ගුවන් යානයකට තියා ලංකාවට පැමිණෙන හෝ ලංකාවෙන් පිටවන වාණිජ ගුවන් යානයකට පවා ලංකාවේ එම වසාදැමුණු ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් වූ බව එම පුවතේ සඳහන්ව තිබිණ.

මොකක් හරි යානයක් ඇතුල් වුණාද?

කෙසේ වෙතත් මෙම ගුවන් සීමාව හදිසියේ වසාදැමූ බවට පුවත් පළවීමත් සමග බොහෝ දෙනා සිතුවේ චීන ගුවන් යානයක් මෙම කලාපයට ඇතුළු වීම හෝ හඳුනා නොගත් සතුරු ගුවන් යානයක් මෙම කලාපයට ඇතුළු වන බවට තොරතුරු වාර්තා වීම නිසා මෙවැනි පියවරක් ගන්නට ඇතැයි කියාය. මන්ද යත් ඉකුත් වතාවන්හිදී ඉන්දියාව නොදැනුවත්ව සහ ඉන්දියාවේ දැඩි විරෝධය මධ්‍යයේ චීන සබ්මැරීන සහ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික සන්නිවේදන නෞකාවට ඉන්දීය සාගරය හරහා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියාව ඉවසුවේ නැත. මේ නිසාම ඉන්දියාව හා ලංකාව අතර තිබූ හොඳහිත නැවත සකස් කළ නොහැකි තරමට බිඳී ගොස් ඇති බවක්ද දැකගන්නට ලැබිණ. ඒ නිසාම ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාවද පසුගිය කාලවකවානුව පුරාම අපගේ මුහුදු සීමාව කෙරෙහි ඇහැ ගහගෙන සිටි ආකාරයක් අපට දැකගත හැකි විය.

ඉන්දියාවේ දැවැන්ත යුද අභ්‍යාසයක්!

කෙසේවෙතත් ඒ පිළිබඳ තොරතුරු සොයාගෙන යද්දී අපට සොයාගත හැකි වූයේ ඉන්දියාව පසුගිය දින කිහිපයේ ඉතිහාසයේ මෙතෙක් සිදු නොකළ ආකාරයේ අති දැවැන්ත යුද අභ්‍යාසයක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ශ්‍රී ගණක නගර්වල රහසිත ස්ථානයක පවත්වා ඇති බවය. සතුරන් මර්දනය හෙවත් ‘ශත්‍රෘ නාෂ්’ ලෙස නම්කොට තිබූ මෙම ඉන්දීය ගුවන් හමුදාව හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකළ යුද අභ්‍යාසයේදී ඉන්දීය ඉතිහාසයේ පළමු වරට ලේසර් තාක්ෂණය යොදාගනිමින් ඉන්දීය ගුවන් හමුදාව ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම පුහුණු වූ ආකාරයක් දැකගත හැකි විය. මේ සඳහා ඔවුන් ඉන්දියාවේ නවතම අධිතාක්ෂණික ප්‍රහාරක යානා යොදාගැනීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම නවතම යුද ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදාගෙන සතුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමද මෙහිදී සිදුවිය. එහි දර්ශන පවා අප වෙත ලැබී ඇති අතර ඒවා නැරඹීමේදී සිතාගැනීමටවත් නොහැකි යුද තාක්ෂණයක් ඉන්දියාව අත්පත් කරගෙන ඇති ආකාරයක් පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකි විය.

වීඩියෝව මෙන්න!

#WATCH | Indian army conducts Exercise 'Shatru Nash' in Sri Ganganagar, Rajasthan pic.twitter.com/Z7HWaGEUPu

— ANI (@ANI) November 21, 2022

අමෙරිකාවත් ඉන්දියාවට ගොඩබහී!

මීට අමතරව මේ මොහොත වන විට ඇමෙරිකානු විශේෂ ආරක්ෂක භට කණ්ඩායමක්ද ඉන්දියාව වෙත පැමිණෙමින් සිටින ආකාරයක් අප වෙත වාර්තා විය. ඒ, මෙතෙක් සිදුනොවුණු ආකාරයේ දැවැන්ත යුද අභ්‍යාසයක් ඉන්දියාව හා ඇමෙරිකාව එක්ව සිදුකිරීම සඳහාය. එම මෙහෙයුම ඉන්දු-චීන දේශසීමාව ආසන්නයේ පිහිටි හිමාලයේ උත්තර්කන්ද් ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කොට ඇති බවක්ද අප වෙත වාර්තා විය. ඒ අනුව ඉදිරියේදී මෙම කලාපයේ සිදුවන චීන බලපෑම යටපත් කිරීම සඳහා ඉන්දියාව හා ඇමෙරිකාව දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානමින් සිටින බවක් මේ සිදුවීම්වලින් දැකගැනීමට පුළුවන. මෙම පසුබිම හමුවේ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දීය ‘ජාතික ආරක්ෂක උපදේශක’ අජිත් දෝවාල් මහතා අතිශය රහසිගත ආකාරයට ලංකාවට පැමිණියේ මෙම යුද මෙහෙයුම පිළිබඳ ලංකාව දැනුවත් කිරීමටදැයි යන්න සැකසහිතය.

අපි පෙන්වපු රාජ්‍යතාන්ත්‍රික අර්බූදය!

මේ පිළිබඳ අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කරමින් අප පෙන්වා දුන්නේ ඉන්දියාව සහ ඇමෙරිකානු විරෝධය නොතකා චීන යුවාන් වැන්ග් 5 නෞකාවට ලංකාවේ හම්බන්තොට වරායට ඇතුළු වීමට ලංකාව අවසර දීම හරහා ඉදිරියේදී බරපතළ රාජ්‍යතාන්ත්‍රික ගැටුමකට මැදි වීමට ලංකාවට සිදුවනු ඇතැයි කියාය. එදා අප කී එම කරුණු අද වන විට යථාර්ථයක් බවට පත්ව ඇති බවක් පෙනී යන්නේ ඉන්දියාව හා ඇමෙරිකාව ලංකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර දෙස බලන විටය.

තවමත් වෙලාව මෝඩිගෙන් ආවෙ නෑ!

මන්ද යත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයේ වැඩ භාරගෙන මාස 4ක් ඉක්ම ගොස් තිබුණත් තවමත් ඉන්දියාව සිය අගමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසීමට රනිල්ට අවස්ථාව ලබාදී නැත. මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහාද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හරහාද, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සාගල රත්නායක හදිසියේම ඉන්දියාවට යැවීම හරහාද මෙම අවස්ථාව ලබාගැනීමට රනිල් උත්සාහ කළත් ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නැත. බොහෝ දෙනා සැක කරනුයේ මෙම අවස්ථාව නොලැබීම හේතුව බොහෝ දුරට ඉන්දීය විරෝධය නොතකා චීන නැවට ලංකාවට පැමිණීමට රනිල් අවසර ලබාදීම මුල්කොටගෙන විය හැකි යැයි කියාය.

ගෝඨාට ඉන්දියාවට දුන් කඩවුණු පොරොන්දුව!

අනෙක් අතට වරක් අප මෙම තීරයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවෙන් පලා ගොස් යළි ලංකාවට පැමිණීමෙන් අනතුරුව තමා බැලීමට ආ හිතවතකුට රනිල් සම්බන්ධයෙන් කී කතාවක්ද වාර්තා කළෙමු. එහිදී ගෝඨා සිය හිතවතාට කියා තිබුණේ තමා ඉල්ලා අස්වන බවට ඉන්දීය රජයේ ඉහළ පෙලේ නිලධාරීන්ට කළ දැනුම්දීමෙන් පසු රනිල්ට ජනාධිපති ධුරය නොදෙන ලෙස ඉන්දියාව දිගින් දිගටම ඉල්ලීම් කර තිබූ බවය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගත් තීන්දුවට අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති ධුරයට පත්කොට නිශ්චිත කාලයකදී මැතිවරණයක් පවත්වා ජනාධිපතිවරයෙක් තෝරාගන්නා ලෙස ඉල්ලා සිටි බවය. තමන් එය කරන බව මුලින් ඉන්දියාවට පොරොන්දුව කඩකිරීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් ඉන්දියාව තමන් සමගද එතරම් හිත හොඳකින් නොසිටින බවත් ගෝඨා එහිදී සිය හිතවතාට ප්‍රකාශ කර තිබූ බවක්ද අපි එහිදී සඳහන් කළෙමු. එම කතාවට අනුව ආරම්භයේ සිටම ඉන්දියාව රනිල් සමග යම් ගැටලුවකින් සිටි බවත්, චීන නැවේ ප්‍රශ්නයෙන් එම ගැටලුව උග්‍ර වී ඇති බවත් සැක කළ හැකිය. මෝදි හා රනිල් අතර හමුවක් තවමත් සිදු නොවීම හරහා පැහැදිලිය.

අමෙරිකාවත් තවම නිහඬයි!

අනෙක් අතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය විසින් තවමත් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කොට නොතිබීමද විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරයා ධුරය භාරගත් දිනට පසු දිනම ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදී ආරක්ෂක අංශ ලවා එය ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග මෙරට ඇමෙරිකානු තානාපතිනිය වූ ජූලි චන්ග් මහත්මිය බරපතළ ගැටුමක් නිර්මාණය කරගැනීමට ජනාධිපතිවරයා මුලපුරා තිබිණ. එහිදී ජූලි චන්ග් සමග ආරම්භ වූ ගැටුම අවසානයේදී පෞද්ගලික ගැටුමක් බවට පත්ව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තත්ත්වය දක්වා එය උඩුදුවා ඇති ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අවස්ථාවේදීද අප මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියේ මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනීමට යෑමෙන් හානිය සිදුවන්නේ පාලකයන්ටත් වඩා රටටත්, රටේ ජනතාවට යැයි කියාය. එදා අප කී එම කතාව අද තහවුරු වී ඇති බවක් පෙනී යන්නේ ඉන්දියාවේ හා ඇමෙරිකාවේ ක්‍රියාකලාපය දෙස බලන විටය. ඉන්දියාව අද ජනාධිපතිවරයාට හමුවීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන විට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තවමත් ජනාධිපතිවරයාට සුබපතා නිවේදනයක් හෝ නිකුත් නොකිරීම එහි ප්‍රතිඵලයන්ය. එමෙන්ම හදිසියේම වාගේ ඉන්දියාව යුද අභ්‍යාස පවත්වන්නේත්, ඇමෙරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන්නේත් මෙහි ප්‍රතිඵලයක් නිසා විය හැකිය.

බැසිල් ගෝල්ඩ් රූට් පර්යන්තයෙන් ආවේ කොහොමද?

පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මාස කිහිපයක් ඇමෙරිකාවේ ගතකිරීමෙන් පසු ලංකාවට පැමිණියේ පසුගිය සඳුදාය. බැසිල්ගේ මේ ලංකා ගමනේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ බැසිල්ට සිය නිවෙස පිහිටි ලොස් ඇන්ජලීස් නුවර සිට ලංකාවට ඍජු ගුවන් ගමනකින් පැමිණිය හැකි වුවත් ඔහු එසේ නොකොට වොෂින්ටනයට පැමිණ දිනක් එහි ගතකිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණීමය. එම ගමනේදී බැසිල් සමග ඔහුගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂ මහත්මියද සිටියාය. කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු බැසිල් එළියට පැමිණියේ ඕනෑම අයකුට ඩොලර් 200ක් ගෙවා භාවිත කළ හැකි ‘ගෝල්ඩ් රූට්‘ පර්යන්තය ඔස්සේය. එහි ප්‍රභූ පුද්ගලයන්ට පමණක් ගමන් කළ හැකි බැවින් බැසිල් මුණගැසීමට පැමිණී පිරිස රැඳී සිටියේ ප්‍රභූ පුද්ගලයන් වෙනුවෙන් වෙන්කර ඇති ‘වී.අයි.පී. ලෝන්ජ්’ එකෙහිය.

ප්‍රශ්න ගොඩක් මාධ්‍ය මතු කරයි!

මෙහිදී බැසිල්ගේ පැමිණීමටත් වඩා මෙරට මාධ්‍ය ප්‍රශ්න කර සිටි කරුණු කිහිපයක්ම දැකගත හැකි විය. ඉන් පළමුවැන්න වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ නොවන, අවම වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හෝ නොවන බැසිල් රාජපක්ෂ හට මෙසේ ගුවන් තොටුපළේ වී.අයි.පී. පර්යන්තය භාවිත කිරීමට අවසර දුන්නේ කවුරුන්දැයි කියාය. ඒ සඳහා බැසිල්ට හිමිකමක් තිබේද යන්න පවා මාධ්‍ය මගින් ප්‍රශ්න කෙරිණි. ඊළඟ ප්‍රශ්නය ලෙස මාධ්‍ය මතුකර තිබුණේ ගෝල්ඩ් රූට් පර්යන්තය භාවිත කිරීම සඳහා බැසිල් ඩොලර් 200ක මුදල ගෙවා තිබුණාද යන ප්‍රශ්නයය.

ප්‍රභූ ආරක්ෂාව දුන්නේ කව්ද කොහොමද?

තුන්වැනි ප්‍රශ්නය ලෙස මාධ්‍ය මගින් බොහෝ දුරට ප්‍රශ්න කෙරුණේ බැසිල්ව පිළිගැනීමට පැමිණ සිටි පුද්ගලයන් පිළිබඳය. විශේෂයෙන්ම පොලිස් කොමිසමේ සභාපතිවරයා වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ පොලිස් කොමිසමේ තවත් සාමාජිකයකු එම ස්ථානයේ සිටීම සදාචාරාත්මකද යන්න එහිදී ප්‍රශ්න කොට තිබිණි. ඊළඟ ලොකුම ප්‍රශ්නය වී තිබුණේ මන්ත්‍රී ධුරයක් හෝ නොදරන බැසිල් හට කටුනායක සිට කොළඹ බලා පිටත්වීම සඳහා පොලිස් ආරක්ෂාව සහ පෙරගමන් යතුරුපැදි ලබාදී තිබුණේ කෙසේදැයි කියාය.

පළමු වරට බැසිල්ගේ කොණ්ඩය සුදු වෙලා!

මේ සියල්ල බැසිල්ව පිළිගැනීමට පැමිණ සිටි පිරිසට සහ මාධ්‍යට දැකගන්නට ලැබුණු දේ වුවත් බොහෝ දෙනෙක්ට දැකගන්නට නොලැබුණු එක්තරා විශේෂ යමක් එහි සිටි තවත් පිරිසකට දැකගන්නට ලැබිණි. ඒ, බැසිල් ලංකාවට පැමිණි ආකාරය දෙස බලන විටය. සාමාන්‍යයෙන් වෙනදා නම් බැසිල් ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු වූ මොහොතක ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණෙන්නේ යම්කිසි දේශපාලන සැලැස්මක් ඔළුවේ තබාගෙනය. එසේ පැමිණෙද්දී බැසිල්ගේ ඇති පෞරුෂය සියල්ලන්ටම දැකගන්නට ලැබිණි. නමුත් මෙවර බැසිල් පැමිණි ආකාරය දෙස බලන විට එවැනි දේශපාලන සැලැස්මක් සහිතව යම් දේශපාලන පෞරුෂයකින් යුතුව පැමිණියාද යන්න සැක සහිතය. අප එසේ කියන්නේ එහි සිටි කිහිප දෙනකුට පමණක් හොඳහැටි දැකගන්නට ලැබුණු එක් සිදුවීමක් මුල් කරගෙනය. ඒ අන් කිසිවක් නොව බැසිල් සිය කොණ්ඩය ඩයි ගා කළු නොකර කොණ්ඩයේ සැබෑ ස්වරූපයෙන් යුතුවම තබාගෙන ලංකාවට පැමිණීමය. එමනිසා වෙනදා බැසිල්ගෙන් දුටු නැවුම් ගතිය මෙදින එහි සිටි කිසිවකුටත් දැකගන්නට ලැබුණේ නැත. එම නිසා බොහෝ දෙනා සිතා සිටියේ බැසිල් පැමිණියේ දේශපාලන පිළිතුරු ඔළුවේ තබාගෙන ආවාට වඩා පිළිතුරු නැති ප්‍රශ්න ගොඩක් ඔළුවේ තබාගෙන ලංකාවට පැමිණි බවය.

බැසිල්ට විසඳගන්න තිබ්බ ප්‍රශ්න!

කෙසේවෙතත් ලංකාවට පැමිණි බැසිල්ට ප්‍රධාන ප්‍රශ්න කිහිපයක්ම විසඳා ගැනීමට සිදුව තිබිණ. ඉන් පළමුවැන්න වී තිබුණේ සිය කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයන් වූ ජොන්ස්ටන්, රෝහිත, පවිත්‍රා, එස්.එම්. චන්ද්‍රසේන වැන්නන් කැබිනට් මණ්ඩලයට ඇතුළු කරගැනීමය. ඒ හරහා පොහොට්ටුවේ බලය ආණ්ඩුව ඇතුළේ යළි තහවුරු කරගැනීම බැසිල්ගේ පළමු අරමුණ විය.
බැසිල්ගේ ඊළඟ සැලසුම බවට ඇතැම් මාධ්‍ය කල්තියාම වාර්තා කොට තිබුණේ අයවැයට තුනෙන් දෙකේ ඡන්ද සංඛ්‍යාවක් හිමිකර දීමය. ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම 118ක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියත්, ආණ්ඩුව වෙනුවෙන් වජිර අබේවර්ධන වරක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙවර අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී 135ක ප්‍රමාණයක් ආණ්ඩුවට හිමිවීමට නියමිතව ඇතැයි කියාය. ඒ අනුව බැසිල්ද අමෙරිකාවේ සිට පැමිණියේ එම ප්‍රමාණයද ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් අයවැයට ලබාදීම ඔළුවේ තියාගෙනය.

මහ රෑ රනිලුත් හමුවුණාද?

ඒ අනුව බැසිල් පැමිණි දා රාත්‍රියේම සිය හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බැසිල් පියවර ගත්තේය. මීට අමතරව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් හා රනිල් අතරද එදින රාත්‍රියේ ඉතා කෙටි හමුවක් පැවැත්වී ඇතැයි කියාය. එම නිල නොවන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටියේ බැසිල් එහිදී අයවැය තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 08 වැනි දින අලුත් ඇමැති මණ්ඩලය පත්කළ යුතු බවට රනිල්ට දැනුම් දී ඇතැයි කියාය. නමුත් ජනාධිපතිවරයාගේ ඊට පිළිතුර වී ඇත්තේ කැබිනට් සංශෝධනයක් කිරීමට මෙය අවස්ථාව නොවන බවත්, ලබන ජනවාරියේදී පමණ එය සිදුකළ හැකි බවත්ය. එසේ කියමින් ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට කල් ගෙන ඇති බවක් එම නිල නොවන ආරංචිවලින් දැනගන්නට ඇත. නමුත් මේ බවක් බැසිල් සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා ඇති බවක් මෙතෙක් දැනගන්නට නැත. ඒ යම් හෙයකින් එය තමන්ට අවාසිසහගත වනු ඇතැයි සිතා විය යුතුය.

ගණන් හැදුවාම 130යි!

කෙසේ වෙතත් ලංකාවට පැමිණි දිනට පසු දින සිටම බැසිල් නැවත වතාවක් දේශපාලන කටයුතු ආරම්භ කරමින් බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂ කාර්යාලයට පැමිණීමට පියවර ගත්තේය. එදින පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන දිනයක් වූ බැවින් පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරු පක්ෂ කාර්යාලයට පැමිණ බැසිල් සමග වචනයක් දෙකක් කතාබහ කර ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එහිදී බැසිල් කළේ ඔවුන් සමග එක්ව අයවැයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගණන් හිලව් සකස් කිරීමය. ඒ අනුව පොහොට්ටුවෙන් කැඩී ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද අයවැයට සහාය දීමට කැමැත්ත පළකොට ඇති බැවින් එම ප්‍රමාණය 130ක් වනු ඇති බව බැසිල්ගේ ගණන් හැදීම විය. ඒ අනුව බැසිල් සැලසුම් කොට තිබුණේ මෙම 130ක ඡන්ද ප්‍රමාණය ගැනීමත් සමග පොහොට්ටුව යළි එළියට ගෙන එන මාධ්‍ය මෙහෙයුම ආරම්භ කිරීමටය. නමුත් බැසිල්ගේ මෙම සැලැස්ම උඩු යටිකුරු වී ගියේ අයවැයට පක්ෂව ඡන්ද 121ක් ලැබීමත් සමගය. එසේ අයවැයට ඡන්ද අඩුවීම සම්බන්ධයෙන් තිරය පිටුපස තවත් කතාවක්ද තිබේ.

කාටත් හොරෙන් සජිත් ගහපු ගේම් එක! මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ නියෝගයක්!

එම මෙහෙයුම දියත් කළේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා කියන්නේ සජිත් යනු දේශපාලන ගේම්කාරයකු නොවේ යැයි කියාය. සජිත් එළිපිට අවංකව අදහස් ප්‍රකාශ කරන්නකු ලෙසටය. නමුත් දේශපාලන ගේම්කාරයන් ලෙස සැලකෙන රනිල්, බැසිල්, වජිර එක්ව අයවැයට ඡන්ද 135ක් ගැනීමට පාර්ලිමේන්තුව ඇතුළේ ගැසූ ගේම ආපිට කැරකුවේ සජිත්ය. ඒ, අවසන් මොහොත වන තෙක්ම සජබ තීන්දුව ප්‍රකාශයට පත් නොකර ඇදගෙන යමින්ය. නමුත් සජිත් සියලු මන්ත්‍රීවරුන්ට කතාකරමින් අයවැය සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව කුමක්ද කියා පෞද්ගලිකවම ඔවුන්ගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. මීට අමතරව සජිත් බිම් මට්ටමේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සමගද සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම තරුණ පිරිස්, කාන්තාවන්, මධ්‍යම පාන්තිකයන්, ව්‍යාපාරිකයන්, ධීවර ප්‍රජාව, ස්වයංරැකියා නියුක්තිකයන් ආදී සියලු පිරිස් සමග සාකච්ඡා කළ සජිත්, අයවැය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත්තේ ඡන්ද විමසීම පැවත්වෙන්නට පෙර දිනයේදීය. එහිදී පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කෙරුණේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ‘ඉරි තුනේ නියෝගයක්’ මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමය. එවැනි ඉරි තුනේ නියෝගයක් නිකුත් කළහොත් සියලු මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන්ම පක්ෂය ගනු ලබන තීන්දුව සමග සිටගත යුතුය.

මහ රෑ සුමන්තිරන් කතා කරයි!

කෙසේ වෙතත් මුලින්ම අයවැයට විරුද්ධව ඡන්දය දෙන ස්ථාවරයක දෙමළ සන්ධානය සිටියද පාර්ලිමේන්තුවේදී ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අයවැයට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට තීන්දු කළේය. එම තීන්දුව එදිනම රාත්‍රියේ සජිත්ට ඇමතුමක් ලබාදී දැනුම් දීමට සුමන්තිරන් කටයුතු කළේය. එහිදී සුමන්තිරන් කීවේ මෙය තීරණාත්මක ඡන්දයක් නොවන නිසා මතුව ඇති තත්ත්වය තුළ ඡන්දය දීමෙන් වැළකී සිටින බවත්, ආණ්ඩු පෙරළන තීරණාත්මක අවස්ථාවකදී විපක්ෂය සමග එක්ව කටයුතු කරන බවත්ය. සජිත් ද ඊට එකඟතාව පළ කළේය.

ප්‍රතිපලයෙන් රනිල්ලා වජිරලා හෝලමන්!

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය වූයේ රනිල්, වජිර, බැසිල් එකතුව ඡන්ද 135ක් බලාපොරොත්තුවෙන් සිටියද එම ඡන්ද සංඛ්‍යාව 121 දක්වා පහළ බැස තිබීමය. විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය 84 දක්වා ඉහළ නැගීමය. යම් හෙයකින් දෙමළ සන්ධානයේ ඡන්ද 11ක ඡන්ද ප්‍රමාණය ලැබුණේ නම් එය 95 දක්වා ඉහළ නැගීමට තිබිණි. මීට අමතරව සජබ දෙදෙනෙක් විදේශගතව සිටියහ. අනුර යාපා පිලේ දෙදෙනකු සහ විමල් වීරවංශ පිලේ දෙදෙනකු ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. එමෙන්ම විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළේද නැත. ඒ සියල්ල එක්වූවා නම් ඡන්ද ප්‍රමාණය 102ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබිණි. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවට බහුතරය අහිමි කිරීම සඳහා විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ඡන්ද 11ක් පමණි.

පොහොට්ටුවට යකා නගියි!

කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීමෙන් පසුව පොහොට්ටු මන්ත්‍රීවරුන් පමණක් සිටින වට්ස්ඇප් කණ්ඩායමේ විවිධ පණිවුඩ හුවමාරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබූ බොහෝ පණිවුඩවලින් කියැවුණේ නැවත වතාවක් අප රැවටුණු බවත්, තවදුරටත් රැවැටීමට තමන් සූදානම් නොමැති බවත්ය. නමුත් මන්ත්‍රීවරුන්ගේ මෙම විරෝධය ඍජුවම එල්ල වූයේ රනිල්ටද, එසේත් නැත්නම් බැසිල්ටද යන්න පැහැදිලිව සඳහන්ව නොතිබිණි. නමුත් මන්ත්‍රීවරුන්ගේ මෙම කේන්තිය වටහාගැනීමට බැසිල්ටද වැඩි වේලාවක් ගතවූයේ නැත. එමෙන්ම තත්ත්වය මේ අයුරින් වර්ධනය වුවහොත් දෙසැම්බර් 08 වැනිදා පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදී බොහෝ මන්ත්‍රීවරුන් අයවැයට එරෙහිව හෝ අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට හෝ ඉඩ ඇති බව බැසිල්ට වැටහිණි. ඒ අනුව බැසිල් වාහම කළේ මන්ත්‍රීවරුන්ගේ කෝපය පාලනය කිරීම සඳහා සැලසුම තරමක් වෙනස් කිරීමය.

ඇමැතිවරු තුන්දෙනෙක්ට පාඩමක් උගන්වන්න ලෑස්ති වෙයි!

එහිදී බැසිල් කළේ සමස්ත අයවැය පරාජයට පත් නොකොට පොහොට්ටුව ගණන් නොගන්නා සහ පොහොට්ටුවට අරියාදුකම් කරන ඇමැතිවරුන් කිහිප දෙනකුගේ වැය ශීර්ෂ පමණක් පරාජයට පත්කිරීමට සැලසුම් සකස් කිරීමය. එම ඇමැතිවරුන්ගේ නම්ගම් සහිතව මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් තැබීමටද බැසිල් පියවර ගත්තේය. එහිදී හුවමාරු වූ මෙම වට්ස්ඇප් පණිවුඩවලදී ඇමැතිවරු තිදෙනකුගේ නම් විශේෂයෙන් සඳහන්ව තිබිණි. එම ඇමැතිවරුන් වූයේ නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ සහ නසීර් අහමඩ්ය. ඔවුන් තිදෙනා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන් නොගන්නා බවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සලකන්නේ නැති බවත් බොහෝ මන්ත්‍රීවරුන් සඳහන් කර තිබුණු අතර ඔවුන්ගේ වැය ශීර්ෂ පරාජයට පත්කිරීමට තමන් සූදානම් බවද බොහෝ මන්ත්‍රීවරුන් එහිදී පිළිතුරු සටහන් තබා තිබිණි. ඒ අනුව සමස්ත අයවැයට පැමිණීමට තිබූ විරෝධය ඇමැතිවරුන් තිදෙනකුගේ පිටින් යවා අයවැය ගොඩදමා ගැනීමට බැසිල් කළ මෙහෙයුම සාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මනූෂ-හරීන් ගැනත් කතා කරයි!

එමෙන්ම මනුෂ සහ හරීන් පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් අතර කිසියම් සංවාදයක් ඇතිවිය. නමුත් රාජපක්ෂවරුන්ට හිතවත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පවා එහිදී කියා සිටියේ මනුෂ සහ හරීන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට විශාල ලෙස උදව් උපකාර කරනවා යැයි කියාය. එය මහින්දට හිතවත් මන්ත්‍රීවරුන් මෙන්ම බැසිල්ට හිතවත් මන්ත්‍රීවරුන්ද කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන්ගේ වැය ශීර්ෂයන් පිළිබඳ කිසිවක් නොකිරීමට මන්ත්‍රීවරු එහිදී තීන්දු කළහ. ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේ තවත් පෙරළි ගණනාවක් සිදුවන්නට නියමිතව ඇති බවය.

ප්‍රතිපලයෙන් රනිල්ට කේන්ති ගියාද?

කෙසේ වෙතත් අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද ප්‍රතිඵලයෙන් සිතූ ප්‍රතිඵලය නොලැබුණු නිසා රනිල් ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් දැඩි කෝපයට පත්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ ඊට පසු දිනම පාර්ලිමේන්තුවට පැමිණ රනිල් දැක්වූ ප්‍රතිචාරය මුල් කොට ගෙනය. එහිදී විපක්ෂයටත්, විපක්ෂයේ ප්‍රබලයන්ටත්, මානව හිමිකම් සංවිධානවලටත්, ආණ්ඩුවේ ආයතනවලටත්, අරගලයේ ජ්‍යෙෂ්ඨයන්ටත්, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ටත් මෙහිදී ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට රනිල් පියවර ගත්තේය. ඒ හරහා බොහෝ දෙනාට පෙනීගියේ සජිත් අයවැය ඉලක්ක කරගෙන විපක්ෂයේ සිට ගැසූ ගේම් එකෙන් නියම ගේම්කාරයන් යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කලබලයට පත්ව බවය.

කාදිනල් හිමි නැවතත් වතිකානුවට?

පාස්කු ප්‍රහාරයට මේ වන විට වසර 3ක් ඉක්ම ගොස් තිබේ. දේශපාලකයන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ රතු පලස් යටට දමා සඟවා ගැනීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබියදී පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන ලබාදීමටත්, ඔවුන්ට සාධාරණය ඉෂ්ට කිරීමටත් විශාල සටනක් එළිපිට දියත් කළේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. ඒ අතරවාරයේ පසුගිය සතියේදී කාදිනල් හිමිපාණන් සිය 75 වැනි උපන්දිනය සැමරීමට පියවර ගත්තේය. සාමාන්‍ය සම්ප්‍රදාය වී ඇත්තේ අගරදගුරු පදවිය දරන හිමියන් වසර 75ක් සම්පූර්ණ වූ විට එම තනතුරෙන් විශ්‍රාම යැවීමට වතිකානුව පියවර ගැනීමය. ඒ අනුව කාදිනල් හිමියන්ද සම්ප්‍රදායට අනුව යමින් 75 වැනි උපන්දිනයට සති දෙකක් තබා වතිකානුවට මේ බව දැනුම් දීමට පියවර ගත්තේය. එසේ දැනුම් දීමෙන් පසු සති දෙකක් ඇතුළත ඊට ප්‍රතිචාර ලිපිය වතිකානුවෙන් ලැබෙන අතර බොහෝ විට ඒ සමගම අනුප්‍රාප්තික අගරදගුරු හිමියන් පත්කිරීමද සිදු කෙරේ.

ලියුමට තවම උත්තර නෑ!

කෙසේ වෙතත් මෙම ලිපිය යැවීමත් සමග තවත් දේශීය සහ විදේශීය පාර්ශ්ව කිහිපයක් වතිකානුව වෙත දැනුම් දී තිබුණේ කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉෂ්ට කරවා ගැනීම සඳහා දැවැන්ත සටනක් දියත් කර ඇති බවත්, එම සටන අවසන් කිරීමට තවත් යම් කාලයක් උන්වහන්සේට ලබාදිය යුතුව ඇති බවත්ය. යම් හෙයකින් එම යෝජනාව සලකා බැලීමට වතිකානය කටයුතු කළහොත් තවත් මාස 06ක සේවා දිගුවක් කාදිනල් හිමියන්ට ලබාදීමට පාප්වහන්සේට හැකියාව තිබේ. කෙසේ වෙතත් ඊට අදාළ ලිපිය ලබන ජනවාරි මැද වන විට කාදිනල් හිමියන් වෙත ලැබීමට නියමිතය. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ කාදිනල් හිමිපාණන් පසුගිය සතියේ ජර්මනිය බලා පිටත්ව ගියේය. උන්වහන්සේ එසේ ගියේ පල්ලිය මගින් දුප්පත් ජනතාව වෙත කරනු ලබන උදව් උපකාර තවදුරටත් ඉදිරියට කරගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමටය. එම සංචාරයෙන් අනතුරුව බොහෝ දුරට කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව උන්වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

කපිල පුංචිමාන්නගේ

Share50Tweet32SendShare13
Previous Post

උතුරේ සියලු පක්ෂ කොළඹදී රැස්වෙයි! උතුරේ අල්ලගත්ත ඉඩම් වහාම නිදහස් කරන්න! පළාත් සභා ඡන්දය තියන්න! උතුරු නැගෙනහිරට බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න! ජනාධිපතිතුමාට දැනුම් දෙන්න තීන්දු කරයි! (VIDEO)

Next Post

දුමින්දට විදුලි බල අමාත්‍යංශය! ඩීල් එක හරි! (VIDEO)

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

නිදහසට කොම්පඤ්ඤවීදිය-කොල්ලුපිටිය ස්ටේෂන්වලටත් නිදහස!

February 3, 2023
ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි! VIDEO
Exclusive

ආණ්ඩුව හෙට විරෝධතාවලට ගහන්නයි යන්නේ! මානව හිමිකම් කොමිසමට-එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිලි කරයි! VIDEO

February 3, 2023
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Exclusive

නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!

February 3, 2023
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Exclusive

හෙට සරසවි සිසුන්-වෘත්තීය සමිතිවලට කොළඹ උද්ඝෝෂණ කරන්න ඉඩ දෙන්න එපා! පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රතික්ෂේප කරයි! රැස්වීමේ-භාෂණයේ අයිතිය සියල්ලන්ටම තියෙනවා!

February 3, 2023
ජනපති මැදුරට පැන්නා කියපු නීතීඥ බෝපගේ වෙනුවෙන් සාලිය පීරිස් එක්ක නීතීඥවරු 50ක් පෙනී සිටී!
Exclusive

මුදලිගේ එළියට ගන්න අධිකරණයේ ලොකු සටනක් කරපු නීතීඥ බෝපගේ තීන්දුවෙන් පස්සේ මුල්වරට කතාව කියයි! VIDEO

February 3, 2023
මුලු නැගෙනහිරම ආසනෙන් ආසනයට ගිය සජිත් ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැද කල්කුඩාවෙන් නැගෙනහිර සටන අවසන් කරයි! PHOTOS & VIDEO
Exclusive

මුලු නැගෙනහිරම ආසනෙන් ආසනයට ගිය සජිත් ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැද කල්කුඩාවෙන් නැගෙනහිර සටන අවසන් කරයි! PHOTOS & VIDEO

February 3, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.