වත්මන් ආණ්ඩුව නිරෝධායන නීති භාවිතා කරන්නේ කොරෝනා වසංගතය පාලනයට නොව ආණ්ඩුවට එරෙහි ජනතා හඬ පාලනයට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
සිය පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගැනීම හරහා පෙන්නුම් කරන්නේ එම තත්ත්වය බවත් හෙතෙම සඳහන් කළේය.
නිරෝධායන නීති මහජන හඬ යටපත් කිරීම සඳහා භාවිතා කිරීම ඉතාම අවාසනාවන්ත සහ ලැජ්ජා සහගත තත්ත්වයක් යැයි ද සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා වත්මන් ආණ්ඩුව නීති භාවිතා කරන්නේ මහජන සුබසිද්ධිය උදෙසා නොවන බව ඉතා පැහැදිලි යැයි ද කීවේය.
සම්බාහන ආයතන පවත්වාගෙන යෑම වැනි විකාර වැඩ සඳහා අවසර ලබා දෙන වත්මන් ආණ්ඩුව මීටරයක් දුරින් සිට සම්බාහනය කරන්නේ කෙසේදැයි යන්න රටට පැහැදිලි කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ නිරෝධායන නීතිවලට අනිවාර්යයෙන්ම ගරු කරන බවත් කියා සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මහජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා සිදු කළ යුතු මැදිහත්වීම සිදු කිරීමට ජවිපෙ කිසිවිටකත් පසුබට නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.










